වර්ෂ 2016 ක්වූ මාර්තු 17 වැනිදා බ්‍රහස්පතින්දා




අකල් හි මරු දුටු සිනමා ප්‍රාඥයා එෆ්. ඩබ්ලිව්. මර්නෝ

සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවන් ගැන කියවෙන වින්දනීය සිනමා ප්‍රේමය 04

අකල් හි මරු දුටු සිනමා ප්‍රාඥයා එෆ්. ඩබ්ලිව්. මර්නෝ

ඇමෙරිකා එක්සත් ජනපදය

උපත - දෙසැම්බර් 28, 1888 විපත - මාර්තු 11, 1931

විශිෂ්ඨ චිත්‍රපට - Nosferatu, The Last Laugh, Faust, Sunrise, City Girl, Tabu

මර්නෝ නිහඬ යුගයේ වඩාත් බලපෑම් කළ ජර්මානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ අතර 1920 දශකයේ ජර්මානු සිනමාවේ ප්‍රකාශනවාදී ව්‍යාපාරයේ කැපී පෙනෙන චරිතයක් ද වූවා. නිහඬ යුගයේ මර්නෝ චිත්‍රපට සමහරක් දැනට සොයා ගැනීමට නොහැකි නමුත් බොහෝමයක් තවමත් නොනැසී පවතිනවා.

මර්නෝ සැලකෙන්නේ ලෝක සිනමාවේ වඩාත්ම නවෝත්පාදක සහ බලපෑම් කළ චරිතයක් හැටියටයි. අතිශයින්ම නිර්මාණශීලී ශෛලීයධාරියෙකු වූ මර්නෝ තම චරිතවල මානසික ඝට්ටන ගවේශනය කිරිමට පුද්ගල නිශ්‍රීත ඡායාරූප භාවිතා කිරීමේ පුරෝගාමියා වූවා. ඔහුගේ අග්‍ර කෘති 3 වූ නෙස්ෆෙරාටු (1922), ද ලාස්ට් ලාෆ් (1924) සහ සන්රයිස් (1927) තවමත් විචාරකයින් විසින් ලොව සර්වකාලීන හොඳම සිනමා නිර්මාණ ගොන්නට නිරන්තයෙන්ම ඇතුළත් කරනවා.

ස්වීඩන සම්භවයකින් යුත් ධනවත් රෙදිපිළි වෙළෙන්දෙකුගේ පුතෙකු ලෙස ෆ්‍රයිඩ්රික් විල්හෙල්ම් ප්ලම්ප් උපත ලදුයේ ජර්මනියෙන් බීල්ෆෙග්ඩ් හිදීයි. ළමා වියේ සිටම රඟබිමට ඇබ්බැහි වූ ඔහු, හයිඩර්බර්ග් විශ්ව විද්‍යාලයේ කලා ඉතිහාස විෂයන් අතහැර දමා 1908 දී බර්ලින් හිදී තම කුලුඳුල් රංගනය සඳහා මර්නෝ යන අන්වර්ථ නාමය පටබැඳ ගත්තා. 1910 සිට 1941 දක්වා ඔහු ශ්‍රේෂ්ඨ රංගභූමි අධක්ෂවරයෙකු වූ මැක්ස් රයින් හාට් ගේ සහායකයෙකු ලෙස කටයුතු කළා. පළමුවන ලෝක යුද සමයේ සන්නිවේදන නිලධාරියෙකු ලෙස නැගෙනහිර පෙරමුණේ වසර තුනක් සේවයේ නියුක්ත වූ ඔහු, 1917 දී ප්‍රහාරක ගුවන් නියමුවෙකු බවට පත් වූවා. වරක් ක්‍රියාන්විතයක යෙදී ආපසු එද්දී ගමන් මාර්ගය වැරැදී නියමිත මඟෙන් ඉවතට ගොස් ස්විට්සර්ලන්තයේ ගොඩ බැසූ ඔහු යුද්ධය අවසන් වනතුරුම එහි රැඳී සිටියා.

ඔහු තම මුල්ම චිත්‍රපටය වූ බ්ලූ බෝයි අධ්‍යක්ෂණය කළේ 1919 දීය. සිනමාවේදියෙකු ලෙස මර්නෝ ගේ විකාශනය මැනීමට අපහසු වනුයේ ඔහුගේ මුල්කාලීන නිර්මාණ සියල්ලම පාහේ අතුරුදහන් වූ හෙයිනි. ඔහු වාණිජමය වැඩ අතරේ ජෙකිල් සහ හයිඩ් තේමාවේ ප්‍රාභේදනයක් වු 1920 ද ජානුස් හෙඩ් වැනි පර්යේෂණාත්මක නාටක ද මාරුවෙන් මාරුවට කළ බව පෙනෙන්නකි.

ඔහු විසල් දක්ෂයෙක් ලෙස මතු වුණේ නොස්ෆෙරාටු සමඟයි. බ්‍රැම් ස්්ටෝකර්ගේ ඩ්‍රැකියුලාගේ (අනවසර) අනුවර්තනයක් වූ සහ වැම්පයරයෙකු ලෙස මැක්ස් ශ්‍රේක්ගේ අමතක නොවන රංගනයකින් ද සැරසුණු මෙම චිත්‍රපටය එහි විශිෂ්්ට අවතාරමය ආකාශය මුදුන්පත් කර ගත්තේ තාත්ත්වික ස්ථාන සහ ප්‍රකාශනවාදී ශිල්ප ක්‍රම සංයෝජනය කරමිනි.

එය අදටත් සැලකෙන්නේ ඉතාමත්ම බියකරු සංත්‍රාසාත්මක චිත්‍රපටවලින් එකක් ලෙසටයි. බ‍්‍රැම් ස්ටෝකර්ගේ වැන්දඹුව චිත්‍රපටය අනවසරයෙන් රූගත කළ හෙයින් ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් මර්නෝට විරුද්ධව නඩු පැවරුවා. මර්නෝ නඩුව පැරදුණු අතර චිත්‍රපටයේ සියලුම පිටපත් විනාශ කරන ලෙස අධිකරණය නියෝග කළ නමුදු නීති විරෝධි නැතිනම් හොරට මුද්‍රණය කළ පිටපත් කිහිපයක් පමණක් ඉතිරි වුණා. නොස්ෆෙරාටු ඔහුගේ වඩාත් ජනප්‍රියම චිත්‍රපටය ද වූවා.

මර්නෝගේ ඊළඟ අග්‍ර කෘතිය වූ ද ලාස්ට් ලාෆ් ඔහුගේ පෙර නිර්මාණයෙන් වඩාත් වෙනස් වුණේ නැහැ. කතා වස්තුව සරල, මුළුමනින්ම පාහේ ලෞකික වූවා. අභිමානවත් හොටෙල් දොරටුපාලයෙකු (එමිල් ජැනින්ග්ස්) තම සේවයට නොගැළපෙන තරම් වයසට ගිය බැවින් ඔහුට වැසිකිලි සහයකයෙකුගේ තත්ත්වයට තනතුරින් පහත දමා තිබෙනවා.

නමුත් මෙහි පිටපත පෙරළිකාර එකක් වුණා. තිර රචක කාල් මයර් සහ කැමරා අධ්‍යක්ෂ කාල් ෆ්‍රොන්ඩ් සමඟ ඉතා කිට්ටුවෙන් වැඩ කළ මර්නෝ, කැමරාව නිකම්ම ක්‍රියාදාමයන් පටිගත නොකර සහභාගිකයෙකු මෙන්ම පරිවර්තකයෙකු ද විය යුතු බවට ඔහු තුළ තිබූ විශ්වාසය තවදුරටත් වැඩි දියුණු කළා.

මේ අන්තයට මර්නෝ සොයා ගත් උපක්‍රමය වූ නිදහස් දෘශ්‍ය ශෛල්‍යය කෙතරම් ප්‍රබල වූවාද කිවහොත් මුළු කතාවම කියවුණේ මුළුමනින්ම පාහේ අන්තර් ශීර්ෂවලින් තොරවයි. සංස්කරණය වඩා කැමරා චලනය ගැන එය අවධාරණය දැක් වූ බැවින් ද ලාස්ට් ලාෆ් ලෝක ව්‍යාප්ත බලපෑමක් ඇති කළ අතර ඉතිහාසඥයන් විසින් එය ආචාරයට පාත්‍ර කරනු ලබනුයේ චිත්‍රපටවල ‘mise-en-scene’(රංගභූමි නිර්මිතය) හී මී මුත්තා ලෙසයි.

මර්නෝගේ අවසන් ජර්මානු චිත්‍රපටය වූ අධි පිරිවැයක් දැරූ ෆෝස්ට් (1926) හී ෆෝස්ට් ලෙස ගොස්ටා එක්මන් ද, මෙෆිස්්ටෝ ලෙස එමිල් ජැනින්ග්ස් ද, ග්‍රෙචන් ලෙස කැමිලා හෝන් ද රඟපෑවා. මර්නෝගේ චිත්‍රපටය ෆෝස්ට් පුරාවෘත්ත කතාවේ පැරැණි සාම්ප්‍රදායයන්ගෙන් මෙන්ම ගර්ටර්ගේ සම්භාව්‍ය කෘති ප්‍රවාචයෙන් ද උකහාගෙන තිබුණා. මෙම චිත්‍රපටය ඉතා ප්‍රසිද්ධ වන්නේ පියාපත් ලද යෝධ මෙෆිස්ටෝගේ රුව නගරයක් උඩින් වසංගත බීජ ඉසිමින් යන දර්ශන පෙළටයි.

1926 දී මර්නෝ හොලිවුඩයට සංක්‍රමණය වී ෆොක්ස් චිත්‍රාගාරයට බැඳුණා. සම්පූර්ණ නිර්මාණ නිදහස සහ අසීමිත පිරිවැයක් ලද මර්නෝ අවිවාදයෙන් තොරව ඔහුගේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපටය මෙන්ම නිහඬ චිත්‍රපට මාධ්‍යයේ සියලුම ගුණාංගවල මස්තකප්‍රාප්තියක් වූ සන්රයිස් නම් උදානාත්මක රෝමෑන්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා.

සන්රයිස් යනු චිත්‍රපට විද්‍යාර්ථයන් විසින් ලොව එතෙක් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම චිත්‍රපට අතරින් එකක් ලෙසට නිරන්තරයෙන් උපුටා ගැනෙන්නෙකි. ෆොක්ස් මුවීටෝන් සවුන්ඩ් ඔන් ෆිල්ම් පද්ධතියේ (සංගීත සහ ශබ්ද ප්‍රයෝග පමණක්) රූගත කෙරුණු සන්රයිස් වාණිජමය වශයෙන් සාර්ථක නොවුණු නමුත් 1929 මංගල ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මාන කිහිපයක්ම දිනා ගැනිමට සමත් වුණා. එය හොඳම චිත්‍රපටය සම්මානය, වින්ග්ස් චිත්‍රපටය සමඟ සම සමව දිනා ගත්තා.

මර්නෝගේ ඊළඟ චිත්‍රපට 2, දැනට සොයා ගැනීමට නොමැති 1928 ෆෝ ඩෙවිල්ස් සහ 1930 සිටි ගර්ල් කතානාද චිත්‍රපට නව යුගයට අනුවර්තනය වන පරිදි වෙනස් කර තිබුණත් ඒවා එතරම් පිළිගැනීමට ලක් වුුණේ නැහැ. මේ චිත්‍රපට ලැබූ හීන පිළිගැනීම මර්නෝව මුළාවෙන් මුද වූ අතර ඔහු ෆොක්ස් චිත්‍රාගාරය හැර දමා දකුණු පැසිෆික් කලාපයේ ටික කලක් සංචාරයේ යෙදෙන්නට ගියා.

වාර්තා චිත්‍රපට පුරෝගාමියෙකු වූ රොබට් ෆ්ලැහාර්ට් සමඟ මර්නෝ බෝරා බෝරා වෙත සංචාරය කළේ 1931 ඔහුගේ සිහිනය වූ ටැබූ සැබෑ කර ගැනීමටයි. කලාත්මක මතභේදයක් හේතුවෙන් ෆ්ලැහාර්ට් ව්‍යාපෘතිය මඟදී හැර ගිය බැවින් මර්නෝට තනිවම චිත්‍රපටය නිම කරන්නට සිදු වුණා. පොලිනීසියානු ගැහැනුන්ගේ නිරාවරණය වූ උඩුකය ඇතුළත් දර්ශන පෙන්වීම නිසා මෙම චිත්‍රපටය ඇමෙරිකා එක්සත් ජනපදයේ වාරණයට ලක් වුණා. මෙම චිත්‍රපටය මුලින්ම රූගත කෙරුණේ අර්ධ කතානාද, අර්ධ නිහඬ චිත්‍රපටයක් ලෙස නමුත්, එය මර්නෝගේ වඩාත් ප්‍රියතම මාධ්‍යය වූ නිහඬ චිත්‍රපට මාධ්‍යයට ප්‍රතිසංස්ථානය කළා.

තම අවසන් චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට වාසනාවක් මර්නෝට ලැබුණේ නැහැ. 1931 මාර්තු 11 වැනිදා කැලිෆෝර්නියාවේ සැන්ටා බාබරා හී සිදුවුණු රිය අනතුරකින් ඔහු මිය ගියා.

අතිශයින් ප්‍රඥාවන්ත සහ ඔහුගේ යුගයට වඩා මහත් සේ ඉදිරියෙන් සිටි මර්නෝ, ක්ෂණික දර්ශන ඛණ්ඩ විඛන්ඩණය වූ දර්ශන පෙළවල්වල අන්තර් සම්බන්ධයෙන් නාට්‍යමය ප්‍රයෝග උකහා ගැනීමට ව්‍යායාමයේ යෙදුණා. වෙනත් වචනයකින් කියනවා නම් සිනමාත්මක පින්තුර ප්‍රහේලිකා මෙන් ව්‍යායාමයේ යෙදෙමින් අවසාන කොටස සවි කළ විට තනි තනි දර්ශන එක් වරම ඉස්තරම් ලෙසට පිළිබිඹුවීමයි.

සැබෑ ලෝකයත් සහ ප්‍රේක්ෂකයාගේ පරිකල්පන නිපුණ ලෙස පරිචාරණය කිරීමත් සංයෝජනය කර එය භාවිතයෙන් මර්නෝ ව්‍යාංගයේ බලය නවීන සහ විශ්මිත ක්‍රියා මාර්ගවලින් පරිහරණය කළා. ඔවුන්ගේ බුද්ධි මට්ටම කුමක් වුවත් ප්‍රේක්ෂකයාට මර්නෝ ගේ චිත්‍රපට තුළ නුදුටු දේ සහ අප්‍රකාශිත දේ නිරන්තරයෙන්ම සංවේදනය වුණේ ඒ හේතුවෙනුයි.

මර්නෝ ඔහුගේ ප්‍රධාන වශයෙන්ම සංකල්ප රූපමය වූ සිනමා භාෂාව කතානාද චිත්‍රපටවල ඉල්ලුමට අනුවර්තනය කළ හැකිව තිබ්බේ කෙසේද යන්න කිසිදාක දැන ගැනීමට නොලැබෙන කරුණකි. නමුත් ඔහුගේ දෘශ්‍යමය බලපෑම අදටත් චිරස්ථායි වෙයි. මර්නෝගෙන් අනුප්‍රාණය ලැබූ අධ්‍යක්ෂවරුන් අතර ඇල්ෆ්‍රඩ් හිච්කොක්, මැක්ස් ඕපල්ස්, ඔර්සන් වේල්ස්, කෙන්ජි මිසොගුචි, ස්ටැන්ලි කුබ්‍රික්, මික්ලොස් ජැන්ක්සෝ, වර්නර් හර්සොග් සහ පෝල් තෝමස් ඇන්ඩර්සන් ප්‍රධාන වෙනවා.

2000 ෂැඩොව් ඔෆ් ද වැම්පයර් චිත්‍රපටය නොස්ෆෙරාටු චිත්‍රපටය සෑදුණු සැටි ගැන කල්පිත කතාවක් වූවා. එහි මර්නෝ ලෙස රඟපාන ජෝන් මැල්කොවිචි කලාකරුවෙකු ලෙස තම චිත්‍රපටයට කෙතරම් කැප වුණා ද කියතොත් ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට ඇත්තම වැම්පයරයෙකු ගේ සේවය ලබා ගන්නවා.

සිනමාටව එෆ්. ඩබ්ලිව්. මර්මෝ විසින් දැරූ දායකත්වය අතිවාචනය කළ නොහැකියි. දශකයකට මඳක් වැඩි කාලයක් පුරා විහිදුණු සිනමා දිවියකදී මර්නෝ සිනමාවට අති මහත් සැලකිය යුතු සේවයක් කරමින් ඉතාමත් ප්‍රඥාවන්ත සහ තල බිඳ දැමූ සිනමා මාස්ටර් කෙනෙකු බවට ඉතා කඩිනමින් පරිණාමනය වුණා.

‘රඟපාන්න එපා හිතන්න’

චිත්‍රපට නාමාවලිය:

The Boy in Blue / Emerald of Death 1919
Satanas 1920
The Hunchback and the Dancer 1920
Dr. Jekyll and Mr. Hyde / The Head of Janus 1920
Evening – Night – Morning 1920
The Tragedy of a Dancer 1921
Journey Into the Night 1921
The Haunted Castle / Castle Vogeloed 1921
Madonna Marizza, called the Smuggler Madonna 1922
The Burning Soil 1922
Nosferatu, a Symphony of Horror 1922
Phantom 1922
The Expulsion 1923 The Finances of the Grand Duke 1924
The Last Laugh 1924
Faust 1926
Sunrise: A Song of Two Humans 1927
4 Devils 1928
City Girl 1930
Tabu 1931