|
එදා සම්මාන උලෙළට සහභාගි නොවීම ගැන පස්සේ දුක හිතුණාහංස විලක් තිර රචනය ලියූ ධර්මසිරි බණ්ඩාරනායක
1964 වසරේ අභිමානවත් සිනමා සම්මාන උලෙළක අසිරිය මෙරට ජනතාවට ගෙන දෙමින් පළමු වැනි සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. සරසවිය තවත් අභිමානවත් සිනමා සම්මාන උලෙළකට සූදානම්වන මේ අවස්ථාවේදී එදා සිට අද දක්වා තම පළමු නිර්මාණ කාර්යය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ඇගයුම් ලද්දෝ සොයා යන ගමනයි.
වේදිකාවේ පෙරළිකාර චරිතයක් වූ ඔහු කලා ක්ෂේත්‍රයේ හැකියාවන් රැසකින් පිරිපුන් කලාකරුවෙක් වීය. අධ්‍යක්ෂණයට, රංගනයට සේම තිරචනයටද ඔහුගේ ඉටු වූ දායකත්වය එම නිර්මාණ මනාව පසක් දෙන අපූරු නිදසුන්ය. වේදිකාවෙන් සිනමාවට පිවිසි හෙතෙම වේදිකාවේ මෙන්ම සිනමාවේද තම ජය එක ලෙසින් තහවුරු කරන්නට පසුබට නොවීය. යුගයක කඩඉමක් සනිටුහන් කරමින් ඔහු මෙරට සිනමාවේ සුවිශේෂි චරිතයක් බවට පත් වන්නේ සිය ප්‍රථම නිර්මාණ කාර්යය සරසවිය සම්මානයෙන් ද පුද ලබමිනි. ධර්මසිරි බණ්ඩාරනායක 1981 සරසවිය සම්මාන උලෙළ හොඳම තිරරචනය – හංස විලක් චිත්‍රපටය ‘හංස විලක්’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම තිර රචනයට හිමි සම්මානය ඔබට හිමි වූ සරසවිය සම්මාන උලෙළ පිළිබඳ ඔබේ මතකය? සරසවිය සම්මාන උලෙළට පෙර තවත් සිනමා සම්මාන උලෙළ කිහිපයක්ම පැවත් වුණා. නමුත් එම සම්මාන උලෙළ හැම එකකදීම ඇගයීම පසෙක ළා හංස විලක් චිත්‍රපටය නොසලකා හරින චිත්‍රපටයක් බවට පත් වුණා. සරසවිය සම්මාන උලෙළෙදී හංස විලක් තිර රචනය වෙනුවෙන් මට හොඳම තිරරචනයට හිමි සම්මානය මට ලැබුණේ. නමුත් අනෙක් සිනමා උලෙළ මඟින් මගේ හිතේ ඇති කළ උදාසීනත්වය මට සරසවිය සම්මාන උලෙළට සහභාගිවීමට ඉඩ දුන්නේ නැහැ. සම්මානය ලබා ගත්තෙත් නැහැ. 1981 වසරේ සරසවිය සම්මාන උලෙළේදී හංස විලක් චිත්‍රපටයේ තිරරචනය වෙනුවෙන් මටත් එහි හෙන්රි ජයසේනගේ රංගන වෙනුවෙන් හොඳම සහය නළුවා සම්මානයත් වෙන් වූ බව මම දැන ගත්තේ රාත්‍රියේදී ගුවන්විදුලියෙන්. ප්‍රථම සම්මානය ඔබේ සිතේ ඇති කළේ මොනවගේ හැඟීමක් ද? තිර නාටක රචකයෙක් විදියට පළමු නිර්මාණය සම්මානයට පාත්‍රවීම එකඅතකින් සතුටක්. නමුත් අනෙක් සිනමා උලෙළයන්ගේ ‘හංස විලක්’ සඳහනක් වත් නොවන තත්ත්වයක් තිබුණේ. ඒ කාලයේ තරුණ සිනමාකරුවෙක් හැටියට ප්‍රවීණ විචාරකයන් ගණනාවකගේ ඇගයීමට පාත්‍ර වූ සිනමාපටයක් කොහොමද බැහැර වුණේ කියා සිතන්න පෙළඹුණා. ඒ වගේම එක් සිනමා උලෙළක් අවසන් වෙලා මම සමඟින් එම උලෙළට සහභාගි වූ ‘හංස විලක්’ සංගීත අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ඉතාම දරුණු ලෙස කෝපයට පත් වුණා. අවසානයේදී ‘කොල්ලෝ මුන් උඹට සම්මාන දුන්නේ නැති වුණාට මං උඹට සම්මාන දෙනවා’ කියමින් මාව කරට අරගෙන පාරට එක්කර ගෙන ආවා. සම්මාන උලෙළවලදී ඇති වූ සිත් තැවුල් මට පමණක් නෙවේ මා සමඟින් වැඩ කළ අයටත් මෙරට හොඳ සිනමාව අගය කළ ප්‍රේක්ෂකයින්ත් අතරත් විවාදාත්මක බවත් ඇති කළා. හංස විලක් අවතක්සේරු වන්නට එහි නිර්මාණ සංකල්පය බලපෑවා යැයි ඔබ සිතනවාද? 1979 වසරේ ප්‍රථම අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ ජර්මනියේ මැන්හයිම් සිනමා උලෙළට ‘හංස විලක්’ චිත්‍රපටය ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවට මඟ පෙන්වුයේ අර්නස්ට් පෝරුතොට පියතුමා. ලෝකයේම ප්‍රථමවරට චිත්‍රපට හැදූ අයගේ ගොඩට ගත්තාම හංස විලක් චිත්‍රපටය ගොඩක් ඉදිරියෙන් සිටින බව පෝරුතොට පියතුමා පැවසුවා. මම ඒ අවස්ථාවට සහභාගි වුණා. ඒ අනුව මට ප්‍රථමවරට රටින් පිට වූ අවස්ථාව ලබා දුන්නෙත් ‘හංස විලක්’ චිත්‍රපටය. එතැන සිනමා ප්‍රදර්ශනයෙන් පසුව සංවාදයක් පැවැත්වුණා. ඉන්දියාවේ ප්‍රකට සිනමාකරුවෙක් වූ මිර්නාල් සෙන් පවා එයට සහභාගිවී සිටියා. ලංකාවේ හෝටල් කාමරවලට යන ජෝඩු පොලිසියෙන් අල්ලනවාද කියන ගැටළුව ‘හංස විලක්’ චිත්‍රපටය අවසානයේ සංවාදයේදී මතු වු කරුණක්. “ලංකාවේ එහෙම වෙන්නේ නැහැ” කියලා ලංකාවෙන් ගිහින් හිටිය එක්තරා පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා එකපාරටම කිව්වා. එහිදී මන:කල්පිත ක්‍රියාවලියක් සිනමාවට ගත්තා වැනි හැඟිමක් ඔවුන් තුළ ඇති කළා. මීට පෙර මා කියූ සිත් වේදනා අතරට ඇති වූ බරපතලම සිත් වේදනාව මෙය යි. ලංකාවේ මොන තරම් හෝටල්වලට පොලිසියෙන් පැනලා තියෙනවාද? මේවා මම ගොඩක් දන්නා කරුණු. මම ‘හංස විලක්’ චිත්‍රපටයෙන් ගෙන ආවේ මගෙත් පුද්ගලික ජීවිතය ඇතුළේ ඇති වූ කම්පනයක්. එහි සත්‍යාතාවය දන්නේ මම යි. හොඳ පවුලක් හදන්නේ කොහොමද කියන චිත්‍රපටයක් නොවෙයි මම හැදුවේ. මේ වගේ සිදුවීමක් මිනිස් ජීවිතයකට මොන තරම් බලපෑමක් ඇති කරනවාද යන්න කියන්නයි. මේ චිත්‍රපටය ලංකාවේ මා කලින් කියූ පුද්ගලයාට තේරුම් ගන්න නොහැකි වූ බව මිර්නාල් සෙන් ඒ මොහොතේ කිව්වා. එතුමාගේ අදහස් දැක්වීම මට ශක්තියක් වුණා. නමුත් හංස විලක් චිත්‍රපටය සිංහල සිනමාවේ කඩඉමක් ලෙසින් කතාබහට ලක් වූ සිනමා පටයක්? අද වන විට සිනමා ඉතිහාසයේ ප්‍රබල සිනමාපටයක් ලෙසින් ‘හංස විලක්’ චිත්‍රපටය සඳහන් වෙනවා. කොච්චර දැඟලුවත් අපට එහෙම ලෙහෙසියෙන් ඉතිහාසයට ඇතුළු වෙන්න බැහැ. ඉතිහාසය කියන්නේ නිගමනයක්. ඒ නිගමනය තීන්දු කරන්නේ ජනතාව යි. ඒ නිසා ‘හංස විලක්’ චිත්‍රපටයේ පැවැත්මත් තහවුරු වුණා. දැන් සිංහල සිනමාව ගැන කතා කරනකොට ‘හංස විලක්’ පිළිබඳ කතා නොකරම බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. සාම්ප්‍රදායික සිංහල සිනමා ශෛලියෙන් බැහැර වු සිනමා නිර්මාණයක් ලෙසින් ‘හංස විලක්’ චිත්‍රපටය විශේෂ වුණා. හැබැයි එදා සරසවිය සම්මාන උලෙළට සහභාගි නොවීම ගැන නම් පස්සේ දුකත් හිතුණා. ඇත්තටම සරසවියේ ඒ ඇගයීම මට ලොකු ශක්තියක් වුණා. මෙහි තවත් විශේෂත්වයක් තියෙනවා. හංස විලක්හි රංගනය වෙනුවෙන් හෙන්රි ජයසේන සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා ලෙසින් සම්මානයට පත් වීමත් මට ගොඩක් විශේෂ වුණා. මොකද මම සිනමාවට එන්න පෙර නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ අයෙක්. එහිදී හෙන්රි ජයසේනයන් මගේ ගුරුවරයා වෙනවා. හංස විලක් චිත්‍රපටයේදී මා ඔහුගේ ගුරුවරයා බවට පත් වෙනවා. මේ වගේ අපූරු මිනිස් සම්බන්ධකම් සමඟත් හංස විලක් චිත්‍රපටයට වෙනමම අගයක් ලැබෙනවා. එදා කුළුඳුලේ කළ ඒ නිර්මාණ කටයුත්ත ගැනත් කතා කළොත්? ඒ සම්බන්ධයෙන් අපුරු කතාවක් තියෙනවා. ඒ කාලයේ චිත්‍රපට සංස්ථාවේ තිරපිටපත් ශ්‍රේණිගත කිරීමක් තිබුණා. චිත්‍රපට ‘ඒ’ ශ්‍රේණියේ නම් චිත්‍රපටය හදන්න නිෂ්පාදකයෙක් උවමනා නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය පිරිවැය බැංකුවෙන් අරගෙන දෙන්න චිත්‍රපට සංස්ථාව බැඳි සිටියා. හංස විලක් චිත්‍රපටයට හිමි වුණේ ‘සී’ ශ්‍රේණිය. ඒ කියන්නේ ‘මෙය ණය පහසුකම් ලබා ගැනීමට සුදුසු නැත’ කියන එකයි. නමුත් පුද්ගලිකව මුදල් හොයාගෙන කරන්න අවකාශය තිබුණත් විශාල මුදලක් නැතිකම ගැටළුවක් වුණා. චිත්‍රපටයේ වියදම රුපියල් දෙලක්ෂ හතලිස්දහස සොයමින් සිටින විට මාස හයකට විතර පස්සේ ඇස් වාට්ටුවේ බේක් හවුස් ආයතනයේ සභාපති ඇලබට් ජයසිංහ මහත්මයා හමු වුණා. චිත්‍රපටය වෙනුවෙන් මේ මුදල වැය කරන්න ඔහු එකඟ වුණා. මගේ චිත්‍රපටය හදන්න මේ රටෙන් මට ලැබුණු එකම සහය එය යි. ඒ අනුව මම නිර්මාණය කළ චිත්‍රපටය තිරගත කරන්න සුදුසුකම් ලැබුවේ පස්වන මණ්ඩලයේ සිනමාහල්වල. පස්වන මණ්ඩලයට චිත්‍රපට තෝරා ගන්නෙත් තිරපිටපත තෝරා ශ්‍රේණිගත කළ පිරිස විසින්මයි. මම ‘හංස විලක්’ චිත්‍රපටය පස්වැනි මණ්ඩලයට ඉදිරිපත් කළාම අනුමැතිය ලැබුණා. තිර රචනයෙන් ‘සී’ ශ්‍රේණිගත වුණත් චිත්‍රපටය හැදුනාම සම්භාව්‍ය පස්වැනි මණ්ඩලයට සුදුසුකම් ලබනවා. එතැනදී සංස්ථාව ගොඩනැඟු ප්‍රමිතිකරණයත් බිඳ වැටුණා. එදා ‘ඒ’ ශ්‍රේණියෙන් පැමිණි වසන්ත ඔබේසේකරගේ ‘පළගැටියෝ’, ටයිටස් තොටවත්තගේ ‘හඳයා’, ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහේ’ යන මේ චිත්‍රපට ප්‍රදර්ශනය කළේත් සම්භාව්‍ය පස්වැනි මණ්ඩලයේ. මට හිතෙන්නේ මෙරට සිනමාව ඇතුළේ ‘හංස විල’ට විඳි දුක් කම්කටුළු සේරම බලනකොට ‘හංස විලක්’ චිත්‍රපටය නැවත නැවත නැරඹු ප්‍රේක්ෂකයන් අපේ සිනමාවේ බොහෝ බැමි ලිහා දැමු බවයි. තිරරචනය වගේම අධ්‍යක්ෂණ සමඟින් රංගන කටයුත්තේ යෙදීම ඔබට අභියෝගයක් වුණේ නැතිද? චිත්‍රපට කලාව පිළිබඳ මට කිසිම පුහුණුවක් තිබුණේ නැහැ. චිත්‍රපට සංස්ථාව පාඨමාලා මඟින් බොහෝ දෙනෙක් පුහුණු කළා. එහිදි කෙටි චිත්‍රපට නිර්මාණය කළ බොහෝ දෙනෙක් චිත්‍රපට අධ්‍යක්ෂණයට පූර්ණ සුදුසුකම් ලැබුවා. මම කෙටි චිත්‍රපටයක් කරලා තිබුණෙත් නැහැ. ණය පහසුකම් යටතේ කිසිම දෙයක් දුන්නේ නැතත් මුදල් ගෙවා සංස්ථාවෙන් දළ සේයාපට මිලදී ගන්න පුළුවන් වුණා. ඒ කාලයේ දළ සේයාපට ගෙන් වූයේ සංස්ථාව පමණයි. මට ප්‍රචාරණයට මුදල් තිබුණේ නැහැ. මොකද නිෂ්පාදකවරයා චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර මිය ගියා. ‘හංස විලක්’ සිනමාහලට ගොඩ වුණේ හරියට තාත්තෙක් නැති දරුවෙක් වගෙයි. ඇත්තටම මේ චිත්‍රපටයේ මම රඟපාන්න හිටියේ නැහැ. වෙනත් නළුවෙක් යොදා ගන්න තමයි බලාපොරොත්තු වුණේ. ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙකුම හිතේ තිබුණා. අය කිරීම් පිරිවැයට බලපෑමක් වුණු නිසා ආස වුණත් ගන්න හැකියාවක් තිබුණේ නැහැ. නිෂ්පාදකවරයා අහම්බෙන් පළඟැටියෝ චිත්‍රපටය නරඹලා තිබුණා. ඒක බලලා නිශ්ශංකගේ චරිතය මටම කරන්න කියා ඔහු යෝජනා කළා. මගේ කැමරා අධ්‍යක්ෂ වුණේ ඇන්ඩෲ ජයමාන්න. ඇන්ඩෲ මාව තවත් උද්‍යෝගීමත් කළා. මේ චරිතයට මාව හිතාගෙන ලිව්වා නම් සිඟරටි බොන ජවනිකා ඇතුළත් කරන්නේම නැහැ. මොකද මම සිඟරට් බොන්නේ නැහැ. ‘හංස විලක්’ නිසා ජීවිතයේ පළමුවරට සිඟරට් බොන්නත් සිදු වුණා. අදත් මට ඒ දර්ශන දකිනකොට මට ඒක කරන්න නොහැකියාව කෙතරම්ද කියා දැනෙනවා. මම සිඟරට් බොන හැම දර්ශනයකදීම ඇස් කඳුලින් පිරිලා තිබුණේ. ඒ වගේම මගේ අධ්‍යක්ෂණය තුළ මා රඟපාන හැම අවස්ථාවකදීම මට ශක්තියක් වුණේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා. මම නිතරම සිහිපත් කළේ ඔහු ‘පරසතු මල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් කළ ඒ රංග කාර්යය යි. ප්‍රථම සිනමා නිර්මාණය ලද ප්‍රතිචාර ඔබේ ඉදිරි සිනමා ජීවිතයට කළේ මොන වගේ බලපෑමක් ද? මේ ප්‍රතිචාර තුළ මා දුටු කරුණු කිහිපයක් තිබුණා. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබීම එකක්. ව්ශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබීම ලොකු අඩුවක් විදියටයි එදා සැළකුවේ. හැකියාවට මුල් තැනදීම ලංකාව වැනි රටක දකින්න අමාරුයි. නමුත් ඒ දවටනය ඉරා දැමූ මිනිසුන් අතර මමත් ප්‍රමුඛයෙක් වුණා. කලාකරුවෙකු ඇගයීමට ලක්වන්නේ ඔහුගේ නිර්මාණය තුළ නරඹන්නා කෙතරම් කම්පනයට පත් වුවාද යන්න මතයි. එවිට එය අපුර්ව කලා නිර්මාණයක් බවට පත් වෙනවා. 1986 වසරේදී ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටය නිසා එදා ඔබට නොලැබුණු හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් ලැබෙනවා? මම මෙරට වේදිකාවට නාට්‍ය පහක් කරලා තියෙනවා. ඒ හැම නාට්‍යකදීම මම හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. මම අවංකවම ඒ නිර්මාණය එළිදක්වන අවස්ථාවේ පටන් වේදිකාගත අවස්ථාව දක්වා මම මහන්සි වෙනවා. ඒ මහන්සියේ ප්‍රථිඵලත් මට ලැබුණා. 1986 වසරේ සරසවිය සම්මාන උලෙළ පවත්වනවිට සරසවිය කර්තෘවරයා ලෙසින් කටයුතු කළේ ග්‍රැන්විල් සිල්වා. හොඳම අධ්‍යක්ෂණය ‘සුද්දිලාගේ කතාව’ට හිමිවන බවත් සම්මානය ගැනීමට පැමිණෙන ලෙසත් එතුමා මට පූර්ව දැනුම්දීමක් කරලා තිබුණා. මගේ නිෂ්පාදකවරයා වුණේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන. එදා ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්’ නාට්‍යයේ සියවන දර්ශනය ලුම්බිණියේ පැවැත්වුණා. ඒක බලන්න යන්න මම පාර පනින කොට බන්දුල කාර් එක නවත්වලා කොහොද යන්නේ කියලා ඇහුවා. “මම ජයන්තගේ නාට්‍යයේ සියවන දර්ශනයේ පහන පත්තු කරන්න යනවා” කියලා කිව්වා.“අද සරසවිය සම්මාන උලෙළේ ‘සුද්දිලාගේ කතාව’ හොඳම අධ්‍යක්ෂණය ධර්මේ දන්නේ නැතිද” කියල ඔහු ඇහුවා. “ඒ සම්මානය එතැන තිබුණාවේ” කියලා මම පාර පැන්නා. ‘සුද්දිලාගේ කතාව’ එක්ක මගේ ජීවිතයේ හැලහැප්පීම් තිබුණා. හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් මට හිමි සරසවිය සම්මානය එතැනම තිබුණාදෙන් යන සිතුවිල්ල ඒ හැලහැප්පිල්ලේ එක තිරණයක්. ඒක මගේ දඩබ්බරකම මුරණ්ඩුකමට වඩා මානසිකව ඇතිවුණු ලොකු කනගාටුවක්.
|