වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මා ගැන විවේචන කළාට ස්තුතියි

මා ගැන විවේචන කළාට ස්තුතියි

'කේ සෙරා' කලා අධ්‍යක්ෂක රොෂාන් වර්ණකුලසූරිය

පසුගියදා පැවැත් වූ දෙරණ සිනමා සම්මාන උළෙලේදි හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර වූයේ රොෂාන් වර්ණකුලසූරියයි. පරාක්‍රම ජයසිංහ අධ්‍යක්ෂණය කළ කේ සෙරා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ රොෂාන් කලා අධ්‍යක්ෂණය හැරුණු කොට රංගනය, වේශ නිරූපණය ඇතුළු දක්ෂතා බොහොමයකින් පිරිපුන් තරුණයෙකි.

* රංගනයෙන් කලාවට අවතීර්ණ වූ ඔබ අද වෙන කොට කලා අධ්‍යක්ෂවරයකු ලෙසින් සම්මානයට පාත්‍ර වූ කලාකරුවෙක් වී හමාරයි'?

ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්. මම වේදිකාවට එන්නේ මුලින්ම 90 දී. රංග ශිල්පියෙකු වශයෙන් වේදිකාවට මම ආවත් ඒ වන විටත් මා උපතින් ගෙනා හැකියාවන් දෙකකින් පොහොසත් වී සිටියා. චිත්‍ර ශිල්පයෙන් හා මූර්ති කලාවෙන්. රංග ශිල්පියෙක් ලෙස වේදිකාවට ආපු මට මේ මගේ සහජ හැකියා දෙක නිසා මම රඟපෑ නාට්‍යවල වේදිකා පසුතල නිර්මාණයට දායක වීමේ භාග්‍ය උදා වුණා. මගේ කලාවේ හැරවුම ලක්ෂය සිද්ධ වෙන්නේ වේදිකාව ඔස්සේමයි. බන්දුල ජයවර්ධන, පතිරාජ එල්. එස්. දයානන්ද, සුනන්ද පුෂ්පකුමාර, රෝහණ බැද්දගේ මේ වගේ දක්ෂ කලා ශිල්පීන්ගේ නිර්මාණ සඳහා මට දායක වෙන්න ලැබීම ඒ සඳහා හොඳම නිදර්ශනයක්. පොඩි රාලහාමි, සුද්දෙක් ඔබ අමතයි', අකම්පිත, මඩම මෙ වගේ වේදිකා නාට්‍ය රැසක මම වේදිකා පසුතල නිර්මාණය කළා.

* රංගනයෙන් වේදිකා පසුතල නිර්මාණයට යන ඔබ වේශ නිරූපණයටත් අත් පොත් තැබුවේ කෙසේද?

රඟපාන්න ගියත් මගේ ඇඟ තුළ නලියන සහජ හැකියාව වල දමන්න මට බැරි වුණා. නිර්මාණයේ රඟපාන ගමන් මම වේශ නිරූපණ කටයුතු සඳහාත් අත් උදව් සැපයුවා. මගේම අභිමතය පරිදි ඒ සඳහා මට ගුරුවරයෙක් වුණේ වේශ නිරූපණ ශිල්පී සුමිත් ගල්හේනගේ. රංගනය මගෙන් ටිකෙන් ටික ඈත් වෙන කොට මම සහාය වේශ නිරූපණ ශිල්පියෙක් ලෙස වැඩ කරන්න පටන් ගත්තා. පාරාවළල්ල, සිරිදාසගේ කතා, සරාගී චිත්‍රපටයේ, නත්තල් තෑග්ග වගේ නිර්මාණ බොහොමයක මම වේශ නිරූපණ ශිල්පියකු ලෙසින් කටයුතු කළා.

* වේශ නිරූපණයත් පසෙකලා ඔබ කලා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ කොහොමද?

සහාය අධ්‍යක්ෂ සමන් සිල්වා මාව කැඳවාගෙන ගියා චිත්‍රපට අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ හමුවට. මට මතක හැටියට 2002 වසරේ ඔහුගේ චෙරියෝ හොල්මන් චිත්‍රපටයේ මම ඇටසැකිල්ලකට රංගනයෙන් දායක වුණා. ඔය අතරේ දවසක් මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා කිසියම් කාරණයක් නිසා චිත්‍රපටයේ වැඩ කටයුතුවලින් ඉවත් වෙලා. මේ වෙන කොට චිත්‍රපටයේ රූපගත කිරීම් සමහරක් කරලත් තිබුණත් හිටපු කලා අධ්‍යක්ෂකගේ ක්‍රියා කලාපයෙන් අතරමං වෙලා හිටියේ. චිත්‍රපට කණ්ඩායමට මම කැමැත්තෙන්ම කලා අධ්‍යක්ෂකගේ කටයුත්ත ඉෂ්ටකරන්න පටන් ගත්තා. එකෙන් දෙකන් මගේ වැඩ ගැන කාටත් පැහැදීමක් ඇති වුණා. අධ්‍යක්ෂකගේ සිතුම් පැතුම් අනුව රූප රාමුවලට අවශ්‍ය දේ මගෙන් ඉටු වුණා. චිත්‍රපටයේ වැඩත් නිමා වුණා.

කෙහොම හරි චිත්‍රපටයේ තිරගතවීමේ දිනය උදා වුණා. මගෙත් මුල්ම චිත්‍රපටය නිසා බොහොම ආශාවෙන් චිත්‍රපටය බලන්න ගියා. ඔන්න මුලින්ම නාමාවලිය දිග හැරුණා. තිරයට හඳුන්වා දෙන නළු නිළියන්ගේ නම් ගොන්නට මගේ නමත්, රජිත හිරාන්ගේ නමත්, රොහානි විරසිංහගේ නමත් තිබුණා. අපි තුන් දෙනාගේම මුල්ම චිත්‍රපටය ඒ වෙන කොට මේක. ඊට පස්සේ නාමාවලිය දිග හැරෙන අතරේ එක පාරටම කලා අධ්‍යක්ෂණය කියලා මගේ නම දිග හැරුණා. මට අදහා ගන්නත් බෑ. චිත්‍රපටය අවසානයේ මම අධ්‍යක්ෂකගෙන් ඇහුවා ඇයි මගේ නම එහෙම දැම්මේ කියලා. එතකොට පරාක්‍රම ජයසිංහ කිව්වා උඹට හොඳ අනාගතයක් තියෙනවා. බලපන් මම බොරු ද කියන්නේ කියලා.

* අද වෙන කොට ඔබ පූර්ණකාලීනව කලා අධ්‍යක්ෂවරයකු වී හමාරයි?

කලා අධ්‍යක්ෂණය කියන මහා විෂය පථයේ මම තාම අංකුරයක්. තවමත් මම ඉගෙන ගන්න ආධුනිකයෙක් කියන මතයේ තමයි මම අදටත් ඉන්නේ. රංගනයේ ඉඳලා හිටලා යෙදුණත් කලා අධ්‍යක්ෂණයේ තමයි මම අද පූර්ණකාලීනව නියැළී ඉන්නේ.

* මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර වීම ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. මම මුලින්ම සම්මානයට පාත්‍ර වුණේ ජාතික කලා සහෘද සංසදය මිරිඟුව පසුපස ටෙලි නාට්‍යයේ හොඳම වේශ නිරූපණයට දුන් සම්මානයෙන්. කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් කේ සෙරා චිත්‍රපටයට ලැබුණු සම්මානය මගේ දෙවැනි සම්මානය.

* මෙවර දෙරණ සිනමා සම්මාන උලෙළේ ජූරියේ තීන්දු තීරණ දැඩි සේ ක්ෂේත්‍රයේ විවේචනයට ලක් වෙලා නේද, විශේෂයෙන් ඔබ කලා අධ්‍යක්ෂණයට පාත්‍ර වූ කේ සෙරා චිත්‍රපටය ගැන කියමින්?

මම සම්මානලාභියෙක්. මට ජූරියේ තීන්දු තීරණ ගැන කියන්න අයිතියක් නැහැ. මම දැක්කා පුවත්පත්වල ඔය නඟන චෝනාවලට ජූරියේ හිටිය අශෝක හඳගම මහතාත්, සුදත් මහදිවුල්වැව මහතාත් උත්තර දීලා තිබුණා. කේ සෙරා චිත්‍රපටයට සම්මාන දීම ගැන ලොකු පැහැදිලි කිරීමක් කර තිබුණා. ඒ චෝදනාවලට ඒ අයගේ උත්තර හොඳට ප්‍රමාණවත් කියලා මම හිතනවා.

* දෙරණ සිනමා සම්මාන කතිකාව තුළ කේ සෙරා චිත්‍රපටයේ ඔබගේ කලා අධ්‍යක්ෂණයත් රෙජිෆෝම්වලට සමාන කරලා විවේචනයට ලක් කර තිබුණා නොවේද?

මම ඒ පුද්ගලයාට හොඳ උත්තරයක් දෙන්නම්. මුලින්ම කියන්න ඕනෑ කලා අධ්‍යක්ෂණය කියන විෂය දන්නේ නැතිව වචන හරඹයක් කිරීම මහ විහිළුවක්. මම ඒ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සඳහා අවශ්‍ය උපරිම සාධාරණයක් සිද්ධ කළා. චිත්‍රපට අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන පිටපතට අනුව අධ්‍යක්ෂවරයා ඒ රූප රාමුවට බලාපොරොත්තු වන දේ මම ප්‍රතිනිර්මාණය කළා. ඒක මැටියෙන් ද රිජිෆෝම්වලින් ද පොල් අතුවලින් ද කියන දේ අදාළ නැහැ. කැමරාවට හසු වෙලා තියෙන රූපයට අවශ්‍ය සියලු අංග මම පසුතලය තුළ නිර්මාණය කරලා රූපයට සජීවි බව ගෙනත් දීලා තියෙනවා නම් ඒක හැදුව දේ රූපයට අදාළ නැහැනේ.

* කේ සෙරා චිත්‍රපටයේ ඇත්තටම ඔබ කලා අධක්ෂවරයකු ලෙසින් සම්මානයට පාත්‍ර වෙන්න තරම් දෙයක් කළාද?

මම සම්මානයට පාත්‍ර වෙන්න කියලා ඔය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළේ නැහැ. මම පිටපතට අවශ්‍ය දේ සිද්ධ කළා. සම්මානය මට ලැබිම මම සලකන්නේ මගේ වෘත්තියට ලැබුණු සාධාරණයක් වශයෙන්. මට අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය කරන්න ලබා දුන්නේ පරණ ගරා වැටුනු වලව්වක්. ඒ වලව්ව චිත්‍රපට පිටපතේ හැටියට අවශ්‍ය ලෙස ප්‍රතිනිර්මාණය කළා. ලෝකයේ නම් දරාපු චිත්‍රපටයක් වූ ගෝඩ් ෆාදර් චිත්‍රපටය නිර්මාණය කරන්න විතරක් අවුරුදු නමයක් ගිහින් තියෙනවා. බාහු බලී දෙමළ චිත්‍රපටය නිර්මාණය කරන්න මහා ධනස්කන්දයක් වැය කරලා තියෙනවා. අපේ වගේ රටක නිර්මාණකරුවන්ට නිර්මාණ කරන්න බැරිකමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න විශාල මුදලක් අවශ්‍ය වෙනවා. මේ මුදල කියන දේ තුළ කලා අධ්‍යක්ෂවරයකුටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා.

* ඔබ වැනි නවකයෙක් සම්මානයට පාත්‍ර වීම ගැන මෙලෙස චෝදනා කිරීම ගැන ඔබ මොකද හිතන්නේ?

මම කැමැතියි මේ වගේ කථිකාවක් ඇතිවීම ගැන. චිත්‍රපටයකට සම්මාන දුන්නාට අපි වගේ තිරය පිටුපස්සේ ඉන්න අය ගැන කතා කරනවා අඩුයිනේ. කලා අධ්‍යක්ෂ, වේශ නිරූපණ ශිල්පියා ගැන කතා නොකරන වකවානුවක මේ වගේ කතාබහක් ඇති කළාට ඒ විවේචකයන්ට මම ස්තූතිවන්ත වෙනවා. හැබැයි මම මෙන්න මේ දේත් කියනවා. ඓතිහාසික කතාවක් ඇසුරින් චිත්‍රපටක් කරන එක කලා අධ්‍යක්ෂණයේදී හරි පහසු දෙයක්. ඒකට හේතුව අපි කවුරුවත් රජ මාළිගා, රජවරු, බිසෝවරු දැකලා නැහැ. අපි උපකල්පනය කරනවා මෙන්න මෙහෙම ඒ කාලේ එයාලා ඉන්න ඇති, අඳින්න පලඳින්න ඇති, රජ මාළිගා තියෙන්න ඇති කියලා. ඒ උපකල්පනයට අපි ඒ නිර්මාණයට පසුතල හදනවා. හැබැයි අපි අත්දකින මේ සජීවි වර්තමාන පරිසරය තුළ ඒ ගැළපීම කරන එක තමයි අමාරු.

* සැබෑ ලෙසින්ම අද කලා අධ්‍යක්ෂණයේදී මේ වෘත්තීයට සාධාරණයක් නිර්මාණකරුවන් අතින් සිද්ධ වෙනවාද?

මම දකින්නේ වෘත්තීයට ගරුත්වයක් දෙන මිනිස්සු හරි අඩුයි. ගිරය, කඩල්ල, දඬුබස්නාමානය, කළුවර ගෙදර වගේ ටෙලි නාට්‍යවල මේ වෘත්තීය ගරුත්වය රැඳිලා තිබුණා කියලා මම අවිවාදයෙන් පිළිගන්නවා. අද බිහි'වන මල් රැල්ලේ ටෙලි නාට්‍ය ගොන්නේ මේ සාධාරණය තියෙනවාද කියලා අපි අපෙන්ම ඇසිය යුතු තත්ත්වයක් බවට පත් වෙලා. අද වෙන කොට මම මෙගා ටෙලි නාට්‍යවලින් අයින් වෙලා ඉන්නේ. මම දකින්නේ තමන් කරන වෘත්තීයට ගරුත්වයක් ලැබෙන්නේ නැතිනම් ඒකෙන් ඉවත් වෙන එක හොඳයි කියලා.

* සම්මානයක් ලබන්න ඔබ ආ මඟ ගැන ඔබ තෘප්තිමත්ද?

මිනිමුතු කලායතනයෙන් පහතරට නැටුම් ඉගෙන ගෙන සුනන්ද පුෂ්්පකුමාරගේ අකම්පිත ගීත නාටකයෙන් ප්‍රසිද්ධ වේදිකාවට ඇවිත් සුමිත් ගල්හේනගේ ඇසුරේ මේකප් ඉගෙන ගෙන මට මමම ගුරුවරයෙක් වෙලා පසුතල නිරමාණකරුවෙක්, කලා අධ්‍යක්ෂවරයෙක් දක්වා මා පැමිණි ගමන් මඟ ගැන මම සතුටු වෙනවා. අද වෙන කොට මේ කෙටි කාලය තුළ මම ජයග්‍රහණය ලැබුවේ කරපු වැඩේ හරියට කරලා. වැඩේ වැඩේ විදියට හරියට කළොත් මුදල් ලැබෙයි. තෘප්තියක් ලබයි. මේ ඔක්කොම අවසානයේ තවත් වැඩකට කවුරු හරි' මාව රෙකමන්ඩ් කරයි. අද වෙන කොට මම තිර රචනයට වගේම චිත්‍රපට අධ්‍යක්ෂණයටත් පිවිසිලා ඉන්නේ. බොඩිගාඩ්, සුවඳ රෝස ආදී ඩී. වී. ඩී. චිත්‍රපට කීපයක්ම මම මේ වෙන කොට අධ්‍යක්ෂණය කරලත් ඉවරයි.

* දෙරණ සිනමා සම්මාන උළෙලේ ඔබ සම්මානයට පාත්‍ර වුණත් එය ගන්නවත් ඔබ පැමිණ නොසිටියේ?

ඒක මගේ අභාග්‍යයද කොහෙද. මම දැන සිටියේ නැහැ මට සම්මානයක් ලැබුණ ද කියලවත්. අඩුම තරමේ සම්මාන උළෙලට ආරාධනයක්වත් නැහැ. දෙරණ නාළිකාවේ සම්මාන උළෙල විකාශය වන කොට මගේ දුව බලලා කිව්වා තාත්තාගේ නම කිව්වා කියලා. ඒත් මම ඔය වගක් ගණන් ගත්තේවත් නැහැ. කොහොම හරි මට ලැබුණු සම්මානය කේ සෙරා චිත්‍රපටයේ අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ මා වෙනුවෙන් අරගෙන තිබුණා. මම ඔහුට සුබපතන්න කතා කළ මොහොතේ මගේ සම්මානය ගැන කිව්වෙත් පරාක්‍රම.

* ඔබේ පවුලේ තොරතුරු වගේම ලිපිනයත් මතක් කළොත්?

බිරිය ප්‍රියංගිකා චාන්දනී. ඇය පෙර පාසල් ගුරුවරියක්. මගේ දුව අමාෂි කාව්‍යා. එයා තාම හය වසරේ ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්. ඉගෙනගන්න වගේම කලාවටත් දුව දක්ෂයි. 78/ඒ, ආඳාදොල පාර, වටරුක්ක, පාදුක්ක මගේ ලිපිනය. මට කතා කරනවා නම් 0779708496 අංකයට කතා කරන්න.