|
|
Alvin and the Chipmunks : The Road Chip
දඟකාර කුඩා දඬුලේනුන් තිදෙනෙකු සහ ඔවුන්ගේ භාරකරු වන ඩේව් ගේ වික්‍රමයන් ගැන කියවෙන “ඇල්වින් ඇන්ඩ් ද චිප්මන්ක්ස්” (Alvin and the Chipmunks) පළමුවරට පරිගණක සජීවීකරණ තාක්ෂණයෙන් සිනමාවට නැගුනේ 2007 වසරේදීය. එසේ වුවත් ‘රොස් බැගඩසරියන් (ජ්‍යෙෂ්ඨ)’ විසින් නිර්මිත මේ චරිතවල ඉතිහාසය 1958 තරම් ඈත කාලයකට දිව යයි. ඒ එනමින් හැඳීන්වුණු සජීවීකරණය කෙරුණු සංගීත කණ්ඩායමත් (Animated Music Group) සමඟය. 1983 - 1990 වකවානුවේදී රූපවාහිනී කාටූන් වැඩසටහනක් ලෙස මොවුහු තවතවත් ජනාදරයට පාත්‍ර වූහ. ඇල්වින්, සයිමන් සහ තියඩෝර් නම් මේ දඟකාරයන් තිදෙනා ඩේව් (ඩේවිඩ් සෙවිලි) පළමු වරට මුණගැසෙන 2007 චිත්‍රපටයේ දී චිප්මන්ක්ස්ලාගේ සංගීත නිපුණත්වය ගැනත් හුරතල් දඟකාර බව ගැනත් පැහැදෙන ඩේව් ඔවුන්ව ආදරයෙන් රැකබලා ගන්නා භාරකරු බවට පත්වෙයි. සංගීත ලෝකය ඉහළට පියනඟන චිප්මන්ක්ස්ලා ආත්මාර්ථකාමී මාධ්‍ය ප්‍රධානියකුගේ ගොදුරක් බවට පත් වන නමුත් අවසානයේ ඩේව් විසින් නැවතත් තමන් සතු කර ගනී. චිප්මන්ක්ස්ලාගේ දෙවන චිත්‍රපටය Alvin and the Chipmunks : The Squeakquel (ද ස්ක්වීක්වල්) නමින් 2009 වසරේ තිරගත වූ අතර, සංගීත වෘත්තීයේ විරාමයක් තබමින් පාසල් යන චිප්මන්ක්ලාට එහිදී සිය සහකාරියන් වන බ්‍රිට්නි, ජැනට් සහ එලේනර් නම් චිපට් (Chipettes) මුණ ගැසේ. 2011 වසරේ තිරගත වූ Alvin and the Chipmunks : Chipwrecked (චිප්රෙක්ඩ්) චිත්‍රපටයේදී චිප්මන්ක්ලා සහ චිපට්ලා සිය නෞකාව මුහුදුබත් වීම නිසා දූපතක හුදකලා වන අතර නවමු අත්දැකීම් රැසකට මුහුණ දෙති. චිප්න්මන්ක්ලාගේ නවතම වික්‍රමයන් රැගත් සිවු වන චිත්‍රපටය “Alvin and the Chipmunks : The Road Chip” (ද රෝඩ් චිප්) නමින් 2015 දෙසැම්බර් 18 වනදා ලොව පුරා මුදා හැරුණු අතර, මෙය වෝල්ට් බෙකර් ගේ අධ්‍යක්ෂණයකි. පෙර චිත්‍රපට වල පරිදිම, ඇල්වින් සඳහා ජාතින් ලෝන්ග් ද, සයිමන් සඳහා මැතිව් ග්‍රේ ද, තියඩෝර් සඳහා ජෙසී මැකාර්ති ද හඬකැවීම සිදු කරන අතර, ජේසන් ලී ඩේව් ගේ චරිතය රඟ දක්වයි. ජැනිස් කාමන් සහ ‘රොස් බැගඩසරියන් (කණිෂ්ඨ)’ ගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක පිරිවැයකින් තනා ඇත. 20 th Century Fox බෙදාහැරීමකි. චිප්මන්ක්ලාගේ භාරකරු වන ඩේව් විවාහ දිවියට පිවිසීමට බලාපොරොත්තු වන මෙම චිත්‍රපටයේදී ඒ ආරංචියෙන් සසල වන චිප්මන්ක්ලා සිය අදරැති ඩේව් තමන්ගෙන් වෙන්වී යාම නැවැත්වීමට හැකි සියලු උපායන් යොදති. ඔවුන්ගේ අවසන් ප්‍රයත්නය වන්නේ සියලු බාධක මැද රට හරහා ගමන් කරන වික්‍රමාන්විත ගමනකි. සංගීතමය චිත්‍රපටයක් වන Alvin and the Chipmunks : The Road Chip, විවිධ ගායක ගායිකාවන්ගේ ගීත නවයකින් සමන්විත වෙයි. මෙම චිත්‍රපටය සිය පළමු සතිය අවසානයේදී බලාපොරොත්තු වූ තරම් ආදායම් නොලැබූ අතර, එම සතියෙම නිකුත් වූ ‘සිස්ටර්ස්’ චිත්‍රපටයත් ‘ස්ටාර් වෝර්ස් : ද ෆෝර්ස් අවේකන්ස්’ චිත්‍රපටයත් මෙහි ආදායම ගැන අහිතකර අන්දමින් බලපෑ බව විශ්ලේෂකයින්ගේ මතයයි. මෙම චිත්‍රපටය බොහෝ චිත්‍රපට විචාරකයින්ගේ ඍණ ප්‍රතිචාරයන්ට ලක්වී ඇති අතර, IMDB දර්ශකයේ 3.4 / 10 ක්ද, රෝටන් ටෝමටෝස් හි 16% ක්ද ලෙස ඉතා අඩු අගයන් ලකුණු කර ඇත. රෝටන් ටෝමාටෝස් හි ප්‍රමුඛ විචාරය පවසන පරිදි මෙය පෙර චිත්‍රපට වල ඉතාම සුළු වර්ධනයකි.
|



