වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




කෙහෙල් කැනම කාලා ඉස්මුරුත්තාවට ආවා

කෙහෙල් කැනම කාලා ඉස්මුරුත්තාවට ආවා

දයාදේව එදිරිසිංහ හෝ ගානා පොකුණේ අත්දැකීම් හෙළිකරයි

දයාදේව එදිරිසිංහ යනු නානා ප්‍රකාර චරිත හිමිවූ නළුවෙකි. එහෙයින් ඔහුව චරිතාංග රංගන ශිල්පියකු හැටියට හැඳින්වීම වරදක් නැත. දයාව වැඩිපුරම දක්නට ලැබෙන්නේ වේදිකාවේය. පුංචි තිරයට ද ඔහු ආගන්තුක නොවන්නේය. මේ දිනවලදී නම් දයා රිදී තිරයේ කැපී පෙනෙන්නේ ය. ඒ අතිසාර්ථක ව තිරගත වන හෝගානා පොකුණ සිනමා පටයේ ග්‍රාමසේවක ලෙසින්ය. එහෙයින් දයා තම රසික රසිකාවන් ඇමතීමට සරසවියට ආවේය. නම දයාදේව වුණත් වැඩිදෙනකු ඔහුව හඳුනන්නේ ධනදේව නමිනි. එකම හේතුව හිමකඳු නාට්‍යයි. දයා කළ චරිතය එය වීමය.

දයා දේව, ධනදේව වීම නිසා අපහසුතාවයට පත් වෙලා නැද්ද?

ලොකු අපහසුතාවයකට ලක්වෙලා නම් නැහැ. නමුත් වැඩි දෙනෙක් ධනදේව කියලා හැඳින්නුවාම මගෙ ඇත්ත නම ඒක වෙන්න ඇති කියලා කෙනකුට හිතෙන්න පුළුවන්. ඒක හරි නැහැනෙ. මම දයාදේව ධන දේව නෙමෙයි.

හෝගානා පොකුණට හෙටට දින සීයයි. එහි ග්‍රාමසේවක වීම ගැන මොකද හිතෙන්නෙ?

පසුගිය කාලෙ මම රඟපෑ තන්නා රති රඟා චිත්‍රපටය ද දින හැත්තෑපහ පසු කළා. ඒ එහෙම තමයි හෝගානා පොකුණෙත් අර කතාවට කියනවා වගේ ඒක හොඳට දුවනවා. මේ කාලයේ චිත්‍රපටයක් දින සියයක් පසු කරනවා කියන්නෙ ලොකු දෙයක්නෙ. අනික එහි මමත් ඉන්නවනෙ. බොහෝ සෙයින් තෘප්තිමත් වන්න පුළුවන් කාරණාවක් ඒක.

දයා ඉන්න ෆිල්ම් හොඳට දුවනවා කියලා දැන ගත්තට පසු ඔබට චිත්‍රපට සඳහා ලැබෙන ඇරැයුම් වැඩිවේවි ද දන්නේ නැහැ.

ඒකට මට නිශ්චිත උත්තරයක් දෙන්න අපහසුයි. මං ඉන්න නිසාම නෙවෙයිනෙ ඒවා වැඩි දිනගණනක් පෙන්නුවෙ. කෙසේ වෙතත් තව චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබිලා තියනවා.

දයාදේව එදිරිසිංහ කියන නම ඇහුණ ගමන් අපට මතක් වන්නෙ වේදිකාව?

ඒ මම වැඩිපුරම වේදිකාවෙ ඉන්න නිසා වෙන්න ඇති. පාරක තොටක අලවලා තියන වේදිකා නාට්‍ය පෝස්ටර්වල මං පේන්න ඉන්නවනේ. මේ දිනවලත් වේදිකා නාට්‍ය දෙකක මං ඉන්නවා. ඒ රාජිත දිසානායකගේ සිරිවර්ධන පවුල සහ ධර්මපි‍්‍රය ඩයස්ගේ සාදය මාරයි සල්ලි හමාරයි.

වේදිකාවට ඔබ වැඩි රුචිකත්වයක් දක්වනවදෝ කියලා මට හිතෙනවා.

වේදිකාව කියන්නෙ වෙනමම මාධ්‍යයක්. වේදිකා නාට්‍යයක් කරලා ඉවර වුණාට පස්සෙ ඇඟට හොඳට දැනෙනවා. එක අතකින් හරිම වගකීමක්. මොකද වේදිකා නාට්‍යයක දෙයක් වුණොත් වුණාම තමයි. ආයෙ හදන්න බැහැ. ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක නම් ටේක් දෙක තුනකට ගිය හැකිනෙ. නමුත් මේකෙ එහෙම බැහැ. ඊටත් වඩා හොඳම කාරණය තමයි වානිජ පරමාර්ථයෙන් වේදිකා නාට්‍යකරන අය අඩු වීම. මේ හින්දා මං වැඩිපුර වේදිකාවෙ ඉන්න පි‍්‍රය කරනවා.

දයාට කොහොමද හෝ ගානා පොකුණ සඳහා ආරාධනා ලැබෙන්නෙ?

චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දිකත් එක්ක මම මීට ප්‍රථම වැඩ කරලා තියනවා. ඔහුගේ වේදිකා නාට්‍යයක මං හිටියා. ඔහු තමයි මට හෝගානා පොකුණ සඳහා කතා කරන්නෙ.

චිත්‍රපටය රූගත කරන දිනවලදී ඔබ එක පාරටම දර්ශන තලයෙන් අතුරුදන් වනවා කියලා දැන ගන්නට ලැබුණා?

එහෙම අතුරු වන්නෙ මගෙ ෂුටිං නැති වෙලාවල්වලදී. හෝගානා පොකුණෙහි මා සිට දර්ශන තල තිබුණෙ මහව පැත්තෙ. ඉතාම අලංකරණ ගැමි පරිසරයක්. මං කොහොමත් හරිම ආසයි ගම්වල අවිදින්න. ඉතින් ඒ ගමේ හැම තැනම ඇවිද්දා. ගමේ තිබුණු මල ගෙවල් දෙකකටත් සහභාගී වුණා.

ඉන්දික ෆර්ඩිනැන්ඩුවගේ අධ්‍යක්ෂකවරයකු එක්ක නිර්මාණයක් කිරීම ගැන මොකද කියන්න තියෙන්නෙ?

ෆිල්ම් එක රූගත කරද්දි ඉන්දික කියපු කරපු සමහර දේවල්වලට මම එකඟ වුණේ නැහැ. නමුත් මේක ඔහුගේ පළමු වැනි චිත්‍රපටය හින්දා සහ මම නළුවා ඔහු අධ්‍යක්ෂ හින්දා මට ඉවසන්න සිදුවුණා. ඔහුගේ හිතේ තියන විදිහට චිත්‍රපටය රූගත කළා. ඇත්තටම ලස්සනයි.

මොන මොන වගේ තැන්වලදි ද ඔබ හා ඉන්දික එකඟ වුණේ නැත්තෙ?

ඔහු එක දිගට කැමරාව හසුරවනු ලැබුවා. අපිට තිබුණෙ තනි ෂෝට් එකේ ප්ලේ කරන්න. ඇතැම් දර්ශන එහෙම ගන්න ඕනද කියලත් හිතුණා. නමුත් ඉන්දික නියම ෂොට් එකක් අරගෙන තියෙන්නෙ කියලා චිත්‍රපටය නරඹද්දි පෙනුණා.

තනි ෂොට් එකේ නළුවෙක් හෝ නිළියක් රඟපාද්දි අපහසුතාවයට පත්වන අවස්ථා තියනවා?

ඔව්. මටත් එහෙම සිදුවුණා.

ඒ සිදුවීම කියන්න බලන්න.

කෙසෙල් ගෙඩි කමින් මට රඟපෑ යුතු දර්ශනයක් තිබුණා. ඒක අරගෙන ඉවර වෙද්දි කෙසෙල් කැනක විතර කෙසෙල් මං කාලා. ඉස්මුරුත්තාවටත් ආවා.

ඔබ තවමත් රංගනය පිළිබඳ හැදැරීම් කරනවාද?

මම රංගනය කියන විෂය ඉගෙන ගන්නෙ නැහැ. නමුත් ලැබෙන සෑම චරිතයක් ගානෙ එය රඟපාන්නෙ කොහොමද කියන එක අධ්‍යයනය කරනවා. මට ලැබෙන සෑම චරිතයක්ම මට අභියෝගයක්. එය ජය ගන්නවා කියලා කියන්නෙ මං තෘප්තිමත් කියන කාරණයයි.

වෘත්තීමය රංගන ශිල්පියකු නිසා ඔබට ලැබෙන චරිත අත හරින්නට බැහැ. ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ?

අද තිබෙන මෙගා නාට්‍ය කලාවට මං ඇත්තටම ආස නැහැ. නමුත් අපට ඒ තුළ රැඳෙන්න සිදුවනවා. නාට්‍ය කලාව එහෙට මෙහෙට විතැත් වුණාට රංගන ශිල්පීන් වශයෙන් අපට එහෙම බැහැ. කෙසේ වෙතත් යම් තත්ත්වයක් තියාගෙන ඉන්නයි මං උත්සහ කරන්නෙ. ඔබ කිව්වා වගේ මට ලැබෙන චරිත අත හරින්නට මට හැකියාවක් නැහැ.

මෙතුවක් කල් රඟපාලා ලැබුණු ජනපි‍්‍රයතාවය ඇතිද ඔබට?

අපි ජනපි‍්‍රයත්වය බලාගෙන රඟපාපු නළුවො නෙවෙයි .මේ ක්ෂේත්‍රයට ආවෙත් ජනපි‍්‍රයවන්න නෙවෙයි. ආත්ම තෘප්තියටයි නාට්‍ය කළේ. අපි එන කාලෙ අපිට හමු වූ ගොඩක් නාට්‍යකරුවො ජොබ් එකක් කරනවා. රැකියාව කරලා ඉවර වෙලා හවස රිහසල් කරන්නෙ. මමත් එහෙමයි ඒ කාලෙ. මොන දේ වුණත් කැපවීමෙන් රංගන කටයුතුවලට සහභාගී වුණා. ප්‍රසිද්ධිය තියා ආර්ථිකය ගැනවත් හිතුවෙ නැහැ. ඒ අනුව බලනකොට අද මේ ඉන්න තැන ඇති.

නිර්මාණකරුවකු විදිහට ඔබ තවමත් ප්‍රමාදයි. ඇයි ඒ?

මම කාලයක් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න ප්ලැන් කළා. විදෙස් කෘතියක් ඇසුරෙන් තමයි එහි තිර පිටපත ලිව්වෙ. පරිවර්තනය මගෙ. නාට්‍යයෙහි මුහුරත් උළෙල පවා තිබුණා. ඒත් මට ආරංචි වුණා එහ කතාවම රූගත් තවත් නාට්‍යයක් කරන්න තව කෙනකු ලැහැස්ති වෙනවා කියලා. මට හරිම කනගාටුවක් දැනුණා. ගොඩක් හිතලා මං මගෙ නාට්‍ය අතහැරියා. එකම කාල වකවානුවේ එකම කතාව රූගත් නාට්‍ය දෙකක් තිබීම කාටවත් වැදගත් නැහැනෙ.

ඔබේ දරුවන් රංගනයට යෙමු කළේ නැති හේතුව මොකක්ද?

මට ඉන්නෙ දුවලා දෙන්නෙක්. ඔවුන් පොඩි කාලේ ගුරුතරුව වේදිකා නාට්‍යයේ රඟපෑවා. නමුත් පසුකාලීනව හිතුණා ඔවුන්ට මේ ක්ෂේත්‍රය හරියන්නේ නැහැ කියලා. ඊට පසුව දුවලට රඟපාන්න අනුබල දුන්නේ නැහැ මං.