වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




අපට නම් ප්‍රශ්නයක් නෑ වික්ටෝරියානුවාදින්ටයි ප්‍රශ්නේ

අපට නම් ප්‍රශ්නයක් නෑ වික්ටෝරියානුවාදින්ටයි ප්‍රශ්නේ

දුකාගේ සතුටු නිවහනට යමු

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසන්නයේ ම තිබෙන විජේරාම පාර දිගේ අපි ගියේ දුකාගේ කැදැල්ල සොයාගෙන.

“වසන්ත දුක්ගන්නා රාළ”

ඔහුව කලා ලොවේ කවුරුත් හැඳීන්වූවේ ‘දුකා’යන ආදරණීය නාමයෙන්. ඒ ආදරණීයාගේ නිවහන සොයා ගන්නට අපට ඒ තරම්ම අපහසුවක් වුණේ නැහැ. ගිනි කාෂ්ටක අව්වේ ගත පෙළන අව්දැල්ල ගැන නොසිතා ම ගමනක යෙදුණු අප අබියස සිටියේ දුකාගේ දයාබර බිරිය මනෝජා දුක්ගන්නාරාළ.

“පුදුම රස්නයක් නේද?”

ඈ පැවසුවේ අපට ඔවුන්ගේ කැදැල්ලට පිවිසෙන්න ආරාධනා කරමින්. සාලයේ තිබූ අසුනකට පිවිසි විගස ම හිරුගේ රශ්මියෙන් දවාලූ ගතට සිසිලසක් ලබා දෙන්නට මෙන් විදුලි පංකාව වේගයෙන් කැරැකුණා. ඒත් සමඟ ම පැමිණි සුළං රැලි කිහිපයක් ම ගතේ වෙළුණේ ‘අපි මේ හිටියේ ඔයාලා එනතුරු කියලා’ පවසන්න වගේ. ඒ අතර අප දුටුවේ දුකාගේ කැදැල්ල ඇතුළට පියාඹන කොණ්ඩ කුරුල්ලෙක්. ඌ ඉදිරිපස දොරේ ඉහළ කොටසට එබිකම් කළා.

“ඔතන කොණ්ඩ කුරුල්ලෝ කූඩුවක් හදලා. කිරිල්ලි බිත්තරයකුත් දමලා.”

දුකාගේ නිවෙසේ කැදැල්ලක් තැනුව කොන්ඩ කුරුලු ජෝඩුව ගැන අපට කිව්වේ දුකාගේ පුතා. ඒ සඳලිඳු දුක්ගන්නාරාළ. මේ අතර අප අසලින් ඈදි ගත්තේ දුකා. වසන්ත දුක්ගන්නාරාළ. අනුරාධපුර කහටගස්දිගිලියේ ගමේ ඉඳන් ගෙනාව ගැමිකමත් එහෙමම තියාගෙන ඔහු කතාබහට මුල පිරුවා.

“මේ දවස්වල මම ගෙවන්නේ බොහොම කාර්යබහුල ජීවිතයක්. ඒ කාර්යබහුල බව කොයිතරම් ද කිව්වොත් පසුගිය දවස්වල දෙරණ රූපවාහිනියෙන් විකාශය වුණු ‘ස්ටාර් සිටි’ තරගයෙන් ඉවත් වෙන්නත් මට සිදුවුණා. ඒකට හේතුව අප්‍රේල් 02 වැනිදා සවස 6.30 ට ‘දුකා’ නමින් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත් වෙන මගේ ප්‍රසංගය සඳහායි. ඒ ප්‍රසංගය පැවැත්වෙන්නේ මගේ මාධ්‍ය ජීවිතයට වසර විසිපහක් පිරීම නිමිත්තෙන්. එහිදි මා ලියූ ජනප්‍රිය ගීත තුන්සියයක් අතරින් ගීත විසි දෙකක් සජීවව ගායනා කරනවා. ඒත් සමඟ ම ‘මං සිංහයාට බයයි නංගියේ’ නමින් මගේ දෙවැනි ගීත පොතත්, ‘ඌ තමයි දුකා’ නමින් මගේ ජීවිත කතාවත් එළිදැක්වීමට නියමිතයි.”

“මේ තරම් ඉක්මනට ජීවිත කතාව ලිවීමෙන් නව පරපුරට ඔබ ලබාදෙන පණිවුඩය කුමක් ද?”

“අනුරාධපුරයේ ගෙවුණු ජීවිතයේ පටන් කොළඹ පැමිණීම දක්වාත්, ගොවි තානාපති වීම දක්වාත් ඇතුළු මගේ ජීවිතයේ සුවිශේෂී බොහෝ දේ මා මේ පොතේ සටහන් කළා. ඒ පැමිණි ගමනේ දි මා විභාගත් පාස්වෙලා තිබෙනවා. ඒත් විභාගවලට වඩා මම සමාජයෙන් ඉගෙන ගත්ත බොහෝ දේවල් මේ පොතේ ඇතුළත් කරන්න උත්සාහ ගත්තා. මේ පොතෙන් අලුත් පරපුරට මම අපූරු පණිවුඩයක් දෙනවා. ඒ නොවිදිමත් අධ්‍යාපනයෙන් මිනිසෙක් වෙන්න හැකි බවයි. අද වනවිටත් ඇකඩමික් ද හොඳ නන් ඇකඩමික් ද හොඳ කියලා මට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කාරණයයි මා මේ පොතේ දී ප්‍රශ්න කළේ. මගේ ‘අහංකාර නගරේ’ ගීත පොතට පස්සේ එළිදක්වන ගීත පොත නිසා මෑත කාලය දක්වා මා ලියූ ගීත මේ පොතට අතුළත්. ඒ කියන්නේ ගීත එකසිය පණහක්.”

මේ දවස්වල දුකාගේ සිත සම්පූර්ණයෙන් ම යොමුවෙලා තියෙන්නේ ඒ කටයුතුවලට. ගීත පොත මුද්‍රණයට දුන්නත් ජීවිත කතාවේ තවත් ලියන්න පරිච්ඡේද දෙකක් ඉතිරියි. ඒ අතර ප්‍රසංගයේ පුහුණු වීම්. ඔහුගේ ‘රාළ’ ක්‍රියේෂන් එකේ කටයුතුත් දුකා අතෑරලා නැහැ.

“නිවේදක වෘත්තිය ටික කාලයකට අමතක කළා ද?”

“මේ වනවිට රාජ්‍ය අංශයේ වැඩකටයුතු කිහිපයක් භාරගෙන තිබෙනවා. ඒ ගොවියන්ගේ වැඩ කොටසක්. ඒ සඳහා අවශ්‍ය වාර්තා චිත්‍රපට, වීඩියෝ කරමින් ඉන්නවා. පසුගිය කාලයේ මා කළ ‘ශූර ගොවියා’, ‘ගම්බාරේ’ වගේ වැඩසටහන් නිසා ගම්වල වැඩක් තිබුණොත් මට අනිවාර්යයෙන් ම කතා කරන්න අමතක කරන්නේ නැහැ. ඒ නිසා පසුගිය කාලයේ අන්තිමට නිවේදන කටයුතුවලින් සහය වුණේ ‘Agree with Murali’  හා ‘රෑට රෑට’ වැඩසටහන්වලටයි. ඊට කුමාර තිරිමාදුරත් සහභාගි වුණා. මොකද නිවේදන කටයුතුවලට සහභාගි වුණාට පස්සේ එක දිගට ඒ කටයුත්තත් සමඟ ඉන්න උවමනායි. එහෙත් දැන් එහෙම බැහැ. හිටි ගමන් විදේශ ගත වෙන්න තිබෙනවා. ඒ වගේ ම වෙනත් වෙනත් වැඩකටයුතු පැවරෙනවා. ඉදිරියේ දි ‘කමත’ වගේ වැඩසටහනක් සඳහාත් නිවේදන කටයුතුවලට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒ ගැන තවමත් තිබෙන්නේ සාකච්ඡා මට්ටමේ.”

දුකා නැවතත් ගීත ලියන්න පටන් ගෙන. ඒ කියන්නේ වසර පහක කාලයක් ඔහුගේ අතින් ගීත ලියැවුණේ ම නැහැ. ඉඳලා ඉඳලා ලිව්ව ‘සිල් බිඳ ගත්ත’ ගීතය ගැන බොහෝදෙනාගේ කතාබහට ලක්වෙලා. දින දහයක් ඇතුළත මිලියන තුනක් යූ - ටියුබ් එකේ ඒ ගීතය නරඹලා.

“ගීතයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොම ද?”

“මේ දවස්වල ඒ ගීතය විද්‍යුත් මාධ්‍යවලත් බොහොම ජනප්‍රියයි. ප්‍රේක්ෂකයන්ගෙන් හා රසිකයන්ගෙන් කිසිම ගැටලුවක් ගිතය වෙනුවෙන් මට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔය කිහිපදෙනෙක්ගෙනුයි ප්‍රශ්නය තිබෙන්නේ. කවදත් මම ශෘංගාරය, ලිංගිකත්වය ගැන ලිව්වා. ඒවා රටක තිබෙන්න ඕන දේවල්. අපි බොරුවට ඒ කාරණා හංගගෙන ඉන්නවා. ඒ වගේ ම මේ නිර්මාණයට චෝදනාත් තිබෙනවා. ඒක කරන්නේ සංස්කෘතික කුහකත්වයෙන් බව මා දන්නවා. සමහර මිනිස්සුන්ට ගැහැනු තුන්, හතර දෙනෙක් ඉන්නවා. ඒ වුණත් ගැහැනියක් සිප ගන්නවා දැක්කොත් ඒක විවේචනය කරනවා. ඒකට මම බය නැහැ. මේ කාරණය සාමාන්‍ය දෙයක්. අපි එදා බැලුව ‘රොබින් හුඩ්’ ටෙලි නාට්‍යයේ රොබින් හුඩ් අවසානයට යන්නේ මැරියන් සිප වැලඳගෙන. ‘නයිට් රයිඩර්’ ටෙලි නාට්‍යයේ අවසානයේත් එහෙමයි. ඒ කාලයේ අපි ඒක බලාගෙන සිටියා. අපට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් මේ ඉන්න වික්ටෝරියානු සදාචාරවාදීන්ටයි ඒ ප්‍රශ්නය තිබෙන්නේ.”

දුකා ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර නමක් දිනා ගන්නේ නිවේදකයෙකු විදියට. ඒත් අද ඉන්න වර්තමානයේ නිවේදක පරපුරට නම් වැඩිහිටියන්ගෙන් ලැබෙන්නේ ප්‍රසාදයක් නොවෙයි.

“ වර්තමානයේ ඉන්න නිවේදක පරපුර ගැන ඔබ කියන්නේ මොනව ද?”

“එක දෙයක් තියෙන්නේ චැනල්වලින් නිවේදකයන්ට නම් ගම් විදියට මතු වෙන්න දෙන්නේ නැහැ. විශේෂ විවිධ නම්වලිනුයි ඔවුන් පෙනී සිටින්නේ. ඒ නමින් ඉන්න එක්කෙනා ගියත් ඊළඟ නිවේදකයත් පෙනී සිටින්නේ ඒ නමින්මයි. මේක අලෙවි කරණයේ තිබෙන ප්‍රශ්නයක්. එහෙම වුණාට මේ පරපුරේ අති දක්ෂයෝ ඉන්නවා. තමන්ගේ අනන්‍යතාව රැකගෙන, හොඳට භාෂාව රැකගෙන, සරලව කතා කරන අය ඉන්නවා.ඉස්සර නම් අපි හිතන්නේ නිවේදකයෙක් බරපතළ වචන කතා කරන්න ඕනෑ, සාහිත්‍යයට බර වචන කතා කරන්න ඕනෑ බවයි. අපි ඉගෙන ගත්තේ නිවේදකයා දැන උගත් පණ්ඩිතයෙක් නොවෙයි, දැන උගත් මිතුරෙකු විය යුතු බවයි. ඒ වගේ ම මොකුත් ම නොදන්න කේවට්ටයකුත් නොවෙයි නිවේදකයා කියන්නේ. දැන් මොකුත් නොදන්න කේවට්ටයෝත් ඉන්නවා. දැන උගත් පණ්ඩිතයෝත් ඉන්නවා. දැන උගත් මිතුරෝයි නැත්තේ. ඕනෑ ම දෙයක් රසවත්ව කියන නිවේදකයෝයි නැත්තේ. මෙහෙම වෙන්නේ මේ පරම්පරා කියවනවා අඩු නිසයි. ඔවුන් නිතර ම ඉන්නේ ඉලෙක්ට්‍රොනික් මාධ්‍යවලයි. ඒ නිසා පොත් කියවන්න ඔවුන්ට වෙලාවක් නැහැ. අනෙක් එක සමාජ වෙබ් අඩවිවල තිබෙන දේවල් මතක සිටිනවා අඩුයි. ඒවා අච්චු අකුරු වගේ එකපාරට ම ඔළුවට යන්නේ නැහැ. ඒ නිසා නැවත ඒවා කියන්න බැහැ. අමතකයි. අලුත් පරම්පරාවට තිබෙන ප්‍රශ්නය ඒකයි.”

මේ බරසාර කතා අතරට පැමිණෙන දුකාගේ බිරිය මනෝජාගේ අතේ ඇත්තේ තේ බඳුනක්. ඈ අසල ම ඉන්නේ දුකාගේ දියණිය සඳපිනි. සඳපිනි, ඇගේ අතේ තිබුණ බඳුන අම්මට දුන්නා.

“තේ ටිකක් බීලා ඉමු.”

ඇගේ සුහද ආරාධනාව පිළි නොගෙන කොහොම දැයි අපට සිතුණා.

“දැන් ඉතිං නිවේදන කටයුතුවලින් ඈත්වෙලා නිවෙසේ වගකීම භාරගෙන වගෙයි”

“මහත්තයාව නිවෙසේ සියලු කටයුතුවලින් නිදහස් කරලයි තියෙන්නේ. එයා මුදල් පැත්ත බලන නිසා මම දුවගෙත් පුතාගෙත් ඉගෙනුම් කටයුතු වගේ ම නිවෙසෙ කටයුතුත් සොයා බලනවා.”

සඳලිඳුත්, සඳපිනිත් ඉගෙන ගන්නේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ. සඳලිඳු 9 ශ්‍රේණියේ. සඳපිනි 7ශ්‍රේණියේ. ඒ දෙන්නාගේ ජීවිතයෙන් තොර ජීවිතයක් මේ දෙන්නට ම නැති තරම්.

“වෙනදා නම් ඉඳලා හිටලා මේ කාර්යබහුල බවෙන් මිඳෙන්න අපි හතරදෙනා පුංචි විනෝද ගමනක් යනවා. නැත්නම් දුකාගේ ගමේ යනවා. පුතා ලබන අවුරුද්දේ විභාගය ලියන නිසා ඒ විවේකයත් ටිකක් අඩුවෙලා. ”

මනෝජගේ සුන්දර සිනහව එළියට පැන්නා. කොයිතරම් වැඩ තිබුණත් බොහොම සැහැල්ලුවෙන්, සතුටෙන් ඉන්න කැමැති මනෝජගේ උවනේ නිතර ම රැදුණු සිනහව මේ කැදැල්ලට ආලෝකයක්. ඔවුන්ගෙන් සමුගන්නට මත්තෙන් මට සිතුණේ ඉබේට ම.