වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

හොලිවුඩයද - බොලිවුඩයද ආලියා පටලැවිල්ලක

ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන් වැනි බොලිවුඩ් නිළියන් දැන් හොලිවුඩයේත් කටයුතු කරමින් හොලිවුඩය තුළත් තමන්ටම අනන්‍යතාවයක් ගොඩනඟා ගනිමින් සිටින්නේ. ඔන්න ආලියා භාත්ටත් හොලිවුඩ් යන්න ඕනි වෙලා. තවමත් විසි දෙහැවිරිදි වියේ පසුවන ආලියා බොහොම ක්‍රමානුකූලව මේ ගමන යන්න සූදානම්.

“මට මේ වනවිට ලැබිලා තියෙන චරිතවලින් මට කැමැති වෙන්න පුළුවන් චරිතයක් නැහැ. මට හොලිවුඩ් යන්න ඕනිකමක් තිබුණත් මේ වෙලාවේ බොලිවුඩ් සිනමාවේ මගේ රංගනය ගැන අවධානය යොමු කිරීමයි වඩා වැදගත් වෙන්නේ. මොකද බොලිවුඩය තුළ මම මගේම සළකුණක් සටහන් කළ යුතුයි. ඊට පසුව හොලිවුඩ් ගමන ආරම්භ කරන්න මම සූදානම්” ආලියා පවසනවා.

රංගනය පිළිබඳ පොඩි තිගැස්මකුත් තිබිය යුතු බව ඇයගේ අදහසයි. ඒ වගේම හැම අවස්ථාවකදීම තමන් හොඳින් අගයන අයට වඩා වැරදි පෙන්වන අය ළඟින් සිටිමත් රංගන ගමනේ සාර්ථකත්වය පෙන්වන බව ආලියා පවසවා.

චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වන මහේෂ් භාත්ගේ දියණියක වන ආලියා සිය රංගන ගමන ආරම්භ කළේ කරන් ජොහාර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටයෙන්. ‘හයිවේ’, ‘2 ස්ටේට්’ වැනි චිත්‍රපටවලට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා.

අනුෂ්කාගේ දෙවැනි නිෂ්පාදනය

අනුෂ්කා ෂර්මාට රංගනයෙන් වගේම දැන් නිෂ්පාදන අංශයෙනුත් සාර්ථක වෙන්න හැකි වෙලා. ගිය වසරේදී ඇයගේ කුළුඳුල් නිෂ්පාදනය වූ NH  10 චිත්‍රපටය වාණිජ අතින් ඉහළ සාර්ථකත්වයක් ළඟාකර ගත්තා. අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා යුවළක් මුහුණ දෙන මාරාන්තික සිදුවීමක් වටා ගෙතුනු එය තිරගත වී දැන් වසරක් පමණ ගත වෙලා.

අනුෂ්කා දැන් සිය දෙවන නිෂ්පාදනයට අත ගහන්න සූදානම් වෙලා ඉන්නේ. ෆොක්ස් ස්ටාර් ආයතනය සමඟින් එක්ව ඇය මෙවර නිෂ්පාදනය කරන චිත්‍රපටයේ නම Phillaury (ෆිලෝරි). අනුෂ්කා සමඟින් දිල්ජිත් දූසජාන් සහ සුරාජ් ෂර්මා මෙහි රංගනයෙන් දායක වෙන්න නියමිතයි. ලබන අප්‍රේල් මාසය ඇතුළත පන්ජාබයේදී රූගත කිරීම් ආරම්භ කරන්න කටයුතු යොදා අවසන්.

ගැහැනු වී ඉපදීම වැරදි ද?

ජාතික මට්ටමේ සම්මානලාභිනියක කන්ගනා රනවුත් පසුගිය දවසක සිය ජීවිතය ගැන පාපොච්ඡාරණයක් කළා. ඒ පවුලේ අය තමන්ට සැලකූ ආකාරය ගැනයි. කන්ගනා කියන්නේ කුඩා වියේදී පවුලට එපා වූ කෙනෙකුට මෙන් තමන්ට සැලකූ බවයි.

කන්ගනාගේ උපත සිදු වෙලා තියෙන්නේ හිමාචල් ප්‍රදේශයේදී. කන්ගනාගේ මේ ප්‍රකාශය සමඟින් ඇයගේ තාත්තා එයට පිළිතුරු දීලා තියෙනවා. “ඇය ඉපදුනු කාලයේ හිමාචල් ප්‍රදේශයේ එතරම් හොඳ පරිසරයක් තිබුණේ නැහැ. ගැහැනු ළමයෙක් ඉපදීම අසුබ කරුණක් විදියටයි සැළකුවේ. ඒක හරියට අවමඟුලක් වගේ. ගමේ මිනිස්සු ගෙදරට ඇවිත් ‘අනේ අපොයි තවත් දුවෙක් නේද’ කියලා යනවා.”

කෙහොම වුණත් සිනමාව තුළ සාර්ථක වෙන්න කන්ගනාට හැකි වුණා. වාණිජ සාර්ථකත්වය විතරක් නොවෙයි ඇය විචාරක පැසසුම් පවා ලබන්නට වාසනාවන්ත වුණා. ඒ නිසා තමා ගමේ අසුබ නිමිත්ත සුබ නිමිත්තක් කළ දියණියක බවට පත් වුණා කියලා කන්ගනා පවසනවා.

ෆර්හාන් Rock On !! 2 සමඟින්

සම්මානනීය නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වන ෆර්හාන් අක්තාර් මේ දවස්වල අලුත් චිත්‍රපටයකට සූදානම් වෙනවා. 2008 වසරේදී තිරගත වූ Rock On චිත්‍රපටයේ සම්බන්ධයක් මේ අලුත් චිත්‍රපටයට තියෙනවා. මේ චිත්‍රපටයේ නමත් Rock On !! 2. මේ වෙනුවෙන් පැරණි චිත්‍රපටයේ රංගනයෙන් දායන වූ බොහෝ දෙනෙක් සහභාගි වෙනවා. ඒ අතරේ අර්ජුන් රාම්පාල්, ප්‍රාචි දේසායි, පූරබ් කෝහිල්, ශහානා ගෝස්වාමි සිටිනවා. “පළමු චිත්‍රපටයේ සිදු වූ දේවලට අතීතයක් තියෙනවා. ඒ වුණත් පළමු චිත්‍රපටයේ සිදුවීම් දෙවැන්නට ගෙන යන්නේ නැහැ” ෆර්හාන් පවසනවා.

Rock On !! 2 චිත්‍රපටයට ශ්‍රද්ධා කපූර් අලුතින් එකතු වෙනවා. සංගීත කණ්ඩායමක සාමාජිකයන්ගේ ජිවිත හා ඔවුන්ගේ සම්බන්ධකම් වටා Rock On !! 2 කතාව ගෙතී තියෙනවා.

මට මහලු වයසේ නැතිය වෙනදා වගේ චරිතේ

කාන්තාවන්ට බොලිවුඩ් සිනමා කර්මාන්තයේ ලැබෙන ඉඩ මඳ බව බොලිවුඩයේ ප්‍රවීන නිළියක පවසනවා. නමුත් හොලිවුඩ් සිනමාවේ නම් ඕනෑම තරාතිරමක නිළියකට හොඳ චරිත සමඟින් විශාල ඉඩක් වෙන්වී ඇති බවත් ඇයගේ අදහසයි.

වෙන කවුරුවත් නෙවෙයි මෙහෙම කියන්නේ ජනප්‍රිය නිළි හේමා මාලිනි. ජාත්‍යන්තර තලය ගතහොත් වයසින් වැඩි කාන්තාවන් සිටිනා නිර්මාණ රැසක් බිහි වන බව ඇය පවසනවා. නමුත් බොලිවුඩයේ එවැනි තත්ත්වයක් නොමැති වීම කනගාටුවක් බවත් හේමා මාලිනි කියන්නේ කනගාටුවෙන්. “ඇත්තටම මං වගේ කෙනෙක් මත සිනමාව මුදල් වැය කරන්න සූදානම් නැහැ. ඒනිසා මට කවුරුවත් දැන් හොඳ චරිත ගෙනත් දෙන්නේ නැහැ” ඇය කියන්නේ කනගාටුවෙන්.

හේමා මාලිනි අවසන්වරට රඟ පෑවේ ‘ආරක්ෂන්’ චිත්‍රපටයේ. කොහොම වුනත් ළඟදීම ඇය රිදි තියෙන් දකින්නත් අවස්ථාන ලැබෙනවා. ඒ ශිම්ලා මිර්චි චිත්‍රපටයෙන්. ඒක කාටහත් සිනහෙ වමින් බලන්න පුළුවන් චිත්‍රපටයක්.

කෙතරම් වැඩ බහුල වුණත්

අක්ෂේ කුමාර් මේ දවස්වල ‘හවුස්ෆුල් 3’ සහ ‘රස්තම්’ චිත්‍රපට නිසා කාර්යබහුල වෙලා ඉන්නේ. කාර්යබහුල මේ නළුවා පසුගිය දවසක ආදරණීය බිරිඳ නිළියක මෙන්ම ලේඛිකාවද වන ට්වින්කල් ඛන්නා සමඟින් වැඩකටයුතු හුවමාරු කරගෙන කටයුතු කළා. ඒ නිසා ආක්ෂේට සිනමාවෙන් පොඩි විෙවිකයකුත් ලැබිලා.

ආක්ෂේ සහ ට්වින්කල් මේ හැමදේම කරලා තියෙන්ෙනි තමන්ගේ දරුවන් වෙනුවෙන්. දහහතර හැවිරිදි ආරව් පුතු සහ සිව්හැවිරිදි වියේ පසුවන නිතාරා දියණිය සමඟින් නිවෙසේ කාර්යබහුල ට්වින්කල් එදා රූගත කිරීම් සඳහා පිටත් වුණේ නිවෙසේ සිට දරුවන් බලා ගැනීමේ වගකීම ආක්ෂේට පවරලා.