වර්ෂ 2016 ක්වූ මැයි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මෝන්ඩි නොන්ඩිය

මෝන්ඩි නොන්ඩිය

ජනක රණසිංහ හෙවත් සුදුමල්ලි දවසක් යම් කලා කටයුත්තකට සහභාගි වෙලා ගෙදර එමින් හිටියලු. සාමාන්‍යයෙන් ඔහු ගමන් බිමන් යන්නේ කෝච්චියේ. නමුත් එදා ඔහුට යන්න වෙලා තියෙන්නේ බස් එකේ. අකැමැත්තෙන් වුණත් ජනක බස් එකේ යන්න තීරණය කළාලු. එහෙම හිතාගෙන ඔහු බස් එකකට නැගලා. ඊට ගොඩ වෙච්ච වෙලාවේ ඉඳලා කොන්දොස්තරගේ කෑගැහිල්ල ඉවරයක් නැතිලු. බහින මගීන්ට කෑගගහා බහින්න කියනවලු. මේ කෝලම දිහා බලාගෙන හිටපු ජනක හොඳ වැඩක් කරන්නම්කො කියලා හිතා ගත්තලු. බහින හෝල්ට් එක ළගා වෙච්ච ගමන් ජනක වාඩි වෙලා හිටපු ආසනයෙන් නැගිටලා ඔහු කකුලක් කැඩිච්ච අයකු වගේ නොන්ඩි ගසමින් දොර ගාවට ඇවිත්. බස් එක නැවත්තුවලු. කොන්දොස්තරගේ කරච්චලය පටන් ගත්තලු ඉක්මනට බහින්න කියලා. ජනක කරලා තියෙන්නේ කකුලක් නොන්ඩි ගගහා ඉතාම හිමින් බස් එකන් බැහැපු එකලු. ඔහු කෙඳිරි ගාමින් ඉතාම හිමින් බස් එකෙන් බහිද්දී ඔහුට පිටුපසින් පස් හය දෙනෙක්ම පෝලිම් ගැහිලා. ආබාධිත අයකු කියලා හිතාගෙන කොන්දොස්තර ජනකට කෑගහලත් නැහැ. එහෙම හිමින් බස් එකෙන් බැහැපු ජනක පාරට අඩිය තිබ්බ ගමන් කොන්දොස්තර දිහා බලලා නෝන්ඩි හිනාවකුත් දාලා සුපුරුදු ගමනින් යන්න ගියාලු.