වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




මට ‘දෙව්ලොව දෝණි’ ලැබුණේ මර්සි නිසා

මට ‘දෙව්ලොව දෝණි’ ලැබුණේ මර්සි නිසා

නිවේදනයෙන්, රංගනයට පිවිසි

රෝහිත හත්තොටුව

'දෙව්ලොව දෝණි' වේදිකා නාට්‍යයෙන් රංගනයට පැමිණි ඔහු නමින් රෝහිත හත්තොටුවයි. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 9.00 ට විකාශය වන 'සඳවතියේ' ටෙලි නාට්‍යයේ රයන්ගේ චරිතයට පණ පොවන රෝහිත, ටෙලි නාට්‍ය රංගනයට පැමිණියේ 'සවීණා' ටෙලි නාට්‍යයේ සුළු චරිතයකට එක්වීමෙනි. වාසුලිකන්ද, තරු පිරි අහස, අහස් ගව්ව, මිලා, මිණිපුර හටන, පිණි වැස්සක්, ආදරියේ, සඳට අහස ආදරෙයි, පබසරා වැනි ටෙලි නාට්‍යවලට ද රංගනයෙන් දායක වී ඇති රෝහිත පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණියේය.

පොළොන්නරුව සෑගල මහ විදුහලින් මූලික අධ්‍යානයද, උසස් අධ්‍යාපනය මහනුවර නුගවෙල මධ්‍ය මහ විදුහලින් ද හමාර කළ රෝහිත පාසල් අවධියේ සිටම කථිකත්වයට, නිවේදනයට හා ක්‍රීඩාවට උපන් හපන්කම් පා තිබේ. ඒ බව පසක් වනුයේ ඔහු 1997 දී ජාතික තරුණ සේවා සභාවේ 'තුරුණු ශක්ති' සෞන්දර්ය චාරිකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හොඳම නිවේදකයා ලෙස සම්මානය දිනා ගැනීමෙනි. ඉන්පසුව එනම් 1998 දී ගුවන් විදුලි සංස්ථාවේ පුලතිසි රාවය ප්‍රාදේශීය ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස සේවයට බැඳෙන රෝහිත පසුව රංගිරි ලංකා ගුවන් විදුලියේද, ලක් ජ්.ර්. හීද සිය වෘත්තීමය නිවේදන කටයුතු සිදු කරයි. නිවේදකයකු ලෙස සිය කලා ගමන ආරම්භ කළ ඔහු අද රංගන ශිල්පියෙකු ලෙස අප හමුවට පැමිණේ.

කොහොමද රංගන ජීවිතය?

බොහෝම හොඳින් සිදු වෙනවා. අලුත් අවුරුද්දේ විශේෂ වැඩකට අතගහලා තියෙනවා.

මොකක්ද ඒ විශේෂ වැඩේ?

සමාජයට වැඩදායී විශේෂ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. දැනට එහි වැඩ කටයුතු කෙරීගෙන යනවා. ඉදිරියේදී වැඩි විස්තර දැනගන්නට ලැබේවි.

ගුවන් විදුලියෙන් වේදිකාවටත්, රංගනයටත් ආපු අතීතය මතක් කළොත්?

ගුවන් විදුලියෙන් වේදිකාවට ආවේ මර්සි එදිරිසිංහ මහත්මිය නිසා. දවසක් මගේ වැඩ සටහනකට එතුමිය සම්බන්ධ වුණා. එතනදි ඇති වූ දැනහැඳුනුම්කම් මත එතුමියගේ 'දෙව්ලොව දෝණි' නාට්‍යයට සම්බන්ධ වෙන්න ඉඩහසර ලැබුණා. ඊට පස්සේ දයාසිරි හෙට්ටිආරච්චිගේ 'බොරැල්ලේ ගෙදර' වේදිකා නාට්‍යයටත්, 'හදිසියේ දීග දෙනු ලැබේ' වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වුණා. 'සවීණා' ටෙලි නාට්‍යයේ සුළු චරිතයකට එකතු වෙලයි මම ටෙලි නාට්‍ය රංගනයට ආවේ.

දැන් ගුවන් විදුලිය හා සම්බන්ධකම් නැත්ද?

සම්බන්ධකම් තියෙනවා. නැවතත් ගුවන් විදුලියේ නිවේදකයකු වෙන්න ආසාවක් නැහැ. ඒත් රූපවාහිනි වැඩසටහන් නිවේදනයට අවස්ථාවක් ලැබුණොත් භාර ගන්නවා.

ප්‍රසංග වේදිකාවේ නිවේදන කටයුතු කොහොමද?

මම ප්‍රසංග වේදිකාවට ආවේ අවුරුදු 16 ඉඳලා. ඒක ඉදිරියටත් කරනවා.

චිත්‍රපටවල රඟපාන්න අවස්්ථාව ලැබිලා තියෙනවද?

හෙක්ටර් කුමාරසිරි මහතාගේ 'අබිනික්මන' චිත්‍රපටයෙත්, මොහාන් නියාස් මහතාගේ 'මායාවි' චිත්‍රපටයෙත් රඟපාන්න ලැබුණා. තවම ඒවා තිරගත වුණේ නෑ.

දේශපාලන කටයුතුවලටත් සම්බන්ධයිනේ?

ඔව්. පහුගිය කාලේ ඉඩම් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළා. ඒ හැරෙන්න ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ දේශපාලන කටයුතුවල සක්‍රීයව නියළෙනවා.

මෙතෙක් ආ ගමන් මඟේ විශේෂ ස්තූතිය පුද කළ යුතු අය?

අප අතර නොහිටියත් මර්සි එදිරිසිංහ මහත්මියව විශේෂයෙන් මතක් කරනවා. මොහාන් නියාස්, ත්‍රිශූල දීප තඹවිට, අනුර මාධව ජයසේකර, ලක්ෂ්මන් පුෂ්පකුමාර, ජෝශප් ජෙරම්, චින්තක පතිරණ, රිහාන් රවීන්ද්‍ර වගේම ජෝතීර්වේදී මාවනැල්ලේ ජානක රත්නායක යන අයට විශේෂ ස්තූතිය පුද කරනවා. ඒ වගේම එඩ්වඩ් මල්ලවාරච්චි මහතාටත් විශේෂ ගෞරවය පුද කරනවා.

පවුලේ තොරතුරුත් පවසමු?

පවුලේ අම්මා, තාත්තා, බිරිඳ ඇතුළු දරුවන් දෙදෙනායි. දරුවෝ ඉගෙන ගන්නවා.

මගේ ලිපිනය - අනුහස් යාය 19, කෝට්ටපිටිය, බකමූණ. 0710344460.