වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




Q & A

‘මාරක ළිඳේ සවාරියක්’ යමුද?

Q - උමයංගනා, පුංචි තිරයෙන් ජනප්‍රිය වූ තාරකාවක් වූ ඔබ දැන් වේදිකාවට විතරක්ම සීමා වෙලා වගෙයි අපට පෙනෙන්නේ?

A - මේ දවස්වල මම වේදිකා නාට්‍යය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නාට්‍ය දෙකම රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට තේරී තිබීම විශේෂත්වයක්. චාලක රණසූරියගේ 'මාරක ළිඳේ සවාරියක්' හා චාමික හත්ලාවත්තගේ 'රජා මං වහලා' තමයි ඒ නාට්‍යය දෙක. ඒ දෙකම දිගු නාට්‍ය දෙකක්. ඇත්තටම අපේ රංගනය හොඳින් මුවහත් කර ගන්න පුළුවන් තැනක් තමයි වේදිකාව. හුඟක් අවිවේකී තත්ත්වයකට මුහුණ පාලා තියෙනවා මේ වේදිකා නාට්‍යය දෙකේ රඟපාන්න ආවාට පස්සේ. ඉතින් මේ මාසයේ වැඩිපරම කාලයක් යොදවන්න බෑ ටෙලි නාට්‍යය රංගනය වෙනුවෙන්. ඒත් මම ඉදිරියේදී ටෙලි නාට්‍යය කිහිපයකම රඟපානවා. වේදිකා රංගනයේත් දිගටම නියැළෙනවා.

මට බැරිම දේ අජන්තාට පුළුවන්

Q -මෑතකදී අපෙන් වියෝ වූ ආචාර්ය අජන්තා රණසිංහගේ ගීත රචනා කලාව පිළිබඳ ඔබේ ආකල්පය කුමක්ද? ඔහුගේ ගීත අතුරෙන් ඔබ වඩාත් ප්‍රිය කරන ගීත කිහිිපයක් සඳහන් කරන්න.

A - මම හිතන්නේ අජන්තා රණසිංහ අයත් වන්නේ කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස් දෙදෙනාටම අයත් ජනප්‍රිය සම්ප්‍රදායට. මොකද කරූ, ප්‍රේම්, අජන්තා යන තුන් දෙනාම එක කුලකයකට සීමා වූ, සම්භාව්‍ය ගීතය පමණක් ඇසුරු කළ ගීත රචකයන් නෙවෙයි. ඔවුන් සම්භාව්‍ය ගීත සාහිත්‍යයේත්, වාණිජකරනයට ලක් වූ ගීත කලාවේත් එකසේ රැඳී සිටියා. ඒ අන්ත දෙකෙන්ම උපරිම ඵල නෙලා ගත්තා. කරූ, ප්‍රේම් වගේම අජන්තාත් පූර්ව නිර්මිත තනු අනුව වචන සම්පාදනය කිරීමේ අති විශිෂ්ටයෝ. ඒක ඉතාමත් අසීරු කාර්යයක්. ගීත රචකයෙක් හැටියට ගත්තොත් මට බැරිම දේ. එහෙම ගීත ලියන්න කිව්වාම මම ඒවා ප්‍රතික්ෂේප කරපු අවස්ථා බොහොමයි.

ඒත් මාත් බැරි බැරි ගාතේ එහෙම ලියපු ගීත ස්වල්පයක් තියෙනවා. අජන්තා එබඳු ගී රැසක් රචනා කර තිබෙනවා. දැන් 'තරු අරන්දතී' වැනි ගීතයක්, 'රෑ දොළොස් පැයේ' වැනි ගීතයක්, 'ඉඳුනිල් ගඟුලැල්' වැනි ගීතයක් අපට හිතාගන්න බෑ මේවා තනු අනුව නිර්මාණය කරපු ගීත ද කියා. ඔහු ඒ පැත්තෙක් කරූ සහ ප්‍රේම් ළඟා වූ ස්ථානයනටම ළඟා වුණා කියායි මම හිතන්නේ. දැන් ඇත්තටම 'නින්ද නේන රාත්‍රියේ' වැනි ගීයක් ජනප්‍රිය වෙන්නේ එය මධුර හින්දි තනුවක් සහ ජෝතිපාලගේ හඬ විතරක් නිසා නොවේ. ඔහු මුල් කාලයේ ලියූ ගීතයක් වුවත් ෙමි පද යෝජනය ඉතාමත් විශිෂ්ටයි. 'පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ', 'සෙනෙහේ විජිනිපතින් සනහන් මට පවන් සළා' වැනි යෙදුම් ඊට පෙර ගීත සාහිත්‍යයේ අපට හමු වී නෑ.

අජන්තාගේ ගීත රචනා අතුරෙන් 'විකසිත පෙම්', 'පුංචි දවස්වල', 'රෑ පැල් රකින', 'කීන දං මිටක්', 'මල් පොකුරු පොකුරු' වැනි ගීතවලට මම වඩාත් ප්‍රියයි. ඒ වගේම කවුරු හරි මගෙන් ඇහුවොත් වඩාත් ප්‍රිය කරන චිත්‍රපට ගී දහය මොනවද කියලා ඊට 'රන් කෙන්දෙන් බැඳ' ගීතය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. විජය ධර්ම ශ්‍රී ගේ 'දුහුළු මලක්' චිත්‍රපටයට සරත් දසනායකගේ සංගීතයට අනුව එය ගායනා කළේ නන්දා මාලිනීයි.

අපේ ‘වංහුං’ රසිකයන් අතරට

Q - 'මේරියන්ස්' සංගීත කණ්ඩායම ජනප්‍රිය සංගීතඥයකු හා ගායකයකු වූ ක්ලැරන්ස් විජේවර්ධන උපහාර ගී ප්‍රසංග කිහිපයක්ම ඉදිරිපත් කළා. ඇයි මේ තමන්ගේ නිර්මාණ නොකර ක්ලැරන්ස්ගේ නමින් බැබලෙන්න හදන්නේ?

A - අපි එය ඉතාම කලාතුරකින් පවත්වන ප්‍රසංගයක්. රසික, රසිකාවන්ගේ ඉල්ලීම සංවිධායකයන්ගේ කැමැත්ත මත මිසක් මේ ප්‍රසංගයෙන් මුදල් හම්බ කිරීමේ මානසිකත්වයක් අපට නෑ. ක්ලැරන්ස් විජේවර්ධන කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙක්. අපේ ඔහුට ගෞරවයක් තිබෙන නිසා ඒ අදාල කර්තෘ භාග නිසි විදිහට ගෙවලා පිළිවෙලට කරපු ප්‍රසංගයක්. ඔහුගේ සංගීත ශෛලිය සහ ගායන විලාශය රැක ගනිමින් ඒ ආකාරයටම කරපු ප්‍රසංගයක්. ලෝකේ වෙනත් රටවලත් මෙවැනි ප්‍රසංග පැවැත්වෙනවා. අපේ රටෙත් ඒක අපි කළා. පස්සේ ඉතින් තවත් සංගීත කණ්ඩායම් ද, මාධ්‍ය ජාල ද මේක පොදි බැඳගෙන කරන්න ගත්තා.

හැබැයි අපි එතන නතර වෙලා නෑ. අපේ අලුත්ම කතන්දරේ ප්‍රියා සූරියසේන හා ආත්මා ලියනගේ එක්ක අපි ප්‍රසංගයක් පැවැත්වූවා. 'ද කලර්ස් - අන්ප්ලග් මියැසි රාවය' කියලා තමයි ඒ show එක ඉදිරිපත් කළේ. මීගමුව ආවේ මරියා හෝල් එකේ මුල්ම show එක තිබ්බේ. House Full. ප්‍රියාට පිස්සු හැදිලා ඉන්නේ මේ show එක ගැන. ඒක ඒ තරම් සාර්ථකයි. අපි කවදත් එක තැනක හිටපු සංගීත කණ්ඩායමක් නෙවේ. විටෙන් විට වෙනස් වන සහ වෙනස් වෙච්ච සංගීත කණ්ඩායමක්.

අපේ අලුත්ම ගීතය අපි රසිකයන්ට තිළිණ කරන්නේ 'වංහුං' කියලා. ඕකත් එක්ක අපි මේ අවුරුද්දේ වැඩි ඉඩකඩක් දීලා තියෙන්නේ අපේ නව නිර්මාණවලට. තවත් ගීත කිහිපයකම අපි විෂුවල්ස් කරනවා. 'මේරියන්ස්' සංගීත කණ්ඩායම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවරුදු විසි අටක්. අවුරුදු දහයකින් අපි ඇල්බම් එකක් කරලා නෑ. මේ අවුරුද්දේ අපි 'මේරියන්ස්' නවතම ගීත එකතුවත් එක්ක රසිකයෝ අතරට එනවා.

‘කුසල්’ට පසු මම කුණාටුවේ මාරයා සමඟයි

Q - ඔබ 'කුසල්' නමින් ළමා චිත්‍රපටයක් නිර්මාණය කළ බවත්, එය ප්‍රද්ශනය සඳහා සූදානම් බවත් දැනගන්න ලැබුණා. ඒත් කවදාදා කියලා තමයි නොදන්නේ?

A - 'කුසල්' සීයට සීයක්ම ළමා චිත්‍රපටයක්. ආදර්ශමත් ළමා චිත්‍රපටයක්. ඇත්තෙන්ම අද ළමා චිත්‍රපට කියලා හැදෙන බොහෝ චිත්‍රපට වැඩිහිටියන්ටවත් සුදුසු නෑනේ. ඒ නිසා මම වගකීමෙන් කියනවා මේක ළමා චිත්‍රපටයක්. චිත්‍රපට හදන්න පුළුවන්. එත් ප්‍රදර්ශනය හරි අමාරුයිනේ. ඒ නිසා මේ අවුරුද්ද අන්තිමටවත් ප්‍රදර්ශනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ළමයින්ට නිදහසේ චිත්‍රපටය නරඹන්න පුළුවන් නිවාඩු කාලෙනේ. ළමා චිත්‍රපටයක් වුවත් මෙය පවුලේ කාටත් සුදුසුයි. අනවශ්‍ය දෙබස් නෑ. බෞද්ධ දර්ශනය පදනම් කරගෙනයි මෙය නිර්මාණය කළේ. මේ දිනවල එහි ප්‍රචාරක කටයුතුවලට ලකලෑස්ති වෙමින් ඉන්නවා.

ඊට අමතරව මම තාරුණ්‍යය වටා ගෙතිච්ච තවත් චිත්‍රපටයක් කරනවා. ඒකේ වැඩ කටයුතු ආරම්භ කරනවා මේ මාසේ අන්තිමට. ඒ චිත්‍රපටය තමයි 'කුණාටුවේ මාරයා'. කුණාටුවකට මැදි වූ තරුණ පිරිසකට මුහුණ දෙන්න සිදු වෙච්ච ත්‍රාසජනක අත්දැකීම් තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. ත්‍රාසය, භීතිය, කැටිවුණ බිහිසුණු ගණයේ චිත්‍රපටයක්. එය අලුත් අත්දැකීමක් වෙයි ලාංකේය ප්‍රේක්ෂකයන්ට. මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ නෑ. ඩිරෙක්ට් කරනවා විතරයි. ප්‍රධාන චරිත රඟපාන්නේ චිලියි, අමීෂායි. ඒ දෙන්නා තමයි පෙම්වතුන්. දෙනුවන් සේනාධි, හර්ෂණ බෙත්මගේ, මේනකා මධුවන්ති, වොල්ගා විරසිංහ, උමායා ලියනගේ, රොහානි වීරසිංහ, කුෂානි වීරක්කොඩි, මංගලා ගුණවර්ධන මෙහි සෙසු ප්‍රධාන චරිත රඟපානවා. ඩිලාන් ගුණවර්ධනගේ කැමරාකරණයෙන්, රංග ප්‍රනාන්දුගේ සංගීත අධ්‍යක්ෂණයෙන්, චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ ගීත රචනයෙන් 'කුණාටුවේ මාරයා' හැඩ වෙනවා.