|
ඔයා අද හරි ලස්සනයි
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්රශිල්පී අරවින්දගේ සිතුවමින්
වහලේ උළු කැට මෑත් වූ තැනකින් වැටුණ එළිය ඇඳ මතට වැටී තිබිණ. මානවී ඇඳට වැටුණු ආලෝකය මත අත තැබුවාය. ඇයගේ සුරත එළිය විණ. මේ එළිය කාලය සමඟ ගමන් කරනු ඇත. ඇඳට ඉහළින් මෙබඳු සිදුරක් තිබෙනු ඇය පෙරදා නොදුටුවාය. එය කුඩා ආලෝක සිදුරකි. වැසි දවසට මේ සිදුරෙන් ජලය ගලනු ඇතිදැයි ඇයට සිතිණ. ගමේ මහ ගෙදර වැහි දවසට අත්තම්මා සමඟ හට්ටි මුට්ටි අරගෙන වැහි බිංදු එක් කළ අයුරු ඇයට සිහියට නැඟිණ. සුජිත් යන්නට ගොස් මහා වේලාවක් වූයේ නැත. ඔහුගේ ස්පර්ශයෙන් ලද ප්රහර්ශය මානවී විටෙක සතුටින් මෙන්ම තවත් විටෙක දුකකින් ද සිහිපත් කළාය. අම්මා වැඩපොළට උදෑසනින්ම ගියාය. මානවී පිබිදුණේ ඇඟේ තෙහෙට්ටුවත් එක්කය. සියල්ලම වැඩ රාජකාරිවලට ගිය පසු මානවී ළිඳ ළඟට ගොස් හිත පිරෙන්නට නාගත්තාය. ඇය ආපසු කාමරයට එද්දී ඇය දුටුවේ ගෙහිමි කාන්තාව ගෙයි පිළිකන්නේ අසුනක නින්දට ගොස් සිටි අයුරුය. ඇය හීන්සීරුවේ දොර වසා ගත්තාය. ජංගම දුරකතනය පිරික්සා බලන්නට ඇයට සිත් වූයේ ඒ අතරවාරයේය. සුජිත් තුන් වතාවක්ම එම කෙටි කාලය ඇතුළත දුරකතනයට ඇමතුම් දී තිබිණ. 'සුජිත් අයියා' 'කොහෙද අප්පෙ මෙච්චර වෙලාවක්' 'මං නෑවා' ඇය දඟ හඩින් පැවසුවාය. 'අපරාදෙ නඩු දාන්න තිබුණේ' 'අපොයි අපි හැමදාම නානව' 'එහෙනං දැන් සුවඳ ඇති' මානවී කිසිවවක් පවසන්නට ගියේ නැත. යළිත් සුජිත් කටහඬ අවදි කළේය. 'අම්මා කෝ?' 'උදෙන්ම වැඩට ගියා' 'මං එහෙනම් එන්නද?' 'මොකටද?' ඇය ඇසුවේ සමච්චලයට මෙනි. එහෙත් එය නොකියා කරන ආරාධනාවක් වැන්න යැයි සුජිත්ට වැටහිණ. 'සුවඳ බලන්න' ඇය කතා නොකළාය. 'මං එනවා' ඇගෙන් පිළිතුරක් නොලත් තැන ඔහු කියා සිටියේය. ඇය ඔහු ඊළඟට කියයන්නේ කුමක්දැයි අසන්නට නිහඬව සිටියාය. ඔහු අනතුරුව කිසිවක් පැවසුවේ නැත. දුරකතනය විසන්ධි විණ. ඇය ඇඳ මත වාඩි වූවාය. කාමරය වහා අස්පස් කරන්නට ඇයට වුවමනා විය. නිර්මලා කොහොමටත් කාමරය පිළිවෙළකට තබන්නීය. මානවී එය තවත් හැඩ කළාය. පාරේ වාහනයක් යන යන වතාවට ඈ කර ඔසවා බැලුවාය. පැය භාගයක් ගත විණ. යළිත් සුජිත්ට කතා කළ යුතු යැයි ඇයට සිතිණ. ඇය දුරකතනය අතට ගත්තේ ඒකටය. එහෙත් යළිත් ඇය දෙගිඩියාවට පත්විණ. අම්මා නැති අතරතුර තරුණයෙකු ගෙන්වා ගැනීම නොමැනයි ඇයට සිතිණ. ගත වූ දවස පුරා මානවීගේ හැඟීම් වෙනස්ව තිබිණ. කිසි කලක ඇය පිරිමින්ට එතරම් සමීපව කටයුතු නොකළාය. මිනිසුන් සහ ගැහැනුන් මෙතරම් නිදහසේ හැසිරෙන ලෝකයක් ඇය මෙයට පෙර දැක නොතිබිණ. ජිතේන්ද්‍ර ඇය සිප ගන්නට තැත් කළේය..... ධර්මලාල් ඇය ඉදිරියේ බොහෝ කතා පැවසුවේය. අවසානයේ ඇය ආපසු සුජිත්ට සමීපවය. සුජිත් තමන්ට වුවමනාවටත් වඩා සමීප වන්නේ යැයි ඇයට සිතිණ. එහෙත් එයින් මිදෙන්නට ඈ වෑයම් නොකළාය. ඇ හීන්සීරුවේ යළිත් කර ඔසවා බැලුවාය. ඇගේ සියොළඟ දහඩියෙන් තෙත් විණි. සුජිත් ගෙයි ඉදිරි පඩි පෙළ නඟිමින් සිටියේය. මහලු ගැහැනිය පිබිදෙතැයි ඇයට වහා සිතිණ. එබැවින් මානවී වහා කාමරයේ දොර හැරියාය. සුජිත් දෙර විවර වන අන්දම දුටුවේය. එකවරම ඔහු දුටුවේ මානවීය. ඇය තමා කාමරයට ඇද ගනු ඇතැයි සුජිත් කිසි විටෙකත් විශ්වාස නොකළේය. එහෙත් සිදු වූයේ එයයි. 'කවුරු හරි දැක්කනම්' මානවී කෙඳිරි ගෑවාය. සුජිත් සිනහවක් නඟා ගන්නට උත්සාහ කළේය. අනතුරුව ඔහු ඇඳ මත වාඩි විණ. ඔහු ඇය දෙස බැලුවාය. හිතුවක්කාරකමක් කළ ද එකවරම ඇය නිසොල්මන්ව බලා සිටි අයුරු දුටු සුජිත්ට සිනහවක් උපදින්නට සමත් විය. ඔහු ඇගේ අතින් ඇද ඇය තමා ළඟින් වාඩි කර ගත්තේය. අනතුරුව ඇගේ මුහුණ දෙස බලා සිටියේය. අතොරක් නැතිව ඇයගේ දෙතොල සිප ගන්නට නැගුණ ආසාව ඔහු මැඬ පවත්වා ගත්තේය. ඉක්මන් වන්නට අවශ්‍ය නැති වග ඔහු තේරුම් ගෙන තිබ්ණි. සුජිත් බදා වැළඳ ගන්නට මානවීට ද ආසාවක් උපන්නාය. 'ඔයා අද හරි ලස්සනයි' සුජිත් හීන්සීරුවේ විමසුවේය. දිගු කලට පසු නෑඹුල් යුවතියකගේ සුවඳ ඔහු සිතින් ස්පර්ශ කළේය. 'මං ආසයි දිගටම ඇට් කරන්න' මානවී පැවසුවාය. 'මං කිව්වේ ඔයා ලස්සනයි කියලා' තම මාතෘකාව ඇය වෙනතක පෙරලූ අයුරු වැටහුණු සුජිත් පැවසුවේය. 'ඒක අපේ අම්මත් කිව්වා' 'අම්මා විතරද එහෙම කිව්වේ' 'ම්හ්, අපේ අත්තම්මාත් කිව්වා' මේ කෙල්ල අහිංසක තාලයට සිටිය ද වචන සමඟ සෙල්ලම් කරන්නට හපන් එකියකැයි සුජිත් සිතා ගත්තේය. 'දැන් මාත් කියනවා' 'ඒක තමයි මං ගණන් කළේ' 'මොනවද?' 'මං ලස්සනයි කිව්ව අය ගැන' අනතුරුව ඔවුහු ඊළඟ වචනය අරඹන්නට කල්පනා කළහ. 'ආයෙ ෂූටිං හෙට. ඊට පස්සේ දිගටම ඔයා එන්න ඕනෑ' සුජිත් පැවසුවේය. ඔහු කොට්ටය ඇඳ විට්ටමට තබා දිග හැරුණේය. ඔහුගේ පායුග සරසා තිබුණේ අලුත් පාවහන් යුගලකි. 'අම්මා එයි' මානවී එවර කෙඳිරි ගෑවාය. 'ඇයි අම්මා අද හාෆ් ඩේ දැම්මද?' සුජිත් ඇසුවේ ඔලොක්කුවටය. මානවී ඔහුගේ දණ හිස මත නිකට තබා ගත්තාය. 'ඇඳ කිළිටු කරන්න එපා' අනතුරුව ඇය අනතුරු අඟවන ස්වරයෙන් පැවසුවාය. ඔහු ඇගේ මුහුණින් අල්්ලා ඔහු වෙත සමීප කර ගත්තේය. 'හොර කෙල්ල' මානවී එතරම් පහසුවෙන් තමනට සමීප වනු ඇතැයි සුජිත්ට සිතුණේ නැත. ඇය දෑස පියා ගත්තාය. ඔහුගේ උණසුම තවත් විඳින්නට තිබේ නම් කදිම යැයි ඇයගේ සිත බල කරන්නට විය. ඔහු හීන්සීරුවේ ඇගේ දෙතොලට ළං විණි. ඇයගේ සිනිඳු අත ඔහුගේ උරහිසට ළං වූයේ ද ඒ මොහොතේය. සීමාව නොඉක්මවා යන්නට දෙදෙනාම වග බලා ගත්තා වැනිය. අතොරක් නැතුව නැඟෙන හාදු වැස්සට පිඩාවක් නොවන අයුරින් ඉවත් වන්නට මානවී වග බලා ගත්තාය. හීන්සීරුවේ සුජිත් පිටව ගියේ මානවීගේ නළළත සිපගනිමිනි. කිසිවකුගේ හෝ ඇස් වසා රිංගා ගත් ආකාරයටම ඔහුට පිටව යන්නට හැකි විය. ඔහු පිටත්ව ගිය පසු කැඩපත ඉදිරියට ගිය මානවී සිය මුහණෙහි වෙනස්කමක් ඇද්දැයි හොඳින් පිරික්සා බැලුවාය. අනතුරුව කැඩපතට විරිත්තුවාය. මොහොතකට පෙර විඳි සුවය සිහිපත් කරන්නට ඇයට වුවමනා විය. මානවී පසුදා රූ ගැන්වීමට ගියේ ද ඒ ප්‍රබෝධයෙනි. ඇය කාටත් හොරා හීන්සීරුවේ සුජිත්ගේ අත කොනිත්තා කාමරයට ගියාය. 'මානවීව අඳුනගන්න ඕනෑලු' දිනේෂ් කාමරයට එබිකම් කළේය. මානවී ද එබිකම් කළාය. 'මේ අපේ ප්‍රොඩියුසර් නිරංජන්'
ලබන සතියේ ප්රෙඩියුසර්ගෙන් අලුත් යෝජනාවක්... |