වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




සේකරගේ ගෙදරදී කළ හොරකමක්

සේකරගේ ගෙදරදී කළ හොරකමක්

සරසවිය කර්තෘ මණ්ඩලයේ පිරිස එකිනෙකා හැකි හැම උපකාරයක්ම කිරීමට බැඳී සිටියහ. එබැවින් සියලු දෙනාම සහෝදරත්වයෙන් යුතු පිරිසක් වූහ. මම විශේෂාංග ලිවීමට යාමේදී වඩාත් සමීපතම මිතුරා වූයේ කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාරය. අප දෙදෙනා විශේෂාංග ලිවීමට යන විට 'මරු ඩබල' යැයි ඇතැමෙක් කීහ. දිනක් සහකාර කර්තෘ සෝමවීර සේනානායක සමඟ කතා කරමින් සිටි වේලාවක මම යෝජනාවක් කළෙමි.

'සෝමේ මේ දවස්වල 'තත් තත් තාර පැටියා' සින්දුව හරිම ජනප්‍රියයි. ඒක කියන හෙන්රි කල්දේරා ගැන ලියමුද? එයාගේ ඇස් පේන්නෙත් නෑ'

'එහෙනං ඉක්මන් කරමු. වෙන පත්තරේක යන්න ඉස්සර වෙලා' සෝමවීර කිවේය.

බන්දු කොඩිකාරත්, මාත් පසුදා සවස 4 ට පමණ සීදූවේ පදිංචිව සිටි හෙන්රි කල්දේරා සොයා පිටකොටුවෙන් මීගමුව බසයකට ගොඩ වීමු. අප එහි යන විට අඳුර පැතිරී තිබුණී.

'අර හෙන්රි කල්දේරා මහත්තයාගේ ගෙදර කොයි හරියෙද?' මම කඩයක් අසලට ගොස් එහි සිටි මුදලාලිගෙන් ඇසුවෙමි. අපි සරසවිය පත්තරයෙන් බව ද කීවෙමු.

'මෙැතන ඉඳලා ටිකක් දුරයි. මහත්තයලා පයින් යන්න අමාරුයි. අපි පාර කියන්නම්. බයිසිකලයකුත් දෙන්නම්'

බන්දු මගේ මුහුණ බැලුවේය. අපි දෙදෙනාටම බයිසිකල් පැදීමට බැරිය.

'ඇයි මහත්තයලාට ප්‍රශ්නයක්ද? මම හරියටම පාර කියන්නම්'

'නෑ මුදලාලි අපි දෙන්නටම බයිසිකල් පදින්න බැහැ' මම ලැජ්ජාවෙන් කීවෙමි.

'එහෙමද' කල්පනා කළ මුදලාලි කඩේ සිටි ළමයෙකුට හා අසල්වැසියෙකුට කතා කොට කාරණය පැහැදිලි කළේය. ඔවුන්ට ද සිනා ගිය අයුරු අපි දුටුවෙමු.

'හරි මහත්තයා මේ බයිසිකලේ නගින්න. ඕකේ ලාම්පුවක් තියෙනවා. පින්තූර මහත්තයා කැමරා බෑගයත් අරන් අනිත් බයිසිකලේ නගින්න. මේ ළමයා ටෝච් එකත් අල්ලන් පදීවි. වැඩ ඉවර වෙලා ආපහු මෙතැනට එක්ක වරෙල්ලා' මුදලාලි උපදෙස් දුන්නේය.

ගල්පර උඩින්, වලවල් උඩින් බයිසිකලේ පොල්ල උඩ ඉඳ ගෙන යාම සනීපදායකය. වේදනාව යටපත් කරගෙන අපි ගමන් ගතිමු.

අපි එහි එන බව හෙන්රි කල්දේරාට දන්වන්න සන්නිවේදන ක්‍රම ද එකල නොවීය.

'කල්දේරා මහත්තයා අපි සරසවිය පත්තරෙන්'

'හුඟක් රෑ වෙලා. ගේ ඇතුළට එන්න'

ගෙදර කළුවර ගිලගෙන තිබුණි. පුංචි ලාම්පුවකින් මඳ ආලෝකයක් ගලා ආවේය. පුංචි දරුවකුගේ හඬ ඇසිණි.

'අපි දෙන්නටම පෙනේනේ නෑ මහත්තයා' හෙන්රි කීවේය. අපට සංවේගයක් ඇති විය.

බන්දුගේ කැමරාවේ විදුලි බුබුළු දැල් විය. ප්ලෑෂ් බල්බ් කීපයක්ම පිළිස්සී ගියේය.

'අපි පුතා එක්ක පින්තූරයක් ගම්මු' බන්දු කීවේය.

'මම ඔය තාරපැටියා ගීතය කිව්වේ මෙයාට' හෙන්රි සුරතල් පුතු තුරුලු කර ගත්තේ මෙයාට නම් ඇස් පෙනෙනවා. ඒක වාසනාවක් මහත්තයෝ' හෙන්රි කිවේ බොල් හඬකිනි.

හෙන්රි ගැන තොරතුරු ලියාගෙන, පින්තූරත් අරන් අපි ඔහුගෙන් සමු ගැනීමට සැරසෙද්දී හෙන්රිගේ බිරිඳ මෙසේ කීවාය.

'මහත්තයලා හුඟාක් මහන්සි වෙලා. අනේ කහට ටිකක්වත් ලෑස්ති කරන්න බැරි වුණා. මේ මල්ලිලාටත් ස්තූතියි, මේ මහත්තුරු එක්ක ආවට' ඇය කීවේ අප සමඟ පැමිණි දෙදෙනාටය.

'අපි සරසවිය පත්තරේ ගන්නවා. කෙනෙකුට කියලා කියව ගන්නවා. මහත්තයලාගේ නම් අපි දන්නවා. බොහොම ස්තූතියි' හෙන්රි කීය.

අපි නැවත කඩය අසලට පැමිණ මුදලාලිටත්, බයිසිකල් පදවාගෙන ආ තරුණයන්ට ද ස්තුති කොට යන්නට සැරසුණු විට මුදලාලි හකුරු කෑල්ලක් සමඟ කහට කොප්ප දෙකකින්ද ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකකින් ද සංග්‍රහ කළේය.

'මගේ පුංචි දුව මහත්තයලා ගැන කිව්වා. දැක්කේ අදලු. සරසවිය පත්තරේ හැම බදාදාම කියවනවා.' මුදලාලි තම දියණිය පෙන්වමින් කීවේය.

එකල අපට ප්‍රවාහන පහසුකම් නොලැබුණි. පිටකොටුව බස් එකට නැඟුණු අපට දැනුණේ අසීමිත සතුටකි. එකල අපි මෙවැනි දුෂ්කර, එහෙත් රසබර ගමන්වලින් අසීමිත සතුටක් ලැබුවෙමු.

සරසවියේ මට වඩා ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියෙකු වූ අර්නස්ට් වඩුගේ ගේ නම හඳුනන්නේ පාසල් යන කාලයේ සිටය. ගිංතොට අර්නස්ට් කුමාර වඩුගේ ලියූ ලිපි මා ආසාවෙන් කියවා තිබුණි. ඔහු නිතර සිනාමුසුව කතා කරන, කාටත් උදව් කරන නිහතමානී තරුණයෙකි.

'අර්නස්ට් මම ඔස්වල්ඩ් ජයසිංහ හඳුනන්නේ නෑ. මම කැමැතියි එයා ගැන ලියන්න'

'අපි යමකෝ . . . ලබන සෙනසුරාදා යමුද? ඉන්නේ කඳානේ. මම එදාට ගෙදර ඉන්නවද කියලා අහලා කියන්නම්'

සෙනසුරාදා අර්නස්ට් කල් ඇතුව කඳානට ගොස් තිබුණා. මාත්, කැමරා ශිල්පී බන්දුත් කඳානට යන විට මඳක් පමා විය. ඔස්වල්ඩ් අපූරු සාදයක් සූදානම් කර තිබුණි. මඤ්ඤොාක්කා තම්බා, කොච්චි සම්බෝල සමඟ මේසය මත දිස් විය. අපිට හොඳටම බඩගිනි දැනිණ.

ඔස්වල්ඩ් හා බිරිඳ ලූඩ්ස් අපව ආදරෙන් පිළිගත්හ.

'අපි ඔයගොල්ලෝ එනකල් වැඩේ පටන් ගත්තා' අර්නස්ට් කීය.

බන්දුත්, මාත් තසිමකට මඤ්ඤොාක්කා බෙදාගෙන කොච්චි සම්බෝලය යහමින් බෙදා ගත්තේ 'ලුඩ්ස්ට තව සම්බෝල හදන්න වේවි' කියමිනි.

'ඕනෑ තරම් කන්න. මම හුරුල්ලෝ මාළු බැඳලා, ඌරු මස් කරියකුත් හදලා තියෙනවා' ලුඩ්ස් කිවාය.

මඤ්ඤොක්කා කෑලි කීපයක් කෑ මම අසල තිබූ භාජනයෙන් අත සෝදා ගතිමි.

'අපොයි! අපොයි! මේ දැන් ගහෙන් බාල ගෙනාපු කිතුල් රා' අර්නස්ට් නළලෙහි අත තබා ගත්තේය.

'අනේ සොරි' මම කීවෙමි.

'මම ලූඩ්ස්ට කී සැරයක් කිව්වද අත හෝදන්න භාජනයක් ගේන්න කියලා ' ඔස්වල්ඩ් බිරිඳට ආඩපාළි කීවේය.

'නෑ . . . රංජිත් අත හේදුවත් ඔය අත හොඳ අතක් නේ. මේ රා අහක දාන්න ඕනෑ නෑ, අපි මේක බොමු' කී ඔස්වල්ඩ් මා අත සේදූ බඳුනින් රා ටිකක් තම වීදුරුවට දාගත් අතර අර්නස්ට් බන්දු හා මා ද විදුරු පුරවා ගත්තේ සිනාව දෝර ගලද්දීය.

'ෂා රංජිත් අත හේදුවට පස්සේ මේකේ ටේස්ට් එක වැඩි වෙලා' ඔස්වල්ඩ් කීවේය.

'මහත්තයා තව රා මුට්ටියක් ගෙනාවා' කුස්සිය දෙසින් ආ පුද්ගලයෙක් කීවේය.

'ඕක මෙහාටම ගෙනවා නං. අපේ යාළුවෙකුට අත සෝදන්න එයා ගාවම තියාපන්' ඔස්වල්ඩ් සිනාසෙමින් කීවේය.

බන්දු, ඔස්වල්ඩ් හා ලුඩ්ස්ගේ ඡායාරූප ගත්තේය. රා බොන ගමන් මම සටහන් පොතේ තොරතුරු ලියා ගතිමි. එදා ඉස්සන් බැඳුම, බල මාළු ස්ටුව, ඌරුමස් කරිය, තිබ්බොටු මැල්ලුම, පළතුරු සලාදයකින් ද සමන්විත ලූඩ්ස්ගේ විසිතුරු කෑම මේසය දැනුත් මට මැවී පෙනෙයි. මේ අවස්ථාවන් බන්දුගේ කැමරාවට හසු වූවා නම් එය හොඳ සමරුවක් වනු නොඅනුමානය.

'සරසවිය'ට බැඳුණු පසු ශ්‍රියාණි අමරසේන, ස්වර්ණා කහවිට හා ඩග්ලස් රණසිංහ යන තිදෙනාට වැඩිපුර ප්‍රචාරය දිය යුතු යයි මම සිතුවෙමි. එයට විශේෂ හේතුවක් තිබුණි. මට සිනමා පුවත්පත් කලාවට එන්නට අතහිත දුන් ආතර් යූ. අමරසේන මහතා තම බිරිඳ වූ ප්‍රතිභාන්විත වේදිකා හා චිත්‍රපට නිළි ශ්‍රියාණි අමරසේනගේ ඡායාරූප හෝ නම පුවත්පතේ ලිපි කළේ නැත. ඉඳහිට පින්තූරයක් දෙකක් පළ වුණා මතකය. එය ද තනි පින්තූර නම් නොවේ. ගුරාට කළගුණ දැක්වීම සඳහා මම හැකි පමණ ශ්‍රියාණි ගැන ලිපි හා ඡායාරූප සරසවියේ පළ කර දුනිමි. 'කලා' චිත්‍රපට සඟරාවට ලිවීමට අත හිත දුන් ආරියරත්න කහවිට මහතාගේ සොහොයුරිය වූ ස්වර්ණා එකල ජනප්‍රිය නිළියකි. ඇයට ද ශ්‍රියාණිට මෙන්ම ප්‍රචාරයක් දුන්නා පමණක් නොව දෙදෙනාටම පසුව චිත්‍රපට ගත වූ මා නිහඬව පිටුපස සිටි 'ලස්සන දවසක්' - 'හරිම බඩු තුනක්' - 'බිනරි සහ සුදු බණ්ඩා' යන චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා මම නිර්දේශ කළෙමි. එය ඵල දැරීය.

ඩග්ලස් රණසිංහ නම් මගේ සමීප මිතුරා එකල නේවාසිකව සිටියේ දෙමටගොඩ ඇල්බියන් පාරේ ෆ්ලැට් එකකයි. එකල ඔහු ජී. ඩී. එල් ගේ 'රොමියෝ ජුලියට් කතාවක්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ රොමියෝ ලෙස රඟපෑ එම චරිතය අළලා විශේෂාංග කිහිපයක් ලියූ අතර ජී. ඩී. එල්. පෙරේරාගෙන් ඉල්ලාගෙන ඩග්ලස් හා මෝනා මංගලා රඟපෑ ඡායාරූප සහිත පිට කවර දෙකක්ම මිස්ටර් නිමල්ට කියා මම පළ කරවා දුනිමි.

'රොමියෝ ජුලියට් කතාවක්' හා 'නිම්වළල්ල' චිත්‍රපටයේ රඟපෑ මෝනා මංගලා මට හිතවත් නිළියක් වූවාය. ඒ 1969 සිටය. ඇය ඉන් පසු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට ගියාය. මෑතකදී මිය ගිය ඇය එයට මාසයකට පමණ පෙර මගේ මිතුරෙකු වූ රංජිත් හා ෆ්‍රාන්සස්ගෙන් මගේ නිවසේ දුරකතන අංකය හොයාගෙන මට කතා කළාය.

'රංජිත් හුඟාක් කාලයකට පස්සේ නේද? අපි ඒ කාලේ කොච්චර ළඟින් හිටියද? මම කතා කළේ ඔයාගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න. මට 'රොමියෝ ජුලියට්' ෆිල්ම් එකේ ච්.ඍ.ච් එකක් හොයා ගන්න ඕනෑ. ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්. මම වැඩි කලක් ජීවත් වෙන්නේ නෑ. මට කැන්සර් එකක්. ඩග්ලස්ට, ජී. ඩී. එල්. ට කියලා මේ උදව්ව කරන්න. ඒක බලලා මට මැරෙන්න ඕනෑ' ඇයට කතා කර ගැනීමට නොහැකි විය. ඇය ඕස්ට්‍රේලියාවේ ටෙලිෆෝන් අංකය ද දුන්නාය.

මම ජී. ඩී. එල්. ට හා සුදත් සිල්වා (ඒ චිත්‍රපටයේ නිෂ්පාදක සංඝදාස සිල්වා මහතාගේ පුත්‍රයා) කතා කළෙමි. ඔවුන් කීවේ එහි එකදු පිටපතක් හෝ නැති බවත් මෝනාගේ අන්තිම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වීම බලවත් කනගාටුවක් බවය. 'විරාගය' චිත්‍රපටය ච්.ඍ.ච්. මාධ්‍යයෙන් දොරට වැඩීමේ උලෙළට සහභාගි වූ අවස්ථාවේ ඩග්ලස්ට ද මෙය කීවද ඔහුට ද එය ඉටු කළ නොහැකි වීම ගැන මා මෙන්ම දුක් වුණේය.

1970 අග 'තුං මං හන්දිය' චිත්‍රපටය තිරගතවීම ආරම්භ වුවත් එය වාණිජ අතින් අසාර්ථක වීමේ ලකුණු පහළ වන අවස්ථාවක එහි නිෂ්පාදක චිත්‍රා බාලසූරිය සරසවිය කර්තෘ මණ්ඩලයට ආවේ කලබලයෙනි. ඔහු නතර වූයේ කර්තෘ විමලසිරි පෙරේරාගේ කාමරයේය.

'විමල් මගේ ෆිල්ම් එකට උදව් ඕනෑ. මේ වෙලාවේ මට කරන්න පුළුවන් දෙයක් කරන්න' චිත්‍රාගේ කටහඬ අපට ද පැහැදිලිව ඇසුණේය.

තුං මං හංදිය' චිත්‍රපටයට කළ හැකි දේ ගැන විමලසිරි මහතා ලක්ෂ්මන් හා සෝමවීර කැඳවා කතාබස් කොට මට කාමරයට එන්නැයි කිවේය.

'ලබන පත්තරයේ මහගම සේකර ගැන මැද පිටුව ලියන්න' කර්තෘ මහතා මට රාජකාරියක් පැවරීය.

මෙය මම බලා සිටි අවස්ථාවකි. මගේ ප්‍රියතම කලාකරුවා පුංචි කාලේ දැක තිබුණි. ඔහුගේ නිවසට යාමේ ආසාවක් ද තිබුණේය. එතෙක් මහගම සේකරයන් ගැන සරසවිය වැඩිපුරම විශේෂාංග ලියා තිබුණේ චන්ද්‍රසිරි සෙනෙවිරත්නය. තුං මං හන්දිය නවකතාවත්, චිත්‍රපටයත් බලා මම මහත් ආස්වාදයක් වින්ඳෙමි.

එදින දහවල් චන්ද්‍රසිරි සෙනෙවිරත්න 'සරසවිය'ට ආවේය. (අද චන්ද්‍රසිරි මහනුවර අධිකරණයේ ප්‍රකට නීතිඥවරයෙකි. ලේඛකයෙකි).

'සෙනෙවි මචං, මට පොඩි උදව්වක් ඕනෑ. ලොක්කා කිව්වා සේකර ගැන ආටිකල් එකක් ලියන්න කියලා. මම සේකරගේ ගෙදර තියෙන තැන දන්නේ නෑ. උඹට පුළුවන් ද මාත් එක්ක ගම්පහ යන්න එන්න.'

'ඕකත් අහන්න ඕනෑ දෙයක්ද? මේ වෙලාවේ සේකරට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරමු. හෙට හැන්දෑවට ගම්පහ යමු' චන්ද්‍රසිරි සෙනෙවිරත්න කිවේය.

සෙනෙවි පත්‍ර කලා ලෝකයේ හිත හොඳ මිතුරෙකි. අපි දෙදෙනා පසු දින සවස ගම්පහ ශ්‍රී බෝධි පාරේ සේකරගේ නිවසට ගියෙමු. එදා හොදට හඳ පායා තිබූ හැටි මට අද මෙන් මතකය. අපි තුං මං හන්දිය ගැන තොරතුරු බොහෝ වේලාවක් කතා කළෙමු.

'සේකර මහත්තයා තුං මං හන්දිය රූප ගත කරන ගමන් තිර නාටකයේ ඒ රූප රාමු ඇඳලා තියෙනවා කියලා ජෝ අයියා (ජෝ අබේවික්‍රම) කිව්වා. ඒ රූප රාමු ටිකක් අපට දෙන්න. මේ ලිපියත් එක්ක පළ කළාම අගය වැඩි වේවි' මම කීිවෙමි.

'ඒ රූප රාමු නේද' ඔහු කල්පනා කළේය.

'මගේ තිර නාටකය ලිව්ව පිටපතේ මැහුම් කොල වගයක් අලවලා. ඉන්න මං අරං එන්නං' සේකර ගේ තුළට ගියේය.

සේකර තිර නාටකය ලියූ පොත රැගෙන ආවේය.

'හිටින්න අපි තේ කෝප්පයක් බීලා ඉමු' ඔහු යළිත් ගේ තුළට ගියේය.

මම චන්ද්‍රසිරිගේ මුහුණ දිහා බැලුවෙමි.

තිර නාටකයේ ගැලවුණු පිටු අතරින් ඔහු අඳින ලද රූප රාමු සහිත පිටු දෙක ගලවා මම සාක්කුවේ දමා ගතිමි. මේ පුංචි හොරකම කළේ සරසවිය පාඨකයන් වෙනුවෙනි. ඒ රූප රාමු සහිතව සේකරගේ ලිපිය සරසවියේ මැද පිටු දෙකේ පළ විය. තුං මං හන්දියට මගේ පුංචි ශක්තියෙන් කළ උපකාරයට සේකරත්, නිෂ්පාදක චිත්‍රාත් බොහෝ සේ අගය කළහ.