වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ ජය කෙහෙළි නැඟූ තරු සටන

සිනමාවේ ජය කෙහෙළි නැඟූ තරු සටන

සිරසිමා නැතහොත් සීමාරහිත සිනමා මාන්දම නම් රෝගයෙන් පෙලෙන (මෙම රෝගය හඳුනා ගත්තේ අප මිත්‍ර සිනමාවේදී දිනේෂ් ප්‍රියසාද්ගෙනි) මට එම රෝගය වැළඳෙන්නට හේතු කාරක වූ චිත්‍රපට ත්‍රිත්වයක් විය. එයින් එකක් නම් 1973 දි දුටු යසපාලිත නානායක්කාරගේ තුෂාරාය. කුඩා දරුවකුව එදා තුෂාරා නැරැඹූ මට එය එතෙක් නොදුටු අමුතුම අත්දැකීමක් විය. දෙවැන්න 1980 දී දුටු ජෝර්ජ් ලූකස්ගේ ස්ටාර් වෝර්ස්ය. ලෝකයේ සිනමා සිහින කෙතරම් දැවැන්ත ද යන්න මා දුටුවේ එවරය. මේ අපූර්ව මායා ගුණය නිසාවෙන් මම හොලිවුඩ් සිනමා රසිකයකු වීමි. තෙවැන්න 1985 දී අපර්නා සෙන්ගේ 36 චෞරංගී ලේන් නැරඹීමයි. අඳුර ද ආලෝකය ද උපයෝගී කරගෙන ජීවිතය පිළිබඳ අපූරු හරස්කඩක් ගෙනා මේ චිත්‍රපටය රූපය යනු ලෝකයේ කවර භාෂාවකටත් වඩා විශිෂ්ට භාෂාවක් බවත් එය දිගින් දිගටම හැදෑරිය යුතු යැයි මා පොළඹ වන ලද්දේ තෙවැනි චිත්‍රපටයයි. කෙසේ වෙතත් මේ කයිවාරුව ලියන ලද්දේ එයින් දෙවැනි චිත්‍රපටය ගැන ලියන්නටය. ඒ ස්ටාර් වෝර්ස්ය.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවා චිත්‍රපට බෙදා හැරීමේ සමාගම් කතිපයාධිකාරය සංස්ථාවට පවරා ගත් පසු චිත්‍රපට ආනයනයේදී හොලිවුඩ් ඉහළ චිත්‍රාගාර චිත්‍රපට දැක ගැනීමට අපට ඉඩ ලැබුණේ නැත. ඒ වෙනුවට බොහෝ විට ලැබුණේ වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපටයන්ය. 1978 දී විවෘත ආර්ථිකයත් සමඟ සංස්ථා ඒකාධිකාරය යම් ප්‍රමාණයකට බිඳ වැටීමත් සමඟ 1979 වසර අවසාන වන විට යළිත් හොලිවුඩ් චිත්‍රපට දැක ගැනීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයනට උදාවිණ. ඒ අනුව මැජස්ටික් සිනමාහලේ ද ඩීප්, ලිබර්ටි සිනමාහලේ ටවරිං ඉන්ෆානෝ, සැවෝයි සිනමාහලේ ද ග්‍රේට් ට්‍රේන් රොබරි, නිව් ඔලිමපියා සිනමාහලේ ද පැසේජ් ආදී වශයෙන් එක දිගට හොලිවුඩ් චිත්‍රපට ගලා ආවේය. රීගල්, එම්පයර්, සෙන්ට්‍රල් එලෙස අලුත් හොලිවුඩ් චිත්‍රපට සඳහා වෙන් වූයේය. මෙම චිත්‍රපට සියල්ල ආනයනය කරන ලද්දේ සිලෝන් තියටර්ස් හා සිලෝන් එන්ටටේන්මන්ට් සමාගම් මඟිනි.

ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්, කලම්බියා, මෙට්‍රෝ ගොල්ඩ්වින් මේයර්, යුනයිටඩ් ආටිස්ට් චිත්‍රපට සිලෝන් තියටර්ස් සමාගම මඟින් ද වෝනර් බ්‍රදර්ස්, පැරමවුන්ට් හා යුනිවර්සල් සිලෝන් එන්ටටේන්මන්ට් සමාගම මඟින් ද ආනයනය කළහ. එයට අමතරව චිත්‍රපට ආනයනයේ යෙදුණේ කාලෝ පොන්නම්බලම් පික්චර්ස් සී ආයතනයයි. ඒ වන විට එකවරම ගලා ආ හොලිවුඩ් චිත්‍රපට රාශිය ගැටවර වියට එළැඹෙමින් සිටි අප කරකවා අතෑරියා සේ විය. ඒ වන තෙක් ලාංකික චිත්‍රපටවලින් පමණක් සන්තර්පණය වී සිටි අපි එම ප්‍රවාහයේ ගිලීගියෙමු. සෑම සිකුරාදාම මෙරට තිරයට එන හොලිවුඩ චිත්‍රපට එකිනෙකා පරයා නැරැඹීමට අපි පෙළ ගැසි සිටියෙමු. කෙසේ වෙතත් අද මෙන් නොව එකල ලංකාවට පැමිණි හොලිවුඩ් චිත්‍රපට ඒ වන විට තිරගත කොට වසර දෙකක්වත් පැරැණි ඒවා විය. ශාලාවකට නොපැමිණියහොත් චිත්‍රපට නරඹන්නට ක්‍රමවේදයක් ද නොවිණ. චිත්‍රපටයක් වසරක් පරණ වුව ද එය ගැටළුවක් නොවූ අතර අලුත් චිත්‍රපට පිළිබඳ ඇති උනන්දුව නිසාම තිරගත වීමට මත්තෙන් එවායේ අලගිය වැලගිය තැන් පිළිබඳ විවිධ පුවත්පත් මඟින් කියැවීමට ලැබිණ. එය තවත් චිත්‍රපට කෙරෙහි සානුබල සැපයීමක් විය.

ස්ටාර් වෝර්ස් චිත්‍රපටය මුලින්ම ලොව පුරා තිරගත වූයේ 1977 වුව ද එය ලංකාවට පැමිණියේ 1980 වසරේදීය. ඒ බම්බලපිටිය මැජස්ටික් සිනමා ශාලාවටය. අද මැජස්ටික් සාප්පු සංකීර්ණය පිහිටි භූමියේ එකල පැවැති සිනමා ශාලාව අද එහි ඇති සුඛෝපභෝගී ශාලා හතරම එක් කල විට ඇති පරිමාණයේ එකකි. එය ඉදි කර තිබුණේ මෙරට චිත්‍රපට ව්‍යාපාරයේ පුරෝගාමී සමාගමක් වන මදාන් සමාගම මඟිනි. ස්ටාර් වෝර්ස් තිරගත වූයේ මිලි මීටර 70 ප්‍රමාණයෙනි. එනම් සාමාන්‍ය චිත්‍රපටයක එන පටල මිලි මිටර් 35 ක් වූ අතර ස්ටාර් වෝස් එමෙන් දෙගුණයක් පළල විය. එකල මිලි මීටර් 70 චිත්‍රපට තිරගත කරවීමට හැකි සිනමා ශාලා තුනක් කොළඹ තිබිණ. සෙසු සිනමා ශාලා වූයේ කොල්ලුපිටියේ ලිබර්ටි හා කොම්පඤ්ඤ වීදියේ රියෝ ශාලාවය. මෙරට මුල්ම සිනමා සංකීර්ණය වූ රියෝ සිනමා ශාලාවේ හා ලිබර්ටි ශාලාවල ඉතා මෑතක් වන තුරුම 70 ථථ නමින් විශාල පුවරුවක් තිබිණි.

එහෙත් මා ස්ටාර් වෝර්ස් චිත්‍රපටය නරඹන්නට යන්නේ ඒ පිළිබඳ හාකවාංසියක්වත් දැනගෙන නොවේ. ඒ අවදියේ එසේ දැනගන්නට තිබූ ඉඩකඩ ද සීමිතය. සරසවිය පුවත්පතේ ස්ටාර් වෝර්ස් ගැන කදිම ලිපියක් තිබිණ. ඒ වන විට මා පෝලන්ත චිත්‍රපටයක් (මයි වෝ ඇන්ඩ් මයි ලව්) හා හින්දි චිත්‍රපට දෙකක් (ගීත් හා අභිමාන්) හැර වෙනත් කිසිදු විදෙස් චිත්‍රපටයක් නරඹා තිබුණේ ද නැත. ස්ටාර් වෝර්ස් නරඹන්නට මට ලැබෙනුයේ එහෙම පසුබිමකය. මා හිතන අන්දමට ලංකාවේ විශාලතම සිනමා තිරය තිබුණේ මැජස්ටික් ශාලාවේය.

එය කහ පැහැති තිරයකින් ආවරණය වී තිබිණ. ස්ටාර් වෝර්ස් චිත්‍රපටය ආරම්භයේ ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමේ සලකුණ සමඟ මම අද්භූත ලෝකයකට පිවිසියෙමි. ඊළඟට අහස උසට ඇදී ගිය දීර්ඝ විස්තරයක් කෙළවර ස්ටාර් වෝර්ස් යන නාමය පතිත විය. (එය පසු සංස්කරණයකදී ස්ටාර් වෝර්ස් එපිසෝඩ් 4 : අ නිව් හෝප් යනුවෙන් නම් කර තිබිණ). ඊළඟට මතු වූයේ තරු පිරි නිල් අහස් තලයයි. ඊළඟට මගේ පිටුපසින් මොකක්දෝ ශබ්දයක් ඇදී ආවේය. එය ඊළඟට මගේ හිස උඩින් යද්දී තිරයේ හරි මැද කොටසින් මතුවන අභ්‍යාවකාශ ශටලයක් විය. උපන්තේකට එහෙම ශබ්ද රටාවක් ඒ වන තෙක් මා අත්විඳ තිබුණේ නැත. කෙසේ හෝ වේවා චමත්කාරයෙන් වසඟ වුව ද ස්ටාර් වෝර්ස් හරි හැටි තේරුම් ගන්නට . මට තවත් කලක් ගතවිය.

ස්ටාර් වෝර්ස් චිත්‍රපටය නිපද වූ 1977 වන විට හොලිවුඩ් සිනමාව තිබුණේ අනාගතය පිළිබඳ බියකරු අවදානමකය. බොහෝ ප්‍රධාන චිත්‍රාගාර සමාගම් එවායේ පැරැණි හිමිකරුවන් අතින් අලුත් හිමිකරුවන් වෙතට පත්ව තිබිණ. බොහොමයක් දැවැන්ත චිත්‍රාගාර භූමි වෙනත් කටයුතු සඳහා පවරා තිබිණි. ඒ වන විට 33 හැවිරිදි වියේ පසුවන ජෝර්ජ් ලූකස් එයට පෙර ඊඩ්ඔ1138 හා අමෙරිකන් ග්‍රැෆිටි යන චිත්‍රපට යුගළ අධ්‍යක්ෂණය කර තිබිණ. අමෙරිකන් ග්‍රැෆිටි ඔහු හොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන හාදයෙක් බවට ඔසවා තැබීමට සමත් විය. ඔහු පාසල් යන අවදියේ කාර් රේස් පිස්සුකින් පෙලුනෙකි. එබඳු දඩබ්බර ගමනක කෙළවර වූයේ දින කිහිපයක් සිහිසුන්ව සිටීමය.

ස්ටාර් වෝර්ස් නමැති මහා කතා සංකල්පය ඔහුගේ සිත ඇතුළේ පෙරළිකරන්නට වූයේ බිහිසුණු අනතුර සමඟ බව ඔහු නිතර කියන්නක් විය. කෙසේ වෙතත් ළමා වියේ සිට ඔහු චිත්‍රපට අන්තුවෙක් විය. ප්‍රංශ නවරැල්ලෙන් පවා ඔහු සිනමා රසාස්වාදය උගත්තේය. ස්ටාර් වෝර්ස් චිත්‍රපටයට පාදක වන කතා පුවත ඔහු උකහා ගත්තේ අකිර කුරොසවාගේ හිඩ්න් ෆ්‍රෝට්‍රස් චිත්‍රපටයෙනි. එහි ආරක්ෂකයන් දෙදෙනකුට මැදිව යන රජ කුමරිය වන පෙතකදී පැහැර ගනී. ලූකස් ස්ටාර් වෝර්ස් චිත්‍රපටයේදී රොබෝ ආරක්ෂකවරුන් දෙදෙනෙකු හා කුමරියක්ද වනපෙත අභ්‍යාවකාශයකට ද පරිවර්තනය කළේය.

ස්ටාර් වෝර්ස් බිහිවීමත් සමඟ එය ලොව පුරා උමතුවක් බිහි කළේය. එතෙක් සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාවට උරුමකම් කියන්නට ස්ටාර් වෝර්ස් සමත් වූයේය. එහි මුල්ම චිිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත වන විට දෙවැන්න දි එම්පයර් ස්ට්‍රයික්ස් බැක් ලොව පුරා තිරගත වීම ආරම්භව තිබිණ. ස්ටාර් වෝර්ස් සමඟ වෙනම නවකතා, සැකිලි රූ, වීඩියෝ ක්‍රීඩා ආදී බොහෝ දේ පහළ වන්නට පටන් ගත්තේය.

කෙසේ වෙතත් ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව පසුව රිටර්න් ඔෆ් ජොඩායි නමින් චිත්‍රපට ත්‍රිත්වයකින් නිම විණ. එම චිත්‍රපට ත්‍රිත්වය හැඳින් වූයේ ස්ටාර් වෝර්ස් කතා මාලා 4, 5 හා 6 හැටියටය. කතා මාලාවේ පළමුවැන්න 1999දී ද පැන්ටම් ඔෆ් මෙනාස් නමින් ද ෙදැවැන්න ඇටෑක් ඔෆ් ද කොලොන්ස් නමින් ද, තුන්වැන්න රිවෙන්ජ් ඔෆ් ද සිත් නමින් ද පිළිවෙලින් 1999, 2002, 2005 යන වසරවල තිරයට ආවේය. එම පිළිවෙලට නොවූවත් ස්ටාර් වෝර්ස් කතා මාලවේම චිත්‍රපටයක් 2008 දී ද ක්ලෝන් වෝර්ස් නමින් තිරයට ආවේය.

ස්ටාර් වෝර්ස් සමඟ මගේ මතකය එකතු කොට මේ සටහන ලියනුයේ එහි අලුත්ම කතාංගය හෙවත් හත් වැනි කොටස ද ෆෝස් අවේකන්ස් නමින් හෙට සිට (18) ලොව පුරා තිරගත වීම අරඹන හෙයිනි. එය 25 වැනිදා ශ්‍රී ලංකාවේ ද තිරගතවීමට නියමිතය. මුල් චිත්‍රපට සියල්ල ලොව පුරා බෙදා හරින්නේ ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් වුව ද, 2012 දී ජෝර්ජ් ලූකස්ගේ ලූකස් ෆිල්ම්ස් ආයතනය වෝල්ට් ඩිස්නි සමාගම මඟින් මිලදී ගත් හෙයින් අලුත් චිත්‍රපටය තිරයට එනුයේ ඩිස්නි ලේබලයත් සමඟය. වර්තමානයේ ලූකස් සමාගමේ සභාපති ධුරය දරනුයේ ඔහු සමඟ ඉන්ඩියානා ජෝන්ස් නිපද වූ කැත්ලින් කෙනඩිය. මෙවර ස්ටාර් වෝර්ස් සඳහා ලූකස් ආරම්භයේ සිටම උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේය. අලුත් චිත්‍රපටය ජේ. ජේ. ඒබ්‍රම්ස්ගේ නිර්මාණයකි. මා බලාපොරොත්තුව සිටිනුයේ එදා දුටු චමත්කාරය අද ද දකින්නටය. ඒ එහි මුල් නළු නිළියන් පවා අලුත් චිත්‍රපටයට දායක හෙයිනි.