|
|
ආගන්තුක සත්කාර කෙරෙන්නේ දරු දෙන්නා අතින්
ඈත දියවන්නා ඔයේ නැඟෙනා රැළි වෙනදාට
වඩා කලබල ය. ඒ කලබලකාරී බව අතරින් අපි
ඉදිරියටම ගමන් කළෙමු. දියවන්නා ඔය පිස
හමන මදනල ගත හිරිගඩු නංවයි. දියවන්නා ඔය
නොපෙනෙනා ඉමතෙක් පැමිණ කිඹුලාවල
හන්දියෙන් සැතපුම් භාගයක් පමණ ගොස් සුහද
ළමා නිවාස පාරේ මද දුරක් ගියතැන හමුවන්නේ
ඔබ ආදරය කරන ඔහුගේ නිවෙසයි.
“සනත් විමලසිරි” වරෙක රත්නාවලී නාට්‍යයේ උදේනි රජු ලෙස අප හමුවට පැමිණෙන ඔහු තවත් වරෙක පැමිණෙන්නේ මනමේ කුමාරයාගේ වේශයෙනි. මේ මනමේ කුමාරයා දකිනු රිසියෙන් අප සිටියේ ඔහුගේ නිවෙස දොරකඩ ය. ඔහුගේ නිවෙසේ ගල් බිත්තිවලින් සැදුණු ආරුක්කු අතරින් පෙනෙන්නේ ඈත අහස් කුසේ නිල්පැහැයයි. ඒ නිල්පැහැය පරදා නැඟෙන කළු වලාකුළු තැනින් තැන එබිකම් කරන්නේ ළඟම වැස්සක් එනවග අපට ඉඟි කරන්නාක් මෙනි. අප ඉදිරිපසට පැමිණියේ එකම වයසේ සිටින ළමුන් දෙදෙනෙකි. ඔවුන් නිවෙස ඇතුළට දිව්වේ සිනාසෙමිනි. “ කෝ පුතේ ....” සනත් විමලසිරිගේ දෑතේ තරගයට මෙන් එල්ලී සිටින දියණියන් දෙදෙනාගෙන් ඈත්වෙනු සඳහා ඔහු කෑ ගැසුවේ ය. “ මම ගෙදර හිටියොත් ඔය වගේ තමයි. මට බේරිල්ලක් නැහැ.” සනත් අසලට පැමිණි ඔහුගේ බිරිය විනීතා එරන්දතී හා නේලි හා මෙත්සඳී දියණිවරු රැගෙන ගියේ ඔවුන් තවත් මෙතැන සිටියොත් අපේ කතාබහට බාධාවක් වන වග ඈ දැන සිටි නිසා ය. “ මේ දවස්වල ඔබට විවේකයක් ලැබිලා වගෙයි.” “ඇත්තටම මේ පුංචි විවේකයක් ලැබුණු කාලයක් තමයි. එක පැත්තකින් පාසල් නිවාඩු කාලය ඇවිල්ලා. අනෙක් පැත්තෙන් මේ දවස්වල මගේ අම්මා ඉන්නේ අපිත් එක්කයි. ඒ නිසා ඇයත් එක්කත් කාලය ගත කරන්න අවශ්‍යයයි. පසුගිය දවස්වල මම චාමික හත්ලහවත්ත තරුණ නාට්‍යකරුවාගේ අලුත්ම වේදිකා නාට්‍යයේ ‘රජා මං වහලා’ රඟපෑවා. ඉදිරියේදී එහි දර්ශන රැසක් ලංකාව වටේම වේදිකා ගතවීමට නියමිතයි. ඒ වගේම ‘මනමේ, ‘සිංහබාහු’, ‘රත්නාවලී’ නාට්‍යවලත් ඉදිරියේදි වේදිකා ගතවන දින ලැබුණා. මේ නිසා අම්මා, තාත්තා, බිරිය, දරුවන් සමඟ ඉන්න ඕන නිසා දෙසැම්බර් නිවාඩුව ඒ වෙනුවෙන් වෙන්කර ගත්තා.” මෙවර නිවාඩුවේ සම්පූර්ණ කාලය ඔහු බෙදා වෙන්කර ගෙන ඇත්තේ ඒ අයුරෙනි. මෑත කාලයේ ඔහු වඩාත් සිය රංගන හැකියාව වැඩිපුර යොමුකරන ලද්දේ වේදිකාවට ය. “ ‘රජා මං වහලා’ කියන්නේ මේ මෑතකදි වේදිකා ගතවුණු නාට්‍යයක් ” “‘රජා මං වහලා’ නැරැඹුව පාසල් ළමයි, ගුරුවරු, ප්‍රේක්ෂකයන් ඇතුළු බොහෝදෙනෙක් ප්‍රකාශ කළේ වෙනස්ම නාට්‍යයක් කියලා. ඒ වගේම අලුත් දෙයක් ඒකේ නරඹන්න තිබුණා කියලයි. පර්යේෂණයක් විදියට ඒක බොහොම සාර්ථක බවත් ඔවුන් පැවසුවා. මගේ අදහස වෙන්නෙත් ඒකමයි. මේ නිර්මාණයේ දි රඟපාන සියලුමදෙනා එකම විදියට මහන්සි වුණා. පුහුණුවීම් තිබුණු ඇතුළත මම කිසිම ටෙලි නාට්‍යයක් භාර ගත්තේ නැහැ. ගෙදරින් පහට, හයට ගියාට පස්සේ නැවතත් එන්නේ පාන්දර තුනට, හතරට. ඒ තරමටම කැප කිරීම් කරන්න පිරිසක් ඉතිරි වෙලා ඉන්න එක ගැන සිතන විටත් ඇත්තටම සිතට දැනෙන්නේ සතුටක්. ” වේදිකාවට කවදත් ආදරය කරන සනත් විමලසිරි පවසන්නේ සිතේ උපන් සැබෑ ළෙන්ගතුකම පෙරදැරිව ය. “ ඔබ පුංචි තිරයේ නොපෙනෙන්නේ ඉන් සමු අරගෙන ද?” “මේ අවුරුද්දේම මම ටෙලි නාට්‍ය කටයුතු කිසිවක් භාර ගත්තේ නැහැ. ටෙලි නාට්‍ය කිහිපයකටම කතා කළත් ඒ අතර මගේ සිත ගන්න තරම්, මාව පොලඹවන්න තරම් නාට්‍යයක් තිබුණේ නැහැ. ඒ නිර්මාණවල පිටපතක් ඇත්තෙත් නැහැ. පිටපත අවසන් වෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. කතාවක් දන්නෙත් නැහැ. සමහර පිටපත් සමඟ අපට පෑහෙන්නත් බැහැ. මේ නිසා ඒ නිර්මාණවලදි මගදි ප්‍රශ්න ඇති වෙනවාට වඩා හොඳයි මුලදිම නතර වෙන එක. මේ වැඩකටයුතු නිසා ටිකක් මම නිදහස්. ඒ නිදහස් කාලයේ මගේ විභාග කටයුතු කරගෙන, යහළුවන් ආශ්‍රය කරමින්, නිවැසියන් එක්ක සතුටින් ඉන්න මට අවස්ථාව උදාවුණා. මේ වසර පිළිවෙළකට ගලාගෙන ගිය අවුරුද්දක්.”
“ මේ අතර ඔබ දරුවන්ගේ රස වින්දනය වැඩි දියුණු කිරීමටත් වෙහෙසෙනවා ” “ ඒ රස වින්දන වැඩසටහන නම් කරලා තියෙන්නේ ‘සනත් එක්ක ජීවිතයට ඉඩදෙන්න’ නමින්. මේක ජීවිතය වින්දනය කිරීම සඳහා පිහිටවා ගත්ත සංගීතාත්මක වැඩසටහනක්. ජීවිතය වින්දනය කරන්න ගීතය යොදා ගන්නේ කොහොමද කියලා අපි එහිදි කියලා දෙනවා. මේ වනවිට දර්ශන එකසිය හයක් පමණ කරලා තිබෙනවා. බොහොම හොඳ ප්‍රතිචාර අපට ලැබෙනවා. ඒ වගේම මගේම කියලා ගම්පහ සියනෑ පාර අසල තුම්රි කියන අධ්‍යාපන ඉන්ස්ටිටියුට් එකක් පවත්වා ගෙන යනවා. මාකොල විලෝසිටි ආයතනයේ ඉගැන්වීම් කටයුතු කරනවා. නාට්‍ය හා රංග කලාවයි මා ඒ තැන්වලදි උගන්වන්නේ.” නාට්‍ය හා රංග කලා ගුරුවරයෙක් විදියට මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ සේවය කරන සනත් තමන්ගේම කටයුතුවලට පමණක් මුල්තැන දෙන්නෙක් නොවේ. අනෙකුත් දරුවන්ගේ දැනුම, රස වින්දනය වර්ධනය කිරීමේ ලා ද උනන්දු වන්නෙකි. “ නැන්දේ තේ බීලා ඉමු. ” මේ සුහද කතාබහ අතර අපට සත්කාර සංග්‍රහ කරන්නට පෙරට එන්නේ සනත්ගේ වැඩිමහල් දියණිය මෙත්සඳී ලසේයායි. අනුලා විද්‍යාලයේ හය ශ්‍රේණියේ ඉගෙන ගන්නා ඇයගේ අත ඇත්තේ රසවත් බිස්කට් පිඟන් කිහිපයකි. ඊළඟට අප අසලට පැමිණෙන්නේ සනත්ගේ දෙවැනි දියණිය නේලි දසුන්යායි. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා ඇය අත ඇත්තේ පිළියෙල කරන ලද තේ කෝප්ප කිහිපයකි. “ අපේ ගෙදරට එන අයට සංග්‍රහ කරන්නේ මේ දෙන්නා තමයි.” සිනහසෙමින් සනත්ගේ බිරිය එරන්දතී පවසන්නේ සිය සැමියා අසල අසුන් ගන්නා අතරතුර ය. “ සාමාන්‍යයෙන් ඔබ දවස ආරම්භ කරන්නේ කීයට ද?” “ මම උදේම දවස ආරම්භ කරන්නේ කොහොම වෙතත් පාන්දර දෙක, තුනටයි නිදා ගන්නේ. එරන්දතී තමයි දරුවන් සූදානම් කරලා, සරසලා, උයලා ඔක්කොම කරලා පුංචි උදව්වක් ඕන වුණාට පස්සේ මාව අවදි කරනවා. ඒ නිසා මගේ දවස ආරම්භ කරන්නේ මෙයාගේ එලාම් එකෙන්.”
සනත් සිය බිරිය දෙස ආදරය පිරුණු බැල්මෙන් බලා පවසයි. එරන්දතීගේ මුවඟට නැගෙන්නේ මද
සිනහවකි. සීමිත ඉඩකඩක තනා ඇති සනත්- එරන්දතී සුන්දර කැදැල්ලේ මුළුතැන්ගෙය පිටුපස
ඇති බිම්කඩේ බවභෝග කිහිපයක ඵලය සාරවත් ය.
“ දඹල, නියං වැටකොළු, නිවිති, කරවිල, කංකුං, මුකුණුවැන්න ඇතුව කොළ වර්ග කිහිපයක් අපේ පවුලට ඇති වෙන්න මේ ඉඩකඩේ විදියට වවලා තියෙනවා. මේවා වවන කටයුතුවලට සනත් මට අත් උදව් දෙනවා. පසුගිය අපේ ගෙදර හිටිය ළමයා තමයි අපි නැති දවස්වල මේවාට සාත්තු කළේ. ඒ ගැනත් මතක් කළ යුතුයි. මේ විදියට වවාගෙන වස විස නැති කෑම කන්න ලැබෙන එකත් කොයිතරම් හොඳ දෙයක් ද? ” එරන්දතී මගෙන් නඟන්නේ පැනයකි. “ නිවෙසේ සියලුම කටයුතු සමබර කරන්නේ මගේ බිරින්දෑයි. ළමයින්ගේ පාඩම් වැඩකටයුතු වගේ ගෙදර සියලුම කටයුතු සොයා බලා කරන්නේ ඈ තමයි. ඒ අතර තිබෙන විවේකයත් සමඟ මම නිවෙස අස්පස් කරන කටයුතු කරන්න මුල් වෙනවා.” සනත් ඇයට අලගු තබයි. මේ නිවාඩු කාලය දියණියන් දෙදෙනාට වැඩ වැඩිම කාලයකි. ඒ වසර අවසානයේ පැවැත්වෙන ප්‍රසංගයට සූදානම් වීමට ඇති බැවිනි. ඒ අවට නිවෙස්වල සියලුම දරුවන් රැස් වී කරන මේ ප්‍රසංගයට වැඩිහිටියන්ට ඇත්තේ සහභාගි වීම පමණි. “ මෙන්න නැන්දේ මේ බලන්න.” චූටිදුව දුවගෙන එන්නේ සම්මානයක් ද අත ඇතිව ය. ඇය එය අපට පෙන්වන්නේ ආඩම්බරයෙනි. ඒ ඉංග්‍රීසි විෂයයට වැඩිම ලකුණු ගැනීම නිසා දිනූ සම්මානයයි. දියණියන් දෙදෙනා දිවයයි. ඔවුන්ගේ සුරතල් දෙස බලා සිටින සනත් හා එරන්දතී මා දෙස බලා සිනහ සෙන්නේ හදවතේ ඇති සතුට මේ යැයි කියන්නාක් මෙනි. ඒ සතුටෙන් පිරුණු සොඳුරු කැදැල්ලට සුබ පතමින් අපි සමු ගතිමු.
|




කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාවක් කළ ඔහු වැඩිදුරටත් ඒ ඔස්සේ
අධ්‍යයන කටයුතු නියැළී සිටියි. ඉගෙන ගන්නට වයස් භේදයක් නැත කියන කියුම මගේ මතකයට
පිවිසෙන්නේ එවිට ය. 