වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




නෙළුම්ගේ සත්ව කරුණාව

නෙළුම්ගේ සත්ව කරුණාව

අපේ ටෙලි නාට්‍ය චිත්‍රපට නිළියක් වගේම රූපලාවන්‍ය ශිල්පිණියක් වන නෙළුම් පෙරේරා කවුරුත් වැඩි වශයෙන් හඳුනන්නේ රංගන ශිල්පිනියක් ලෙසින්. කවුරුත් හඳුනාගෙන සිටින නෙළුම් රංගනයට අමතරව තවත් කටයුත්තකට අත ගහලා තියෙන්නේ මීට වසර විසි පහකට විතර පෙරාතුව ඉඳලා. එදා ඉඳලා පටන් ගත්ත මේ වැඩේ ඇය අද වෙනකලුත් අතහැරලා දාලා නෑ. මොකක්ද දන්නවද මේ වැඩේ සත්ව සුබසාධනය. මේ වැඩේ එහෙම හිතෙන තරම් ලේසි පහසු වැඩකුත් නෙමේ. පුදුම වැඩේ කියන්නේ නෙළුම්ට බල්ලෙක් බළලෙක් පේන්න බැරි එක. බල්ලෙක් දැක්කත්, බළලෙක් දැක්කත් නෙළුම්ට පහළ වෙන්නෙම සත්ව කරුණාව. මේ කරුණාව කොච්චර ප්‍රබල වෙලා ද කියනවා නම් තමන්ගේම පුද්ගලික ධනය වැය කරමින් අහල පහල පාරවල්වල ඉන්න බල්ලන්ට, බළලුන්ට කෑම බීම, බෙහෙත් හේත් සියල්ලම සැපයෙන්නේ නෙළුම් අතින්.

කලා පුරේ පදිංචි වෙලා ඉන්න නෙළුම් මේ සත්කාර්ය කරමින් ලබන්නේ මහත් වූ සතුටක්. අද වෙන කොට මේ කරුණා ගුණයට එයාගේ හිතවතියකුත් එකතු වෙලා. ඈ තමයි දුනියාෂා පෙරේරා.

මෙයා මේ වැඩේ කරන්න පටන් අරන් තියෙන්නේ එයාගේ ගෙදර ඇති කරන බල්ලො දෙන්නෙක්ගෙන්. කොහොම හරි ඒ දෙන්නට කෑම දීලා ඉතිරි වෙන දේවල් පාරේ ඉන්න බල්ලන්ට දීලා තමයි මේ සත්ව සුබසාධනය ඈ පටන් අරන් තියෙන්නේ. කොහොම හරි එයාගේ ගෙදර බල්ලෝ දාහතරක් දක්වා වර්ධනය වෙනකන් මෙයා දිගටම මේ වැඩේ කරලා. අද වෙන කොට නම් එයාගේ බලු සාමාජිකයන් සංඛ්‍යාව හතරක් දක්වා සීමා වෙලා. මුලදි නම් ඇය හාල් හුංඩු පහක් තමයි මේ දානෙට අරන් තියෙන්නේ. ඒත් අද ඇයට මේ දානය සඳහා හාල් කිලෝ පහක් උයන්න සිද්ධ වෙලා. මස්, පීකුදු, හාල්වල මිල ගණන් එක්ක අද ඇයට මේ සත්ව කරුණාව කරගන්න අපහසු වෙලා නිසාම නෙළුම් සත්ව සුබසාධනයට ආධාර මුදලක් හොයා ගන්න නාට්‍යයක් පෙන්වන්න අදහස් කරලා. අපේ සමාජයේ බල්ලෝ, පූසෝ වෙනුවෙන ආධාර මුදලක් දෙන්න කිසිම ආයතනයක් මැදිහත් නොවන වග දන්න නිසාම නෙළුම් අපූරු වැඩකට අත ගහලා. තමන්ගේ පියා ඒ කියන්නේ ඒ. ලයනල් පෙරේරා රචනා කරපු නාට්‍ය පිටපතක් අනුව නෙළුම්ම නිෂ්පාදනය කරපු අපූරු යාළුවෝ වේදිකා නාට්‍ය යළිත් කාලෙකට පස්සේ ඇයගේ නැඟණියගෙ පුතු වූ නාලක කළුවිතාරණගේ අධ්‍යක්ෂණයෙන් මේ සුබසාධක කටයුත්ත වෙනුවෙන් වේදිකා ගත කරන්න සූදානම් කරලා.

හරියටම එළඹෙන වසරේ ඒ කියන්නේ ලබන වසරේ ජනවාරි 02 වැනිදා සවස හයට දෙහිවල එස්. ද එස්. ජයසිංහ රඟහලේදී සත්ව සුබසාධනය වෙනුවෙන් ආධාර පිණිස 'අපූරු යහළුවෝ' වේදිකා ගත වෙනවා. ඉතිං නෙළුම් සියලු රසික රසිකාවියන්ගෙන් වගේම එයත් එක්ක මේතාක් කාලයක් කලාවේදී දායකවූ සියලු නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු, නළු නිළියන් ඇතුළු සියලු ශිල්පීන්ගෙන් ඉල්ලීමක් කරනවා ඇයගේ මේ සත්ත්ව සුබසාධන කටයුත්තට ආධාර පිණිස පවත්වන මේ නාට්‍යය ටිකට්පතක් මිලදීගෙන නරඹා සත්ත්ව සුබසාධන පුණ්‍ය කටයුත්තට දායක වෙන්න කියලා.

කවුරුත් ඇවිත් ටිකට් පතක් රැගෙන මේ නාට්‍ය බැලුවොත් නෙළුම්ට රෝගාතුර වෙලා, අතපය කැඩිලා ඉන්න බල්ලො සුවපත් කරගන්න, කාගෙන්වත් හවු හරනයක් නැති බල්ලන්ට කෑම ටිකක් දෙන්න, සතුන්ව එන්නත් කරවන්න, ඔවුන්ට වන්ධ්‍යාකරනය කරන සැත්කම් කරන්න මේ හැම දෙයක් වෙනුවෙන්ම ඇයට පුද්ගලිකව යොදවන්න වෙලා තියෙන අධික පිරිවැයට යම් සහනයක් ලැබෙයි කියලයි නෙළුම් විශ්වාස කරන්නේ.