|
|
මම තාත්තාගේ ගීතවලින් පමණක් යැපෙන පුතෙක් නොවෙයි
මාරියෝ ආනන්ද
ටික දිනකට උඩදී ඔබ යුරෝපා සංචාරයකත් නියැලී බොහෝ අත්දැකීම් එක් කර ගත්තා කියලා දැනගන්න ලැබුණා? මගේ මුල්ම යුරෝපා සංචාරය මේක. මම පැරීසියට ගියා එහෙ ප්‍රසංග කීපයකටම සහභාගි වුණා. මම එහෙදි වෙනස්ම ආරක ප්‍රසංගයයක් තමයි ඉදිරිපත් කළේ. එහේ රසික රසිකාවියෝ මට ඉහළ ප්‍රතිචාරයක් දැක් වූවා. ගිටාරය අතට අරන් මගේ හැකියාවන් නිදහසේ එළි දක්වන්න ලැබුණු හොඳ අවස්ථාවක් විදියට මේ සංචාරය මම දකිනවා. මේ ප්‍රසංගයේ ඔබ දැක් වූ සුවිශේෂතා මොනවාද? මම විසින්ම සංගීතවත් කරපු මගේම නිර්මාණ මම එහිදී ඉදිරිපත් කළා. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය පවා මගේ. ඒ වගේම මේ සංචාරය තුළ ඉතාමත් ලස්සන විෂුවල් වගයක් කරන්න මට අවස්ථාව උදා වුණා. ඉදිරියේදී මේ අලුත් විෂුවල් මාධ්‍ය හරහා කාටත් දැකගන්න ලැබෙයි. සංගීත ක්ෂෙත්‍රයේ නම් දැරූ ශිල්පීන්ගේ දරුවන්ගේ නිර්මාණ එකතුවකට ඔබ සහභාගි වුණා නේද? ජාතික රූපවාහිනිය මඟින් නිෂ්පාදනය කළ ෆීලීන් ඔෆ් යූත් සංගීත වැඩ සටහනට මම සහභාගි වුණා. මෙහි සංගීතය මෙහෙයවීම සම්පූර්ණයෙන් සිදු වුණේ මගේ අතින්. අපේ රටේ නම් දැරූ ගායක ගායිකාවන්ගේ දරුවෝ තමයි අනෙක් සාමාජිකයෝ වුණේ. නදිමාල් පෙරේරා, තිසර බණ්ඩාර, පසන් ප්‍රනාන්දු, ශිරාන් පීරිස් මේ වගේ කීප දෙනෙක් මේ වැඩ සටහනට එදා එක් වුණා. මේකත් මගේ සංගීත දිවියේ ලොකු හීනයක් සැබෑවීමක්. ඔබ බොහෝ විට පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ගීත නිර්මාණය කරනවා වගේම ගායනයත් සිද්ධ කරනවා? මගේ ගීත බොහෝ විට ලියවෙන්නේ සමාජවාදය මුල් කොටගෙන. මම මුදල කියන දේ ඉස්සරහට දාගෙන වැඩ කරන කෙනෙක් නොවෙයි. මම ලබන්නේ අන් අයගේ සතුට. දුප්පත් දරුවෝ මගේ නිර්මාණවල සම්පත්. මේ මෑතකදීත් මම පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි ගීතයක් නිර්මාණය කළා. ඔබේ පියා අපේ රටේ හිටිය ජනකාන්ත ගායකයෙක්. මේ වන විට ඔහු මිය ගොස් වසර පහක්. තාත්තා වෙනුවෙන් යමක් කරන්න හිතුවේ නැද්ද? තාත්තා මිය ගියේ 2010 දෙසැම්බර් 29 වැනිදා. මම තාත්තාගේ මේ පස්වන ගුණ සැමරුම සිහිපත් කරමින් මේ මාසේ 29 වැනිදාට බොරැල්ල නාමෙල් වීරමුණි පුංචි තියටර් එකේ මගේම ගීත එකතුවක් රැගත් ප්‍රසංගයක් පවත්වනවා. එදාට ගීත ගයන්නේ, සංගීත අධ්‍යක්ෂණය මේ හැම දෙයක්ම මගෙන්. හැබැයි මේ ප්‍රසංගයට මම ආරාධනා කරන්නේ මට මෙතෙක් මේ ගමන එන්න උදවු කරපු සියලු දෙනාට. මට මේ තාක් අත හිත දුන් සැමටම එදාට මේ ප්‍රසංගය නරඹන්න මම ආරාධනා කරනවා. ඔබ කුඩා කළ පටන් ගායකයකුවීමේ සිහිනයෙන් කල් ගෙව්වාද?
ඔබ තාත්තා සමඟ එකට ගී ගයා එහෙම නැද්ද? එක්තරා අවස්ථාවක සියත ටී. වී. එකේ වැඩසටහනකදී තාත්තයි මමයි සිහින අහසේ වසන්තේ ගීතය ගායනා කළා. ඒ ගීතය අපි දෙන්නා එකට ගායනා කළ ටී. වී. ප්‍රෝග්‍රෑම් එකක අවසන් ගීතය වුණා. ඒ වගේම මම තාත්තා එක්ක අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී එකට සිහින අහසේ වසන්තේ ගීය ගායනා කළා. ඒක මම තාත්තා එක්ක ප්‍රසංගයකදී ගායනා කළ මුල්ම සහ අවසන් ගීතය වුණා. මාරියෝ අද තාත්තාගේ ගීත ගායනයේද නියැලී ඉන්නේ? මම තාත්තාගේ ගීත මත යැපෙන පුතෙක් නොවෙයි. ඒ ගීත තාත්තා දහස් වාරයක් කියලා තියෙනවා. අදටත් ඒ ගීත එහෙම තියෙනවා. මම පුතා කියලා ඒ ගීත ටිකම කියන එක නෙමේ වෙන්න ඕනෑ. මම මගේ ගීත ඔස්සේ රසිකයන් අතරට එන එකයි කෙරෙන්න ඕනෑ. මම අදටත් කරන්නේ මගේ ගීත ඔස්සේ රසිකයන් අතරට එන එක. කෝ ඔබේ ගී නිර්මාණ මාධ්‍ය ඔස්සේ අහන්න ලැබෙනවා හරිම අඩුයිනේ? මගේ ගීත තියෙන්නේ අන්තර් ජාලයේ. අවශ්‍ය ඕනෑම කෙනෙක්ට යූ ටියුබ් එකෙන් marioanda කියලා ගැහුවහම මගේ සිංදු අහන්න තෝරා ගන්න පුළුවන්. මගේ සිංදු ජනප්‍රිය කරන්න කියලා ගුවන් විදුලි නාළිකාවලට සල්ලි දෙන්න තරම් මම පොහොසත් නැහැ. මගේ තියෙන්නේ සෙමින් ගමනක්. මේ කෙටි කාලෙට මම ආපු දුර හොඳටම ඇති. ප්‍රසංග වේදිකවේ අද ඔබට ආරාධනා නැද්ද? තියෙනවා. මම එළිමහන් ප්‍රසංගවලට වඩා ගෘහස්ථ ප්‍රසංගවලට තමයි කැමැති. ප්‍රසංග වේදිිකාවේදී තාත්තාගේ හිතුමතේ ජීවිතේ . . ., ගීත ගයා . . ., හිම රේණු වැටෙනා . . ., සිහින අහසේ . . ., ආශාවේ ආශාවේ . . . ඔය වගේ ගීත ටිකක් තමයි ගායනා කරන්නේ. බොහෝ විට අද තිබෙන බෑන්ඩ්වලට අපේ අලුත් සිංදු පැක්ටිස් කරන්නවත් වෙලාවක් නැහැ. අපි ස්්ටේජ් නඟින කොටම එයාලා තීරණය කරලා මියුසික් ගහනවා. මම සිංදුව කියනවා. ඔබ ප්‍රසංග වේදිකාවේ වෙනසක් දකින ශිල්පියෙක්? ස්ටේජ් එකේ එක තැන හිටගෙන ගීත ගායනයට මම කැමැති නැහැ. සජීවී නර්තනයත් එක්ක තමයි මගේ ගායනය සිද්ධ වෙන්නේ. බොහෝ විට වාදක මණ්ඩලයෙන් මගේ අතට ගිටාරය ලැබෙනවා. මම ඒ ගැන වාදක මණ්ඩලවලට ගරු කරනවා. තමන්ගේ ලක්ෂ ගාණක් වටිනා ගිටාරයක් මගේ අතට පත් කරලා මට ප්‍රසංග වේදිකාව භාර කරනවට. වාදක මණ්ඩල පෙර සූදානමක් මගේ ගී වෙනුවෙන් නොමැති මොහොතක මම ගිටාරය වයමින් මගේම ගීයක් කියන්නත් පසුබට වන්නේ නැහැ. මාරියෝ ගැන එදා තාත්තාගේ තිබුණේ මොන වගේ බලාපොරොත්තුවක්ද? තාත්තා මාව මේ ක්ෂේත්‍රයට එන්න කියලා බල කළේ නැහැ. මට කිව්වේ හොඳට ඉගෙන ගන්න කියලා. සමහර විට එදා තාත්තා ඉක්මන් තිරණයක් ගත්තා නම් අද සමහර විට මාරියෝ කියලා ගායකයෙක්, සංගීතඥයෙක් බිහි නොවෙන්න තිබුණා. මගේ සංගීත අධ්‍යක්ෂණය ගැන තාත්තා බොහෝ විට උනන්දු වුණා. තාත්තා මිය යන්න සති දෙකකට උඩදී තමයි තාත්තා කොවුලා කොහේදෝ ගීතය ගැයුවේ. මේ ගීතය සංගීතවත් කළේ මම. මට තාත්තා හැම විටම ආශිර්වාද කළා. ඒ ආශිර්වාදය අදටත් මට තියෙනවා. සෑම වසරකම දෙසැම්බර් මාසයේ ඔබ වඩාත් ගත කරන්න ආශා ළමා නිවාස, අනාථ නිවාස, මහලු මඩම්වල, කැන්සර් හොස්පිටල් එකේ කියන්නේ ඇත්තද? මේ මාසයේ තමයි මගේ පියාණන් මිය ගියේ. මම පියා වෙනුවෙන් අන් අයගේ දුක නිවාලන්න ඒ අයට සතුටක් ගේන්න උත්සාහ කරන පුද්ගලයෙක්. මිනිස්සු සතුටක් ලබනවා කියලා මට දැනෙන කොට ඒක මට ලොකු සතුටක්. අද මට මැරුණත් ප්‍රශ්නයක් නැහැ. මම හොයන්නේ මුදල් නෙවෙයි, ආත්ම තෘප්තිය. ඔබ මේතාක් ආ ගමන ගැන මොකද හිතෙන්නේ? මට තියෙන්නේ බොහෝ කැප කිරීම් මත ආපු සෙමින් ගමනක්. අදටත් පාරේ බස් එකේ ගිහින් සිංදු ටික කියලා පාරේ බස් එකේ නැගලා ආපහු ඉක්මනින් ගෙදර එන පුද්ගලයෙක් මම. තාත්තා වුණත් මේ සරලකම තුළ ජීවත්වුණු පුද්ගලයෙක්. මම ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයි. මගේ තාත්තා අහවලා කියලා හිස උදුම්මවා ගත් පුද්ගලයෙක් නෙමෙයි මම. මට ඕනෑ තාත්තාගේ ආශිර්වාදය ඇතුව දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේම නිර්මාණ අතරේ ඉදිරි ගමනක් යන්න. තාත්තගේ හදිසි මරණයත් සමඟ ඔබ ඇතුළු පවුලේ අනෙක් අය බොහෝ අසරණ වුණා නොවේද? තාත්තාගේ අවසන් කාලය වන විට තාත්තා එක්ක හිටිය කිසි'ම යාළුවෙක් තාත්තා ළඟ හිටියේ නැහැ. අපි තනි වෙලා හිටියේ. අසරණකමත් අපිව වෙලාගෙන තිබුණේ. තාත්තා අපේ මුලු පවුලටම ආදරේ කළ හොඳ ගති ගුණ තිබුණ කෙනෙක්. තාත්තාගේ තිබුණ එකම දුර්වලකම බීමත්කම විතරයි. අපේ හැම ගැටලුවකටම මුල වුණෙත් ඒක. තාත්තාගේ අවසන් කාලයේ හොඳම මිතුරා ඔබ වූ බව කියන කතාව ඇත්තක්ද? මම තාත්තාට යාළුවෙක් වුණා. මටත් හිටිය එකම යාළුවා වුණේ තාත්තා. මම අක්කා අම්මා අපි තුන් දෙනා නොයෙක් කරදරවලට මුහුණ දුන්නා. අන්තිමට අපිව මහ පාරට වැටුණා. ඒ වෙලාවේ ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ වැඩිමහල් දියණිය තමයි අපිට ඉන්න ගෙයක් දුන්නෙත්. අපිට කිසිම කලාකරුවෙක් කිසිම කලා ආයතනයක්, රජයක් උදවු කළේ නැහැ. මගේ අක්කා ගොඩක් දුක් වින්දා අද මේ අපි ඉන්න තත්ත්වයට එන්න. අදටත් ඇය අපේ පවුල වෙනුවෙන් විවාහ නොවී ලොකු කැප කිරීමක් කරනවා. කොහොම හරි අද වෙන කොට අපේ උත්සාහයෙන් අපේම කියලා ගෙයක් ගන්න අපිට හැකි වුණා. මාරියෝ ප්‍රසංග වේදිකාවට අහම්බෙන් එක්වන තරුවක්? 2011 රයිගම් ටෙලි සම්මාන උලෙළ සංවිධානය කළ උපාලි ආරියසිරි මහතා මාව ලතා වල්පොල මහත්මිය සමඟ හිමරේණු වැටෙනා ගීතයට ගත්තේ. මේක දැකපු බුද්ධික ජයරත්න මහතා 'සිහින අහසේ වසන්තේ' කියලා මගේ ප්‍රසංගයක් කළා. ඊට පස්සේ සී. විව් හෝටලයේ අධිපති ශිරාන් විජේගුණවර්ධන මහතා මාරියෝ ආනන්ද ගීත රාත්‍රිය නමින් මගේ දෙවැනි ප්‍රසංගය කළා. ඒ විදියට මම ක්ෂේත්‍රයට ඇවිත් අද මගේම ආරක මගේම ගීත ගායනා කරනවා. වසර පහක් වැනි කෙටි කාලයක් තුළ ඔබ ආව මේ ගමන් මඟේ ශක්තිමක් සෙවණැලි වුණේ මොන වගේ අයද? මගේ අම්මා ශ්‍රිමා චන්ද්‍රානි, මගේ අක්කා දුලාංජලී ඒ වගේම මාව අද මේ තත්ත්වයට එන්න උදවු කරපු ශිරාන් විජේගුණවර්ධන, ඇන්ඩෲ ප්‍රනානදු, සනත් මුතුනම ගොන්නගේ, තුෂාරි කේ. ඩී., රොෂාන් කේ. ඩී මේ හැමෝම මාව ඔසවා තබන්න වෙර වීරිය ගත්ත උදවිය. ඔබේම කියලා ගත්ත නිවහනේ ලිපිනයත් මතක් කළොත්? 216/3/145, සිසිර සෙවන, සියඹලාගොඩ , පොල්ගස්ඕවිට.
|



ග්‍රේෂන් ආනන්ද අපේ සිනමා ක්ෂේත්‍රයේ චිත්‍රපට පසුබිම් ගායනයේ නම් දැරූ ගායකයෙක්.
ගීත ගායනයෙන් සංගීත අධ්‍යක්ෂණයෙන්, ගී පද රචනයෙන් රසික හදවත් වැළඳ ගත් මේ ගී හඬ
දහසකුත් නිර්මාණ අපට ඉතිරි කොට ජීවන ගමනෙන් සමුගෙන ගොස් මේ මස 29 වැනිදාට වසර පහක්.
ඔහු ජීවන ගමනෙන් සමුගෙන ගියද ඔහුගේ නිර්මාණයන් අපට ඉතිරි කොට ගියද ඒ හඬ අදත් ජීවමාන
කරන්නට තවත් හඬක් ග්‍රේෂන් අපට දායාද කොට ඇත. ඒ ග්‍රේෂන්ගේ පුත් මාරියෝ ආනන්දය.
මාරියෝ අද වන විට ගායන ක්ෂේත්‍රයේ සංගීත අධ්‍යක්ෂණයේ පෙරළිකාර චරිතයක් වී හමාරය.
යෞවන හදවත්වල පොපියන ගී රාව ඔහුගේ ගී නිර්මාණ අතරේ අද රැව් පිළිරැව් දෙන්නට සමත්ව
ඇත. දේශීය මෙන්ම විදේශීය ගී අඹරේ දිදුලන හඬක් බවට පත් වී ඇති මාරියෝ සරසවිය හා
පිළිසඳරකට එක් වූයේ තම පියාණන් සිහිපත් කරමින් පැවැත්වෙන ප්‍රසංගයක් ගැනත් අපට
පවසමිනි.
එහෙම අරමුණක් මා තුළ තිබුණේ නැහැ. හැබැයි තාත්තා මාව ඒ තැනට අරගෙන යයි කියන
විශ්වාසය මා තුළ තිබුණා. තාත්තා හදිසියේ මිය යාමත් එක්ක ඒ දේවල් වෙනස් වුණා.
තාත්තාගේ මිය යාමත් සමඟ ගොඩක් අයගෙන් මට ආරාධනා ආවා ගායනයට එන්න කියලා.