වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

බීබර් ලෝ වටා සංචාරයේ

ජස්ටින් බීබර් කියන්නේ එක රැයකින් ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත් යොවුන් ගායකයෙක්. පසුගිය කාලයේ ඔහු ජීවිතය ගත කළ අයුරු වගේම පෙම් හබ නිසාත් කතා බහට ලක් වුණත් සංගීත දිවියට ප්‍රධාන තැනක් නොදුන් බව දැන් ඔහු විසින්ම පිළිඅරගෙන.

ඒ කොහෙම වුණත් පසුගිය වසරේ නිකුත් කළ Purpose  ගීත එකතුවට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. එය අමෙරිකානු බිල් බෝර්ඩ් ගීත දර්ශකයේ ඉහළින්ම රැඳි සිටිමින් තවත් රටවල් රැසක ගීත දර්ශකවලත් අංක එකත් දිනා ගන්න සමත් වෙලා.

මේ උණුසුම් ප්‍රතිචාරත් එක්ක බීබර් Purpose  ලෝ වටා සංචාරය පසුගිය 09 වැනිදා වොෂින්ටන්හිදී ආරම්භ කළා. මේ වසරේ නොවැම්බර් වන විට එංගලන්තයේදී Purpose  ප්‍රසංගය පවත්වන්න නියමිතයි. Purpose  ලෝ වටා සංචාරයට බීබර් සමඟින් එක් වෙන්නේ මෝක්ෂි රයියා සහ පෝස්ට් මැලෝන්. විසිපස් හැවිරිදි රූමත් මොක්සි නිව්ජර්සි ප්‍රාන්තයේ ආදිවාසි තරුණියක්.

ජෙනිෆර්ගේ දරු සෙනෙහස

ඔස්කාර් සම්මානලාභි නිළියක වන ජෙනිෆර් ලෝරන්ස් දැන් කුඩා ළමුන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න පටන් අරන්. මෑතකදී ඇය සිය උපන් ප්‍රදේශය වන කෙන්චුකි, ලුයිස්විල්හි ළමා රෝහලකට අමෙරිකානු ඩොලර් මිලියන 2ක් පරිත්‍යාග කළා. ඇය නිතරම එම රෝහලේ ප්‍රතිකාර ගන්නා කුඩා දරුවන් බලන්නට යාම පුරුද්දක් කරගෙන.

මේ විතරක් නොවෙයි ජෙනිෆර් ලෝරන්ස් පදනමෙන් හෘද රෝගී තත්ත්වයෙන් සුවය ලබමින් සිටින දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කරලා. ඔවුන් සුවය ලබන කාලයේදී මවට හෝ පියාට දරුවා ළඟින් රැඳී සිටීමට පහසුකම් සළසන්න ගත් පියවර කාගේත් පැසසුමට ලක් වුණා.

“මට මේ දරුවන් මුණ ගැසෙන හැම අවස්ථාවක්ම විශේෂයි. ඇත්තටම මට ඔවුන් ගැන දැනෙන්නේ ආඩම්බරයක්. ඔවුන්ගේ ශක්තිය සහ ධෛර්යය මා තව තවත් ඔවුන් වෙත ළං කරන්නට සමත්” ජෙනිෆර් පවසනවා.

රූපය වෙනස් කිරීමේ අංක එක

ඕනිම කෙනෙකුට උප්තියේදී ලැබෙන රූපයක් තියෙනවා. ඒ වුණත් මේ දවස්වල සමහර අය තමන්ට උප්පත්තියෙන් ලද රූපය වෙනස්කර ගන්න තමයි වෙහෙසෙන්නේ. මහත අය කෙට්ටු වෙන්නත්, සිරුරේ තද පැහැය අඩු කරගන්නත් පුදුම තරගයක යෙදිලා ඉන්නේ. ඇත්තටම ජනපි‍්‍රය කෙනෙකුට සුන්දර සිරුරත් ආභරණයක්.

අමෙරිකාවේ රියලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක සේම නිරූපිකාවක ලෙසින් කටයුතු කරන කයිලි ජෙනර් මේ දවස්වල හිතන්නේ තමන්ගේ තරමක් මහත තොල් සිහින් කරන්න.

ඒ විතරක් නෙවෙයි ඇය රූපලාවන්‍යයෙන් තමන්ගේ රූපය වෙනස්කර ගත් කෙනෙක් විදියටත් ප්‍රසිද්ධයි. “මගේ තොල් ගැන ඇතැම් අය කතා කරන්නේ අමුතු දෙයක් විදියට. මම කලින් හිතාගෙන හිටියේ මහත තොල් ලස්සනයි කියලා. ඒ වුණත් දැන් නම් තරමක් සිහින් තොල් හොඳ බව මට හිතෙනවා” කයිලි පවසනවා.

අතීතය නිසා අත්අඩංගුවේ

ඊගල්ස් සංගීත කණ්ඩායමේ රැන්ඩි මීස්නර් පසුගියදා අත්අඩංගුවට පත් වුණා. ඒ ඔහුගේ බිරිඳ ලානා රේගේ මරණය හේතුවෙන්.

තමන්ගේ නිවසේ පොඩි ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව මරණයට පත්වීමට පෙර ලානා පොලිසියට දුරකථන ඇමතුමක් දී පවසා තියෙනවා. ඇය පිස්තෝලයක් රැගෙන කාමරයට ගිය බවත් ඉන් පසුව වෙඩි හඬක් ඇසුනු බවත් එයින් විනාඩි අනූවකට පසු රැන්ඩි පැවසුවා. මේ වනවිට හැටනම වැනි වියේ පසුවන රැන්ඩි අතීතයේදී දරුණු අයුරින් හැසිරිලා තියෙනවා. මේ නිසා තමයි රැන්ඩි සැකපිට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

කාලයක් ඔහු මානසික අසමතුලිතභාවය නිසා ප්‍රථිකාර ලබා ගත් බවත් ආරංචියි. අත්අඩංගුවට ගත් පසු ඔහු වියරුවෙන් මෙන් හැසිරීම නිසා රෝහල් ගත කරලා. ජනප්‍රිය බේස් ගිටාර් වාදන ශිල්පියෙකු වූ රැන්ඩි Take It to The Limit ගීතය හා අතිශය ජනප්‍රිය හොටෙල් කැලිෆේනියා ගීත එකතුවේ Try and Love Again ගීතය ඇතුළු ගීත රැසක් විසින් රචනා කර තිබෙනවා.

පස් වැනි බීට්ල්ගේ සමු ගැනීම

ලෝ ප්‍රකට බීට්ල් සංගීත කණ්ඩායමේ සාමාජික ශ්‍රීමත් ජෝර්ජ් මාර්ටින් අවුරුදු අනූවක් ආයු වළදා පසුගියදා දිවියෙන් සමු ගත්තා. තම ජීවිත කාලයෙන් දශක පහක් සංගීත ක්ශේත්‍රය වෙනුවෙන් කැප කළ ජෝර්ජ් මාර්ටින් හඳුන්වන්නේ පස් වැනි බීට්ල් ලෙසින්.

ඩයනා කුමරිය වෙනුවෙන් එල්ටන් ජෝන් ගැයූ Candle in The Wind ගීතය නිෂ්පාදනය කළෙත් ඔහු විසින්. එදා මෙදාතුර ලොවපුරා ජනප්‍රිය ගීත රැසක් ඔහු අතින් ලියවී තිබෙනවා. 1996 වසරේදී දෙවැනි එළිසබෙත් රැජන විසින් ජෝර්ජ් මාර්ටින් නයිට් පදවියෙන් පුදනු ලැබුවා.