වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




කවුද මේ සෙබළි

කවුද මේ සෙබළි

සාමාන්‍යයෙන් නිවේදක නිවේදිකාවන්ට සිදුවනවා තැනේ හැටියට ඇනේ ගහන්න. ඒ කියන්නෙ තැනට සුදුසු විදිහට වැඩ කරන්න වෙනවා. විශේෂයෙන් සජීවී වැඩ සටහන්වලදී. එහෙම නැතත් සාමාන්‍ය වැඩ සටහන් මෙහෙයවද්දි වුණත් මොකක් හෝ අතපසුවීමක් වුණත් ඒක බලා සිටින පේ‍්‍රක්ෂකයන්ට නොදැනෙන පරිදි කටයුතු කරන්නට ඔවුන් සුදානමින් සිටිය යුතුයි. හැබැයි ජාතික නාලිකාවේ තේජානි විජේසිංහ තැනේ හැටියට ඇනේ ගහන්න ගිහින් පොඩි අවුලකට මුහුණ පෑවා. සිද්ධිය මේකයි. යුද හමුදාව විසින් සංවිධානය කළ විශේෂ උත්සවයක් මෙහෙයවන්න තේජානිට අවස්ථාව උදා වුණා. මේක බොහොම ගරු සරු ඇතිව කරන්න ඕන නිසා තේජානි පෙර සුදානමක් ඇතුව තමයි එතැනට ගියේ. ටිකක් වටපිට බලපුවාම ඇයගේ ටිකිරි මොළේට අදහසක් පහළ වුණා. තැනේ හැටියට හමුදා නිල ඇඳුමකින් සැරසී නිවේදන කටයුතු කළොත් හොඳයිනේද කියන අදහසක් තේජානිගේ ඔළුවට ආවා. කොහොම හරි හමුදා ඇඳුමක් සොයාගෙන ඇය එයින් සැරසුණා. ආයෙ කතා දෙකක් නැහැ. තේජානි දැන් හරියට හමුදා සෙබළියක් වගේමයි. ගත වුණේ විනාඩි කිහිපයක් පමණයි. එක පාරටම තේජානිගේ කනගාව චීනපටස් පුපුරනවා වගෙ සද්දෙට කෙනකු කෑ ගහනවා.

"අපේ සේනාංකෙට කවුද ගැහැනු ළමයෙක්ව ගත්තෙ. කවද ඉඳලා ඔයා වැඩට ආවෙ. කරුණාකරලා නියමිත තැනට යනවද තවත් මාව කේන්ති අවුස්සන්නෙ නැතිව."

කවුදෝ කෙනෙක් තේජානිට දෝස් මුරයක් දානවා. ඇය හොඳටම බයවුණා. හැරිලා බලද්දි හමුදාවේ ඉහළ නිළයක් දරන කෙනෙක්. ඔහුගේ සේනාංකය ළඟයි තේජානි ඉඳලා තියෙන්නෙ. එහි ඉන්නෙ සෙබළු පමණයිලු. ඒ අස්සට සෙබලියක් ඇවිත් මුකුළු කර කර හිටියාම අර කෙනාට කොහොම හිතෙන්නට ඇත්ද. කොහොමත් හමුදාවෙ අය විනයක් ඇතුව සිටින පිරිසක්නෙ. වෙලාවට සේනාංකයේ කෙනෙක්ම ඇවිත් තේජානිගෙ ජාමෙ බේරගත්තා.

ඇයටත් පසුව හිනා ගියා වෙච්ච වැඩේට.