|
|
මම ක්ෂේත්‍රයට ආවේ ඉංග්‍රීසි සින්දු කියලා
මගේ ගීත තහනම් කරන්න කාටත් බෑ
- ප්‍රවීණ ගායක අනිල් භාරතී
සීනු හඬින් ලොව පිබිදෙනවා, නත්තල දොර ළඟ හිනැහෙනවා යැයි කියා සුප්‍රසිද්ධ ගීතිකාවක් ඇත. මා සිතන පදිරි නත්තල් සමයේදී අපේ රට පුබුදුවාලන සීනු හඬ වන්නේ මොහුය. අනිල් භාරතී නම් ඒ සොඳුරුතම කලාකරුවා මේ නත්තලේ පැමිණෙන්නේ නත්තල වෙනුවෙන් නිර්මාණය කළ නත්තල් ගී තැටියක් ද සමඟිනි. එය ‘සිලෙක්ෂන් ඔෆ් ඔරිජිනල් ක්‍රිස්මස් සෝංග්ස් විත් අනිල් භාරතී’ ලෙසට නම් කොට ඇත. අනිල්, බොහෝ කාලයකට පසු ඔබ නත්තල් ගීත පමණක් අඩංගු ඔබේම සංයුක්ත තැටියක් ඉදිරිපත් කරනවා? මොකක්ද එයට හේතු වුණු කාරණාව? මම හිතන විදිහට මේක තමයි මගේ පළමු නත්තල් ගී එකතුව. මීට පෙර මම කැසට්පට ගණනාවකට නතතල් ගීත ගැයුවා. ඒවා ගායක ගායිකාවන් රැසක් ගී ගයපු කැසට්. මගේ නත්තල් ගීත එකක් හෝ දෙකක් පමණයි ඒවාට ඇතුළත් වුණේ. ඉන් ඇතැම් ගීතවල ඔරිජිනල්ස් අහන්නවත් නැහැ. ඒ අනුව බලන කොට මම නත්තල් ගීත හැටකට ආසන්න ප්‍රමාණයක් ගයලා තියෙනවා. මම හිතන විදිහට මම තමයි ලංකාවේ වැඩිපුරම නත්තල් ගී ගැයූ ගායකයා. ඉතින් මෙච්චර ගීත තියෙද්දිත් ඇයි ඒවා එක තැටියකට ගන්නේ නැත්තේ කියලා මගෙ මිතුරෙක් චෝදනා කළා. ඇත්තනෙ කතාව. ඒ ඔස්සේ මමත් හිතලා බලලා මේ සංයුක්ත තැටිය ඉදිරිපත් කළා. ගීත කීයක් මෙයට අන්තර්ගතද? ඒ වගේම මට කියන්නකො මෙහි සංගීත මුසුව කාගෙද කියලා? මෙයට මගේ ජනප්‍රිය නත්තල් ගීත දොළහක් අඩංගුයි. ඇනෙස්ලි මාලේවන ප්‍රමුඛ සුපර් චයිම්ස් ගීතවලට සංගීතය මුසු කළා. පසුගිය දිනවල ක්ලැරන්ස් විසින් නිර්මාණය කොට ඔබ ඇතුළු ගායක ගායිකාවන් ගැයූ ගීත රැසක් මුල් ගායකයන්ට කියන්නට තහනම් කළා. ඔබේ බෙත්ලෙහෙම් පුරේ ගීතයත් ඊට ඇතුළත්? ඒක හරිම විහිළුවක්. මගේ ගීත තහනම් කරන්නේ කොහොමද, ක්ලැරන්ස් මටනෙ ඒවා හදලා දුන්නේ. මගේ ගීත තහනම් කරන්න කාටවත් බැහැ. බොහෝ දෙනාට ඔබව මතක් වෙන්නේ නත්තල් කාලයට? එක නම් ඇත්ත. එත් නත්තලට බෙත්ලෙහෙම් පුරේ ගීතය නැතුව බැහැ. ඇත්තම කිව්වොත් මෙය නත්තලේ තේමා ගීතය බවට පත් වෙලා තියෙනවා. බලන්න දිනකට කොපමණ වතාවක් මේ කාලයේදී බෙත්ලෙහෙම් පුරේ ප්‍රචාරය වෙනවාද කියලා. එවන් වූ ගීතයයක් ගැයීමට වරම් හිමිවීම ගැන මොකද හිතෙන්නේ? ඒක දේව ආශිර්වාදයක් සහ එය දෙවියන් විසින් මට දීපු තෑග්ගක්. මේ වන විට එය ගීතිකා පොත්වලට පවා ඇතුළත් කොට තිබෙනවා. ඔබට මතකද බෙත්ලෙහෙම් පුරේ ගීතය පටිගත කළ මුල්ම දවස? ඔව්. හැත්තෑව දශකයේ කියලා තමයි කාලය වශයෙන් කියන්නට පුළුවන්. දළුගම සරසවි ශබ්දාගාරයේදී මර්වින් රොද්‍රිගෝ කියන දක්ෂතම ශබ්ද පරිපාලකවරයාගේ අතින් තමයි මෙය පටිගත වුණේ. මර්වින් කිව්වා අපි මේ ගීතයට සීනු නාදයද එක් කරමු කියලා. ටික වෙලාවක් ගියා. ඔහු නැහැ. බැලින්නම් එයා ශබ්දාගාරයේ තිබුණු සයිලෆෝතයේ මකුළු දැල් කඩනවා. ඒක භාවිත කරලා ගිතයට සීනු හඬ ගත්තා. බෙත්ලෙහෙම් පුරේ ලියපු කරුණාරත්න අබේසේකර බෞද්ධයෙක්. ඇයි කතෝලික කෙනෙකු ලවා මෙය නොලියවා ගත්තේ? ක්ලැරන්ස්ට දැඩි වුවමනාවක් තිබුණා බෞද්ධයකු ලවා මෙය ලියවන්න. කතෝලික ආගම ගැන දන්නා කෙනෙකු ලිව්වහොත් ඔහු හෝ ඇය ආගම ගැන වැඩිපුර දන්නා නිසා ගීතය හරියට නොලියවේවි යැයි ඔහු විශ්වාස කළා. ඒකයි කරුට මෙය ලියන්න දුන්නේ. ඔබේ නවතම සංයුක්ත තැටියට එම ගීතය ඇතුළත් ද? ඔව්. ඔබේ ඒ ගී තැටිය බෙදා හරින්නේ ද ඔබමයි. ඇයි එය DVD බෙදා හරින්නෙකුට දුන්නේ නැත්තේ? එහි ඩුප්ලිකේට තැටි නිකුත් කරාවි කියන බයට තමයි එහෙම කළේ නැත්තේ. ඉස්සර නම් හරි ශෝක් එකට ඔය බෙදා හරින වැඩේ වුණා. අපිට තිබුණේ සිංදු ටික කරලා දෙන්න විතරයි. දැන් ඒ වැඩේට අපිටම බහින්න වෙලා. කවුරු බෙදා හැරියත් ඩුප්ලිකේට් තැටි පෙළෙඳපොලට එනවා? ඔව්. ඒක නවත්වන්න බැහැ. නමුත් ඒ තත්ත්වය සීමා වුණා මම බෙදා හරින නිසා. ඔබගේ සමකාලින්ට මෙන්ම ඔබට රිඟිංටෝන් ප්‍රශ්න නැතිද? ඒ කිව්වේ? ඔබට හොරෙන් ඔබේ ගීත රිඟිං ටොන් දාලා නැති ද කියලා මං ඇහැව්වේ? ඒ ගැන මම දැනුවත් නැහැ. කොහොමද ප්‍රසංග වේදිකාවේ වැඩ කටයුතු? මේ වන විට මම ප්‍රසංග වේදිකාවට ඇවිත් අවුරුදු හතළිහක්. එදා වගේම අදත් මම ප්‍රසංග වේදිකාවේ සක්‍රීයව කටයුතු කරනවා. ඒ වගේම දෙවියන්ගේ පිහිටෙන් මට අඩුවක් නැතුව ෂෝස් තියෙනවා. ඔබේ සිංදු නවකයන් කියනවා අඩුයි. ඇයි ඒ? ඔබ විසින් යම් වාරණ්‍යක් පනවා තිබෙනවාද? අනේ නැහැ. මගේ ගීත අලුත් පරපුරේ අයට කියන්න බැහැ. ඒකයි ඔවුන් කියන්නේ නැත්තේ. නැතුව මගෙන් බාධාවක් නෙවෙයි. අඩුම තරමේ ඔබගේ පුතුන් දෙදෙනා පවා ඔබේ ගීත කියන්නේ නැහැ? මම කොහොමත් කැමැති නැහැ මගේ පුතාලා මගේ ගීත කියනවට. මම ඔවුන්ව අධ්‍යාපනය සඳහා යොමු කළා. මොකද ඉගෙන ගත්තු දේවල් සදාකාලිකව ප්‍රයෝජනවත් වේවි. නමුත් මම මගේ ගීත ඔවුන්ට දුන්නා නම් හැමදාම මගේ ගීත ටික කිය කිය ඉඳීවි. ඔබ යළිත් ඉංග්‍රීසි ගීත ගයන්නට සූදානම් වෙනවා කියලා ආරංචි වුණා? මම ක්ෂේත්‍රයට ආවේ ඉංග්‍රීසි ගීත කියලා. ක්ලැරන්ස් මුණ ගැසුනායින් අනතුරුව මම ඔහුගේ කණ්ඩායමට එකතු වුණා. ප්‍රසංගවලදී මම ගැයුවේ ඉංග්‍රීසි ගීත. මගේ පළමු සිංහල ගීතය වන අද වෙයි ඉරු දින ක්ලැරන්ස් මට හදලා දෙනකම් මං ගැයුවේ ඉංග්‍රීසි ගීත විතරයි. මගේම ගීත හදාගෙන එනකොට මම ඉංග්‍රීසි ගීත ගැයුවේම නැති තරම්. ඒත් දැන් ආයෙත් හිතෙනවා ඉංග්‍රීසි ගීත ටිකක් ගැයුවොත් හොඳයි කියලා වෙනසකටත් එක්ක.
|



සිංහල අවුරුද්ද ඇරැඹෙද්දී ලයනල් රංවල සූරීන්ගේ මේ අවුරුදු කාලේ ගීතය ඇසෙන්නට පටන්
ගනියි. වෙසක් කාලයෙහි සමාරම්භය සනිටුහන් වන විට මොහිදින් බෙග් මාස්ටර්ගේ බුද්ධං
සරණං ගච්ඡාමි ගීතය කරළියට පැමිණෙයි. සීතල උඳුවප සමඟින් නත්තල එළඹෙද්දී නිතැතින්ම
බෙත්ලෙහෙම් පුරේ ගීතය හාත්පස පිළිරැව් දෙයි. සිංහල අවුරුද්ද තිබෙන තාක්කල් මේ
අවුරුදු කලේ ගීතය ද, වෙසක් තිබෙන තාක්කල් බුද්ධං සරණං ගීතය ද, නත්තල තිබෙන තාක්කල්
බෙත්ලෙහෙම් පුරේ ගීතය ද පවතිනු ඇත. තවත් අයුරකින් කිව්වහොත් මේවා සදා අමරණිය ගීතය.