වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලිවිෂනයට සංස්කෘතියක්

ටෙලිවිෂනයට සංස්කෘතියක්

මහාචාර්ය විමල් දිසානායක

සිනමාව, රූපවාහිනිය හා සාහිත්‍ය පිළිබඳ පුරෝගාමී විද්වතෙක් වන මහාචාර්ය විමල් දිසානායක පේරාදෙණිය ගුරු කුලයෙන් බිහි වූ ස්වාධීන බුද්ධිමතෙකි. අන්තර් ජාතික සිනමා උත්සව ජූරි කිිහිපයක සාමාජිකයෙක් හැටියට කටයුතු කර ඇති ඔහු සිනමාව, රූපවාහිනී කලාව ගැන කෘතීන් කිහිපයක් රචනා කර ඇත. ඔහු හවායි සරසවියේ 'ඊස්ට් - වෙස්ට්' ආයතනයේ සන්නිවේදන විෂය පිළිබඳ මහාචාර්යවරයාය. මෙම ලිපිය පසුගිය 8 දා කොළඹ සරසවියේ නව කලාගාගරයේදී 'රූපවාහිනිය හා කලා රසඥතාව' නමින් කළ දෙසුමේ සටහනයි.

රූපවාහිනිය වර්තමානය වන විට විශ්ව ව්‍යාප්ත ප්‍රකාශන මාධ්‍යයක් බවට පත්ව ඇත. එහි ව්‍යාප්තිය ගැන සාකච්ඡා කිරීමේදී සන්නිවේදන ඉතිහාසය විමසිය යුතුය. එවිට අවස්ථා පහක් හමුවේ. කිසියම් භාෂා භාවිතයක් පැවැති අවස්ථාව මුල් අදියර ලෙස ද, ලේඛනකරණය ඇතිවීම දෙවන අවස්ථාව ලෙස ද දැක්විය හැකිය.

ලේඛනකරණය ඇති වුයේ භාෂා භාවිතය ඇති වී සෑහෙන කලක් ගත වූ පසුවය. තෙවන අවස්ථාව වන්නේ මුද්‍රණ ශිල්පයේ බිහිවීමයි. චන්ද්‍රිකා හා නවීන තාක්ෂණය නිසා විද්‍යුත් නාළිකා සංවර්ධනය වීම සන්නිවේදන ඉතිහාසයේ පස්වැනි අවස්ථාවයි. රූපවාහිනිය අයත් වන්නේ සිව්වෙනි හා පස්වෙනි අවස්ථාවන්ටය.

රූපවාහිනිය සන්නිවේදන මෙවලමක් ලෙස 1920 දී පමණ මතු වුවත්, එය ලෝක ව්‍යාප්ත ප්‍රකාශක මාධ්‍යයක් බවට පත් වූයේ 1950 දී පමණය. රූපවාහිනිය සැලකෙන්නේ විනෝදාස්වාදන මාධ්‍යයක් ලෙසය. නමුත් එය සමාජයට දැඩි බලපෑමක් ඇති කෙරෙන මාධ්‍යයකි. දිගු කලක් දිවයිනෙන් බැහැරව සිටීම නිසා මෙරට රූපවාහිනී මාධ්‍යයේ හැසිරීම ගැන මට සමීප අත්දැකීමක් නැත. එහෙත් අන්තර් ජාතික මට්ටමින් මේ මාධ්‍යයේ හැසිරීම ගැන කරුණු දැක් විය හැකිය.

නිදසුනක් වශයෙන් මැලේසියාවේ චැනල් - 4 රූපවාහිනි නාළිකාව ආරම්භ කරන විට යුනෙස්කෝව මඟින් කරනු ලැබූ ආරාධනයකට අනුව එහි කාර්යභාරය ගැන උපදෙස් ලබාදීමක් මම කළෙමි. මෙවැනි කටයුතු නිසා අන්තර්ජාතික වශයෙන් රූපවාහිනියේ දායකත්වය ලබා ගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් මා තුළ ඇත.

රූපවාහිනිය ජන ජීවිතයට බලපෑම් කරන ප්‍රබල මාධ්‍යයක් බව මම පෙර දි සඳහන් කළෙමි. ඒ ගැන උදාහරණයක් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය බලයට පත්වීමේ සිදුවීම ඇසුරින් පැහැදිලි කළ හැකිය. මෙම ප්‍රපංචය ගැන ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් හා එක්ව මම 'ඉන්දියාවේ ජනප්‍රිය සංස්කෘතිය හා රූපවාහිනිය' යනුවෙන් ග්‍රන්ථයක් ද රචනා කළෙමි.

එහිදී පෙනී ගිය කරුණක් වූයේ 'රාමායණය' නමැති වීර කාව්‍යය රූපවාහිනිය මඟින් කොටස් වශයෙන් විකාශය වීම හා භාරතීය ජනතා පක්ෂය මුල්වරට ඉන්දියාවේ බලයට පත්වීම යන සිදුවීම් දෙක අතර අනේ‍යීන්‍ය සම්බන්ධයක් ඇති බවය. ඉරිදා දිනවල 'රාමායණය' ටෙලි නාට්‍යය විකාශය වූ අතර එය විකාශය වන මෙහොත එළඹෙන විට සමාජයේ සියලු ස්තරයේ ආගමික පූජාවකට සහභාගි වන්නාක් මෙන් මෙම ටෙලි නළුව නරඹන අයුරු මම දැක ඇත්තෙමි.

ඊට අමතරව කතාබහ කරන විලාසය යනාදී රූපමය හැඟවුම් කාරකයන්ට ද රූපවාහිනිය දැඩි ලෙස බලපානු ලබයි. මෙය ශ්‍රී ලංකාවට ද අදාළය. මෙහිදී මතුවන ගැටලුව වන්නේ එය වටහා ගන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා යොදා ගනු ලබන නිර්ණායක දෙකක් ඇත.

පළමුවැන්න අන්තර්ගතය විශ්ලේෂණය කිරීමය. එනම් රූපවාහිනී වැඩ සටහන්වල ප්‍රධාන අංග ලක්ෂණ ගැන විවරණයක් සැපයීමය. දෙවැන්න වනුයේ ආධාරක බලපෑම අධ්‍යයනය කිරීමය. එනම් රූපවාහිනිය බාල පරපුර, ජනතාව කෙරෙහි බලපාන ආකාරය ගැන මුල් අවධියේ පටන් වර්තමානය දක්වා ලොව පුරා සිටින සන්නිවේදන විද්‍යාඥයෝ විග්‍රහයන් ඉදිරිපත් කර ඇත.

මෙම එළඹුම්වල කිසියම් වෙනසක් මෑත කාලයේ සිදුව ඇත. එහිලා සන්නිවේදන විද්‍යාඥයන් තිදෙනෙක් බලපා ඇත. රේමන්ඩ් විලියම් ප්‍රබල බලපෑමක් කළ විද්වතෙකි. ඔහුගේ අරමුණ වනුයේ රූපවාහිනිය සංස්කෘතික ප්‍රතිඵලයක් ලෙස අගය කළ යුත්තේ කෙසේද යන්න දැක්වීමය. රූපවාහිනිය බිහිවන්නේ කෙබඳු ආයතනික පරිසරයකද, ඒ සඳහා බලපාන දෘෂ්ටිවාද කවරේද, ජනතාවට එය බලපාන්නේ කෙසේද වැනි කාරණාවන් ඔහු දක්වයි. එලෙස සංස්කෘතික දෘෂ්ටි කෝණයකින් රූපවාහිනියේ බලපෑම විග්‍රහ කිරීම රේමන්ඩ් විලියම්ස්ගේ වෑයම විය.

දෙවැන්නා ජෝන් කිට් නමැති අමෙරිකන් විචාරකයාය. 'ටෙලිවිෂන් සංස්කෘතිය' නම් ග්‍රන්ථය මඟින් ඔහු පෙන්නුම් කිරීමට වෑයම් කළේ ජනප්‍රිය සංස්කෘතියේ දක්නට ලැබෙන විරෝධාකල්පයන්ය. සම්මත බලවේගයන්ට එරෙහිව මතුවීමේ ශක්තියක් ජනප්‍රිය සංස්කෘතිය සතුව ඇත. ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන ප්‍රධාන වාහකය වන්නේ රූපවාහිනියයි. ඒ නිසා රූපවාහිනිය මඟින් විරෝධාත්මක අංග ලක්ෂණ ප්‍රකාශ කළ හැකි බව ඔහු විග්‍රහ කරයි.

රේමන්ඩ් විලියම්ස් මාක්ස්වාදී නැමියාවක් ඇති විචාරකයෙක් වන අතර ජෝන් කිට් පශ්චාත් නව්‍යවාදී විචාරකයෙකි. තෙවැන්නා ජෝන් ටර්නර්ය. ඔහු රූපවාහිනියේ විවිධ සංස්කෘතීන් පොදු ජනයා කෙරෙහි බලපාන ආකාරය දත්ත ඇසුරින් විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය. රූපවාහිනිය අධ්‍යයනයේදී මෙම විද්වතුන් තිදෙනා ඉදිරිපත් කළ අදහස් ඇසුරේ විග්‍රහ කිරීම ඉතාම වැදගත්ය.

රූපවාහිනිය විනෝදාස්වාදන මාධ්‍යයක් වුවත් එහි සංජානනාත්මක පක්ෂයක් ද ඇත. ප්‍රවෘත්ති, ශාස්ත්‍රීය වැඩ සටහන් එය නියෝජනය කරයි. සංජානන කොටසේ විශ්මයජනක වර්ධනයක් සිදුව ඇත. සී. එන්. එන්. වැනි ආයතන මුළු ලෝකයම ඒකාබද්ධ කිරීමක් කර ඇත. නමුත් කලාත්මක වශයෙන් එවැනි දියුණුවක් ලැබූ බව පැවසිය නොහැකිය. අමෙරිකාව වැනි රටක නාළිකා සිය ගණනක් දැකිය හැකි වුවත් විශිෂ්ට නාළිකා ඇත්තේ 15 - 20 අතර ගණනකි. ඒවායේ විශිෂ්ට ඔපෙරා, ශේක්ෂ්පියර් නාට්‍ය, උසස් චිත්‍රපට යනාදිය පෙන්වයි. නමුත් බොහොමයක් නාළිකා විකාශය කරන්නේ ඉතාමත් අශ්ලීල වැඩසටහන්ය.

'සෝප් ඔපෙරා' නැතහොත් අපේ රටේ හඳුන්වන ආකාරයට 'ටෙලි නාට්‍ය' ගැන විමසා බැලිය යුත්තේ මෙම පසුබිම තුළය. තිලක් ජයරත්න පිටපත ලියා ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ 'කඩුල්ල' වැනි ටෙලි නාට්‍යයක් රූපවාහිනී මාධ්‍යයේ ශක්‍යතාව පෙන්වනු ලැබූව ද, පොදුවේ සලකා බලන විට රූපවාහිනි මාධ්‍යයේ දුර්වලතා දැකගත හැකිය. සෝප් ඔපෙරා රූපවාහිනියේ ශක්‍යතා හා දුර්වලතා වටහා ගැනීමට අපට රුකුලක් ලබා දෙයි.

සෝප් ඔපෙරා භාවාතිශය නාට්‍යය විශේෂයකි. එය ප්‍රථමයෙන් මෙක්සිකෝව, උතුරු අමෙරිකාව, ජපානය, කැනඩාව, යුරෝපය වැනි රටවල ප්‍රචලිතවීමට පටන් ගත්තේය. ඉන් පසුව ලෝකය පුරා පැතිරෙන්නට පටන් ගත්තේය. ජපන් සෝප් ඔපෙරා අපරදිග රටවල මෙන්ම පෙරදිග රටවල ද ප්‍රචලිත විය. ලංකාවේද හඬ කවා ප්‍රදර්ශනය කළ එවැනි ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ලෙස 'ඔෂින්' දැක්විය හැකිය. වර්තමානයේ ටෙලි නාට්‍යය වැදගත් කේන්ද්‍රයක් ලෙස කොරියාව සැලකේ. ඔවුන් නිපදවනු ලැබූ ටෙලි නාට්‍යය ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත.

සෝප් ඔපෙරාව රූපවාහිනී මාධ්‍යයට ඉතාමත් සමීපව සම්බන්ධව ඇත. මෙම නාට්‍යය සම්ප්‍රදායික රස මාපකයන්ට අනුව අකැප යැයි පැවසිය හැකිය. නමුත් මතු කළ යුතු ප්‍රශ්නය වන්නේ මෙම මාධ්‍යය මඟින් උසස් කලාවක් බිහි කළ හැකිද යන්නයි. එනම් රූපවාහිනී මාධ්‍යයට ආවේණික වූ සෞන්දර්යවේදයක් තිබේද යන්නයි. එවැනි සෞන්දර්යවේදයක් බටහිර රටවල මෙන්ම පෙරදිග රටවලද තිබී නැත.

ඡයාරූප ශිල්පය මතු වන විට චිත්‍ර කලාව තිබූ නිසා එහි නිර්ණායක උපයෝගී කරගෙන ඡායාරූප කලාව විග්‍රහ කිරීමට ආරම්භක කාලයේදී සමහරු උත්සාහ ගත්තේය. එය සාර්ථක නොවූ අතර ඒ වෙනුවට ඡායරූප ශිල්පයටම අනන්‍යය වූ නිර්නායක මතු විය. මෙයට සමානව චිත්‍රපටය බිහි වූ මුල් අවධියේ නාට්‍ය කලාවේ සිද්ධාන්ත උපයෝගී කරගෙන චිත්‍රපට විග්‍රහ කරනු දැක ගත හැකි විය. එම තත්ත්වය ද වෙනස් විය.

නමුත් අප අදටත් රූපවාහිනි ටෙලි නාට්‍ය විග්‍රහ කිරීමට යොදා ගන්නේ චිත්‍රපට කලාවට අදාළ සිනමා සිද්ධාන්තයන්ය. සිනමාව සාමූහිකත්වයට මුල් තැන දුන් විවෘත, විශාල තිරයක ප්‍රක්ෂේපණය කෙරෙන දෘශ්‍යමය අත්දැකීමකි. රූපවාහිනියට ආවේණික වූ විශේෂතා වටහා ගත් සෞන්දර්යවේදයක් රූපවාහිනි නිර්මාණ ඇගැයීම සඳහා අවශ්‍යයය.

මෙම පදනම මත 'සෝප් ඔපෙරාවල' දැක ගත හැකි ලක්ෂණ කිහිපයක් දැක් විය හැකිය. අඛණ්ඩත්වය එක් ලක්ෂණයකි. අමෙරිකාව වැනි රටවල වසර 25 ක් වැනි දීර්ඝ කාලයක් විකාශය වන ටෙලි නාට්‍ය දැක ගත හැකිය. නළුවන් ද චරිත සමඟම වියපත් වේ. විශාල කාල පරිච්ඡේදයක් තුළ විකාශය වීම දෙවැන්නයි. තෙවැන්න චිත්‍රපටයේ දක්නට නොලැබෙන කුලුපඟ බවයි. සිව්වැන්න ක්ෂණිකත්වයයි. එය අප තුළ කිසියම් කම්පනයක් ඇති කරන නිසා රූපවාහිනි සෞන්දර්යවේදයට ඇතුළත් විය යුතුය.

රූපවාහිනිය අවශ්‍යයෙන්ම ගෘහ කේන්ද්‍රීය ප්‍රකාශන මාධ්‍යයකි. එයට අමතරව පුනරුක්තිය ද රූපවාහිනි ටෙලි නාට්‍ය කාලවේදී වැදගත් වේ. මෙම නාට්‍ය වසර ගණනාවක් තිස්සේ වර්ධනය වන විට අනිවාර්යෙන්ම පුනරුක්තියක් ඇති වේ. පුනරුක්තිය දෝෂයක් වුවත් මෙම මාධ්‍යය තුළ එය යොදා ගන්නා ආකාරය අනුව ගුණයක් ලෙස ද භාවිත කළ හැකිය. කාණ්ඩ වශයෙන් විකාශය වීම තවත් එක් ලක්ෂණයකි. නවකතා සම්බන්ධයෙන් මෙම කරුණ පැහැදිලි කරතොත් දිනපතා හෝ සතිපතා කුතුහලය රඳා සිටින ආකාරයට කතාව සැලසුම් කිරීමය.

චිත්‍රපටයක වැදගත් ලක්ෂණය වන්නේ අධ්‍යක්ෂවරයාය. නිෂ්පාදකයා වැදගත් වන්නේ මුදල් ආයෝජනය කිරීම සඳහාය. නමුත් ටෙලි නාට්‍යයේදී වැදගත් වන්නේ අධ්‍යක්ෂවරයා නොව නිෂ්පාදකවරයාය. එයට හේතුව වසර 15 ක් වැනි දිගු කාලයක් විකාශය වන ටෙලි නාට්‍යයක එක් එක් සතිවල විවිධ අධ්‍යක්ෂවරුන් සිටිය හැකිය. නමුත් ටෙලි නාට්‍යයේ ආරම්භයේ සිට අවසානය දක්වා සියල්ල මෙහෙය වන්නේ අධ්‍යක්ෂවරයා නොව නිෂ්පාදකවරයාය. ඒ නිසා අමෙරිකාවේ හා යුරෝපයේ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් නිෂ්පාදකවරයාට විශාල වගකීමක් ඇත. සෞන්දර්යවේදයක් සකස් කිරීමේදී එම කරුණ ද වැදගත් වේ.

සම්මත චිත්‍රපට කලාවට අනුව දුර රූපය, මධ්‍යම රූපය හා සමීප රූපය යනුවෙන් රූප තෙවර්ගයක් වේ. දුර රූපය පසුබිමත්, මධ්‍යම රූපය ක්‍රියාව, ගැටුම යනාදියත් සමීප රූපය භාවාතිශය අවස්ථා නිරූපණය සඳහාත් යොදා ගනු ලබයි. නමුත් රූපවාහිනිය මුළුමනින්ම පාහේ සමීප රූපය පදනම් කරගත් සෞන්දර්යවේදයකි.

චිත්‍රපට කලාවේදී දැක ගත හැකි වූයේ එක් උච්ච අවස්ථාවක් වුවත් වසර ගණනාවක් විකාශය වන ටෙලි නාට්‍යවල උච්චස්ථාන ගණනාවක් දැක ගත හැකිය. මෙම කරුණු කලාත්මක වශයෙන් පරීක්ෂා කොට සෞන්දර්යවේදයක් සකස් කිරීමේ වගකීමක් අප සතුව ඇත.

රූපවාහිනියේ සමාජ විද්‍යාත්මක අංශය ගවේෂණය කිරීම කෙරෙහි පමණක් බටහිර අධ්‍යයන යොමුව ඇත. ඔවුන් මෙම ගැටලු සමාජීය දෘෂ්ටියකින් විග්‍රහ කරතත්, සෞන්දර්ය විද්‍යාත්මක ලෙස මෙම ගැටලුව විග්‍රහ කිරීමට තවම උත්සාහයක් දරා නැත. මෙම කරුණ ගැන අවධානය යොමු කිරීම ආසියාතිකයන් වන අපෙන් ඉටු විය යුත්තකි.

සියලු ඕලාරික භාවිතයන් තිබියදී වුව රූපවාහිනිය දියුණු කිරීම අපගේ වගකීමකි. වර්තමානය වන විට සන්නිවේදන විද්‍යාව විශ්වවිද්‍යාලවල පමණක් නොව ශ්‍රී ලංකාවේ පාසැල්වල ද උගන්වනු ලබයි. එම නිසා රූපවාහිනි සාක්ෂරතාව දියුණු කිරීම වැදගත්ය. රූපවාහිනි වින්දනය දියුණු කිරීම විශ්වවිද්‍යාලයේ කාර්යභාරයක් කරගත් විට එයින් උසස් රූපවාහිනි වැඩසටහන් නිපදවීමට අනුබලයක් ලැබේ.

රූපවාහිනිය පිළිබඳ විවරණාත්මක ග්‍රන්ථ පළ විය යුතුය. එයින් මා අදහස් කරන්නේ නළු වතගොත ඇතුළත් ඕපාදූප කෘතීන් නොවේ. රූපවාහිනි වැඩසටහන් පිළිබඳ විමර්ශනාත්මක කෘතීන් හා විමර්ශනාත්මක සම්මන්ත්‍රණ පැවැත්වීමය. නව අදහස් මතුවීමට එවැනි විචාරාත්මක සම්මන්ත්‍රණ වැදගත් වේ. බීබීසී ආයතනය පළ කරන 'ලිස්නර්' නම් සඟරාව එවැනි විමර්ශනාත්මක සඟරාවකට උදාහරණයකි.

සතිය තුළ විකාශය වූ ටෙලිවිෂන් වැඩසටහන් අතරින් මේවා උසස් වැඩසටහන්ය යනුවෙන් වර්ග කොට දැක්විමක් අපට කළ හැකි විය යුතුය. එය සුළු පියවරක් වුවත් ඊට විශාල බලපෑමක් කළ හැකිය.

ඊළඟ කරුණ රූපවාහිනි නාළිකාවන්ට කළ හැකි දෙයකි. තමන් කරන වැඩසටහන් ගැන ආත්ම වර්ණනාත්මක වැඩසටහන් ඉදිරිපත් කළ හැකිය. ඒවා හුදු වර්ණනා නොව රූපවාහිනි සේවාව විකාශය කරන වැඩසටහන් ගැන අවම තරමේ මසකට වරක්වත් ප්‍රසිද්ධියේ අදහස් උදහස් දැක්වීමට නරඹන්නන්ට අවස්ථාව ලබා දිය යුතුය. මා තදින්ම විශ්වාස කරන කරුණක් වන්නේ රූපවාහිනියට බැණ වැදීමෙන් පමණක් මේ තත්ත්වය වෙනස් කළ නොහැකි බවය.