|
|
මාමණ්ඩි දුන්නු තරම් මේසයක් තවත් නැහැ
ජයලත් මනෝරත්නගේ කැදැල්ලේ සොඳුරු මොහොතක්
“ මනෝ අයියේ...... මනෝ අයියේ.......” ඔහු ගේට්ටුව ඇරියේ අපේ කතාවට පිළිතුරක් වශයෙනි. “ අද මේ පාර වහලා නිසා ටිකක් අපේ ගෙදරට එන්න කරදරයි.” ජයලත් මනෝරත්න නම් ප්‍රවීණ නළුවා පැවසුවේ ඔහුගේ නිවෙසට පැමිණීමේ දී අප විඳී කරදරය ගැන මතකයට නඟමිනි. ඔහු දුටුවනම එක්වරම මගේ මතකයට නැඟුණේ ජස්ටින් ය. කිලිටි වුණු කාකි කමීසයත්, නිතරම බුලත් විට කෑම නිසා කහපැහැයට හැරුණු දත් පෙළත්, මුහුණ වටේටම වැවුණු රැවුළත් ජස්ටින්ගේ ගැමි ස්වභාවය අපූරුවට කියා පෑවේ ය. එහෙත් මේ වනවිට ඒ ගැමියා ඔහු වෙතින් අතුරුදන් ඇති වග මට පෙනිණි. “ හෝ ගානා පොකුණේ චරිතයට කොහොමද ලැබෙන ප්‍රතිචාර ? ” ඒ ඒ චරිතයට උචිත අයුරෙන් සිය රංගනය මෙහෙය වන මනොරත්නයන්ගෙන් මම විමසීමි. “ මේ දවස්වල ඒ සඳහා බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ වගේම බොහෝදෙනා නරඹනවා. පෞද්ගලිකව මේ ගැන කතා කළොත් මෑතකදි ආව විශිෂ්ට සිනමා කෘතියක්. මගේ මතය නම් මා නැරැඹූ හැත්තෑව දශකයේ පැමිණි ‘හඳයා’ චිත්‍රපටයට පස්සේ පැමිණි හොඳම ළමා චිත්‍රපටය බවයි. සිනමාත්මක විදියට වගේම අන්තර්ගතය අතින් වුණත් මේ චිත්‍රපටය විශිෂ්ටයි. ” ඔහු සිය අදහස ගෙනහැර පෑවේ අවංකවම ය. මේ කටයුතු මෙසේ සිදු වෙද්දී ඔහු සුපුරුදු ලෙසම වේදිකාවට සමීප වන්නේ සිය ප්‍රාණය රැඳී ඇත්තේ එහි යැයි අපට පසක් කරන්නට මෙනි. පසුගිය දිනවල කතා කරන දිනක් ඇත්නම් ඔහුගේ මුවඟේ රැව්දුන් වචන කිහිපයක් විය. “රිහසල්. හවස නම් කිසිම වැඩක් කරන්න බෑ. ” ජයලත් මනෝරත්නගේ ඒ වචන ඔස්සේ අපට හෙළිකළේ යම් ඉඟියකි. “ අලුත්ම වේදිකා නාට්‍යයකට සැරසෙන බවක් දැන ගන්නට ලැබුණා. ඒ කතාව ඇත්තක් ද ? ” ඒ ඉඟිය ඔස්සේ පැවසූ දෙය විස්තරාත්මකව දැන ගැනීමට ඔබත් කැමැති වනු නියත ය. “ මගේ අලුත්ම වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. මේ නාට්‍යය මාර්තු මාසයේ විතර අපි වේදිකා ගත කරන්නයි සිතා ගෙන ඉන්නේ. මෙහි මාස පහක් විතර පුහුණු වීම් කටයුතු කෙරෙනවා. පිටපත ලියන්නට විතරක් මට වසර දෙකහමාරක් පමණ ගියා. බොහොම වෙහෙස මහන්සියෙන් යුතුව මේ කටයුතු කරගෙන යනවා. හැත්තෑවේ දශකයේ වගේ නොවෙයි. ඒ කාලයත් එක්ක සංසන්දනය කරලා බලන විට මේ කටයුතු අසීරුයි. දුෂ්කරයි. පුහුණු වීම්වලට වුණත් පිරිස එකතු කර ගන්න එක පහසු දෙයක් නොවෙයි. සමහර වෙලාවකට පුහුණු වීම්වලට නළු - නිළියෝ එන්නේ නැහැ. මේ වනවිට සමාජය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මුදල පිළිබඳ ගැටලු තියෙනවා. ඒ කටයුතුත් සමඟ මේවා අපි කොහොම හරි කරගෙන යනවා. ” වේදිකාවට කවදත් ආදරය කරන ජයලත් මනෝරත්නයන් පවසන්නේ සැබෑ සෙනෙහසිනි. ඩබ්ලිව්.ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ෆර්නි රෝෂිනී, සංජීව දිසානායක, ලංකා බණ්ඩාරනායක ඇතුළු අලුත් මුහුණු කිහිපයක් සමඟ නාට්‍යය ඔබ හමුවට පැමිණීමට නියමිත ය. ඒ ඔස්සේ ග්‍රැමෆෝන් යුගයේ සිට අද දක්වා පැමිණෙන ගායකයාගේ ඛේදවාචකය ගැන කතා කිරීමට ඔහු මෙවර සූදානම් වෙයි. මෙවැනි කටයුතු රැසක් සමඟ සිටින නිසා ජයලත් මනෝරත්න නම් රංගධරයාට, ගුරුවරයාට කාලය යන්න රන් හා සමාන ය.
“
“සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙත් ඉගැන්වීම් කටයුතු කෙරෙනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ ඉන්නවා. විශේෂයෙන්ම බාහිර සාහිත්‍ය දේශන පිට පළාත්වල වගේම කොළඹ අවට බොහෝ ආයතනවලත් පැවැත්වෙනවා. විවිධ විෂයයන් යටතේ කෙරෙන මේ සාහිත්‍ය දේශනවලට මටත් ආරාධනා ලැබෙනවා. මෙවැනි පිබිදීමක් දකින්නට ලැබීම අප සතුටට පත්විය යුතු කාරණයක්. ඒක හොඳ ප්‍රවණතාවක්. ” පවතින සමාජයේ තිබෙන විවිධ විෂමතා හමුවේ මිනිසුන්ගේ මනස සුවපත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයකි. එහි අගය ඉදිරියේදී තව තවත් වර්ධනය වෙමින් පවතියි. ඒ කාර්යයේ වගකීම භාර වනුයේ කලාවට ය. මිනිසුන්ගේ හදවතෙන් යහගුණ ඈත්වෙමින් යන යුගයක තවමත් ඊට ප්‍රිය කරන අය ද, සංගීතය රසවත් ලෙස රස විඳීන්නන් ද බොහෝ සිටින වග අපට හැඟුණේ ජයලත් මනෝරත්න පැවසූ අපූරු සිදුවීමක් මුල්කර ගෙන ය. “ එවන් සිදුවීමක් ගැන අහන්නත් පුදුමයි ” “රසිකයන් හොඳ දෙයක් දෙනතුරු බලාගෙන ඉන්නවා. ඒකට හොඳම උදාහරණය වෙන්නේ පසුගිය දවස්වල ගිරිඋල්ලේ සුනිල් දයානන්ද කෝණාර වෙනුවෙන් තිබුණු උපහාර උලෙළයි. දැන් ඔහු ටිකක් ඉන්නේ අසනීප තත්ත්වයේ. ඒ වෙනුවෙන් අවසානයේ තිබුණු සංගීත ප්‍රසංගයේ දි අපි පුදුමයට පත්වුණා. මොකද මේ සඳහා ගිහින් හිටිය ඔක්කොම නන්දා මාලිනී, වික්ටර් රත්නායක වගේ ප්‍රවීණ ගායක - ගායිකාවන්. අපි හැමෝටම ගී ගයන්න සිදුවුණේ විශාල පිට්ටනියක. ඒ පිට්ටනිය දැක්ක ගමන් අපට ඇතිවුණේ බියක්. තුන්දාහකට වඩා සෙනඟ හිටියා. ඒත් කියන්න සතුටුයි ඒ පැමිණි සියලුදෙනාම හෙල්ලෙන්නේ නැතිව අවසන් වනතුරුම ඉඳගෙන ගීත රස වින්ඳා. මගේ ජිවිතයට පළමු වරටයි මා ඒ විදියේ සිදුවීමක් දුටුවේ. නැත්නම් අපි දැකලා තියෙන්නේ ඒ වගේ විශාල පිට්ටනියක වේග රිද්ම ගීත ගයන, ඒවාට නටන පිරිස් පමණයි. එතැනින් එහාට ගිය රසිකත්වයක් ඉල්ලන පිරිසක් සිටින බවක් අපට හැඟෙනවා. ” ජයලත් මනෝරත්න නම් ඔබගේ ආදරය දිනූ සොඳුරු මිනිසාට නිවෙසට වී කාලය ගත කරන්න තරම් කාලයක් නොමැති තරම් ය. ඒ තරම් අවිවේකී ජීවිතයකට පිළිපන් ඔහුගේ සෙවණැල්ල ඇයයි. “ ඔබගේ කටයුතුවලට බිරින්දෑගෙන් ලැබෙන සහයෝගය ගැනත් යමක් කියමු ” “මම නිවසෙන් බැහැරව ඉන්න විට ගෙදර කළමනාකරණ කටයුතු පැවරෙන්නේ ඇයට තමයි. මේ ටිකේ හැමදාම පුහුණු වීම් නිසා අපි විසිදෙනෙක් පමණ එකතු වෙනවා. ඒ සියල්ලන්ටම අවශ්‍ය කෑමබීම, තේ පැන් සංග්‍රහ කටයුතු, ඊට අවශ්‍ය කරන අනෙකුත් දේ ඇතුළු සෑම දෙයක්ම හොයලා බලලා සපයන්නේ ජයන්තියි. ” ඒ විදියට සහයෝගය දෙන බිරින්ඳෑට මනෝරත්න තමන්ට හැකි සෑම අවස්ථාවකම උදව් කිරීමට ද අමතක නොකරයි. මේ අතර ඔහුටම වෙන් වූ වැඩ කොටසක් ද ඇත. “ ඔබගේ සහයෝගය ඇයට ලැබෙන්නේ කොහොමද ? ” “ ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු සියල්ලක්ම වගේ ගේන්නේ මම තමයි. ඊට අමතරව පවුල්වල මඟුල්, මරණ, ලෙඩදුක් බලන්න යෑම් ආදී කටයුතු මගේ වැඩ රාජකාරී අතර කරන්න කාලය කෙසේ හෝ වෙන්කර ගන්නවා. ” නිවෙසට වී සිටින ජයන්තිට වැඩ කටයුතු බොහොමයකි. ඒ අතර ඇගේ දෙඅතට මැදි වී නිවෙස සුන්දර කරන ගෙවත්ත සකසන්නට ද කාලය වෙන්වෙයි. “ මේ සුන්දර ගෙවත්ත ඔබගේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක්” අප දුටු මොහොතේ සිට සිනහවෙන් තොර නොවූ ජයන්තිගේ උවන දෙසම බලාගෙන මම ඇසීමි. “ මේ විදියට ලස්සනට මට මල් වවන්න අවශ්‍ය මල්පැළ ගෙනත් දෙන්නේ නම් මනෝයි. හිටිය ගමන් එයාටත් විවේකයක් තිබුණොත් මගේ මේ වැඩවලට උදව් වෙනවා. ” එසේ පවසමින් ජයන්ති ඉක්මනින් නිවෙස ඇතුළට පිවිසෙන්නී ය. මනෝරත්න - ජයන්ති කැදැල්ල ගිලී පවතින්නේ දැඩි නිහැඬියාවක ය. මේ කැදැල්ල සුන්දර කළ කුරුලු පැටව් මේ වනවිට පියඹ ගොසින් ය. ඒ ඔවුන්ගේම කැදැල්ලක් තනන්නට කාලය පැමිණීමත් සමඟ ය. “ භානුක පුතා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. පුතා විවාහ වූ හිරන්‍යා දුවත් සමඟ එහේ තමයි දැන් ඔවුන්ගේ පදිංචිය වෙන් වෙලා තියෙන්නේ. එයාලට ඉන්නවා දූවරුම තුන්දෙනෙක්. උත්පලා දුව විවාහ වෙලා පදිංචිය කෝට්ටේ. නිතරම වගේ නිවාඩුවට අපිව බලන්න නිතරම මෙහෙ එනවා. ඒ නිසා ඒ අය ගෙදර නැති වුණත් එහෙම කිසිම අඩුවක් දැනෙන්නේ නැහැ.” නිවෙසේ නිදහසේ පොතපත කියවන්නට, ලියන්නට මනෝරත්නයන්ටම වෙන්වූ කාමරය පොත් ගුලකි. ඔහුගේ ලියන මේසයට අපූරු ඉතිහාසයක් තිබේ. එය ඔහුට ලැබුණේ බිරියගේ පියාගෙනි. වර්තමානයේ කොපමණ වෛයිවාරණ බඩු තිබුණ ද ඒ මේසය තරම් ඔහුට ඒ කිසිවත් සිතට නොඅල්ලයි. “ මනෝ අයියේ කොහෙද ඉන්නේ ?” අපේ කතාබහ අතර ජයලත් මනෝරත්නට දුරකථන ඇමතුමකි. ඒ නාට්‍ය පුහුණු වීම්වලට අනෙක් අය පැමිණ ඇති බව දැන්වීමකි. ඔහුගේ නිවෙසේ ගෙවුණු කාලය අවසන් කරන්නට අවස්ථාව පැමිණ හමාර ය. ඔහුට ඒ සඳහා යන්නට ඉඩහසර පාදමින් අපි ඔවුන්ගේ කැදැල්ලෙන් සමුගතිමු.
|




බොරලැස්ගමුව රතනාරාමය අවට වූ දැඩි නිසසල බව බිඳී ගියේ අහස්යානාවල හඬෙනි. වරින්වර
ඉගිල යන ඒ අහස්යානාවල හඬ පරදා අප, ඔහුට කතා කළේ ය.
ඔබට කිසිදු විවේකයක් නොමැති තරම් නේද ? ”