වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




රිදී රැයක් 19 වැනිදා 13 වැනි වරටත්

රිදී රැයක් 19 වැනිදා 13 වැනි වරටත්

ජෝතිපාලයන්ගේ රන්හඬ ඇසෙන්න පටන් ගත්තේය. ඒ අතරට පාද සළඹ සැලෙන නද ද එකතු වුණේය. චන්න විජේවර්ධනයන්ගේ නිවසෙහි ආලින්දයේ සිටි මා එහි ඉහළ මහළට ගියේ අපූරු දෙයක් එතැන සිදු වන බව සිතුනු නිසාය. කාරණාව සැබෑය. සිංහල සිනමාව බැබළ වූ සොඳුරුතම තරු පොකුරද එතැනය. මට පුදුමත් සිතිණි.

ඒ මෙතරම් පිරිසක් එකට එක්කාසු කර ගත්තේ කුමන අයුරකින්ද යන්න සිතීමෙනි. මන්ද යත් මෙතැන සිටින පිරිවර සිනමාවේ බෙහෙවින්ම කාර්යබහුල පිරිසක් වන බැවින්ය. මට මේ හිමි වී ඇති අවස්ථාව එක්තරා අයුරකින් දුර්ලභ අවස්ථාවකි. රිදී රැයක් ප්‍රසංගය ගැන ඔබ නිසැකවම අසා ඇත්තේය. එය අනිවාර්යයෙන්ම නැරැඹීමට පුල පුලා බලා සිටින්නේය. ඒ එතරම්ම එය රසවත් බැවිනි. එපමණක් ද නොව සිංහල සිනමාව බැබැළ වූ අප ආදරණීය රංගන ශිල්පීන් එකම වේදිකාවක දැක බලා ගැනීමට ලැබෙන්නේ ද රිදී රැයක් තුළිනි. රිදි රැය වේදිකා ගත කිරීමට ප්‍රථම එය නැරැඹීමට හැකි නම් ඒ චන්න විජේවර්ධනගේ නිවසේදී පමණි. මා දැන් සිටින්නේ ඒ අත්දැකීම විඳින ගමන්ය. ශ්‍රියාණි අමරසේන තාලයට අඩිය තියනු පෙනෙයි. ඇයගේ ඉරියව් චන්න විසින් සකසයි.

ෂා දැන් මරු. ඔහොම්මම කරගෙන යමු.

චන්න පවසයි. පැරැණී ගීතයක් වාදනය වන්නට පටන් ගනියි. ශ්‍රියාණි එයට නර්ථනයේ යෙදෙන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියන්ට නොදෙවෙනි පරිදිය.

ඉස්සර නම් අපි නැටුව චිත්‍රපටවල. ඒ හැත්තෑව අසූව දශකයේ. එදායින් පසුව මං මේ නටන්නේ රිදි රැයේදී තමයි. හරිම අපූරු අත්දැකීමක් ඒක.

නටන ගමන් ශ්‍රියාණි කියාගෙන කියාගෙන යයි.

ඔන්න මං ආවා.

සිංහල සිනමාව කලක් එකළු කළ දුෂ්ට නළුවකු පැමිණියේ සිනමාපටයක දුෂ්ට නළුවා පැමිණෙන පරිද්දෙනි. ඔහුට කොහොමත් ඒ දර්ශනය හුරු පුරුදුය. ඔහු ක්ලීටස් මෙන්ඩිස්ය. ක්ලීටස් පැමිණි විගස ශ්‍රියාණි අසලට ආවේ නර්ථන අංගයක් ඉදිිරිපත් කරන ගමන්ය.

මෙයා මහ පුදුම වැඩ තමයි කරන්නේ.

ශ්‍රියාණි නෝක්කාඩුවෙන් අහක බලා ගත්තේය.

ඇයි මොකෝ?

මා ඇසුවේ කුතුහලයෙනි.

එක සැරයක් රිදී රැයක් ෂෝ එකකදී අපි දෙන්නට ඩාන්ස් එකක් තිබුණා. මට තමයි මුලින්ම ස්ටේජ් එකට යන්න තිබුණේ. මම ඩාන්ස් කරන්න පටන් ගත්තා. ක්ලීටස් නැහැ. චන්නට තේරිලා මොකක් හරි අවුලක් කියලා. ඔහු ටක් ගාලා වේදිකාවට ඇවිත් ක්ලීටස්ටගේ පාර්ට් එක කළා. ප්‍රේක්ෂකයන්ට වැඩේ තේරුණේ නැහැ. බැලින්නම් ක්ලීටස්ව එතැන තිබුණු පඩි පෙළකින් වැටිලා.

ශ්‍රියාණි පැරැණි මතකයක් ආවර්ජනය කළාය. ක්ලීටස් එය නිහඬව අසා සිටියේ සිනහවකුත් මුවෙහි ඇඳගන්නා අතරතුරදීය. මෙවර රිදී රැය පැවැත් වෙන්නේ දහතුන් වැනි වතාවටය. මෙම මස 19 වැනිදා එනම් අනිද්දා රිදි රැය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දිග හැරෙනු ඇත. දහතුන් වැනි රිදී රැය තුළ එක්තරා කෙනකුට උපහාරයක් පැවැත්වීමට නියමිතය. ඔහු සටන් නළුවෙකි. ඒ කවුද යැයි සොයා බැලීමට රිදි රැය නරඹන තෙක් ඉන්නට කියා අපට කියන්නට සිදු වෙයි. මෙහිදී ටෙඩී විද්‍යාලංකාරගේ සහ වසන්ත කුමාරවිලගේ ත්‍රාසජනක සටන් දර්ශනයක් ද පැවැත්වෙනු ඇත. එය පුහුණුවීම පසෙකින් සිදු වේ. විටෙක සිතන්නේ දෙදෙනා ඇත්තටම ගහමරා ගන්නා බවය. සියල්ලෝම පැත්තකට වී සිටියේ ඒ අසලට ගියහොත් ඇටකටු කුඩු කර ගැනීමට සිතුවෙතැයි බියෙනි. නව පරපුරේ කලාකරුවන් වන චිලී, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස් එකට එකතු වී කතබහක නිියැළෙයි. ඔවුන් නිසැකවම මේ සාකච්ඡා කෙරෙනුයේ තමන්ගේ නර්ථන අංගය සාර්ථක කරගන්නා අන්දම ගැනය.

හැපි බර්ත් ඩේ ටු යූ
හැපි බර්ත් ඩේ ටු යූ
හැබි බර්ත් ඩේ ටූ යූ ඩියර් සංගීතා
හැපි බර්ත් ඩේ ටූ යූ

සංගීතා විරරත්න පැමිණ ඇත. ඇයගේ අතෙහි කේක් ගෙඩියකි. ශෙරීන් කුමාරතුංග, වීණා ජයකොඩි, සංගීතා පැමිිණෙන විටම සුබපැතුම් එක් කළේ ඇයව ද මවිතයට පත් කරවමිනි.

ඔයාලා මටත් කලින් රෙඩි වෙලා.

සංගීතා තම විස්මය ප්‍රකාශ කළේය.

එන්න අපි කේක් කපමු.

ඇයගෙන් සියල්ලන්ටම අරැයුමකි. සියලු දෙනාගේ ආශිර්වාදය මධ්‍යයේ සංගීතා කේක් කැපුවාය. ඒ වගේම තමන්ගේ අතින් කේක් කැව්වාය.

මේ දෑස මගේ පින්වන්තයි
තේරුණේ දැන් තමයි
රන් රූපෙ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි

යළිත් ජෝති හඬ රැව් පිළිරැව් දෙන්නට විය. රවීන්ද්‍ර රන්දෙණිය නම් රංගධරයා තේජස්ව පාද තබමින් ඉදිරියට පැමිණ ගීතයට අනුව නර්ථනයේ යෙදෙන්නට විය. රවීන්ද්‍ර රන්දෙණිය කොපමණ තරුණ වී ඇත්දැයි මට සිතිණ. රිදී රැයට නියමිත වස්ත්‍රාභරණයෙන් සැරසී මෙයට අපගේ සිනමා තරු සහභාගි වන විට ඔවුන්ගේ හැඩ තවත් තීව්‍ර වනු ඇත.

මම තමයි මෙදා පාර ශ්‍රියාණිගේ පාට්නර්.

රෝයි ද සිල්වා කිවේ ශ්‍රියාණිව සොයන අතරතුරදීය. ඇය තේ කෝප්පයක් අතින්ගෙන එහෙ මෙහෙ කැරකෙයි.

මේ තේ එක වැඩි සීනි අනේ. මට ඕන අඩුවෙන් සීනි තියෙන තේ එකක්.

ශ්‍රියාණි එසේ පවසා වැඩි සීනි තේ එක චිලීට දුන්නාය.

රිදී රැයක් ප්‍රසංගයේ පුහුණුවීම් සඳහා දුලානි අනුරාධා පැමිණියේ බිම් කළුවර වැටෙද්දීය. තවත් හෝරා කිහිපයක් පුහුණුවීම් තිබෙන බව පැවසුවේ චන්නයි.

වෙලාවක් කියන්න බැහැ. මේක රෑ එලි වෙනතුරු තියෙනවා. ඔක්තෝබර් ඉඳලා තමයි මෙහෙම පුහුණුවීම් කරන්නේ.

තවත් බොහෝ වෙලාවක් මෙතැන ඉන්නට සිතිණි. එනමුදු කාලය ඊට හරස් විය. රිදී රැයක් ප්‍රසංගය සංවිධානය කරනුයේ ජයන්ත ධර්මදාසගේ සභාපතිත්වයෙන් යුතු සිනෙස්ටාර් සංවිධානය මඟිනි. එමඟින් ලැබෙන ආදායම කලාකරුවන්ගේ සුභසාධනය උදෙසා යොදවනු ඇත. රිදී රැයක් ප්‍රසංගය ජාත්‍යන්තරයේ පවා ජනප්‍රිය බව පැවසුවේ රවීන්ද්‍ර රන්දෙණියයි. ඔහු කිවේ සමහර විදේශිකයන් ලංකාවට එනුයේ රිදී රැයක් පවත්වන දිනය අළලා බවය. කෙසේ නමුත් රිදී රැයක් හා සමාන ප්‍රසංග ගණනාවක් කරළියට එන්න අර ඇන්දත් ඒවා කිසිවක් සාර්ථක වූයේ නැත. ඒ නමුත් රිදී රැයක් තවමත් ඇත්තේ එයට එක්වන කලාකරුවන්ට ඉමහත් වූ වටිනාකමක් ඇති බැවිනි.