වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

සුහද කොකා දින 75 ක් ඉගිළේ

සුහද කොකා සිනමාපටය දින හැත්තපහ සපුරමින් තිරගතවෙයි. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ජනවාරි මස 05 වැනිදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වේ. මේ වන විට ගම්මට්ටමේ සිනමාශාලාවල ද එය ප්‍රදර්ශනය වන බව එහි නිෂ්පාදක රවින්ද්‍ර ගුරුගේ සරසවියට දන්වා සිටියි. ගිරිරාජ් කෞශල්‍ය තිර රචනාකොට අධ්‍යක්ෂණය කළ සුහද කොකාහි විජය නන්දසිරි, කුසුම් රේණු, ඩබ්ලිව්. ජයසිරි, රොඩ්නි වර්ණකුල, මිහිර සිරිතිලක, ලාල් කුලරත්න ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති. මේවන විටත් ආරම්භක සිනමා ශාලාවන්හිද ඉතා සාර්ථක අන්දමින් තිරගතවන සුහදකොකාහි විශේෂ දර්ශනයක් ඉකුත් දිනයකදී ජනපති සහ අගමැතිතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී සහ අමාත්‍යවරුන් වෙනුවෙන් පැවැත්විණ. සුහද කොකා ගිරිරාජ් කෞශල්‍යගේ දෙවැනි සිනමාපටය වේ.

මයි නේම් ඊස් බන්දුට දින 60 යි

සුරංග ද අල්විස්ගේ මයි නේම් ඊස් බන්දු සිනමාපටය තිරගතවීම ආරම්භකොට අදට දින හැට සපිරුණි. එය මේවනවිට සැලකියයුතු ආදායමක් ලබමින් ප්‍රදර්ශනය වන බව අධ්‍යක්ෂවරයා සරසවියට දන්වා සිටියේය.

බන්දු සමරසිංහ ත්‍රිත්ව චරිත මවන මයි නේම් ඊස් බන්දු හි අනුෂා දමයන්ති, රොඩ්නි වර්ණකුල, රොනී ලීච්, රෝයි ද සිල්වා, දමිතා සළුවඩන, මාක් සැම්සන්, ආරියසේන ගමගේ, ප්‍රේමදාස විතානගේ, තරාති පෙරේරා, දෙනුවන් සේනාධි, විශ්වලංකා, රශ්මි පුෂ්පිකා, ඩී. බී. ගංගොඩතැන්න ආදීහු රංගන දායකත්වය සපයති.

ජයවිලාල් විලේගොඩගේ බිරිය මියයයි

මෙරට සිටි අදීන සිනමා විචාරකයකු මෙන්ම ලේඛකයකුද වූ ජයවිලාල් විලේගොඩගේ ආදරණීය භාර්යාව දයා විලේගොඩ මහත්මිය අභාවප්‍රාප්ත විය. මියයනවිට ඇයගේ වයස අවුරුදු 83 කි. තිදරු මවක වූ දයා මහත්මිය ජයවිලාල් විලේගොඩගේ ජීවිතයට ඉමහත් වූ ශක්තියක් වූ තැනැත්තියකි. ඇය විලේගොඩ හා විවාහවෙද්දී විලේගොඩ සුවකළ නොහැකි රෝගයකින් පෙළෙන බව දැන සිටියාය. එනමුදු ඒ කිසිවකු මායිම් නොකොට විලේගොඩට යෝධ සෙවණැල්ලක් වූවාය. විලේගොඩගේ පන්හිදින් ලියවෙන විචාරයන් නුරුස්සන ක්ෂේත්‍රයේම සිටින ඇතැම් අය විලේගොඩට නොයෙක් අඩන්තේට්ටම් කරද්දී ඔහුට දිරිය වූයේද ඇයවේ. සරසවිය පුවත්පත සමඟ ඇය කළ අවසන් සාකච්ඡාවේදී ඒබව ඇය යළිත් ආවර්ජනය කොට තිබිණි. අපි දයා විලේගොඩ මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

එඩ්නාට උපහාර

දශක පහකට ආසන්න කාලයක් කලාව වෙනුවෙන් කරන ලද මෙහෙවර අගයමින් රංගන ශිල්පි එඩ්නා සුගතපාලට පසුගියදා උපහාර සම්මානයක් පිරිනැමිණි. පානදුර හෙළ කලා සංසදය මෙම අගයුම ඇයට ලබා දුන්නේය. එඩ්නාගේ උපන්ගම පානදුර වේ. එය ඇය මෙසේ සම්මානනීය වීමට තවත් හේතුවක් විය.

වේදිකා ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණියක වූ එඩ්නා ලේඛිකාවක් මෙන්ම ගායිකාවක් ලෙසින්ද ප්‍රකටය. ඇය සංගීත ගුරුවරියක්ද වේ. මෙරට ජ්‍යෙතිෂ්‍ය හැදෑරූ ප්‍රථම නිළිය වන්නේද ඇයයි. එමෙන්ම යෝග අභ්‍යාස ප්‍රගුණ කළ පළමු නිළියද ඇයවේ. සූරයන්ගෙත් සූරයා, මිරිගුව ඇතුළු චිත්‍රපට රැසකම ඇය විවිධ චරිත මැව්වාය. පානදුර රඟහලේ පැවැති විශේෂ උත්සවයකදි එඩ්නා පානදුර ප්‍රාදේශීය ලේකම් කේ. ජී. විජේසිරි අතින් තමන්ට හිමි සම්මානය ලබාගත් මොහොතයි මේ.

විනෝජාගෙන් නවතම නිෂ්පාදනයක්

විනෝජා නිලන්ති නිෂ්පාදනය කරන නවතම ටෙලි සිතුවම ‘ආදරේ සුවඳ අරන්’ හි මුහුරත් උලෙළ පසුගිය දා නුගේගොඩ මිරිහාන පිහිටි විනෝජා නිලන්ති ගේ නිවසෙහි පැවැත්විණ. ලක්‍ෂමන් පුෂ්පකුමාර විසින් තිරරචනා කොට අධ්‍යක්‍ෂණය කරන ලද මෙහි රොෂාන් පිලපිටිය, අමිල අබේසේකර, විශ්ව කොඩිකාර, රිතූ ආකර්ෂා, රෙක්ස් කොඩිප්පිලි, ජනක කුඹුකගේ, හෂිනිකා කරලියැද්ද, විනෝජා නිලන්ති ආදීහු රංගන දායකත්වය සපයති.

වසන්ත වැල්ලවාය සහාය අධ්‍යක්‍ෂවරයාය. හසින්ත වැල්ලවායගේ කලා අධ්‍යක්‍ෂණයකි. නිශාන්ත ප්‍රදීප් ගේ කැමරා අධ්‍යක්‍ෂණයකි. ගාමිණී කොස්තා අංග රචනා ශිල්පියාය. සමීර සම්පත් හඳපානාගල සංස්කරණයෙන් ද, ආශා රාජපක්‍ෂ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද, සමන් රත්නායක ගීත රචනයෙන් ද මෙයට දායකවේ.

හිරු අන්ප්ලග්ඩ් 1 වැනිදා සිට

හිරු නාළිකාව මඟින් ආරම්භ කළ නවතම සංගීතමය වැඩසටහන හිරු අන්ප්ලග්ඩ් ජනවාරි පළමුවැනිදා සිට සෑම සිකුරාදාවකම රාත්‍රී 10 ට විකාශය වේ. විවිධ සංගීත අධ්‍යක්ෂවරුන් මේසඳහා යොදාගන්නා අතර විවිධ සංගීත තේමාවන් සහ ශෛලීන් යටතේ නිර්මාණයවූ ගීත මෙහිදී ඉදිරිපත් කෙරේ. එක් තේමාවක් තුළ තෝරාගන්නා ගීත 14 ක් හිරු අන්ප්ලග්ඩ් සඳහා අන්තර්ගතය. ඒවා ප්‍රවීණ සහ නවක ගායක ගායිකාවෝ ගායනා කරති.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට යටත්ව ගුණාත්මක ලෙස රූප, ශබ්ද, ආලෝක නවීන තාක්ෂණය භාවිත කරමින් උසස් ප්‍රමිතියකින් යුතුව සංගීත රසය ප්‍රේක්ෂකයාට තිළිණ කිරීම මෙම සංගීත වැඩසටහනෙහි අරමුණ වේ.

‘බබා’ ගීත අමරදේවයන්ට

කලාභූෂණ නාට්‍යවේදී ඊ. ඩී. ශ්‍රියාපාලගේ නවතම සංගීතමය ප්‍රහසනය බබා වේදිනා නාට්‍යයෙහි ගීත ඇතුළත් සංයුක්ත තැටිය පසුගියදා නිකුත් විය. එහි මුල් පිටපත ඔහු විසින් පණ්ඩිත් අමරදේවයාණන්ට පිරිනැමූ මොහොතයි මේ. පසෙකින් විමලා අමරදේව මහත්මියද සිටියි.