|
||||||
ගාමිණී නමින් පරසතු මල් පුබුදවමුසිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ජීවත්ව සිටියා නම් මෙම මස 21 වැනි දින සාදයක් පැවැත්වෙනු ඇත. ඒ ඔහුගේ අසූ වැනි ජන්ම දිනය නිමිති කොට ගෙනය. එහෙත් ඔහු අද අප අතර නැත. දස වසරකට පෙර ඔහු අප අතරින් වෙන්ව ගියේය. මේ වන තෙක් ගාමිණී ෆොන්සේකා නමැති අසහාය පෞරුෂයකින් හෙබි මහා රංගේශ්වරයා ජීවත්ව සිටියා නම් කවර අත්දැකීමකට මුහුණ දෙනු ඇත්ද? ජීවමාන පුරා වෘතාන්තයක් සේ බොහෝ වීරාභිනන්දනයන් ශේෂ ගත කොට ඔහු අප අතහැර ගියේය. මෙම දස වසර ඇතුළත මෙරට සිනමාව පිළිබඳ හැඟීම් ද උඩු යටිකුරුව ගොසිනි. සිනමාව පිළිබඳ අපදාන කතා අතීත කාමයෙන් මත් වූවන්ගේ අභිමානයට හේතුව ඇත්තේය. එහි ගාමිණී ෆොන්සේකා නාමය කිසිදු බලපෑමකින් තොරව තවමත් වැජඹීම ඔහුට ඇළුම් කළ, ඔහු නිසා සිනමා ලෝලීන් වූ අප වැන්නන්ගේ සොම්නසට හේතුවක්ව ඇත්තේය. එහෙත් එයින් බාහිර ලෝකය කොපමණද? එක්තරා විශ්ව විද්‍යාල සිසුවෙකු සිය උත්තර පත්තරයේ ලාංකික මහා නළුවන් පිළිබඳ උත්තරයකට ටෝනි ප්‍රනාන්දු නම් නළුවකු ගැන කියයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් ඉංග්‍රීසි ජාතිකයෙකු ගැන ලියයි. රුක්මණී දේවී නම් ඉන්දීය නිළියක සිංහල චිත්‍රපටවල රඟපෑ බව සඳහන් කරයි. පුදුම විය යුතු නැත. ගාමිණී ෆොන්සේකා පිළිබඳ මේ දිනවල ලිව්වා නම් කුමක් ලියනු ඇතිද? දොසක් දැකිය නොහැක. ගාමිණී රඟපෑ චිත්‍රපට තිරගත වූ එදා තිරගත වන මුල්ම දවසේ චිත්‍රපටය නැරඹූ පේ‍්‍රක්ෂකයන්ගේ සිනමා ශාලා බහුතරය අද නොමැත. ගාමිණී රඟපෑ චිත්‍රපට අතිශය දුබල පිටපත් ලෙස ටෙලිවිෂනයේ විකාශය විය. ඒවා රසවිඳිය නොහැක.ගාමිණී ෆොන්සේකා සිනමාවේ ගොඩනැඟු ප්‍රතිරූපය මෙම දුබල පිටපත් හමුවේ කෙනෙකුට ඔප්පු කළ නොහැක. වර්තමානයේ නම් අති සාර්ථක සිංහල චිත්‍රපටවල රඟපෑ බොහෝ නළු නිළියන් තරු නොවෙති. ඔවුනගේ නම් ගම් පවා ප්‍රේක්ෂකයෝ නොදනිති. ගාමිණී ෆොන්සේකා විසින් මෙරට සිනමා නළු නිළියන්ට වැර වෑයමෙන් හා කැපවීමෙන් ලබා දුන් වෘත්තීය ගරුත්වය ඇස් පනාපිටම ඇතැමුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙලසන අයුරු බලා සිටින්නට බොහෝ ප්‍රවීණයන්ට සිදුව තිබේ.
සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා උපත ලද්දේ 1936 වසරේ මාර්තු 21 දා මැදියම් රැයේදීය. ඒ දෙහිවලදීය. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ අක්කලා දෙදෙනකුට බාල මලනුවන් වූයේ ඔහුය. ඔහුට බාල සොහොයුරා ළමා වියේදීම මෙලොව හැර ගියේය. ගාමිණී මුලින් දෙහිවල ප්‍රෙස්බිටීරියන් විදුහලට ද දෙවැනුව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට ද ඇතුළත් විය. ඉංග්‍රීසියෙන් මෙන්ම එවකට ශාන්ත තෝමස් විදුහල් ගුරුවරුන් අතර සිටි හෙළ හවුලේ මහ පඬිවරුන් වූ අරිසෙන් අහුබුදු ශූරීන් වැන්නන් ද ඔහුගේ ගුරු තනතුරේ ක්‍රියා කළහ. අරිසෙන් අහුබුදු සහ ගාමිණී අතර අතිශය සමීප සබඳතාවය ගාමිණීගේ මරණය දක්වාම පැවතුණකි. ගාමිණී පාසල් අවදියේදීම කවියකු විය. ඔහු විසින් එසමයේ රචනා කරන ලද මිය යන පියෙකුගෙන් නම් කවි පෙළ ඔහුගේ කවීත්වය පිළිබඳ හෙළිදරව් කරන්නකි. පාසල් සමයේ ඔහු ක්‍රීඩකයෙකු වශයෙන් ද පතළ විය. සිනමාවේ ද පතළ වූ නාහෙට නාහන ගැටවර විය ඔහු ජීවිතයට ද පණ පොවා දුන්නේ පාසල් අවධියේය. දෙහිවල ප්‍රදේශයේ නමගිය චණ්ඩියයකුට බඩ කට පුරා නෙළුවේද ඒ අවදියේදීමය. ඔහු රංගනයට පිවිසෙනුයේ ද පාසල් වේදිකාවේය. පාසල් ආචාර්යවරයකුව සිටි ඩී. ඒ. ජයසේකර මහතා විසින් නිර්මාණය කරන ලද මයුරි නාට්‍යයේ ගාමිණී රඟපෑවේය. ඒ කාන්තා චරිතයක් වීම විශේෂයකි. එමෙන්ම පාසල් අවධියේ ඔහු දක්ෂ සිත්තරෙකු ද විය. ඔහු අසමත් වනුයේ ගණිත විෂයටය. මේ නිසා පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කරන්නට ඔහුට සිදු විණ. පොලිටෙක්නික් ආයතනයට බැඳී ටික කලක් ඉගෙනුම ලැබූ ගාමිණී කැමරාකරණය පිළිබඳ උනන්දුවක් දැක් වීය. එවකට දේශීය සිනමාවේ පුරෝගාමී චරිතයක් වූ සිරිසේන විමලවීර හමුවට ගිය ද ගාමිණීට අවස්ථාවක් ලැබුණේ නැත. විමලවීරයන්ට හඳුනා ගත නොහැකි වූ තිදෙනෙකු පසු කලෙක ලාංකික සිනමාවේ දැවැන්තයන් තිදෙනෙකු බවට පත් විය. සෙසු දෙදෙනා නම් ජෝ අබේවික්‍රම හා එච්. ආර්. ජෝතිපාලයන්ය.
ගාමිණීගේ හිතවතකු ද වන ප්‍රේමනාත් මොරායස්ගේ මඟ පෙන්වීම යටතේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයට දායක වන්නට ලැබීම ඔහුගේ සිනමා වෘත්තියේ ආරම්භයයි. එහි ඔහු මුලින්ම කැමරා අධ්‍යක්ෂ විලී බ්ලේක්ගේ සහායකයා විය. එහෙත් ටික දවසකින් බ්ලෙක් හා ගාමිණී අතර අරගල ඇති විය. ආචාර්ය ලෙස්ටර් ගාමිණීව යොදා ගත්තේ නිෂ්පාදන සහායක හැටියටය. ඒ නිෂ්පාදන කළමනාකරු ඩෑන් දොරේරාජ්ගේ සහායටය. රේඛාවේ ඉතා සුළු දර්ශනයකට පෙනී සිටීම සිනමා කැමරාව ඔහුගේ රූපය ග්‍රහණය කර ගත් මුල් අවස්ථාව විය. ආචාර්ය ලෙස්ටර්ගේ රේඛාව ඔහු සිනමා පාසල කර ගත්තේය. එයින් පසු ඔහුට ලැබෙනුයේ ලංකාවේ රූගත කළ දැවැන්ත සිනමා කෘතියක් වූ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයට දායක වන්නටය. ඩේවිඩ් ලීන් එහි අධ්‍යක්ෂවරයා විය. ගාමිණී චරිතාංග නළුවකු ලෙස දොරට වඩිනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මුහුදින් ගෙදරට වාර්තා චිත්‍රපටයෙනි. ඔහු වෘතාන්ත සිනමා රංගනයට පිවිසෙනුයේ සෙසු සමකාලීන නළුවන් මෙන් දකුණු ඉන්දියානු චිත්‍රාගාරයකදී නොවේ. උතුරු ඉන්දියාවේ පූනාහි එවකට පැවැති ප්‍රධාන පෙළේ චිත්‍රාගාරයක් වන ප්‍රභාත් චිත්‍රාගාරයේය. ඒ දෛවයෝගය චිත්‍රපටයේ චරිතය රඟපාමිනි. සෙසු නළු නිළියන් ඉන්දීය ලාලිත්‍යයෙන් යුතුව රඟපාද්දී ගාමිණී එහි රඟපෑ විලාසය එදා විචාරකයින්ගේ ගර්හාවට ලක් විය. අනතුරුව ඔහු මතුව එන්නේ සන්දේශය චිත්‍රපටයේ තම්මිට නම් කැරලිකරුවාගේ චරිතය සමඟය. සංදේශය නිෂ්පාදන අංශය භාරව සිටියේ ද ගාමිණීය. එය ඉතා දුෂ්කර හා වගකීමකින් යුත් රාජකාරියක් විය. ඔහු ප්‍රධාන පෙළේ චරිතයකට ද, චිත්‍රපටයේ නිෂ්පාදන වගකීම ද මනාව ඉටු කළේය. සන්දේශය චිත්‍රපටයේ රඟපාන විට ඔහු සිනමාව ගැන බොහෝ අවධානයෙන් පසු වූ බව පෙනෙන්නකි. ඒ ඔහු එහි රූපයට අවතීර්ණය වන ආකාරය හා එහි හැසිරෙන සියුම් ආකාරය නිරීක්ෂණය කිරීමෙනි. ගාමිණී සන්දේශයේ උප ප්‍රධාන චරිතය රඟපෑව ද සිනමා කෘතිය අවසාන වන විට ප්‍රේක්ෂක මතකයේ වඩා රැඳෙන්නට සමත් වෙයි. කිසිදු දෙබසක් නොමැති අවස්ථාවලදී පවා ප්‍රේක්ෂක අවධානය තමා වෙත රඳවා ගන්නට තරම් ගාමිණී සමත් වෙයි. ඔහු පෙම්වතාගේ චරිතය රඟපානුයේ පිරිමියෙක් නිසා චිත්‍රපටය සමඟය. රන්මුතු දූව සමඟ ගාමිණී ලාංකික සිනමාවේ සියලු රංග පෞරුෂයන් තම අතට ගත්තේය. ඒ වන තෙක් සිනමා රංගනයේ නියැළී බොහෝ දෙනා ගුරු කොට ගත්තේ දකුණු ඉන්දියානු සිනමා රංග රීතියයි. ගාමිණී එය වෙනස් කළේය. එයට පෙරද සාධනීය ලක්ෂණ පළ කළ නළුවන් දෙතුන් දෙනෙකු සිටියහ. ඒ සියල්ල අබිබවා ඉදිරියට එන්නට ඔහු සමත් විය. එයට වඩාත්ම හේතු වූයේ ඔහු සතු අසමසම පෞරුෂයයි. එකී පෞරුෂය ඔහු භාවිත කරන ලද්දේ චිත්‍රපට රංගනයට පමණක් නොවේ. සමස්ත සිනමා කර්මාන්තය අරභයා ඔහු එය යොදා ගත්තේය. හැටේ දශකය යනු ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයයි. අලුත් සිනමා සංස්කෘතියක් බිහි වනුයේ එහිය. සිනමා සංගම් ගොඩ නැඟෙන්නේ එහිදීය. මෙරට චිත්‍රාගාර විපුල ඵල නෙළන්නේ එසමයෙහිය. ලොව පුරා විශිෂ්ට චිත්‍රපට ලංකාවේ තිරගත වනුයේ එකලය. එයට නොදෙවැනිව තැනුණ සිංහල චිත්‍රපට අති සාර්ථක විය. මුල්වරට ජාත්‍යන්තර සම්මාන දිනා ගන්නේ එකලය. තරුණ සිනමාකරුවන්, නළු නිළියන් සිනමාවට අවතීර්ණ වූයේ එකළය. එවක ඉතා නවීන ශාලා මෙරට ඉදිවිණි. එම ස්වර්ණමය යුගය තවත් ආලෝකවත් කළ එක් කරුණක් වනුයේ ද ගාමිණී ෆොන්සේකාය. ගාමිණීගේ රංග පෞරුෂයට වසඟ වන ලාංකික ගැටවරයෝ අනතුරුව ඔහු තම වීරයා බවට පත් කර ගත්හ. මේ වනතෙක් මෙරට බොහෝ නළු නිළියන්ට සිදු වනුයේ නිෂ්පාදකවරුන්ගේ අතොරක් නැති කොන්දේසිවලට යටත් වීමටය. දෙන දෙයක් රැගෙන පුළුවන් විදියට කා බී, චිත්‍රපට රඟපෑ යුතුය. ගාමිණී එම තත්ත්වය වෙනස් කළේය. නළු නිළියන්, කාර්මික ශිල්පීන් සියල්ල යෙදී සිටිනුයේ ගෞරවනීය වෘත්තියක බව ඔහු පෙන්වා දුන්නේය. සූර චෞරයා චිත්‍රපටය රූපගත කළේ දඹුල්ලේය. ප්‍රධාන නළුවා වූ ගාමිණීට ද, ප්‍රධාන නිළි සන්ධ්‍යා කුමාරිට හා අධ්‍යක්ෂට පමණක් දඹුල්ල තානායමේ ඉඩ සලසා තිබිණ. සෙසු සියල්ලටම තැන් තැන්වල තාවකාලික ලැගුම්හල් ඉදි කර තිබිණ. සෙසු අයට ද අදාළ පහසුකම් දෙන තුරු තමා රූගත කිරීම්වලට සහභාගි නොවන වග පැවසූ ගාමිණී ආපසු කොළඹ ගියේය. චිත්‍රපටයේ රූ ගැන්වීම් ඇරඹුණේ සිනමා ශිල්පීන්ගේ පහසුකම් ලැබුණායින් පසුවය. ලාංකික චිත්‍රපට කර්මාන්තයේ සිනමා ශිල්පීන් අත් විඳින බොහෝ පහසුකම් පිළිබද ගෞරවය හිමි විය යුත්තේ ගාමිණීට බව අවිවාදාත්මකය.
ඔහුගේ ජීවිතයේ තීරණාත්මක සාධකයක් ලෙස සැලකිය හැක්කේ පරසතු මල් අධ්‍යක්ෂණයයි. මේ වසරට තිරගත කොට පනස් වසරක් සපිරෙන පරසතු මල් නිර්මාණය සඳහා අත තැබීම පවා එක්තරා අභියෝගයකි. එහි ඔහුගේ චරිතය “බොනී මහත්තයා” සාධු චරිතයක් නෙවේ. චරිත අනුව ප්‍රතිරූප මැවෙන එබඳු යුගයක “බොනී මහත්තයා”ට ළං වීම පවා ඒ අවදියේ අභියෝගයකි. එහි එන අපූර්ව සිනමා ශෛලිය ගාමිණීගේ රූප ඥානය විදහා දක්වන්නකි. ගාමිණී රඟපෑ බොහෝ චිත්‍රපටවල නොනිල අධ්‍යක්ෂවරයා ද ඔහු විය. ඔහු නමින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් උතුමාණෙනි වැනි චිත්‍රපට සිනමාව ආත්ම ප්‍රකාශනයක් කොට ගත්තෙකුගේ අදීන හා නිර්භීතභාවය ප්‍රකාශ කරන්නකි. කෙසේ වෙතත් ගාමිණී හැත්තෑව දශකයේ බිහි වූ තරුණ සිනමාකරුවන් සමඟ මතවාදී අරගලයක යෙදිණ. පසු කලෙක මතවාද සමනයට පත් වුව ද මේ සිනමාකරුවන් සියල්ල ඔහු චිත්‍රපටකරණයේ යෙදෙන්නට අවස්ථාව සැලසුව ද එහිදී මන්දෝත්සාහි වන්නට ගාමිණී තීරණය කර තිබුණා වැනිය. මහාචාර්ය සුනිල් ආරියරත්න හැරුණු විට හැත්තෑව පරම්පරාවේ කිසිවකු සමඟ හෝ කටයුතු කළා නම් ඔහුගේ සිනමාව අංග සම්පූර්ණ වන්නට ඉඩ තිබිණ. එහෙත් ඔහු සමඟ චිත්‍රපට නිර්මාණ කරන්නට සූදානමින් සිටි හැත්තෑව දශකයේ සිනමාකරුවන් රාශියක් දිගටම බලාපොරොත්තු තබා ගත්තේය. ගාමිණී ද තම සමකාලීන ඇතැම් සිනමාකරුවන්ට වඩා තරුණ පරපුරේ සිනමාකරුවන්ගේ චිත්‍රපට පිළිබඳ මහ ඉහළින් කතා කළේය. ගාමිණී සිනමා වීරයා ලෙස ප්‍රේක්ෂක හදවත් දිනා ගනිද්දී ගම්පෙරළිය, නිධානය වැනි චිත්‍රපට ඔස්සේ විචාරකයන්ගේ ප්‍රශස්තියට භාජනය විය. ඒ කිසිවක් ලාංකික සිනමාවේ අමතක නොකළ හැකි කරුණක් විය. කොටින්ම ගාමිණී හා ලාංකික සිනමාව දෙකක් නොව එකක් විය. ගාමිණී යනු නිර්භීත මතවාදයකු විය. ඔහු ජනවාර්ගික අර්බුදය හා සමකාලීන දේශපාලනය පිළිබඳ නොපැකිළ අදහස් පළ කළේය. මේ මතවාද බෙහෙවින් විවාද සම්පන්න වූයේය. ඔහු සාගරයක් මැද, කොටි වලිගය, උතුමාණෙනි වැනි චිත්‍රපට පුරා පවා හෙළිදරව් කළේ එම නිර්භීතභාවයයි. එය ඔහු පෞද්ගලික වාසි තකා මතු කළ මතවාදයක් නොවේ. ඔහුගේ හඬ ඉදිරියේ රට කරවන ඇත්තන් පවා නිසොල්මන් වූහ. ඔහු මානව හිතවාදියකු වූයේ වචනයෙන් නොව ක්‍රියාවෙන්ය. ගාමිණී රඟපෑ බොහෝ චිත්‍රපට විජය චිත්‍රාගාරයේ ගින්නෙන් පිලිස්සුණි. තවත් සමහර චිත්‍රපට විනාශ වූයේ එයින් පසුවය. අද ගාමිණී පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ පුරාවෘත්තයක මතකයකි. ඔහු රඟපෑ විශිෂ්ටතම චරිතය ඇතුළත් නිධානය දෙවසරකට පෙර වැනිස් සිනමා උළෙලේදී ප්‍රතිසංරක්ෂණය කෙරිණ. කාටත් හොරා නිහාල්සිංහයන් වැලිකතර යළි ප්‍රතිසංරක්ෂණය කරන ලද වග වාර්තා වෙයි. ගාමිණීගේ අසූ වැනි ජන්ම දිනය වෙනුවෙන් මහා පින්කමක් කරන්නට පුත් දමිත් ෆොන්සේකා සැරසෙයි. එයට මහත් සේ කැප වෙන්නේ නිධානය යළි ගොඩ ගන්නට උර දුන් මහා නළු රවීන්ද්‍ර රන්දෙණිය වීම විශේෂයකි. දමිත්ගේ සූදානම පරසතු මල් නැවත පුබුදන්නටය. කොටින්ම චිත්‍රපටය එදා තිබූ පරිදි නව තාක්ෂණය උපයෝගී කොට ගෙන ආරක්ෂා කිරීමය. දමිත්ගේ මුල් වෑයම පරසතු මල් වුවත් එයින් පසු මෙරට බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට දහය සහ සෙසු චිත්‍රපට යළි ප්‍රතිසංරක්ෂණය කිරීම ඔහුගේ ප්‍රාර්ථනාවයි. ඒ අනුව පරසතු මල් යළි පිබිදෙන්නේ එහි නිෂ්පාදක චිත්‍ර බාලසූරියගේ ද කැමැත්තෙනි. පැරැණි පරසතු මල් නව තාක්ෂණයෙන් සියලු පිරියම් යොදා රූපයෙන් රූපය අලුත් කෙරෙනු ඇත. හඬපටය සුසර කිරීම ඒ අනුව සිදු වේ. ගාමිණී ෆොන්සේකා නම් දැවැන්තයා පුරාවෘත්තයක් පමණක් නොකර යළි ජීවමාන කළ හැක්කේ එවිටය.
|
||||||