|
යශෝධා කෝච්චියට බෙල්ල තියා වෙන්න ගිය වින්නැහියනලින් පේ‍්‍රමතිලක විස්තර කරයි
අත්තනගල්ල අලවල ග්‍රාමයේ ඉපදුණු නලින් ප්‍රේමතිලක කොළොම් පුරවරයට පා නඟන්නේ 1984 වසරේ ය. අංගරචනා ශිල්පියකු ලෙස මේ වනවිට ක්ෂේත්‍රයේ වසර තිස්දෙකක පළපුරුද්දක් ඇති නලින් ප්‍රේමතිලක සම්මානනීය තරුණ අධ්‍යක්ෂවරයෙකි. ‘මව’, ‘උපාසක අම්මා’, ‘මුදියන්සේ මාමා’, ‘සිසිලියාට පාඩමක්’, ‘කටුඉඹුල, ‘ස්වයංජාත’ ඇතුළු ටෙලි නාට්‍ය රැසකට අංගරචනයෙන් සහභාගි වී ඇති ඔහු මෙතෙක් අංගරචනයේ නියැළි කාලය ඇතුළත බොහෝ දේ අත් වින්දේ ය. මේ ඒ අත්විඳී අතීත මතකය විදහා දක්වමින් ඔහු ‘සරසවිය’ සමඟ කළ කතාබහකි. ළඟඳීම තිරගත වීමට නියමිත රන්ජන් රාමනායකගේ ‘මායා’ චිත්‍රපටයේ දී සිදුවුණු අමතක නොවන දේ මොනවා ද? මෙහි සමහර රූ ගත කිරීම් කළේ ඉන්දියාවේ කේරළයේ. එහි රූගත කළේ අපි සටන් ජවනිකාවක්. ඒ සටන් ජවනිකාව රූ ගත කරන්න දින දහයක් ගියා. ඒ සඳහා දරන පිරිවැය ගත්තොත් අපි මුළු චිත්‍රපටයට ම දරන වියදමට සමානයි. තාක්ෂණය වුණත් ඉහළ මට්ටමකයි එහිදි භාවිත කරන්නේ. නිර්මාණයක අංගරචනාවකදි වැඩි වියදමක් අංගරචනා කටයුතුවලට දරන්න අපේ සමහර නිර්මාණකරුවන් කැමැති නැහැ. ඒත් ඊට පරස්පර වූ දෙයක් කේරළයේ දි සිදුවුණා. ‘මායා’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වුණේ සදේෂ් කුමාර්. එහිදි කළ අංගරචනා කටයුත්තකට එක් වෙලාවකදි අවශ්‍යය වුණේ කොලෝඩියන් කියන ද්‍රව්‍යයයි. ද්‍රව්‍ය ගෙනෙන්න නම් සැතපුම් හයසියයක් දුරක තිබෙන චෙන්නායිවලට යා යුතුයි. මම මේ ගැන නිෂ්පාදකවරයාට කිව්ව විතරයි ඔහු ඒ දුර ගෙවලා මට අවශ්‍ය දේ ගෙනැත් දුන්නා. ඒ වගේ අවශ්‍ය දෙය අවශ්‍ය වෙලාවට කරන්නත්, කැප කිරීම් කරන්නත් ඔවුන් තමන්ගේ නිර්මාණය වෙනුවෙන් සූදානම්. මේ වනවිට ඔබගේ අංගරචනයෙන් හැඩවුණු නළු - නිළියන් කවුද? ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, වසන්ති චතුරාණි, හේමසිරි ලියනගේ, සිරිල් වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා, ශ්‍රියන්ත මෙන්ඩිස් ආදී ප්‍රවීණ ශිල්පීන් රැසක් හා ජගත් චමිල, හේමාල් රණසිංහ, පුබුදු චතුරංග ආදී මෑත පරම්පරාවේ ශිල්පීන් ද මගේ අංගරචනයෙන් හැඩවූවන්. මේ ශිල්පීන් සියලුදෙනා ම වගේ මාත් සමඟ බොහොම හිතවත්. ඒ වගේ ම අමරදේව මාස්ටර්ගේ පටන් සියලු ම ප්‍රවීණ ගායක-ගයිකාවන් රැසක්වමත් මා අංගරචනා කටයුතු කරලා තිබෙනවා. වර්තමාන පරපුර ඒ තරමට ඔබත් සමඟ හිතවත් නැද්ද? වර්තමානයේ එහෙම හිතවත් කිහිපදෙනෙකුත් ඉන්නවා. මම බොහොම ගරු කරන්නේ හා ආදරය කරන්නේ පැරැණි අයටයි. ඔවුන් බොහොම හෘදයාංගමයි, බොහොම හිතවත්, සුහදශීලියි, ගුණගරුකයි. ඔවුන් දර්ශන තලයට ආවට පස්සේ බොහෝ දේවල් අපිත් සමඟ කතාබහ කරනවා. ඒත් වර්තමානයේ අය දර්ශන තලයට එන්නෙත් කෝල් එකකයි. යන්නෙත් කෝල් එකකයි. නව පරපුරේ අය වඩාත් හොඳයි. ඒත් ගොඩක් අය නරකයි. නරක කියලා මා අදහස් කළේ ඔවුන්ගේ නූගත් කම හා නොදැනුවත්කමයි. ඔබ අංගරචනා කටයුතු කළාට පස්සේ අංගරචනය වෙනස් කරන නිළියන් එහෙම මුණ ගැසිලා තියෙනවද? සමහර නළු නිළියෝ රූපලාවණ්‍ය පිළිබඳ තරමක් දැන ගත්තට පස්සේ හිතගෙන ඉන්නේ ඒ අයත් අංගරචනා ශිල්පියා වගේ කියලා. වසර ගණනක් අංගරචනා කළ අංගරචනා ශිල්පියාටත් උගන්වන අයයි අද ඉන්නේ. මේ සිදුවීම සිද්ධ වුණේ ඉදිරියේ දී තිරගත වීමට තිබෙන චිත්‍රපටයකයි. එහි ප්‍රධාන චරිතයක් කරන නිළියටයි මට මේකප් ටෙස්ට් එක කරන්න තිබුණේ. ඇයගේ අංගරචනා කටයුතු කළාට පස්සේ ‘මෙතැනට තව ලිප්ටික්ස් ටිකක් තදට ගාමු නේ’ කියලා කිව්වා. එවිට මා පැවසුවේ එහෙම තදට ලිප්ටික්ස් ගාන්න උවමනා නැති බවයි. එවැනි කාරණයක් යෝජනාවක් ආකාරයෙන් යම් කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් එහෙම කළ යුතු ම යැයි යන අදහසෙන් ඔවුන්ට උවමනා ආකාරයෙන් අංගරචනය වෙනස් කරන්නට දිය නොහැකියි. මේ ගැන මා ඒ නිර්මාණයේ අධ්‍යක්ෂවරයා දැනුම්වත් කළා. ඊට පස්සේ නම් ඒ වගේ ප්‍රශ්න ඇතිවුණේ නැහැ. ජෝ අබේවික්‍රම වැනි රංගන ශිල්පියෙකුත් සමඟ දර්ශන තලයේ දී ගෙවුණු කාලය පිළිබඳ මතකයට නඟමුද? යුද්ධය තිබෙන කාලයේ ටෙලි ෆිල්ම් එකක් කරන්න අපි කැබැති ගොල්ලෑවට ගියා. එහි නවාතැන් ගන්න සිද්ධ වුණේ පොඩි ගඩොල්වලින් විතරක් හැදුව කාමරයකයි. ඒතරම් පහසුකම් අපි සිටි ප්‍රදේශයේ නොතිබුණත් එදා නවාතැන් පොළේ දී ඔහු බොහෝ දේ කතා කළා. සංගීතය ගැන ඔහුට තිබුණේ අපූරු දැනුමක්. ඒ වගේ ම අපි එදා නෑවේ හවසයි. හවස් වනවිට ජෝ මහත්තයාට ඇස් පෙනෙන්නේ අඩුවෙන්. අපි නාන්න ගිය තැන තිබුණේ ටැංකිවලට පුරවපු වතුරයි. එතැනට ඔහුව අතින් අල්ල ගෙන එක්ක ගෙන ගිය මම ජෝ මහත්තයව නෑව්වා. ඔහු එපා කිව්වත් මම ඒදේ කළේ බොහොම සතුටෙන්. තරුණ වයසේ සිටි මට ඒ උදව්ව කරන්න පුළුවන් කමක් තිබිලත් එහෙම නොකළා නම් අද සිතට දැනෙන්න තිබුණේ වෙනස් ම හැඟීමක්. සති ගණනක් එක තැනක සිටි දර්ශන තලවලදි වරක් ඔබගේ උපන්දිනය සැමරුවා කියන්නේ ඇත්තක් ද? මේ සිදුවීම වුණේ ‘සද්ගුණාකාරය’ ටෙලි නාට්‍යය රූගත කරන අතරතුරේ දී. සුපුරුදු විදියට අපි එදත් රූගත කිරීම් අවසන් වෙලා ලොජ් එකට ආවා. ඒ එනවිට මුළු ලොජ් එක ම සරසලා. මොකක්ද මේ උත්සවය කියලා හිතා ගන්නවත් බැහැ. එකපාරට ම හැමෝම ඇවිත් මට සුබ පැතුවා. ඒ වගේ ම වසන්ති, නීටා අක්කලා, සිරිල් අයියා. ශ්‍රියන්ත හැමෝම අත්සන් කරලා ලොකු තෑග්ගකුත් මට ගෙනැත් දුන්නා. එතකොටයි මගේ උපන්දිනය එදා වග මට ඇත්තට ම මතක් වුණේ. වසන්ති අක්කා ගානේ ලොකු පාටියකුත් සූදානම් කරලා තිබුණා. ඒ වගේ සොඳුරු දේවලුත් ලොජ්වලදි සිදු වෙනවා. ඔබගේ බිරියත් මුණ ගැසෙන්නේ ඔබ අංගරචනා ශිල්පියකු නිසා නේද? සුවිනීතා මට මුලින් ම මුණ ගැසෙන්නේ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ දී. ඊට පස්සේ උදයකාන්තගේ ‘හුමාලය’ ටෙලි නාට්‍යයේ දී. ඒ නිර්මාණවලදි අපි අතර තිබුණේ හිතවත්කමක් විතරයි. සුදත් රෝහණගේ ‘නිරානන්දය’ ටෙලි නාට්‍යයේ දියි අපි දෙන්නාගේ මිත්‍රකම ආදරයකට පෙරළෙන්නේ. ඉන් පසුව අපි විවාහ වෙනවා. මේ වනවිට මම පුත්තු දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්. රූගත කිරීමකදි වූ අමතක නොවන සිදුවීමක් කියමුද? ‘හුමාලය ටෙලි නාට්‍යය රූගත කරන අවස්ථාවෙදියි මේ ඇඟ හිරිවැටෙන සිදුවීම සිදුවුණේ. ඒ ටෙලි නාට්‍යයේ යශෝදා රඟපෑවේ ගොළු චරිතයක්. ඇයට තිබුණේ කෝචිචයට පනින දර්ශනයක්. ඒ සඳහා අවශ්‍ය උපදෙස් කෝච්චියේ රියැදුරාට ලබාදුන් උදය අයියා රේල් පීල්ලට බෙල්ල තියගෙන ඉන්න යශෝධටත් උපදෙස් දුන්නා. ඈට නැඟිටින්න බැරිවුණොත් ඇදලා ගන්න වෙන ම දෙන්නෙක් තිබ්බා. අංගරචනා කටයුතුවලින් පස්සේ යශෝධා රේලි පීල්ලට බෙල්ල තියා ගත්තා. හරියට ම කෝච්චිය යශෝධා ආසන්නයේ දී නැවතිය යුතුයි. ඒත් එහෙම වුණේ නැහැ. සුපුරුදු වේගයෙන් කෝච්චිය ධාවනය වුණා. එතැන හිටිය දෙන්නා යශෝධාව කොයිතරම් වේගයෙන් ඇදලා ගත්ත ද කිව්වොත් එකපාරට කැමරාත් එක්ක ම එතැන කාණුවට වැටුණා. ‘ඔයා ඒ මොකක්ද කළේ’ කියලා රියැදුරාගෙන් ඇහුවට පස්සේ ‘එහෙම කළා ම ඔයාලට ලයිව් ගන්න පුළුවන් නේ’ කියලා ඔහු උත්තර දුන්නා. අංගරචනා කටයුතුවලදි ඔබට ම ආවේණික වූ ක්‍රමවේදයක් තිබෙනවා ද? සාමාන්‍යයෙන් මම අංගරචනා කටයුතු කරන ස්ථානය පවත්වාගෙන යන්නේ මගේ අණසක යටතේයි. අධ්‍යක්ෂවරයා, ඔහුගේ නිර්මාණයට මට කතා කළා ට පස්සේ මුලින් ම මම කරන්නේ පිටපත කියවන එකයි. ඊට පස්සේ ඒ චරිතයට අදාළ නළුවාගේ මුහුණ අඳීනවා. ඒ මුහුණයි ඒ චරිතයට අදාළ විදියට මා වෙනස් කරන්නේ. ඒ වෙනස්කම් සියල්ල ම ත් අර චිත්‍රයේ ඇතුළත්. ඒ පින්තූරයයි මා අධ්‍යක්ෂවරයාට පෙන්වන්නේ. එවිට ඒ චරිතයේ තවත් වෙනස්කම් අවශ්‍ය නම් ඔහුත් ඒ පිළිබඳ මට පවසන්න අමතක කරන්නේ නැහැ. ඒ අනුවයි මා අංගරචනා කටයුතු සඳහා සූදානම් වන්නේ. ඔබ විහිළුවකට කළ දෙයක් නිසා දුරදිග ගිය සිද්ධියක් සිහිපත් වනවා ද? මේ සිදුවීම් සිදුවුණේ උපාසකම්මා ඒකාංගික ටෙලි නාට්‍යයේ දී. තිස්ස කියන එක්තරා ආයතනයක සේවය කරන උසස් නිලධාරියත් මෙහි රඟපාන්න එනවා. නාවින්න අයියා, චාන්දනීත් එහි රඟපෑවා. මේ ටෙලි නාට්‍යයේ සමහර දර්ශනවලට මිනී පෙට්ටියකුත් තිබෙනවා. ලොජ් එකට ගියාට පස්සේ තිස්සත්, නාවින්නත් නිදා ගන්නේ එක කාමරේ. මම කළේ මිනී පෙට්ටිය ඔවුන්ගේ කාමරයේ තැබීමයි. ටික වෙලාවක පස්සේ එකපාරට ම ඇසුණේ කෑ ගැසිල්ලක්. අපි හැමෝම බලන විට තිස්ස කාමරයේ එක් කොණක ගුලිවෙලා හොඳට ම වෙව්ලනවා. අනෙක් පැත්තේ නාවින්න පපුව අල්ලගෙන කෑ ගසනවා. සිද්ධ වුණේ තිස්ස ළඟ ම තිබුණු මිනී පෙට්ටියට ඔහුගේ අත වැටීමයි. .ඒත් එක්කම ඇහුරුණු විට තිස්ස දුටුවේ මිනි පෙට්ටියක්. ඔහු දැක දැක සිටියෙත් මිනී පෙට්ටියක් සම්බන්ධ හීනයක්. ඒ සියල්ල නිසා ඔහුගේ සිතේ ඇත්වුණු භීතිය සුළුපටු නැහැ. ඒ භය නිසා ම ඔහු පැනලා තිබුණේ නාවින්න අයියාගේ පපුව උඩටයි. තිස්සගේ දණහිස් වැදීම නිසයි නාවින්න අයියා පපුව අල්ලගෙන කෑ ගහලා තිබුණේ. අන්තිමට තිස්සව හොඳ කර ගන්න මට බොරුවට බුලත් කොළයක් මතුරලා තෙල් ගාන්නත් සිද්ධ වුණා. ඒ බොරුවෙන් ඔහු සනීප වුණා.
|