|
|
'අනේ සර් මට බයයි' කියපු එක රටටම ඇහුණා
අමාදි කියන්නේ අමාදිය. ඒ කියන්නේ අමෘතය. බොහොම අපූරු නමක් ඔබට තියෙන්නේ? ඒකනෙ. ඒ හින්දා මං පාවිච්චි කරන්නෙත් ඒ නම විතරයි. ඒ කියන්නේ වාසගම නැතුව ඔබේ නම භාවිතා කරන්නේ? ඔව්. ඔබේ රසික රසිකාවන්ට දැනගන්නටත් එක්ක ඔබේ සම්පූර්ණ නම කියමු? අමාදි උපේක්ෂා දේනෙත්ති. අමාදි මේ වන විට ජනප්‍රිය නිවේදිකාවක්. මා කැමැතියි ඔබේ ගමන ආරම්භ කළ හැටි දැනගන්න? නිවේදිකාවක් විදිහට පාසලෙත් දහම් පාසලෙත් මා කැපී පෙනෙන චරිතයක් වුණා. ඒවාහි විශේෂ වැඩ කටයුතුවලදී නිවේදනයෙන් මා අනිවාර්යයනේම දායක වනවාමයි. දහම් පාසලේ උත්සවයක් නිවේදනය කරනවා දැකලා මාව කෙනෙකු එකල ජනප්‍රිය ළමා ගුවන් විදුලි නාළිකාවක් වන විදුල සඳහා යොමු කරනවා. ඔබට එහි වැඩසටහනක් ලැබුණද නිවේදනයෙන් දායක වන්න? ඔව්. ඒක මගේ වාසනාවට වෙච්ච දෙයක්. මට ලොකු කට්ටක් කන්නට ලැබුණෙත් නැහැ. එතකොට මං හය වසරේ හිටියේ. මං ඉදිරිපත් කළ පළමු ළමා වැඩසටහන වුණේ විදුල ළමා ස්වර දැහැන. ඒක ලයිව් වැඩසටහනක්.
හා හා පුරා කියලා පුංචි වයසකදී සජීවි වැඩසටහනක් ඉදිරිපත් කිරීම කොහොමද ඔබට දැනුණේ? ඇත්තටම හරියට බය හිතුණා. ගුවන් විදුලි මැදිරියක් තුළ භාවිත කරන වචන පිළිබඳ මං දැනගෙන හිටියෙත් නැහැ. නිෂ්පාදකතුමා එක පාරට දැන් ඔන් එයාර් දාලා තියෙන්නේ කියලා. එවලෙ මයික් එකත් ඔන් කළා. මට කියවුණානෙ 'අනේ සර් මට බයයි' කියලා. නිෂ්පාදකතුමාට විතරක් ඇහෙන්නයි එහෙම කිව්වෙ. ඒත් ඒක මුළු රටටම ඇහිලා. අනතුරුව ඔබ වසර පහක් පමණ විදුල ගුවන් විදුලියේ වැඩසටහන් මෙහෙයවනවා? විදුල භූමියේදී මට ගොඩක් දේවල් ඉගෙන ගන්නට ලැබෙනවා. හරියට ගුවන් විදුලි පාඨමාලාවක් කළා වගේ. ඊටත් එහා ගිය දැනුමක් මං විදුල ගුවන් විදුලියේ සේවය කරද්දී ලබා ගත්තා කිව්වොත් මා නිවැරිදියි. විදුල ළමා ස්වර දැහැනට අමතරව 'දැයට පිපෙන මල්' නම් වූ වැඩසටනක් ද මං මෙහෙය වූවා. ගුවන් විදුලියෙන් කොහොමද ඔබ රූපවාහිනියට එන්නේ? රූපවාහිනියේ තිබුණු ස්ක්‍රීන් ටෙස්ට් එකකට මං සහභාගි වුණා. ඒකට ගොඩක් අය ඇවිත් හිටියා. ඒ අයගෙන් පහළොස් දෙනෙකුව තෝරා ගත්තා. ඒ අතර මාත් හිටියා. අපිව මුලින්ම දැම්මේ නිවුස් කියන්න. ඉතින් කිව්වද? ඔව්නෙ. ප්‍රවෘත්ති කියපු මුල්ම දවසේ තමයි හරි වැඩක් වුණේ? ඒ මොකක්ද? අපිට කිව්වා කැන්ඩියන් ඇඳගෙන එන්න කියලා. මං ඒකාලේ හරිම කෙට්ටුයි. කැන්ඩියන් ඇන්දාම ඊටත් වඩා කෙට්ටුයි. හරියට පැන්සලකට සාරියක් ඇන්දුවා වගෙයි. කැන්ඩියන් එකට මං තවත් පොඩි පාටට පෙනුණේ. එදා මං දිහා හැමෝම බැලුවේ පොඩි ළමයෙක් දිහා බලනවා වගෙයි. කොපමණ කලක් ඔබ ප්‍රවෘත්ති නිවේදිකාවක විදිහට කටයුතු කළාද? මාස තුනයි. අනේ පොඩි අවුලක් වුණා. අවුලක්? නිවුස් රූම් එක තුළ පොඩි සම්ප්‍රදායක් තියනවා. ඒ ප්‍රවෘත්ති නිවේදිකාව වාඩිවෙන පුටුව ඇය වාඩි වූවාට පසුව සම්පූර්ණයෙන්ම වැහෙන්නට ඕනෑ. නමුත් මං වාඩි වුණාම පුටුවෙන් භාගයකටත් වඩා පේනවා. එච්චරට මං කෙට්ටුයි. ඉතින් මාස තුන ඇතුළත මං මහත් වුණෙත් නැහැ. ඒක හින්දා ප්‍රවෘත්ති නිවේදනයට සමුදෙන්න වුණා.
මේ වන විට ඔබ හිරු වියන වැඩ සටහන බොහොම අපුරුවට මෙහෙයවනවා? වසර දෙකක් පුරාවටම හිරු වියන මෙහෙය වන්නේ මම. සතියේ දිනවල දහවල් එකට එය ජාතික නාළිකාවේ විකාශය වෙනවා. හැමදාම හිරු වියන තියෙන හින්දා මාව ගොඩක් අය හඳුනා ගත්තේ ඒ හරහා. මං හින්දා හිරු වියන බලන අයත් ඉන්නවා. මගේ ශෛලියට ඔවුන් ආසයි. ඔබ පෙර නිවේදනය කළ වැඩසටහන් මෙන්ම හිරු වියනත් සජීවී වැඩසටහනක්. කැමරාව ඉදිරියේ අපහසුතාවයට පත් වෙච්ච අවස්ථාවන් එහෙම නැද්ද? අපෝ තියනවා. එකක් නෙවෙයි දෙකක්ම කියන්නම්. ඔන්න දවසක් මං වැඩසටහන මෙහෙයවන ගමන් එක්තරා තැනැත්තෙක් කතා කරකර මගේ දුරකතන අංකය ඉල්ලනවා ඉල්ලනවා ඉවරයක් නැහැ. මං දැනගත්තා එනපොට හොඳ නැහැ කියලා. අනික ප්‍රසිද්ධියේ දුරකතන අංක දෙන්නත් බැහනෙ. මං අංකය දෙන්නේ නැහැ කියලා දැනගත්තම මැදිරියේ අයගෙන් පවා අංකය ඉල්ලලා. එදා තමයි සජීවීව වැඩියෙන්ම අපහසුතාවයට පත් වුණේ. තව දවසක් අපේ ජනප්‍රිය ප්‍රවීණ ගායක යුවළක් වන දයාරත්න රණතුංග සහ අමරා රණතුංග පැමිණි මොහොතක මං ඔවුන්ව හඳුන්වා දුන්නේ දයාරත්න අමරතුංග සහ අමරා දයාරත්න කියලා. ටික වෙලාවකින් තමයි දැනුණේ වැරැදුණා කියලා. එතකොට තරු පෙනුණා. නිවේදන ගමන් මඟේ අරමුණ කුමක්ද? අති දක්ෂ නිවේදිකාවක් වන්න තමයි. ඔබ මේ වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. ඒ ගැනත් කියමු? මං ඉගෙන ගන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ. එහි ලේඛකත්ව සහ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිය හදාරනවා. ඉගෙනුම් කටයුතු හින්දයි පූර්ණකාලිනව නිවේදිකාවක විදිහට මට කටයුතු කරන්න බැරි. ඔබේ පෙම්වතා ගැන පවසන්න දැන් වෙලාව? එහෙම කෙනෙක් තවම නැහැ. කවදා විතරද එහෙම කෙනෙක් සොයාගන්න බලාපොරොත්තු වන්නේ? මගේ අරමුණ ඉටුවුණු පසුව තමයි ආදරයක් ගැන හිතන්නේ. ඔබේ අරමුන සාක්ෂාත් කර ගැනීමට තව අවුරුදු ගණනාවක්ම යාවි? ඒත් කමක් නැහැ. අරමුණ ඉටුවන කාලයේදී මගේ හිතට හරි යන කෙනාව මුණ ගැසෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. අමාදිගේ ගෙවල් කොහේද? පිළියන්දල. ඉගෙන ගත්තු පාසල? කැස්බෑව ධර්මසේන ආටිගල විදුහල. පවුලේ විස්තර? අම්මයි, තාත්තයි, මමයි. ඔබ ගැන කෙටියන් හඳුන්වන්න බලන්න? සෝඩා බෝතලේ වගේ කෙනෙක්. ඒ කියන්නේ ඉක්මනට කේන්ති යන ඒ වගේම අනෙක් අතට කේන්තිය නිවෙන කෙනෙක්.
|



ඇය ජාතික රූපවාහිනියේ හිරු වියන මෙහෙය වන සුරූපිණියයි. නමින් අමාදි ලෙසට මම ඇයව
හඳුන්වා දෙන්නම්. කටකාරකමට නොදෙවෙනි වූ දඟකාරකමින් තමන්ට ආවේණික ශෛලියකින් අමාදි
නිවේදිකාවක ලෙසින් අප හමුවන ඈ ජ්ඕ හැඩ කරන්නියයි.