වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




ගීත ගායනයෙන් ලබන මානසික තෘප්තිය ඉතා වැදගත්

ගීත ගායනයෙන් ලබන මානසික තෘප්තිය ඉතා වැදගත්

මාධනී ජයසේන

වෛද්‍ය රනිල් ජයසේන, මේ නම ඔබට හුරුපුරුදුය. රනිල් ජයසේන යනු ලාංකේය වෛද්‍යවරුන් අතර තම වෘත්තියෙන් පමණක් නොව කලාවෙන් ද ඉදිරියට පැමිණි පුද්ගලයෙකි. ඔහු විසින් ලියූ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ 'සත්කුළු පව්ව වගේ' ගීතය රනිල් ජයසේන නාමය රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වීමට හේතු විය. ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔහුට ආලෝකය සපයනුයේ ආදරණීය බිරිඳ මාධනී ජයසේනයි.

දරුවන් තිදෙනෙකුගේ සෙනෙහෙබර මවක ලෙසත් රටට වැඩදායී වෛද්‍යවරයකුගේ ආදරණීය බිරිය ලෙසත් රසිකයන් පිනවන ගායිකාවක ලෙසත් අප හමුවෙන ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ ගායිකාවකි. ඇගේම ගීත පනහකට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති මාධනී කලක් ඉංග්‍රීසි ගුරුවරියක ලෙස ද සේවය කළාය. මේ දිනවල විද්‍යුත් නාළිකාවන්හි ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනුයේ ඇගේ අලුත්ම ගීතය වන 'පුළුන් රොදක් සේ' සිංදුව නිසාය. මේ ඒ පිළිබඳව කළ සොඳුරු පිළිසඳරකි.

'පුළුන් රොදක් සේ' සැහැල්ලුවෙන් මා පාවෙනා
කිරිල්ලියක් සේ හිස් අහසේ පියඹනා
ඉන්නට හිතුවත් ආදර ලෝකේ දුරස් වෙලා
ඔබ ඇවිදින් මගේ කෝඩුකාර හිත වෙනස් කළා'

ගීතයේ ජනප්‍රියත්වයත් සමඟම මාධනී බොහෝ සතුටින් වගේ මේ දවස්වල?

ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ මහත්තයා තමා ගීතයේ පද රචනය සිදු කළේ. සංගීතය සරත් ද අල්විස්ගෙන්.

කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳයි. මහත්තයාටත් මටත් ගොඩක් දෙනා කෝල් කරලා සුභපතනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල ජනප්‍රිය වෙලා තියෙනවා.

ගීතයේ වීඩියෝව ගැන කතා කළොත්?

මේ ගීතයේ වීඩියෝව නිර්මාණය කරන්න අපි උපරිම තාක්ෂණය භාවිත කළා. ගම්පහ ප්‍රදේශයේ වේයන්ගොඩ සංචාරක හෝටලයක එහි රූගත කිරීම් සිදු කළා. වීඩියෝව අධ්‍යක්ෂණය කළේ අජිත් කුමාරතන්ත්‍රි. ත්‍රී සිනෙමා ෆිල්ම්ස් මඟින් තමයි වීඩියෝව කළේ.

මෙතෙක් ගායනා කළ ගීත අතරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණේ මේ ගීතයටද?

මගේ අනෙකුත් ගීත සමඟ සංසන්දනය කරන කොට මේ ගීතය ඉදිරියෙන් සිටිනවා.

ඔබේ පවුලේ සියලු දෙනාම කලාවට ළැදියි. පද රචනය, ගායනය, වාදනය ඒ අතරින් සුවිශේෂයි. ඒ ගැන මෙකද හිතන්නේ?

මගේ මහත්තයා මෙයට ප්‍රධාන වශයෙන් දායක වන්නේ පද රචනයෙන් ගායනයෙන්. ඔහු සමඟ මම යුග ගීත ගායනා කරනවා. අපි අපේ ගීත ඇල්බමය 'සඳ කිරණ ගලා' 1996 දී නිකුත් කළා. මගේ දුව හිරුෂිත් ගායනයට දක්ෂයි. ඇගේ ඉංග්‍රීසි ගීත බොහෝ ජනප්‍රිය වුණා. පුතාලා දෙන්නත් වාදනයට දක්ෂයි.

මගේ මහත්තයා ලියපු ගීත අද ජනප්‍රිය ගායකයන් ගායනා කරනවා. විශේෂයෙන් කියන්න ඕනෑ අපි කලා කටයුතුවලින් ලැබෙන මුදල් සියල්ල සුබසාධනයට යොමු කරනවා. කිසිම විටක මුදල් පරමාර්ථයෙන් කලා කටයුතුවල නියැළෙන්නේ නෑ. මමත් ජනප්‍රිය ගායකයෝ සමඟ යුග ගීත ගායනා කරනවා. කලාවට තියෙන දක්ෂතාවය නිසාම මට 'ශ්‍රී දළදා ගමනය' හා 'අනගාරික ධර්මපාල' යන චිත්‍රපටවල ගීත ගායනා කරන්නටත් අවස්ථාව ලැබුණා. මේ දේවල් බලන කොට අපි කලා පවුලක්.

ඔබේ කලා ගමනට සැමියාගෙන් ලැබෙන සහයෝගය?

ලොකු ශක්තියක් ලැබෙනවා. ඔහු කාර්යබහුල චරිතයක් වුවත් ඉඩ ලැබෙන සෑම විටකම ගීත රචනයටත්, ගායනයටත් යොමු වෙනවා. අපි දෙන්නට දෙන්නා සහයෝගයෙන් හැම දේම කරනවා.

පවුලේ ඉදිරි කලා කටයුතු?

මමයි මහත්තයයි ගායනා කරන 'එක හූයකින් බැඳි' ගීතයට වීඩියෝවක් ළඟදීම කරන්න බලාපොරොත්තු වෙනවා. මහත්තයා මේ දිනවල ඔහුගේ ජීවිත කතාව ලියාගෙන යනවා. ඔහු නවකතාවකුත් රචනා කරනවා. ඒවා ඉදිරියේදී එළිදකීවි. ගෙදර හැමෝම ඉදිරියේදීත් ගීත ගායනයට ප්‍රමුඛත්වය දෙනවා.

මෙතෙක් ආ ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් දැනෙනවා. ගෙදර හැමෝම ගීත ගායනයෙන් ලබන මානසික තෘප්තිය තමා ඉතාම වැදගත්.