ගමරාළ දිව්‍ය ලොකෙ යයි

රූපවාහිනියෙන්
යන හැටි
අතුල රන්සිරිලාල්
විස්තර කරන්නේ මෙහෙමයි
අලි මිත්තණිය ළඟ අලි මුනුබුරාගේ දඟකාරකම්වල කෙළවරක් නැත. පාසල් නිවාඩුව අලි
පැංචලාගේ පාසලටත් නිවාඩු කාලය වගෙයි. අලි මුනුබුරා අලි මිත්තණිය ළඟ දැවටෙමින් පුදුම
කුතුහලයකින් සිටින්නේ තමන්ගෙ වරිගේ කෙනෙක් දිව්‍ය ලෝකයේ ගිය කතාව අටුවා ටීකා ඇතිව
අසා ගැනීමටය. ගුරුතුමිය කියා දුන් අයිසැක් නිව්ටන් නියමයත් එවිට බොරු වෙනවා නේද?
පොඩි අලි මොළයට එයත් ගැටලුවකි. අලි පැටවුන්ටත් වඩා දරු පැටවන්ට හූ මිටි පවා නොදී
බලා සිටින්නට ආසා සිතෙන 'ගමරාළ දිව්‍ය ලෝකෙ යයි' ජන කතාව, හාස්‍ය, දැනුම, විනෝදය,
ගීත රසය කැටිකර, යාවත්කාලීන කර ඉදිරිපත් කරන්නේ සිනමා හා හඬ කැවීම් ඒකකයේ අධ්‍යක්ෂ
අතුල රන්සිරිලාල් මහතාය. නව වසරේ ජනවාරි දෙවැනිදා පස්වරු හයට මේ නවතම සජීවීකරණ ළමා
නාට්‍ය ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ. ළමා ලොවට තිළිණ කරන නවතම නිර්මාණය ගැන
අදියුරු අතුල රන්සිරිලාල් හඬ අවදි කළේ මෙලෙසය.
'පාසල් නිවාඩු කාලය නිසා 'ගමරාළ දිව්‍ය ලොකෙ යයි' දූ දරුවන්ට දෙන තෑග්ගක් විදියට
පිරිනමන්න හිතුවා. කතාව ලියන්න මාස දෙක තුනක් ගියා. ටිකක් ලියනවා, ඒ ටික ඉරනවා. ආයෙ
ලියනවා.
පොතකට පත්තරයකට කතාවක් ලියනවා වගේ නෙවෙයි සජීවීකරණ නිර්මාණයකට ලියන්නේ චිත්‍ර හිතේ
මවාගෙනයි. චිත්‍රයට ගැළපෙන අදහස එනතුරුම පෑන නවතින්නේ නැහැ.'
* ජනකතා, ජාතක කතා වගේ ජනගත වුණු විෂයයන්ම වැඩිපුර තෝරා ගන්නේ ඇයි?
යුගයෙන් යුගය පරපුරෙන් පරපුරට ජන නිර්මාණ ආදරයෙන් වැළඳ ගන්නවා. විසි එක් වැනි
සියවසේ සජීවීකරණ නිර්මාණ ලෙසින් ඉදිරිපත් කිරීමේදී ඒ වැළඳ ගැනීම වඩාත් උණුසුම්.
ඒ වගේම ගැමි කතා මඟින් මානව පෝෂණයක් ද සිදු වෙනවා. මේ කතාවෙන් කට පරෙස්සම් කරගෙන
තැනට සුදුසු විදියට ජීවත්වීමේ ආදර්ශය ලබා දෙනවා. තර්කානුකූලව සිතීමේ හැකියාවත් අවදි
කරනවා.
ළමයින්ගේ ඉතිහාසය ගැන ඇති දැනුම වැඩි කරන්න. බුද්ධ කාලයේ ඇත් පරපුර, රාවණ
රජ්ජුරුවන්ගේ දඬුමොනර යන්ත්‍රය වගේ දේවලුත් මීට ගැළපෙන ලෙස අන්තර්ගත කළා.
* මෙය සජීවීකරණ නිර්මාණයක් ලෙසින් ඉදිරිපත් කිරීමටත් දිගු කාලයක් ගතවුණාද?
දින විසි එකක් වගේ කෙටි කාලයකින් අපේ සජීවීකරණ නිර්මාණ ශිල්පීන් මට තෘප්තිමත් විය
හැකි මට්ටමින් නිර්මාණය නිම කළා.
* හඬ කැවීමේදී ලැබුණු අත්දැකිම්?
අලි මිත්තණියගේ චරිතය නිර්මාණය කිරීමේදී මට සිහිවුණේ ප්‍රවීණ කලා ශිල්පිනී චිත්‍රා
වාකිෂ්ටගේ හඬ. ඒත් වෙන කොට එයා පිළිකා රෝගය නිසා දැඩි අසනීප ගතියකින් හිටියේ.
දුරකථනයෙන් චිත්‍රා අක්කෙ අලි මිත්තණියට හඬ කවන්න අක්කවයි තෝරාගෙන ඉන්නෙ කිව්වම
හරිම සැහැල්ලුවෙන් 'මල්ලි මං එනවා' කිව්වා.
ඇයගේ එදා හඬ කැවීමයි, අවුරුදු විස්සකට පෙර හඬ කැවීමයි අතරේ කිසිදු වෙනසක් දැනුණේ
නැහැ. එදා කට හඬේ තිබුණු ජවය මෙදාත් ඒ විදියටම තිබුණා. ප්‍රවීණ හඬ කැවීම්
ශිල්පිනියකගේ ආත්ම ශක්තිය පරදවන්න ලෙඩට දුකට බැරි බව ඇය ඔප්පු කළා. කථාව නරඹද්දී
චිත්‍රා වාකිෂ්ට ශිල්පිනියගේ හඬ චරිතයට මොනතරම් සාධාරණයක් සිදුකර ඇත්දැයි තේරේවි.
* රූපවාහිනී සජීවීකරණ නිර්මාණ සඳහා තිබෙන මහ ගෙදර වගේම එවැනි නිර්මාණ සඳහා පහසුකම්
ඇති එකම තැනත් ජාතික රූපවාහිනියයි. එදා මෙදා ගමන් මඟ සහ අනාගත නිර්මාණ ගැන
පැවසුවොත් . . .?
ඩොක්ටර් ඩූ ලිට්ල්' ටයිටස් තොටවත්ත මහතා 'දොස්තර හොඳ හිත' නමින් හඬ කවා පෙන්වූවාට
පසු සජීවීකරණය පිළිබඳ ඇල්මක්, ප්‍රබෝධයක් ඇති වුණා.
ටයි මහත්තයා, රූප කපා කළ 'ගුත්තිල දාව' අපේ මුල්ම සජීවීකරණ අත්දැකීමයි. ගිවන්ත
අර්ථසාද් මහතා 'මිනිසකු පිට නැඟි අසරුවෙකි' වැනි ගීතවලට චිත්‍රපට මාධ්‍ය යොදාගෙන
සජීවීකරණ නිර්මාණ කළා.
පඬිතුමා, ඉස්කෝලෙ හාමිනේ, හසරැලි රසාර වගේ වැඩසටහන් මපට් යොදාගෙන කළා. ටයි
මහත්තයාගේ වැඩට සහාය වෙලා ලබපු අත්දැකීම් එක්ක මං අලුත් අත්හදා බැලීම් කළා. රූප
පෙට්ටියට ආරාධිත අමුත්තන් ලෙස හැබෑම පයිප්ප කරාමය, කෙසෙල් ලෙල්ල, වෙද නලාව වගේ දේ
චරිත බවට පත් කරලා ගෙනාවා. ඉඟුරු පාන් මල්ලි, වලස් මාමා කළේ ඉතා අඩු පහසුකම්වලින්.
සජීවීකරණයේ ලොකුම පෙරළිය වුණේ මා කළ ඉල්ලීමක් අනුව ජපන් රජයෙන් හඬ කැවීම් මැදිරියක්
සහිත ත්‍රිමාණ, ද්විමාන මැදිරියක් ලැබීම සමඟයි. 'ටොමියයි කිටියයි' අපේ පළමු
ජයග්‍රහනයයි. එයට රයිගම්, සුමති සම්මාන හිමි වුණා.
වෛද්‍ය රුවන් ඒකනායක මහතා සමඟ කළ සුනිල් ගී, කුමර ගී වැඩ සටහන් ද අගැයුමට හා
ජනප්‍රසාදයට ලක් වුණා.
පොඩි හාමුදුරුවෝ සුවිශේෂී කඩඉමක්. සජීවී චරිත හා ත්‍රිමාන සජීවීකරණය යොදා කළ එම
නිර්මාණයට රාජ්‍ය, සුමති, රයිගම් සම්මාන ත්‍රිත්වයම හිමි වුණා. සම්මාන තුනේදීම
අගැයීමට ලක්වුණ පළමු ළමා වැඩ සටහන එයයි. 'කදා වළලු' සේරිවාණිජ ජාතකය ආශ්‍රයෙන් කළ
නිර්මාණයක්. එයත් සම්මානයට පාත්‍ර වුණා. 'ෆ්‍රෙඩී සහ ප්‍රේම්' මෑතකදී විකාශය වුණු
සංගීතමය සජීවීකරණ වැඩ සටහනක්.
ලාංකේය රූපවාහිනී ඉතිහාසයේ පළමුවරට අපි සජීවීිකරණ සිනමාපටයක් නිර්මාණය කරමින්
සිටිනවා. ඒ වගේම 'අන්දරේගෙන් පස්සෙ' තවත් ඓතිහාසික අවස්ථාවක්. ඇනස්ලි, බර්ටි,
සැමුවෙල් විකට රජ තුන් කට්ටුව ගුවන් විදුලියට කළ විකට වැඩ සටහන්වල හඬ පටයට
සජීවීකරණයෙන් පණ දෙනවා. ලබන වසරේ මුල එය විකාශය කිරීමට බලාපොරොත්තු වෙනවා.
අපේ සජීවීකරණ කලාවට ජපානයේ ජයිකා ආයතනයෙන් හා ජපන් තානාපතිගෙන් විශාල සහායක්
ලැබෙනවා. තවත් තාක්ෂණික උපකරණ හා සජීවීකරණය ගැන පුහුණුවක් අපේ ළමයින්ට දෙනවා නම් එය
විශාල උපකාරයක් වේවි.

චම්පිකා දීපානි රණසිංහ
ඡායා - මාලන් කරුණාරත්න
|