වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




නිම්වළල්ලේ - ජිනේ කොස්ගස් හන්දියෙන්ම සොයා ගතිමි

නිම්වළල්ලේ - ජිනේ කොස්ගස් හන්දියෙන්ම සොයා ගතිමි

එකල ගංගොඩවිල විදුදය සරසවිය අසල එගොඩ වත්ත පාරේ තිස්ස පදිංචිව සිටියේය.

'මම මේක බලලා කියන්නම් . . . සෙනසරාදා එනවද?' තිස්ස අයියා මට කීවේය.

සෙනසුරාදා සවස මම තනිවම එහි ගියෙමි. සිනමාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති තිස්ස අයියාගේ කතා විලාසය සිත් ඇද ගන්නා සුලුය. තිස්ස අයියාගේ නිවසේදී සරමකින් හා කමිසයකින් සැරසී සිටි අප වයසේ තරුණයෙක් පොතක් අතැතිව එහා මෙහා ඇවිදිමින් සිටියේය. තිස්ස අයියාගෙන් සමුගෙන මිදුලට ද පැමිණි පසුව ද යළි අපි කතාවට වැටුණෙමු. එතැනට ද මේ තරුණයා පැමිණියේය.

'මල්ලී දන්නද මෙයාව? ආනන්දේ ඉගෙන ගන්නේ?' තිස්ස ඇසීය.

'දැකලා පුරුදුයි වගේ. මොකද ඒ ලෙවල් පන්ති පහක්ම තියෙනවානේ'

'මෙයාගේ නම බන්දුල පද්මකුමාර. මගේ ඥාතියෙක්. සිනමාව ගැන හුඟක් පත පොත කියවනවා. එයත් කැමැතියි 'නිම්වළල්ල' සම්බන්ධ වෙලා වැඩ කරන්න ආසයිලු'.

'ඔයා හෙට අපේ පන්තියට එන්න . . . දන්නවද අපේ පන්තිය'

'ඔව්'

'ඔයාගේ මල්ලී කුමුදු කුසුම්කුමාර නං මගේ හොඳ යාළුවෙක්. විසිතුරේදී හඳුනගත්තේ' මම කීවෙමි.

පසුදා බන්දුල අපේ පන්තියට ආවේය.

කතා බහ කිරීමෙන් පසු 'එහෙනං බන්දුල ඔයා අපේ දෙවැනි සහාය අධ්‍යක්ෂක ලෙස වැඩ කරන්න. මේ ඉන්නේ අපේ සහාය අධ්‍යක්ෂක ආනන්ද නිලවීර රංජිත් ලාල් බන්දුල නිලවීරට හඳුන්වා දෙමින් කීවේය.

'පැසෙන්ජර්' නම් පෝලන්ත සම්භාව්‍ය චිත්‍රපටය ගැන ආධුනික විචාරක තරඟයක් චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයෙන් සංවිධානය කෙරිණ. ඒ පිළිබඳ තොරතුරු විසිතුර පත්‍රයේ පළ විය.

'බන්දු මේ තරඟයට උඹ ඉදිරිපත් වෙයන්. උඹට මුල් තැන හිමි වේවි' අපි ඔහු උනන්දු කළෙමු. බන්දු තරඟයට විචාරයක් ඉදිරිපත් කළේය.

ආධුනික විචාරක තරගයේ මුල් තැන හිමි වූයේ බන්දුලටය. බන්දුල පද්මකුමාර පසුව සරසි, අරලිය, රැජින, සමුදුර පත්තර සංස්කරණය කොට 'ලක්බිම' ජාතික පුවත්පතේ ප්‍රධාන කතුවරයා විය. පසුව ඔහු ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ද විය.

නළු නිළියන් හා කලාකරුවන් 'විසිතුර' පුවත්පතට පින් සිදුවන්නට හැඳින සිටි නිසා 'නිම්වළල්ලේ' නළු නිළියන් තේරීමේ කටයුතු මට පැවරිණ. මේ පිළිබඳව ආතර් යූ. අමරසේන මහතාට ස්තුතිය නැවතත් හිමි කළ යුතුය. අමරසේන මහතා 'වෙර' ට මෙන්ම 'නිම්වළල්ලට' ද උපරිම ප්‍රචාරය ලබා දුන්නේ තරුණ අප ගැන අසීමිත ආදරයකිනි.

විසිතුර' පත්‍රය නිසා මටත් කුලේටත් ලුම්බිණි රඟහලේ එකල වේදිකා ගත වූ විශිෂ්ටතම නාට්‍ය නැරඹීමේ අවස්ථාව ලැබිණ. නාට්‍යයක් බැලීමට ගොස් වූ සිද්ධියක් අපට කිසිදා අමතක නෙවේ.

නාට්‍යයේ නම 'කෝන්තරේ'ය. නිෂ්පාදක අධ්‍යක්ෂ ප්‍රේම රංජිත් තිරකරත්නය. එදා ශාලාව පිරී ඉතිිරී යන ලෙස සෙනඟ පිරිලාය. ඒ මදිවට අපට නිදහස් ප්‍රවේශ පත්‍ර ද නැත. ප්‍රවේශ පත්‍ර ගන්න සල්ලි ද නැත. අප එහි ගියේ නාට්‍යය අවසන එහි රඟපෑ ලූෂන් බුලත්සිංහල හමු වී ලිපියක් ලිවීමටය. නාට්‍යය පටන් ගත් පසු අඳුරේම බාගෙට වසන ලද දොරකින් මාත් කුලෙත් නාට්‍යය නරඹමින් සිටි අතර කිසිවකු පැමිණ මගේ පිටට තට්ටු කළේය.

'කවුද? තමුසෙලා, නාට්‍යය හොරෙන් බලන්නේ'

'අපි 'විසිතුර' පත්තරයෙන්'

'ඉතින් දොර අස්සෙන් බලන්නේ. අර ඉස්සරහම සිට් දෙක තුනක් තියනේනේ ඉඳගෙන බලන්න'

අපි දෙදෙනා ඉදිරියේම ඇති අසුන්වල ඉඳගෙන නාට්‍යය නැරඹුවෙමු. අප අසල ආසනවල ආතර් යූ. අමරසේන හා ශ්‍රියාණි අමරසේන සිටි බව දැන ගත්තේ විවේක කාලයේදීය. අපට එසේ සැලකුවේ නාට්‍යයේ නිෂ්පාදක පේ‍්‍රමරංජිත් තිලකරත්න බව පසුව දැනගන්නට ලැබිණ. ඔහු පසුව මගේ හොඳම මිත්‍රයෙක් විය.

රංජිත් ලාල් ගේ පියා ඩේවිඩ් සිල්වා මෙන්ම මව වයලට් සිල්වා මහත්මිය ද 'නිම්වළල්ල' ට නොමසුරුව මුදල් දුන්හ. මේ දෙදෙනාම 'නිම්වළල්ලට' සම්බන්ධ අපට සැලකුවේ තම පුතාට මෙන්මය. විනෝදකාමියකු වූ ඩේවිඩ් අංකල් ඊට පෙර චිත්‍රපට නිෂ්පාදනයට හවුල් වී ඇත. මීගමුවේ සිටි ප්‍රකට වෛද්‍යවරයකු වූ ලීනස් දිසානායක හා චිත්‍ර ශිල්පියකු වූ සකලසූරිය, ඩේවිඩ් අන්කල් එක් වී සිදිසි' සිනපති' චිත්‍රපට සමාගම බිහි කොට ගුණසේන ගලප්පත්තිගේ 'මූදු පුත්තු' වේදිකා නාට්‍යය සිනමාවට නැඟීමට උත්සාහ කළහ. 'සදිසි' හැඳුණේ 'ස' (සකලසූරිය) 'දි' (දිසානායක) 'සි' (සිල්වා) යන නම් එක් කරමිනි. සිරිල් වික්‍රමගේ, මහගමසේකර හා ගුණසේන ගලප්පත්ති එක් වී මේ චිත්‍රපටය ආරම්භ කළත්, ගලප්පත්ති මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සඳහා සිරි ගුණසිංහ යෝජනා කර ඇත. එය මත ගැටම් නිසා නතර වූ අතර 'සදිසි' හි 'දි' පමණක් ඉතුරු වී සිරි ගුණසිංහ සමඟ 'සත් සමුදුර' ආරම්භ කර ඇත.

තම පුතාට වඩා ඩේවිඩ් අන්කල් මිතුරු වූයේ පුතාගේ මිත්‍රයන් සමඟය. ඒ අතර මුදන්නායක, නම්මුණි, නිලවීර හා මා ද වූහ.

'ඉස්සර මම මහගමසේකර එක්ක වොලිබෝල් ගහනවා. සේකරගේ ඩෑෂ් පාර උස්සන්න කාටත් බෑ. කොහොමත් ගම්පහ වොලිබෝල්වලට කප් ගහපු කොල්ලෝ හිටියේ ඩේවිඩ් අන්කල් සරම පිටුපසින් ඔසවා අපට කීවේය.

ඩේවිඩ් අන්කල් ඇවිදින විට මතක් වූයේ 'පරසතු මල්' චිත්‍රපටයේ බොනී මහත්තයාය.

'නිම්වළල්ල' චිත්‍රපටයේ වැඩ කටයුතු අතරට 'සෙවණ' පත්‍රයේ වැඩ කටයුතු ද අපි කරගෙන ගියෙමු.

මහගමසේකර සොයා ගිය කුලේත් (කුලරත්න ආරියවංශ) මාත් ඔහුගෙන් නිසදැස් කාව්‍ය පන්තියක් ඉල්ලා ගතිමු. අනතුරුව නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගොස් ඒ මහා ලේඛකයාගෙන් ද ලිපියක් ඉල්ලා ගත්තෙමු. වික්‍රමසිංහ මහතා ලියූ පොත් දෙකක් අපට තෑගි දුන් අතර ඔහුගේ අත්සන ද ලබා ගත්තෙමු. ඊට වසර පහකට පමණ පසු එතුමා ලියූ පොත්වලට පිටකවර ඇඳීමට අවස්ථාවක් උදාවෙතැයි මම එදා සිහිනයකින්වත් නොසිතුවෙමි.

'ලංකාදීප' කර්තෘ මණ්ඩලයේ සිටි ධර්මසිරි ගමගේ මහතා අප හඳුන්වා දුන්නේ එහි විශේෂාංග කර්තෘ ධර්මසිරි ජයකොඩි මහතා විසිනි. ජයකොඩි මහතා 'සෙවණ' සම සංස්කාරක සරත් වීරසේකරගේ මස්සිනාය. ධර්මසිරි අයියාගේ කෙටි කතා, කවි කියවා තිබූ මටත් කුලේටත් ඔහුගෙන් කෙටි කතාවක් ලැබුණා පමණක් නොව ලංකාදීප පත්‍රයේ වැඩ කරන හැටි පෙන්වා දුන්නේය. ජීවමාන දැක නොසිටි කරුණාසේන ජයලත්, සුසිල් ප්‍රේමරත්න අපට හඳුන්වා දෙන ලද්දේ ධර්මසිරි අයියා විසිනි. පත්තර කලාවේ මූලික ලක්ෂණ ගැන කියා දුන් ඔහු ඉරිදා දිනක තම නිවසට එන ලෙස මටත් කුලේටත් ආරාධනා කළේය. එවකට වැල්ලම්පිටියේ පදිංචිව සිටි ධර්මසිරි අයියාගේ නිවසට ගිය අපට 'සෙවණ' පත්‍රයේ අඩුපාඩු කාරුණිකව කියා දුන්නේය. ධර්මසිරි අයියාගේ බිරිඳ සීතා අක්කා කාරුණිකව අපට දවල් බතට ඇරැයුම් කළාය. ඇය ඊට පසු ද සොහොයුරියක් ලෙස අපට ආගන්තුක සත්කාර කළ බව කෘතගුණ පූර්වකව පැවසිය යුතුය. අපේ ජීවිතවලට 'පහන් වැටක්' වූ ධර්මසිරි අයියා අප සමුගන්නා විට අප දෙදෙනාට තමා ලියූ අලුත්ම කෙටිකතා සංග්‍රහය වූ 'දවල් හීන' පිටපත් දෙකක් තෑගි දුන්නේය.

අද ජීවතුන් අතර නැති ධර්මසිරි අයියාත්, සීතා අක්කාත් අපට කිසිදා අමතක නොවේ. කේමදාස මාස්ටර්ගේ සංගීත මංජරියේදී හඳුනා ගත් තිලකරත්න ද සිල්වා (පසුව සිළුමිණ, සරසවිය ඇතුළු සතිපතා පත්‍ර කිහිපයක ප්‍රධාන කර්තෘවරයා වූ තිලකරත්න කුරුවිට බණ්ඩාර) එවකට සේවය කළේ 'උදය' පත්‍රයේය. මගේ මතකය හරි නම් ඔහු 'ලස්සන' නම් කලා පත්‍රයේ සංස්කාරකවරයාය. තිලක් අයියා අපට කවි පන්තියක් ලබා දී මහගම සේකරගේ ඡායාරුපය සහිත බ්ලොක් එකක් ද ලබා දුන්නේය. එපමණක් නොව අපට වැඩිමහල් අයියා කෙනෙකු මෙන් පත්‍ර කලාවේ හැඩ රුව කාරුණිකව පෙන්වා දුන්නේය. ඔහු අපට ලබා දුන් සේකරගේ පින්තූරය ටයි කෝට් ඇඳ ගත් එකකි. එතෙක් මෙතෙක් යූරෝපීය ඇඳුමින් සැරසී සේකර සිටි එකම පින්තුරය එය විය. ඒ අතින් මගේ පත්‍ර කලා ජීවිතයේ පූර්වාචාර්යවරයන් දෙදෙනකු ලෙස ධර්මසිරි අයියාටත්, තිලක් අයියාටත් ගෞරවය හිමි විය යුතුය.

ඩේවිඩ් අන්කල් ගැන මට මතක නැතිව තිබූ පුවතක් 'සරසවිය' ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න මට සිහිපත් කර දුන්නේය. මේ කතාව අරුණට මීට වසර 25 කට පමණ පෙර 'සරසවිය'ට බැඳුණු අලුත කියන ලද එකකි.

ඩේවිඩ් අනකල් සැබෑ රසවතෙකි. ඔහු සංගීතයට ද ප්‍රිය කළේය. ඔහු ඇසුරු කළේ මහගමසේකර, පණ්ඩිත අශෝක කරුණාරත්න, චිත්‍ර කථිකාචාර්යවරයකු වූ සකලසූරිය, ප්‍රවීණ ගුරුවරයකු වූ ලංකාචන්ද්‍ර වැනි බොහෝ ඇසූ පිරූ තැන් ඇති පිරිසකි. සම්භාව්‍ය භාරතීය සංගීතය රස විඳි සහෘදයකු වූ ඩේවිඩ් අන්කල් නිසා ඔහුගේ පුත් රංජිත් ලාල් ද සංගීත රසිකයකු වීම අරුමයක් ද? බටහිර මෙන්ම පෙරදිග සම්භාව්‍ය සංගීතය රස විඳි ඒවා හදාළ තරුණයකු විය. අප දෙදෙනා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන රාගධාරි සංගීතය 'ශාස්ත්‍රීය සංග්‍රහයෙන්' අසා තිබුණත් එහි දිග පළල, ගැඹුර හරි හැටි වටහා ගෙන නොතිබුණි.

රවි ශංකර්, අල්ලා රඛ්ඛා, පලුෂ්කාර, බිස්මිල්ලා ඛාන් ආදීන්ගේ නම් අසා වාද්‍ය ඛණ්ඩ අසා තිබූ රංජිත් හා මම අපූරු වරමක් ඩේවිඩ් අන්කල් නිසා උදා විය.

'රංජියෝ තාත්තා රවි ශංකර්ගේ සිතාර් රිසයිටල් එකක් බලන්න එක්ක යනවා කිව්වා' රංජිත් ලාල් මට කීවේය.

'කවද්ද . . . අද ද? කොච්චර වාසනාවක්ද?' මම කීවෙමි.

'මචෝ . . . මම තාත්තාට කිව්වා උඹවත් එක්ක යමු කියලා'

රවි ශංකර්ගේ ඒ ප්‍රසංගය පැවැත්වූයේ ධනවත් පුද්ගලයකුගේ නිවසකය. මගේ මතකය හරි නම් එය බණ්ඩාරනායක මැතිනියගේ සමීප ඥාතියකුගේ නිවසකි. වරප්‍රසාද ලැබූ පිරිසකට මෙන්ම සංගීත ලෝකයේ මහා බලකණු රැසක් එය බැලීමට ආරාධනා ලැබ තිබුණි. ඒ අතර සිටි පුංචි භාග්‍යවන්තයා මම වීමි.

ප්‍රසංගය ඇරඹිණි. ඩේවිඩ් අන්කල්, රන්ජිත් ලාල් හා මා ද එරමිණිය ගොතා ගෙන කලාළයක වාඩි වී සිටියෙමු. අප අසල සංගීතය කෙළ පැමිණි සංගීත විශාරදයන් කිහිප දෙනෙකු සිටි නමුත් මා පත්‍රවලින් දැක හඳුනා සිටියේ පී. වී. නන්දසිරි මහතා පමණි. රවි ශංකර් හා අල්ලා රඛ්ඛා (තබලා වාදක) යුගල වාදනයක් ඉදිරිපත් කරන විට අප අසල සිටි සංගීත විශාරදයෙක් 'වා . . . වා . . .' හඬ නඟමින් එයට ප්‍රතිචාර දැක් විය. එය දුටු රංජිත් ලාල්ට හා මට සිනාව නතර කිරිමට බැරි විය. අප කට තද කරගෙන බලා සිටියේ විශාරදවරයාගේ ආලප් කිරීමය.

අප සිනාසෙනු දුටු ඩේවිඩ් අන්කල් අභිනයෙන් සිනාසෙන්න එපා යයි ඉඟි කළත් සිනාව නතර කර ගැනීමට බැරිව අප දෙදෙනා කට වසාගෙන එතැනින් එළියට ගියෙමු. එළියට පැමිණ හොඳට සිනාසුණු අතර නැවත ශාලාවට පැමිණ පිටුපසට වී ඉඳ ගත්හ. රවි ශංකර් නම් ලොව විශිෂ්ට සිතාර් වාදකයාගේ විස්මකර්ම දෑත් සිතාරය හරහා ගමන් ගත්තේ යන්ත්‍රයක් මෙනි. එයටම සරිලන අල්ලා රඛ්ඛා නම් තබ්ලා වාදකයාගේ දෑත් එයට නොදෙවෙනි ලෙස ක්‍රියාත්මක විය. එවකට දහ අට වැනි වියේ සිටි අප දෙදෙනා මෙයින් අපමණ වින්දනයක් ලැබූහ.