වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීත ලෝකයේ යුවරජවරුන්ගේ ඇසුර ලැබුවෙමි

සංගීත ලෝකයේ යුවරජවරුන්ගේ ඇසුර ලැබුවෙමි

කුලියාපිටියේ නක්කාවිට විද්‍යාලයේ සංගීත ගුරුවරයකු ලෙස සේවය කළ තරුණ ගායකයකු වූ වික්ටර් රත්නායක 'සිහිල් සුළං රැල්ලේ' ගීතය නිසා ද, අම්පාර උහන විද්‍යාලයේ සංගීත ගුරුවරයකු ලෙස සේවය කළ තවත් තරුණ ගායකයකු වූ භාරතයේ සංගීතය ඉගෙන ලක්දිවට පැමිණි සනත් නන්දසිරි ගැයූ 'ඇවිළුණු ගිනි දැල්' ගීතය නිසා ද එකල ලංකා ගුවන් විදුලියෙන් අතිශය ජනප්‍රිය විය.

වික්ටර් හා සනත් මටත් කුලරත්න ආරියවංශටත් හමු වූයේ ප්‍රේමසිරි කේමදාසගේ සංගීත මංජරියේදීය. කේමදාස මාස්ටර් අප සංස්කරණය කළ 'සෙවන' පත්‍රයට දිරි දුන්නේය.

සංගීත මංජරියේ බංකුවේ ඉඳ සිටි අපට ප්ලේන් ටී සංග්‍රහය වරදින්නේ නැත.

'කොහොමද, පත්තර් වැඩ . . .' කේමදාස මාස්ටර් ඇසුවේ හරියට අප ලොකු පත්තරයක් කරනවා වැනි හැඟීමකිනි.

'කරගෙන යනවා. දැන්වීම් ටිකක් ලැබුණොත් වැඩ ඉක්මන් කර ගන්න පුළුවන්' මම කීවෙමි.

'ඉන්න මම ලියුමක් දෙන්නම්. මේක අරන් නාරාහේන්පිට කිරි මණ්ඩලයට දැන්ම යන්න. එතැන ඉන්නවා නිව්ටන් ගුණරත්න කියලා මහත්තයෙක්. එයාට මේක දෙන්න. එයා දැන්වීමක් දේවි'.

කේමදාස මාස්ටර්ගේ ලියුම දුටු ගුණරත්න මහතා දැන්වීමක් සහිත බ්ලොක් එකක් එවලේම දුන්නේය. 'මම දිගටම මේ දැන්වීම දෙන්නම්'.

එදා ඔහු දුන් දැන්වීමට පින් සිදුවන්නට අපට පත්‍රයේ මුද්‍රණ වියදමෙන් භාගයක් පියවා ගැනීමට හැකි විය.

ඔහු පසුකාලීනව රූපවාහිනියේත්, ස්වාධීන රූපවාහිනියේත්, ලක්හඬෙත් ලොක්කා වී තානාපතිවරයකු ලෙස ද කටයුතු කළේය.

වික්ටර් හා සනත් අප හඳුනා ගන්නේ ද කේමදාස මාස්ටර් ගේ සංගීත මංජරියෙනි. වික්ටර් අප හා කොපමණ හිතවත් වූයේ ද යත්, එකල ඔහු කොළඹ පැමිණි පසු නතර වන ජයන්ත විරසේකර මාවතේ මහල් නිවාසයේ සිටි සේන වීරසේකරගේ (පසුව චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ) චමරියට කැඳවාගෙන ගියේය. එහිදී බර්ටි රණසිංහ, වයි. එම්. සුමනසිරි, විජේරත්න රණතුංග, හරූන් සබා යන පසුව ලංකාවේ ඉහළම ගණයේ වාදක මණ්ඩලය ඇසුරු කිරීමේ භාග්‍ය ලැබිණ.

දැන් අපට අවශ්‍යව ඇත්තේ වික්ටර් සහ සනත් ගැන 'විසිතුර' පත්‍රයට ලිපි ලිවීමටය. ආතර් යූ. අමරසේන මහතාගේ අනුමැතිය ලැබූ මම ( කුලේ සමඟ) වික්ටර් හමුවීමට සේනගේ චමරියට ගියෙමි. එකල ලැජ්ජාශීලි තරුණයකු වූ වික්ටර්ට අප පින්තූරයක් ගැනීමට විසිතුරට එන්නැයි කී විට 'අනේ මල්ලියෝ මම බස් එකේ ගිහිල්ලා ඉවරයි' කීවේය.

මගෙත් කුලේගේත් වදේට වික්ටර් අයියා 'දවස' නිවසට පැමිණියේය. එදා 'දවස' නිවසේ බොහෝ පිරිස් යාන්තම් ඔහු දැක වට කර ගත්හ. වික්ටර් අයියා පත්‍ර කන්තෝරුවකට ගිය මුල්ම අවස්ථාව එය විය.

වික්ටර් අයියාගේ වත ගොත අසා මම ලිපිය ලීවෙමි. කවියෙකු වූ කුලරත්න මගේ ලිපියට ආලවට්ටම් එකතු කොට හෙඩිමක් දැම්මේය. ලිපි'ය අමරසේන මහතාට අපි භාර දුනිමු.

ඊළඟට සනත් අයියා අපට හමු වූයේ නුගේගොඩ පාගොඩ මල්කාන්ති අක්කාගේ ගෙදරදීය. අප එහි යන විට සනත් අයියා ආහාර ගනිමින් සිටියේය.

'එන්න . . . මල්ලිලා . . . කෑම ටිකක් කාලම කතා කරමු' මල්කාන්ති අක්කා අපට ආරාධනා කළාය.

සනත් අයියාගේ ලිපිය 'විසිතුරේ' පළ වුව ද වික්ටර් අයියාගේ ලිපිය සතියෙන් සතිය පසු වුවත් එය පළ වුණේ නැත.

මටත් කුලේටත් වික්ටර් අයියා හමුවීමට යාම ද මහත් අපහසුවත් විය.

'මිස්ටර් අමරසේන අර වික්ටර් රත්නායකගේ ආටිකල් එක . . .'

ආ . . . ඒක නේද? ඒකට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. තව ටික දවසකින් පළ කරමු'

අපට ඇත්තේ විමතියකි'. අප ලියු ලිපියේ තවත් පිටපතක් මා ළඟ තිබුණි. ඒ සති අන්තයේ මාත් කුලේත් සමඟ වික්ටර් අයියා හමුවීමට සේනගේ චමරියට ගියෙමු.

'ඇයි මල්ලී . . .'

'අර ලිපිය තවම පළ වුණේ නැහැනේ'

'ඉතින් මොකද ප්‍රශ්නේ. ඕව ඔහොම තමයි. වෙලාවක පළ වේවි'.

'වික්ටර් අයියා, ඒ ලිපිය ලිව්වේ බොහොම මහන්සි වෙලා අපි දෙන්නම එක්ක. අපි ඒකෙ පිටපතක් ගෙනාවා වික්ටර් අයියාට පෙන්වන්න.'

ඔහු සිනාසී ලිපිය කියවාගෙන ගියේය. ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ මුහුණ එළිය වෙයි.

'මං ගැන ලොකු වර්ණනාවකින් පටන් අරන් තියෙන්නේ. ඒ නිසා වෙන්න ඇති පළ නොවුණේ. මල්ලිලා හිත නරක් කර ගන්න එපා. මම අත් පිටපත හරි' කියෙව්වනේ. ඒ ඇති. හරිම ඉස්තරම්. අනික මට අද සතුටු දවසක්. මොකද ඊයේ මට පුතෙක් ලැබුණා. නම දැම්මේ ජයන්ත කියලා. අද මා ගැන ලියූ මුල්ම ලිපිය කියෙව්වා.' වික්ටර් අයියා අප සනසමින් කීවේය.

වික්ටර් රත්නායකගේ ඒ ලිපිය නවතා තිබුණේ දවස නිවසේ එවක ප්‍රචාරක අංශයේ උසස් නිලධාරියකු වූ ගායකයෙකි. ඔහු 'දවස' සංවිධානය කළ 'දිය කිඳුරි' සංගීත සන්දර්ශනයකට වික්ටර් සහභාගි නොවීම ගැන හේතු සඟවා ලිපි පළ නොකිරීමට පාලක මණ්ඩලයට දන්වා ඇත.

එහෙත් මාසයකින් පසු අමරසේන මහතා එය උසස් අන්දමින් 'විසිතුරේ' පළ කළේය.

'සෙවන' පත්‍රය මඟින් සාහිත්‍ය උත්සවයක් සංවිධානය කිරීමටත් විශේෂ පත්‍රයක් නිකුත් කිරීමටත් අපි සිතුවෙමු. මේ සඳහා දැන්වීම් අවශ්‍යයය. අප පන්තියේ සිටි රත්නසිරි රාජපක්ෂ (කොළඹ නගර සභාවේ

හිටපු නගරාධිපති) අපට හිතවතුන්ගේ දැන්වීම දෙකක් (රුපියල් 300 ක) ලබා දුනි. එවක මරදානේ නූර්ටෙක්ස් ගාමන්ට්ස් අයිතිකරුව සිටි තරුණයෙක් අපට එම ආයතනයේ දැන්වීමක් ලබා දෙන ලදී. ඔහු පසුව සින්ග් ලංකා අධිපති ආනන්ද ගනේගොඩ මහතාය. 'මල්ලිලාට තව උදව්වක් ඕනෑ වුණොත් කියන්න' ඔහු මටත් කුලේටත් කීවේය.

එකල තිබූ 'විමංසා' සඟරාව සංස්කරණය කළ සෝමරත්න බාලසූරිය හා චන්ද්‍රසිරි පල්ලිගුරු නම් තරුණ කථිකාචාර්යවරුන් දෙදෙනා අපේ සාහිත්‍ය උලෙළේ දේශන පැවැත්වීමට එකඟ වූහ. අපේ සාහිත්‍ය උලෙළ පැවැත් වූයේ ආනන්ද විද්‍යාලයීය ශාලාවේය. බර්ටි විජේසිංහ, සාන්තන රාජපක්ෂ හා ගුණවර්ධන සර්ලා අපට සදූපදේශ සැපයූහ. විශාඛා, රාජකීය, නාලන්දා, ගෝතමී, දේවි බාලිකා, ආනන්ද බාලිකා සිසු සිසුවියන්ගෙන් ද ආනන්දයේ ළමුන්ගෙන් ද ශාලාව පිරි ඉතිරී තිබිණ.

සාහිත්‍ය දේශන අවසන සංගීත ප්‍රසංගයක් අප සංවිධානය කොට තිබිණ. ඒ සඳහා අපි වික්ටර් හා සනත් අයියලාට ආරාධනය කොට තිබුණි. එය ඔවුහු ආදරයෙන් භාර ගත්හ.

'මල්ලී දැන් වාදක මණ්ඩලයකුත් ඕනෑ නේ. මම සේනට කියලා බර්ටි, සුමනසිරි, විජේරත්න, හරූන් සභාවත් එවන්නම්. ඔයගොල්ලන්ට සල්ලි නෑනේ, ගෙවීමක් අවශ්‍ය නෑ. ඒවා අපේ ගණනේ' වික්ටර් අයියා කීවේය.

දැන්වීම්වලින් ලැබුණු රු: 300 ක් අප සතුව තිබිණ. ඒ ටැක්සි ගාස්තු සඳහාය.

දේශන නිමා විය. තවම වික්ටර් අයියාත් සනත් අයියාත් පැමිණ නැත. වාදක මණ්ඩලය සූදානම්ය.

ආනන්දයේ ශිෂ්‍ය ගායකයෝ දෙදෙනෙක් වූහ. කුලරත්න ආරියවංශ හා රන්ජන් එම්. බෝධිනායක අපේ පන්තියේ ඩෙස්ක් එකට තට්ටු දමින් ගී ගයන ජනප්‍රිය ගායකයන්ය.

'කුලේ තව හවස් වුණොත් මේ කෙල්ලො කොල්ලො ගෙදර යාවි. කුලේ ගිහින් සින්දුවක් පටන් ගන්න' මම කුලේට කීවෙමි.

'බණ කතා කරනවා. ජීවිතේට මේ වගේ වාදක මණ්ඩලයක් එක්ක සින්දු කියලා නෑ. පිස්සුද?'

'අපි දැන් ආනන්දයේ දක්ෂ ගායකයෙක් ඉදිරිපත් කරනවා. 'සෙවන' පත්‍රයේ සංස්කාරක කුලරත්න ආරියවංශ' නිවේදක රත්නසිරි රාජපක්ෂ කීවේය.

කුලේ ලැජ්ජාවෙන් වේදිකාවට නැංගේය.

වික්ටර් ගයන 'සෝක සැනසුම්' ගී'තය කුලේට රහට කීමට පුළුවන.

මම ඒ ගීතය කුලේ ගයන බව වාදක මණ්ඩලයට දැන් වූයෙමි. ආරම්භක වාදනය ඇරඹිණ.

අත්පොළසන් හඬින් ශාලාව ගිගුම් දුන්නේය.

'සෝක සැනසුම් ' ගීතය කුලේ ගැයූ පසු 'වන් මෝ', 'තව එකක්' හඬ පතිිරෙන්නට වූහ.

කුලේ අමරදේව ගේ හා වික්ටර්ගේ ගීත දෙකක් ගැයුවේ ඔල්වරසන් හඬ මධ්‍යයේ.

ඊළඟ වාරය රන්ජන බෝධිනායකගෙනි.