වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක් කාජල් ආයෙත් පෙම්වතුන්

ෂාරුක් කාජල් ආයෙත් පෙම්වතුන්

ශාරුක් ඛාන් සමඟ කාජල් රඟන “දිල්වාලේ දුල්හානියා ලේ ජායේන්ගේ” (1995) අතිශය ජනප්‍රියතාවයක් ඉසිලූ චිත්‍රපටයක් වූ අතර, සිය පිරිවැය වූ ඉන්දියානු රුපියල් මිලියන 40 මෙන් 30 ගුණයක ආදායමක් ලොව පුරා ඉපයීමට එය සමත් විය. (ඇත්තෙන්ම, ශාරුක් - කාජල් හමුව මීට වසර දෙකකට පෙර (1993) තිරගත වූ “බාසිගර්” චිත්‍රපටයෙන් ඇරඹිණි). එදා මෙදා තුර “කුච් කුච් හෝතා හේ”, “කභි කුෂි කභි ගම්” ආදී චිත්‍රපට හරහා රසික සිත් සතන්හි සටහන් වූ නොමැකෙන පෙම් යුවළකි, ශාරුක් සහ කාජල්.

හෙට (18 වනදා) තිරගත වීම අරඹන,”දිල්වාලේ” චිත්‍රපටය “දිල්වාලේ දුල්හානියා ලේ ජායේන්ගේ” චිත්‍රපටයෙන් වසර 20 කට පසුව, මෙම පෙම් යුවළ නැවතත් එක් කෙරෙන අතර මේ කාරණය නිසාම “දිල්වාලේ” චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයින් පුල පුලා බලා සිටින චිත්‍රපටයකි. හින්දි සිනමාවේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතර සිව්වැන්න වන “චෙන්නායි එක්ස්ප්‍රස්” හි අධ්‍යක්ෂ රෝහිත් ශෙට්ටි දිල්වාලේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වේ. රෝහිත් ශෙට්ටි අතිශය වාණිජ සාර්ථකත්වයක් ඉසිලූ චිත්‍රපට නිර්මාණකරණයේ නමක් දිනා ගත්තෙකි. චෙන්නායි එක්ස්ප්‍රස් ට අමතරව, “ගොල්මාල්” හාස්‍යෝත්පාදක චිත්‍රපට ත්‍රිත්වයද, “සිංහම්” ක්‍රියාදාම චිත්‍රපට ද්විත්වයට මෙම කාරණයට සාක්ෂි දරයි.

‘දිල්වාලේ’ යනු “උතුම් හදවතක් ඇත්තා” යන්නයි. ක්‍රියාදාම - හාස්‍යෝත්පාදක - ආදර කතාවක් වන මෙය විනාඩි 158 ක් පුරා දිවෙයි. එකිනෙකාට සතුරු වූ බලවත් පවුල් දෙකක සමාදානය සඳහා වෙර දරන යුවළකගේ කතාව දිල්වාලේ හි දිගහැරෙන අතර, ශාරුක් ගේ බාල සොයුරාගේ චරිතය වරුන් ධවාන් (ABCD 2) විසිනුත්, වරුන්ගේ පෙම්වතියගේ චරිතය ක්‍රිති සනොන් (හීරෝපාන්ති) විසිනුත් රඟ දැක්වේ. ශාරුක් ගේ පියාගේ චරිතය විනෝද් ඛන්නා විසින් රඟ දැක්වෙන අතර, කබීර් බෙඩි කාජල්ගේ පියාගේ චරිතයට පණ පොවයි.

දිල්වාලේ, ශාරුක් ගේ බිරිඳ වන ගෞරී ඛාන් (රාඊස්, චෙන්නායි එක්ස්ප්‍රස්, රාවන්) ගේ නිෂ්පාදනයක් වන අතර සජිඩ් ෆර්හාඩ් ගේ තිර රචනයකි. ‘Red Chillies Entertainment’ විසින් මෙම චිත්‍රපටය බෙදා හරිනු ලබයි.මෙම චිත්‍රපටයේ ගීත 7 ක් ඇතුළත් වන අතර සියලුම ගීතවල පද රචනය ශර්දාර්, ෆැන්ටම්, බජ්රන්ගි භයිජාන්, බොම්බේ වෙල්වට්, ධූම් 3 ආදී චිත්‍රපට වල ගීත රචක අමිතාබ්

භට්ටාචාර්ය විසිනි. ප්‍රධාන ගායකයා, තුම් හි තෝ සහ ආශිකී 2 චිත්‍රපටයන්හි මන මෝහනීය ගායනයෙන් ජනප්‍රියත්වයට පත් අරිජිත් සිං විසිනි.

දිල්වාලේ’හි රූගත කිරීම් ගෝවෙන් පටන් ගැනුණු අතර, හයිද්‍රාබාද්හි මෙන්ම අයිස්ලන්තයේත් බල්ගේරියාවෙත් රූපගත කිරීම් සිදුවිණි.

දෙසැම්බර් 18 වනදාම නිකුත් වන අනෙක් චිත්‍රපටය වන ‘බජිරාඕ මස්තානි’ හා ඇතිවන ගැටුමේදී, දිල්වාලේ ජයග්‍රහණය කරන බව විචාරකයෝ අදහස් දක්වති.