නිවේදනය මගේ වෘත්තිය ගී ගයන්නේ ආත්ම තෘප්තියට
නිවේදනය මගේ වෘත්තිය ගී ගයන්නේ ආත්ම තෘප්තියට
ප්‍රියන්ත විජේසිංහ ගායකයකු වෙලා
බොහෝ දෙනෙක් සින්දු කියන්නෙ නාන කාමරයේදී. ඒ අයව අපි බාත්රූම් සිගර්ස්ලා කියලා
හඳුන්වනවා. එහෙම කියන්නෙ තමන්ට සින්දු කීමේ හැකියාව ඇතත් එය ප්‍රසිද්ධියේ ඉදිරිපත්
කිරීමට නොහැකි අයට. ප්‍රියන්ත විජේසිංහත් පුංචි කාලෙ අන්න එහෙම කෙනෙක්. පසුකාලීනව
නිවේදනයට ඇවිත් ප්‍රසංග වේදිකාවේ දැවැන්ත චරිතයක් වුණත් කාලයක් තිස්සෙ ලොබ බැඳලා
තියෙන්නෙ සංගීතයට. ඒ බව ඔහුගේ මව හැර වැඩිදෙනෙකු දන්නේ නැහැ. නමුත් අද වන විට
ප්‍රියන්ත ගායනයට ඇවිත් කියන ආරංචිය නම් අමුතු එකක් නෙවෙයි. ඔහු ඊයෙ පෙරේදා දවසක
තමන්ගේම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් පවා නිකුත් කළා. ඒ සදසි නමින්. ජනප්‍රිය කෙනෙක්
අලුත් වැඩක් කළාම පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන එක අපේ යුතුකමක්නෙ. ඒ හින්දා කැඳෙව්වා
ප්‍රියන්තව සරසවියට.
ප්‍රියන්ත?
ඔව්.
මා මේ මොහොතෙ පටන් කතා කරන්නෙ ප්‍රියන්ත විජේසිංහ කියන ගායකයත් එක්ක?
ඒක කරන්න අමාරුයි.
ඒ කිව්වෙ?
මගෙ ගායන දිවිය ගැන කතා කරනවානම් අනිවාර්යයෙන්ම මා තුළ සිටින නිවේදකයාගේ අතීතයද කතා
කළ යුතු වනවා.
ඔව්. ඔබට අවසරයි?
අපි අතීතයට යමු...
හොඳයි...
මට මතක් වෙනවා මගෙ පුංචි සංධිය. ඒ දවස්වල මං හරි ලැජ්ජකාරයා. නිවේදකයකු වන්නට තුන්
හිතකවත් සිහිනයක් තිබුණේ නැහැ. සින්දු අහන්න තමයි වැඩිපුරම ආස. ගායන හැකියාවකුත්
තිබුණා.
අම්මා තමයි ඒ වග දැනගෙන හිටියෙ.
ඔව්. ඕනම මවකට තමන්ගෙ දරුව දක්ෂ මොනවටද කියලා තේරෙනවා. ඇය මාව ඉදිරියට යවන්න උත්සහ
කළා. නමුත් මං හරි ලැජ්ජයිනෙ. කවදාවත් ප්‍රසංග වේදිකාවට නැග්ගෙ නෑ සින්දුවක්
කියන්න.
ඒත් පාසලේදී ඔබව වඩාත් ප්‍රකට ගායකයකු හැටියට?
ඒකනම් ඇත්ත. මගෙ පාසල වත්තල ශාන්ත අන්තෝනි විදුහල. ඒකෙ යාළුවො ට්‍රිප් එකක් යනවානම්
මාව කවදාවත් දාලානම් යන්නෙ නැහැ. ට්‍රිප් එක ගිහින් එනකම් මම තමයි සින්දු කියන්නෙ.
ඒවගේම පාසලේ බජව් දාන්න මං හරි හපනා.
එහෙම කෙනා කොහොමද නිවේදකයකු වන්නෙ?
ඒක හරිම රසවත් කතාවක්.
කියන්න?
මගෙ පාසල් මිත්‍රයෙක් තමයි ජයන්ත බෝපෙආරච්චි කියන්නෙ. ඔහු පසුකාලීනව ජනප්‍රිය
නළුවකු වුණානෙ. ජයන්තට හොඳට සින්දු කියන්නත් පුළුවන්. ඔහු පාසලේ පටන් ගත්තා සංගීත
කණ්ඩායමක්. ජයන්තට ඕනවුණා කෙසේ හෝ මාව මේකට සම්බන්ධ කරගන්න. ඔහු හිතාගෙන ඉන්න ඇති
ගායකයකු විදිහට මාව එකතු කරගන්න. මං බෑ කිව්වා. ඉන්නම දෙන්නෙ නෑ. ඔය අතරේ පාසලේ ෂෝ
එකක් සංවිධානය කරලා තිබුණා ඒ බෑන්ඩ් එකේ. ජයන්ත කිව්වා "උඹට සින්දු කියන්නනෙ බැරි
අඩුම තරමේ මේ ෂෝ එකට ජොයින් වෙමු නිවේදකයකු විදිහටවත්" කියලා.
ජයන්ත කොහොමද දන්නෙ ඔබ නිවේදනයට ආසයි කියලා?
මට කෙනෙකුව අනුකරණය කරන්න පොඩි හැකියාවක් තිබුණා. මං වැඩිපුරම අනුකරණය කලේ නෙල්සන්
අබේකෝන්ව. ඒබව ජයන්ත දැනගෙන හිටියා. ඒකයි මාව ඊට යොමු කළේ.
ප්‍රසංගයේ නිවේදන කටයුතු ඔබ කළාද?
ඔව්. හැබැයි තව කෙනෙකු එක්ක. මොකද මට තනියම නිවේදන කටයුතු කරන්න බැහැ කියලා
කොන්දේසියක් දැම්මා. ඒ මට එකතැනකට වෙලා වැඩිවෙලාවක් ඉන්න බැරි නිසා.
එදා ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මං මගෙ කොටස නිවේදනය කරලා වේදිකාවෙන් බැහැලා කැන්ටිම පැත්තට ඇවිදගෙන ගියා. ඔන්න අපේ
ඉස්කෝලෙ හිටපු කැලිස්ටර් සර් මගෙ පස්සෙන් එළවගෙන එනවා. මං හොඳටම බය වුණා.
සර් ඇවිත් මොනවද කිව්වෙ?
"මොකද මිනිහෝ බාගෙට එනවුසින් කරලා බැස්සෙ. ඔයාගෙ කටහඬ කොච්චර හොඳද? කවදාහරි පුතා
ලංකාවෙ දක්ෂම නිවේදකයකු වනවා. යමු ආයෙත් ස්ටේජ් එකට" එහෙම තමයි සර් කිව්වෙ. එදා මං
මෙතෙක් නොලද කීර්තියක් පාසලෙන් අත්කර ගත්තා.
කෙසේ වෙතත් ඔබ නිවේදනයෙන් ඉදිරියට යන්න ප්‍රියතාවයක් දැක්වූයේ නැහැ?
පසුකාලිනව මං ෂර්ලි වෛජයන්ත මහත්මයාගේ ඒකපුද්ගල ගී ප්‍රසංගයේ නිත්‍ය නිවේදකයා
වෙනවා. ඒත් මගෙ ඇඟේ තිබුණු සංගීත රුදාවට මගෙ නිමල් කරුණාරත්න ඇතුළු ගමේ යාළුවො
කිහිපදෙනෙකු එකතුකරගෙන සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තා. ඒකෙ නම ෆේ ගන්ස්. මං එහි
නායකයා වගේම නිවේදකයා. සින්දු කියන්නත් හැදුවා. ඒත් මං සින්දු කියද්දි කණ්ඩායමේ අය
මුහුණට මුහුණ බලාගන්නවා.
ඒ මොකද?
ඇතැම්විට මයික් එකට මගෙ කටහඬ නිවේදනයේ යෙදෙන තරම් සුන්දර නැතුව ඇති සින්දු කියද්දි.
කොහොම හරි එක්තරා දිනයක සංගීත සන්දර්ශනයක් අතරතුරදී සිදුවූ ප්‍රේක්ෂක ගැටුමක්
හේතුවෙන් මට සන්දර්ශන වේදිකාව එපාවෙනවා.
ඔය අතරේ නේද ඔබ සිරසට එකතුවන්නෙ?
ඔව්. ඊට පසුව මං නැවතත් ප්‍රසංග වේදිකාවට එකතුවනවා. මේ වනවිට අවුරුදු විසි හතක්
පුරා මං ප්‍රසංග වේදිකා දස දහස් ගණනක් මෙහෙයවා ඇති.
නැවතත් ඔබ ගායනයට එනවා. ඒ අහඹු අවස්ථාවකින්?
මම කීර්ති පැස්කුවල් ඇතුළු ගායක ගායිකාවන් කිහිපදෙනෙකු එක්ක ඩුබායි ෂෝ එකකට ගියා.
එහිදී නැවතුනු තැන පොඩි පාර්ටි එකක මට ගීතයක් කියන්න ලැබුණ. ඒක අහගෙන හිටපු කීර්ති
මට කිව්වා නැවතත් මට ගීත ගායනය පටන්ගන්න කියලා. ලංකාවට ආවට පස්සෙ ඔහු මට වෙනමම
සංගීතය ඉගැන්නුවා. ඔහුගේ ආයතනයට ගෙන්නලා.
නැවතත් ඔබ ගායනයෙන් ඈත්වෙනවා.
ඔය අතරතුරදි මට හිටපු එකම දුව ශල්‍යකර්මයකින් නැතිවෙනවා. එතැන් පටන් මගෙ ජීවිතය
බෙහෙවින් කඩා වැටුණා. කිසිම දෙයක් කළේ නැහැ. ජොබ් එකට ගියා පමණයි.
කාලයකට පසුව ඔබට ඔබේම ගීයක් කරන්න අදහසක් පහළවෙනවා නේද?
ලක්ෂ්මන් හිල්මි මගෙ දැඩි හිතවතෙක්. ඔහු මට ගීතයක් හදලා දුන්න. "ජීවත්වන මේ ටික
කාලෙට" කියලා. නමුත් පළමු පටිගත කිරීම අසාර්ථකයි. ඔහුටත් එපාවුණා මං සින්දුව කියපු
විදිහට.
ඒත් ඔබ සිරස මැදිරිය දෙවනත් වෙන්නට අනිල් භාරතීගෙ ගීයක් කියනවා බොහොම අපූරුවට?
මං දිනක් බෙත්ලෙහෙම් පුරේ ගීතය ගයනවා දැකලා තිබුණා අපේ සුසාර දිනාල් මහත්මයා. ඔහු
කිව්වනෙ නත්තල් දින වැඩසටහන පටන්ගන්න කියලා. මගෙ කටහඬින් ඒ ගීතය ගායනා කරලා. ඔය
සිදුවීම වුණේ හරියටම අවුරුදු දෙකකට කලින්. මං කිව්ව විදිහට වැඩේ කළා. එවලෙ ඉඳලා මගෙ
දුරකතනයට කෝල්ස් එනවා ඉවරයක් නැහැ. එදාතමයි මං මේ නිකුත් කළ සංයුක්ත තැටියට අඩිතාලම
වැටුණේ.
කවුද ඒ සඳහා උදවු කළේ?
ආනන්ද පද්මසිරි මං ගීතය කියනවා දැකලා එවලෙම කතා කරලා මාව රැගෙන ගියා රුක්ෂාන්
කරුණාරත්න කියන යොවුන් සංගීතඥයා ගාවට. ඔහු මට ඕන ශෛලියට සින්දු හදලා දුන්නා.
ලක්ෂ්මන් හිල්මි ගාවට මං ගිහින් අර කලින් සින්දුව නැවතත් වුවමනාවෙන් කිව්වා. සංගීත්
විජේසූරියත් මට බෙහෙවින් උදවු කළා. සිරස ආයතනයේදි තමයි එය එළිදැක්වූයේ.
කොහොමද සදසි සඳහා ලැබෙන ප්‍රතිචාර?
ඉතාම ඉහළයි. මට ප්‍රසංක වේදිකාවට ඇරැයුම් ලැබෙනවා ගායනයට. නමුත් මං සින්දු කිව්වෙ
ආත්ම තෘප්තිය සඳහා පමණයි. ඒ හින්දා මං ප්‍රසංග වේදිකාවට නගින්නෙ නිවේදකයකු විදිහට
විතරයි.
සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරුව - මාලන් කරුණාරත්න
|