වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




මෙගා ටෙලි නාට්‍ය කෙරුවාවේ අලුත් වංචාවක් ගැන හරිඳු වරුණ පෙරේරා කරන හෙළිදරව්ව

ටෙලි නාට්‍ය තුළ විෂබීජ පතුරුවන පිරිසක් ඉන්නවා

මෙගා ටෙලි නාට්‍ය කෙරුවාවේ අලුත් වංචාවක් ගැන හරිඳු වරුණ පෙරේරා කරන හෙළිදරව්ව

සමහර නිෂ්පාදකයන්, අධ්‍යක්ෂවරුන් හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි

මේ දිනවල පුංචි තිරයේ නිතර දෙවේලේ දකින ඔහු ඔබේ ආලින්දයට ගොඩ වදින්නේ ටෙලි නාට්‍ය නමයක රංගන දායකත්වයෙන්. හරිඳු වර්ණ පෙරේරා නම් වන ඔහුගේ රුව ඔබට බොහොම හුරුපුරුදු ඇති.

* හරිඳු ඔබ මේ දිනවල නිතර පෙනෙන චරිතයක්?

ඔව්. මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය නමයක් විකාශය වෙනවා. අලුත් ටෙලි නාට්‍ය වගේම නැවත විකාශයන් කිහිපයකුත් ඒ අතර වෙනවා. උතුම් පැතුම්, ලබැඳියේ, සුසුමට පවා රහසින් මේ දිනවල විකාශය වෙනවා. නීල පලිඟු දිය, මේඝා, ආදර වැස්ස නැවත විකාශය වෙනවා. උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ චන්දරේගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

* නිතර දෙවේලේ ටෙලි නාට්‍යවලින් දකිද්දී අගයක් නැහැ නේද?

මෙහෙමයි, මම වැඩිපුරම මෙගා නාට්‍යවලට තමයි රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙන්නේ. එකම චරිත ලක්ෂණවලින් යුතු චරිතවලට කොටු වුණොත් ප්‍රේක්ෂකයන්ට එපා වෙනවා. ඒත් දැනට විකාශය වෙන ටෙලි නාට්‍ය කිහිපයේම මගේ රංගනය එකිනෙකට වෙනස්.

* ඔබ කලාවට පිවිසෙන්නේ කොයි කාලෙද?

1989 අවුරුද්දේ තමයි මම රංගනයට යොමු වුණේ. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයට රඟපාන්න මගේ ඇති කැමැත්ත ගැන කිව්වා. ඉන් පස්සේ එතුමා මාව එවකට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ටී. එම්. සංඝදාස මහත්තයට යොමු කළා. රංගනයට ප්‍රවේශ වුණු මුල් කාලේ බොහොම සුළු චරිත තමයි ලැබුණේ. 'ඇසළ සඳ' චිත්‍රපටයට මට ආරාධනාවක් ලැබුණා.

ඒ චිත්‍රපටයේ උත්සව අවස්්ථාවක් තිබුණා. ජීවන් කුමාරතුංග මහත්තයා එතැන ඩාන්ස් කරනවා. කොහොම හරි කට් කිව්වට පස්සේ අධ්‍යක්ෂවරයා කිව්වා තෑන්ක් යූ මල්ලි කියලා. මම ඉතින් ඇහුවා මොකක්ද මගේ චරිතෙ කියලා. ඒ උත්සව අවස්ථාවේ ඩ්‍රින්ක් එකක් ගන්න එක තමා රංගනය. මේ වගේ දුක්මුසු අවස්ථාත් තිබුණා. කොහොම හරි ඉතින් හෙමින් ගොඩ ආවා.

* ඔබ කලා ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන් ද ඉන්නේ?

කලා ක්ෂේත්‍රය ගැන මගේ කලකිරීමක් නැහැ. හැබැයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ විෂබීජ පතුරුවන පිරිසක් ඉන්නවා. අපි රංගනයට හරිම ආදරෙයි. ඒ වෙනුවෙන් සෑහෙන කැප කිරීමක් කරනවා. සමහරදාට පාන්දර 2 - 3 වෙනකම් ෂූටින් තිබුණොත් ඉතුරු පැය තුන පාරෙ හරි ඉඳලා උදේ ෂූටිංවලට යනවා. රංගනය පැත්තෙන් අපෙන් ගන්න ඕනෑ දේ ගත්තට පස්සේ මුදල් ගෙවන්නේ නැහැ. මාතර ඉඳලා එන රංගන ශිල්පියෙක්ට සමහර නිෂ්පාදකවරු දෙන්නේ රුපියල් සීයයි. අද කඩයක් අතුගාන මනුස්සයකුටත් දවසට රුපියල් හත්සිය පනහක් දෙනවා.

සාමාන්‍ය කම්කරුවෙකුටත් වඩා පල්ලෙහා මට්ටමක ඉඳලා තමයි අද නළු නිළියන්ට ගෙවීම් කරන්නේ. රංගන ශිල්පීන් නිෂ්පාදක පස්සෙන් යන්න ඕනෑ මුදල් ගන්න. සමහරු ඒ ටෙලි ඩ්‍රාමා එකේ රංගන ශිල්පීන්ට ගෙවීම් කරන්න කියලා වෙනමම ප්‍රඩක්ෂන් මැනේජර් කෙනෙක් පත් කර ගන්නවා. මෙහෙම කෙනෙක්ව නමට දාලා අධ්‍යක්ෂකයි, නිෂ්පාදකයි රංගන ශිල්පීන්ට පොලු තියනවා.

හැබැයි අපිට ආරාධනා කරන්නේ ගාන වේලාසනම කතා කරගෙන. ඒත් මේ හැමදේම නමට විතරයි. සෙට් එකේදී දෙන තේ එකෙන් පවා ගාන තිතට කවර් කරගන්න හදන්නේ. ඒත් අපේ සිනමා ක්ෂේත්‍රයේ ඒ කාලේ හිටිය අධ්‍යක්ෂවරු තමන්ගේ නිර්මාණයේ ගුණාත්මක බව ගැන තමයි මුලින්ම හිතුවේ. තමන්ගේ නිර්මාණය සාර්ථක කර ගැනීමට නම් රංගන ශිල්පියාට නිසි ඇගයුමක් ලබාදිය යුතුයි කියන තැන ඔවුන් හිටියා. හැබැයි අද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මේ වගේ පහත් වැඩ කරන මිනිස්සු නිසා කලාව හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ.

* මෙගා ටෙලි නාට්‍යවල හොඳට රංගනයේ යෙදෙන සමහර චරිත ඇයි මේ එක පාරටම මරලා දාන්නේ?

සමස්ත ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටම නෙමෙයි මේ ඇඟිල්ල දිගු කරන්නේ. හැබැයි වැරැද්ද වෙනුවෙන් කතා කරන්න පසුබට වෙන්නෙත් නැහැ. එක දිගට ෂූටින් කරලා මුදල් ඉල්ලුවාම මඟහරිනවා. ඊට පස්සේ සෙට් එකට යද්දී චරිතෙ මරලා - එක්කො ඇක්සිඩන්ට් කරනවා, නැත්නම් හිරේ යවනවා.

ඊට පස්සේ අපේ මහන්සියට, කැපවීමට ගෙවීමක් කරන්නේ නැහැ. නාට්‍ය වුණත් ප්‍රේක්ෂකයින්ට නීරස වෙනවා. මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් තිරගත වෙනවා. බුදු දහම තේමා කරගත් චිත්‍රපට දෙකක් තමයි තිරගත වෙන්නේ.

හැබැයි අදටත් ඒ චිත්‍රපට දෙකටම මට ගෙවීම් කරලා නැහැ. සමහර රංගන ශිල්පීන් රංගනයේ යෙදෙන්නේ විමෝදාංශයක් විදිහට. හැබැයි රංගන ශිල්පීන් වැඩි ප්‍රමාණයක් වෘත්තීය රංගන ශිල්පීන්. සමහරු දරු පවුල්කාරයෝ. සමහර නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි. ඒ නිසාම අද කලා ක්ෂේත්‍රය සෑහෙන්න පිරිහිලා තියෙන්නේ.

* ඔබේ කලා දිවියට දැන් අවුරුදු විසිහතක්. කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම මට ගොඩක් සතුටුයි. අපේ රටේ ප්‍රේක්ෂකයෝ රංගන ශිල්පීන්ට ආදරෙයි. මඟ තොටේදි දැක්කත් චරිත ගැන, රංගන කටයුතු ගැන අහනවා. උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ 'චන්දරේ' චරිතයට ලොකු කුඩා හැමෝම කැමැතියි. විදේශ රටවල ඉන්න ප්‍රේක්ෂකයොත් නිරන්තරයෙන් අපේ රංගන කටයුතු ගැන අහනවා. සැප දුක් අහනවා. මගේ ෆේස් බුක් එකේ යාලුවෝ හැත්තෑ පන්දාහකට වැඩියි.

මම නම් අඳුරන අයට වඩා අඳුරන්නේ නැති අය යහලුවෝ කර ගන්නවා. මොකද ඒ අය විදෙස් රටවල හිටියත් අපේ නිර්මාණ රස විඳින්න හරිම කැමැතියි. මේ ලැබෙන රසික ආදරයට මම නම් ගෞරව කරනවා. අවුරුදු විසි හතක් ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන්නේ. මම කිසිම කෙනෙක්ගේ පස්සෙන් චරිත ඉල්ලගෙන ගිහින් නැහැ. මුදල් ඉල්ලලා නැහැ. නම සවුත්තු කරගෙන නැහැ. ඒ නිසා සමස්ත රංගන ශිල්පීන්ට යම් අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් මට කතා කරන්න පුළුවන්.

* ඔබේ ගමන් මඟේ ඔබට හිතැති පිරිස් ගැනත් මතක් කරමු?

මහේෂ් රත්සර මද්දුමආරච්චි, සඳුන් රුක්මල්, උපුල් ජයසිංහ ඇතුලු නිල්වලා කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා. මගේ රංගනයේ හොඳ නරක දයාබර ප්‍රේක්ෂක ඔබෙන් දැනගන්නත් මම බොහොම කැමැතියි. මට කතා කරන්න. දු. ක. 0727300300.