2016 දී පාස් සහ පහසුකම් අත්හිටුවා නැත

2016 දී
පාස් සහ පහසුකම් අත්හිටුවා නැත
අවුරුද්දක් ගෙවෙන්නට තව ඇත්තේ හෝරා කිහිපයකි. 2015 ඒ අනුව ගෙවී යන්නේය. බොහෝ
අවුරුදුවල මෙන්ම නව වසරක් උදාවන විට නව බලාපොරොත්තු එමටය. දෙසැම්බර් 31 වැනිදා
රාත්‍රී 12 න් පසු අම්ම, මුතුන් කීවත් නව වසරේදී අඩියක් ගහන්නේ නැති වගට දිවුරා
පොරොන්දු වන බොහෝ දෙනා නැවතත් ඊළඟ අවුරුද්දේත් දෙසැම්බර් 31 වැනිදාත් සුපුරුදු
පරිදි එකී දිවුරුම කරනු දක්නට ලැබිණි.
ලාංකික සිනමාව පිළිබඳ අපේ බලාපොරොත්තු ද ඒ ආකාරයෙන්මය. ‘අදට වැඩිය හෙට හොඳයි’
යනුවෙන් කලකට ඉහත චිත්‍රපටයක නමක් තිබිණ. සිනමාවේ කල දවස ගෙවන්නේත් ඒ ආකාරයෙන්මය.
කෙසේ වෙතත් 2015 වසර පසුගිය වසර ගණනාවකටම වඩා වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් තිරගත වූ
වසරක් වෙයි. එමෙන්ම ඒ වසරේ අලුත් සිනමාකරුවන් රාශියක්ම කලඑළි බැසීමද විශේෂ කරුණකි.
චිත්‍රපට විසිතුනක් මේ වසරේ තිරගත වූ අතර ඒ අතරින් සත්‍යජිත් මාඉටිපේ (බොරදිය
පොකුණ), නන්දන හේවාපන්න (මංගල ගමන), ඩොනල්ඩ් ජයන්ත (ප්‍රවේගය), සෝමරත්න මාලිම්බඩ
(අනාථ දූපත), අරුණ මහේන්ද්‍ර (ලැන්ටිං සිඤඤා්), ඉන්දික ෆර්ඩිනැන්ඩු (හෝ ගානා
පොකුණ), ලාල් වීරසිංහ (සිංග මචං චාලි) අලුතෙන් සිනමාකරණයට පිවිසි සිනමාකරුවන්ය. මේ
අතරින් කී දෙනෙක් තම දෙවැනි චිත්‍රපට එළි දක්වනු ඇත්දැයි තීරණය කරන්නට තවම කල්
මදිය. අවාසනාවට වසරක් ගෙවන කාලයේදී පවා අප යථාර්ථයට මුහුණ දෙන්නට බයෙන් පසුවන වග
නොරහසකි. මා විශ්වාස කරන අන්දමට අප සැබැවින්ම අනාගතයට මුහුණ දීමට නම් පවතින
යථාර්ථයේ සැබෑව වටහා ගත යුතුය. කටුක වුවත් එය සත්‍ය නම් පිළිගත යුතුව ඇත. සිහින
මාලිගාවල රැඳෙමින් අනාගතය සැලසුම් කළ ද එය ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් කරන්නට
හැකිවන්නේ නැත. සිහින දැකිය යුත්තේ එය සැබෑ කර ගැනීමට කරන ස්ථිර අධිෂ්ඨානයේ දී
යථාර්ථය හඳුනා ගැනීමෙන් පමණි. නැති නම් සිදුවනුයේ සිහින සිහින හැටියටම පැවැතීමය.
සමහර විට යථාර්ථය කටුකය, මිහිරිය.
පසුගිය වසර කිහිපය තුළ ලාංකික සිනමාවේ සිදුවන විපර්යාසයන් පිළිබඳ අප යථාර්ථයට මුහුණ
දුන්නා නම් අද මේ ලියන සටහන වෙනස් වන්නට ඉඩ තිබිණි. ලෝක සිනමාව ඩිජිටල් තාක්‍ෂණය
ගැන කතා කළේ මෙයට දස වසරකට පමණ පෙරාතුවය. එය අපේ කට ළඟට එනතුරුම අප කළේ සාකච්ඡා
කිරීම පමණි. අනෙක් අතට අප බැලුවේ තුට්ටු දෙකට ඩිජිටල් අශ්වයාගෙන් ගඟෙන් පනින්නට ය.
ඇත්තනම් ඩිජිටල් තාක්‍ෂණය හරහා සිනමා වෙළෙඳපොළ ප්‍රසාරණය වනුයේ වඩා බලසම්පන්න
රූපාවලියක් ප්‍රේක්‍ෂකයන්ට ගෙන ඒමය. නැතහොත් ගෙදරට සිරවන ප්‍රේක්‍ෂකයා ශාලාවට
කැන්ඳා ගෙන ඒමට ය. එහෙත් අපේ නිෂ්පාදකවරු බැලුවේ නෙගටිව් පටයේ ලාබය අඩුකර ගැනීමය.
පසුගිය වසර ගණනාව මුළුල්ලේ මෙරට සමස්ත සිනමා ක්ෂේත්‍රයෙන්ම තමන්ට සිදු වූ මදි පුංචි
කම්වලට පෙරළා පළිගන්නට වර්තමාන ප්‍රේක්‍ෂකයෝ සමත්ව සිටිති. ප්‍රේක්‍ෂකයන් එලෙස පළි
ගන්නේ බොහෝ චිත්‍රපට හැදුවේ ප්‍රේක්‍ෂකයන් දෙකේ කොළයට දමා බැවිනි. අගක් මුලක් නැති
රූපපෙළක් ආප්ප බාන්නා සේ එළියට ගෙන දාඩිය දාන ශාලාවල අඳුරු තිරය මතට දමා
ප්‍රේක්ෂකයාගේ තුට්ටු දෙකට ගැසූ ජාවාරම්කරුවන් දෙස සමස්ත සිනමාවම නිහඬව සිටියේය.
ශාලා පවත්වන ලද්දේ ප්‍රේක්‍ෂකයා යනු කරදරකාරයකු ලෙස සලකා ගෙනය. මේ චිත්‍රපට
ප්‍රතික්ෂේප කරගෙන විකල්ප සිනමාවන් සොයා යන්නට වර්තමාන සිනමා ප්‍රේක්‍ෂකයා සමත්ය.
කලකට ඉහත අලුත් චිත්‍රපටයක් තිරගත වනවිට සිනමා ශාලා ඉදිරියේ පුවරුවක සඳහන් වූයේ
‘පාස් සහ පහසු කම් අත්හිටුවා ඇත’ යන්නයි.
එහෙත් අද චිත්‍රපටය ආරම්භ වන්නේ 6.30 ට
දර්ශනය කාන්තාවන්ට නොමිලේ, ප්‍රවේශ පත්‍ර දෙකක් මිලට ගතහොත් තවත් ප්‍රවේශ පත්‍රයක්
නොමිලේ යනුවෙන් අනේක විධ වන්දනා මාන කරමිනි. ප්‍රේක්ෂකයා ගෙන්වන්නට වැර වෑයම්
කරමින් මෑත භාගයේ නවීකරණය කරන ලද හෝ අලුතින් නිර්මාණය කරන ලද බොහෝ චිත්‍රපට ශාලා
දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කරනුයේ නොකර බැරි කමටය. නූතන තාක්‍ෂණයට පින්සිදු වන්නට
එක දිනකදී විදේශ චිත්‍රපටයක් තිරගත කරවා ඒ ආදායමෙන් එදිනම තිරගත වන සිංහල
චිත්‍රපටයකින් ශාලාවට සිදුවන්නා වූ පාඩුව මකා ගැන්මට ඇතැම් සිනමාහල් හිමියෝ කටයුතු
කරති. හෘද සාක්‍ෂියට එකඟව කතා කරන්නේ නම් පසුගිය වසර කිහිපය තුළ බොහෝ චිත්‍රපට
නිෂ්පාදකවරුන් පෙන්වා දෙන්නේ තමන් වැය කළ මුදලට චිත්‍රපට ලාබ ඉපැයූවේ නැති බවය.
එහෙත් චිත්‍රපට හදා අතින් පාඩුකරගෙන නින්දා විඳින්නට අකමැති නිෂ්පාදකවරු එය පවසන්නේ
නැත. මේ අතර අතිශය ලාබ ලැබූ චිත්‍රපටයක්, දෙකක් නැතිවාද නොවේ. එහෙත් එය සමස්ත
සිනමාවේ අර්ථය නොවේ. අප මුහුණ දිය යුතුව ඇත්තේ ඒ යථාර්ථයට ය.
වෙනස් කළ යුත්තේ එයයි.
පෙට්ටි රූපවාහිනියෙන් L C D යට ද අනතුරුව L E D යට ද මාරු වූ ප්‍රේක්‍ෂකයා
යළි පෙට්ටි රූපවාහිනියේ වැඩසටහන් නරඹන්නේ නැත. V H S පටයෙන් බ්ලූරේ දක්වා ගිය
ප්‍රේක්‍ෂකයා ආයෙත් V H S බලන්නේ නැත. දළසේයා පටයෙන් චිත්‍රපට නැරඹූ ප්‍රේක්‍ෂකයා
ඩිජිටල් තාක්‍ෂණයට යොමු වූ පසු නැවත පැරැණි දළසේයා පටයේ චිත්‍රපට බලන්නේ නැත. එහි
රූපය හා හඬ ප්‍රේක්ෂකයා මත් කරවයි. සිනමා කර්මාන්තය සිනමා ශාලාවේ ප්‍රමිතිය සඳහා
E සිනමා, 2K සිනමා, 4K සිනමා ආදී ප්‍රමිතිකරණ ගැන තවමත් ගහමරා ගනිද්දී
4k ටෙලි
විෂණය වැඩි සද්දයක්, බද්ධයක් නැතිවම ගෙවල්වලට රිංගන්නට පටන් ගෙනය. අපේ රටේ සිනමා
කර්මාන්තයේ යෙදෙන බොහෝ දෙනා මැජික් යැයි සිතා ප්‍රේක්‍ෂකයන්ට පෙන්වන බොහෝ දේ තව
දුරටත් ප්‍රේක්‍ෂකයාට මැජික් නොවේ. ඇස් බන්ධන ග්‍රැෆික් යැයි මවා සිනමාහලට එන
රූපරාමු දෙකේ පන්තියේ දරුවකුට ද කළ හැකිය. ලෝක සිනමාව කවදාක හෝ දිනයක කුඩා කොලු,
කෙල්ලන් අත පෑන්, පැන්සල් ගණනට යා යුතු යැයි සිනමා කතා කලාවේ පුරෝගාමියකු වූ ඩී.
ඩබ්ලිව්. ගි‍්‍රෆිත් පැවසුවේ 1920 ගණන්වලය. අද එය යථාර්ථයක් බවට පත් වී තිබේ. රූපය
සිය භාව ප්‍රකාශය කර ගන්නා බොහෝ තරුණ, තරුණියන් චිත්‍රපට රූපගත කරන්නේ ජංගම දුරකථන
මඟිනි. වීරයන් තෝරනුයේ S M S මඟිනි.
එහි ගුණ අගුණ නොව අප මුහුණ දිය යුත්තේ මේ
යථාර්ථයටය. ජංගම දුරකථන මුලින්ම ආවේ අමතන්නට පමණි. අද එයින් සිදු නොකරනුයේ ටොයිලට්
පේපර් එකක් සඳහා පාවිච්චි කිරීම පමණි. නැතිනම් දුරකථනයේ සිට ඔරලෝසුවක් ලෙස, ටී. වී.
එකක් ලෙස, පුවත්පතක් ලෙස, කැමරාවක් ලෙස, ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ලෙස, පොත් කියවීමට,
ලෝකයේ තොරතුරු දැනගැනීමට පුස්තකාලයක් ලෙස එකී මෙකී නොකී සියලු කාරණාවලට ජංගම
දුරකථනය භාවිත කරයි. සිනමා කර්මාන්තයේද ඇත්ත එහෙමය. අද චිත්‍රපට බලන්නේ ජංගම දුරකථන
යෙනි. එක් වෙළෙඳ පොළක් වැසෙන විට තවත් විකල්ප වෙළෙඳ පොළ ගණනාවක් අප ඉදිරියේ ගොඩ
නැගෙයි.
ලාංකික සිනමා කර්මාන්තය පිළිබඳ මතවාදී විමර්ශනයකට පැමිණෙන කවුරු හෝ මෑත භාගයේ
තරුණයන් ඊට ප්‍රේක්ෂකයන් ලෙස ඇදී එනු දක්නට ලැබේද? එපමණක් නොව සිනමාව ගැන කෑ ගසන
කී දෙනෙක් සිනමාහලට ගොඩ වී අලුත් දේශීය චිත්‍රපටයක් නැරැඹුවේ කවදා දැයි තමන්ගේම හෘද
සාක්‍ෂියෙන් විමසූ කල ලාංකික සිනමාවේ යථාර්ථය කුමක්දැයි වටහා ගත හැකිය.
අප 2016 වසරට යොමු විය යුත්තේ මේ කටුක යථාර්ථය හිස මත හොඳින් රුවාගෙන ය.
බලාපොරොත්තු තබාගත හැකි තරුණ සිනමාකරුවන් පෙළක් ඉදිරියට එන බව මට විශ්වාසය. ඔවුන්ගේ
චිත්‍රපට වෙළෙඳ පොළ තීරණය කරනුයේ සිනමා ශාලාවල ඉතිරිව ඇති සීමිත දර්ශන වාර
කිහිපයෙන් නම් ඔවුන්ට අනාගතයක් නැත. හැදෙන ඇතැම් චිත්‍රපට වෙනුවෙන් තවදුරටත් සිනමා
ශාලා නවීකරණය කිරීමේ වැය ශීර්ෂය සලකා බලන විට සිනමා ශාලාවට අනාගතයක් ඇත්තේද නැත.
එබැවින් තරුණ සිනමාකරුවන් වෙනුවෙන් අලුත් විකල්ප වෙළෙඳ පොළ සොයා ගැනීමට ක්‍රියාත්මක
විය යුතුව ඇත. වර්තමාන ලෝකයේ විශාලම වෙළෙඳ පොළ අන්තර්ජාලයයි. එය දේශ සීමාවකින් තොරව
නිර්මාණ වෙළෙඳ පොළ ගොඩ නඟා ඇත්තේය. මේ යථාර්ථය තුළ පවතින මිථ්‍යාව කුමක්දැයි හඳුනා
ගෙන සිහින සැබෑ කර ගන්නට නම් ඇත්තට මුහුණ දිය යුතුයි. 2016 වසරෙදීවත් අපි ඇත්තට
මුහුණ දෙමු. උදාවන 2016 නව වසර ‘සරසවිය’ පාඨක ඔබ සැමට සුබ නව වසරක් වේවා.
|