වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




දුහුනන් හමුව

දුහුනන් හමුව

ශබ්ද පරිපාලනයෙන් සංගීත අධ්‍යක්ෂණයට

- ආශා රාජපක්ෂ

ආශා රාජපක්ෂ නව පරපුරේ සංගීතඥයෙකි. එමෙන්ම ජනප්‍රිය ගීත රැසකට ශබ්ද පරිපාලනයෙන් දායක වූ හෙතෙම කණ්ඩායම් සංගීත ශිල්පියකු වශයෙන් ද කලක් කටයුතු කළේය.

ලක්ෂ්මන් පුෂ්පකුමාර තමයි මට පළමුව ටෙලි නාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය සඳහා අවස්ථාව දුන්නේ. ඔහු මං නිර්මාණය කළ සංගීත සංයුක්ත තැටියක් අහලා තිබුණා. ඒ ඔස්සේ ඔහු මගේ සංගීත නිර්මාණයන් මොන වගේ ද කියලා දැනගන්නවා. නාට්‍යයකට මියුසික් කරමු ද කියලා ඔහු ඇහැව්වා. හිතේ තිබුණු චකිතයත් එක්ක වැඩේ බාර ගත්තා. ඒ නාට්‍ය තමයි හිම වරුසා. එහි මං නිර්මාණය කළ සංගීත ඛණ්ඩවල රසවත්භාවය මත ඔහුම ඔහුගේ නාට්‍ය කිහිපයකටම මාව සම්බන්ධ කර ගත්තා. පිපෙන මල්, රිදී පහන්, සැලමුතු සිහින ඉන් කිහිපයක්. මං ඒවායේ සංගීතය නිර්මාණය කොට සෑහෙන්න අත්දැකීම් ප්‍රමාණයක් විඳගත්තා. ශබ්ද පරිපාලකවරයකු ලෙස බාචි සුසාන්ගේ අවසාන මොහොත ගීතය ඇතුළු ගීත රැසක් මා අතින් ශබ්ද පරිපාලනය කෙරුණා. විජය - කුවේණි, අලිමංකඩ මවිසින් ශබ්ද පරිපාලනයෙන් දායක වූ චිත්‍රපට. මං සංගීත ක්ෂේත්‍රයට එන්නේ කණ්ඩායම් සංගීත ශිල්පියකු වශයෙන්. ලෙදර්ස්, මිලේනියම්, ස්පාරක් සහ බ්ලූ ෂැඩෝස් කියන සංගීත කණ්ඩායම්වල නිත්‍ය සාමාජිකයකු විදිහට මං හිටියා. සංගීත කණ්ඩායමක ඉන්න කොට හැමෝම එකා වගේ ඉන්න ඕනෑ. නිතරම රට වටා සංචාරය කරන්න ලැබෙනවා. ලැබෙන අත්දැකීම් අපමණයි. ඔන්න දවසක් බ්ලූ ෂැඩෝස් එකේ ඉන්න කොට අපි ප්‍රසංගයකට යද්දී නාන තැනක් සෙට් වුණා. ඒක ඇලක්. අපි කට්ටිය ඒකෙ බැහැලා නාද්දී කණ්ඩායමේ නිත්‍ය ගායකයා වන ෂාන් ගිලෙන්නට ගියා. එදා අපි හැමෝම බය වුණා. එදා ඉඳලා කට්ටිය නෑවේ ගෙවල්වලින් විතරයි.

අද වන විට මං පූර්ණකාලීන සංගීත අධ්‍යක්ෂවරයෙක්. මගේ ගම වන වෙන්නප්පුවේ 'ශ්‍රී එම්' නමින් ශබ්දාගාරයක් පවත්වාගෙන යනවා. ඒ වගේම ගම්පහත් එනමින් ශබ්දාගාරයක් හදන්නට හිතාගෙන ඉන්නවා. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයා ඔහුගේ නාට්‍යවල මට රඟපාන්නත් අවස්ථාව දුන්නා. පිපෙන මල්, රිදී පහන්, සැළමුතු සිහින ආදී නාට්‍යවල මං විවිධ චරිත රඟපෑවා.

මෙතෙක් ආ ගමන් මඟේ මට නිතැතින්ම හයියක් වුණු ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාට තුති පුදන්නම ඕනෑ. ඒ වගේම සමීර හඳපාන්ගල, වසන්ත, හසින්ත, මහේෂ්, වින්සන් ස්ටීවන් පීරිස් යන අයව ද සිහිපත් කළ යුතුමයි.

වේදිකාව ජීවිතය වූ දයාරත්න

දයාරත්න සුවඳ හැන්නදිගේ නම් වන ඔහු ජයරත්න රූපසිංහයන්ගේ බිඳුණු බඳුන වේදිකා නාට්‍යයේ අසුහැවිරිදි වියපත් මහල්ලකුගේ චරිතයට පන පොවන විට ඔහුගේ වයස අවුරුදු පහලොවයි. ඒ 1982 වසෙර්ය.

ඔහු මේ වනවිට වේදිකා නාට්‍ය 70 කට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දී ඇත. එමෙන්ම ප්‍රසංග වේදිකාවෙ නිවේදකයෙක් ලෙසත් කටයුතු කරයි.

ඇත්තටම අද වගේ ඒ කාලේ ක්ෂේත්‍රයට එන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. අපි වේදිකා නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්න අවුරුදු දෙක තුනක් සෙට් එකේ වැඩ කළා.

මර්වින් ද සිල්වාගේ සනී අයියා උපාලි කීර්තිසේනගේ සොල්දර ගෙදර, අජිත් ධර්මසිරිගේ මරුවැල, සදාදර මැසෝනා, තිතක් නෑ, ගැලවුම්කාරයෝ මේ ඔහු රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය කිහිපයකි.

සුමිත් සුරංග නිර්මාණය කළ හතේ කාමරය වේදිකා නාට්‍යයේ චරිත රංගනයක යෙදෙයි. ඒ විප්ලවවාදියකු සහ හිරකරුවකුගේ චරිතවලටයි.

ඇත්තටම දක්ෂතා හැකියා සහ අත්දැකීම් තියෙන බොහෝ කලාකරුවන් වේදිකාවේ ඉන්නවා. මේ හැකියාවට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හෝ සිනමාවේ ඉඩකඩ ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. එය කලා ක්ෂේත්‍රයට ලොකු පාඩුවක්. ඒ නිසා හැකියාව ඇති තරුණ තරුණියන්ට කලා ක්ෂේත්‍රයේ දොරගුළු විවර විය යුතුයි.

වසර 33 ක මගෙ කලා ජීවිතයේ යෝධ සෙවණැල්ල බවට පත්වූණේ ජයරත්න රූපසිංහ මහතායි. ඔහුව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මිහිර ප්‍රධාන කර්තෘ අජිත් ධර්මසිරි, සුමිත් සුරංග ඇතුළු මගේ ගමනට සහය දැක්වූ සියලුම දෙනාට තුති පුදනවා. ඔහුගේ දු. අ - 0777273361

අද ගී පද රචනය ඇතැමුන්ගේ විමෝදාංශයක් වෙලා

ගේය පද රචක සනත් දසනායක

සෞන්දර්යවාදී සිතුවිලිවලින් පිරිපුන් මිනිසුන්ගේ දෑතින් ලියවෙන පදවැල්වල ඇත්තේ ද අර්ථපූර්ණ බවකි. වසර 20 කට වඩා වැඩි කාලයක සිට ගේය පද රචනයේ යෙදෙන ඔහු කලා ක්ෂේත්‍රයේ නිහඬ චරිතයක්. ඔහු සනත් දසනායක නම් වූ කලාවේදියායි.

1978 දී මිහිර පත්තරේට කවියක් ලියලා තමයි ගේය පද රචනයට මම අත්පොත් තැබුවේ. ක්ෂේත්‍රයේ දිගු කාලයක් රැඳී සිටියත් මට අවශ්‍ය වුණේ නිහඬව මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න. අද වන විට ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකට ගී පද රචනයෙන් දායකත්වය ලබා දුන්නා.

'ඔබයි හිරු සඳු ඔබයි සොඳුරු' ගීතය සමන්ත පෙරේරා සහ අරෝෂා සමරදිවාකර විසින් ගායනා කළ ජනප්‍රියත්වයට පත් වූ ගීතයක්. ක්‍රිෂාන්ත එරන්දක ගායනා කරන 'සංගු හඬක්', සමන්ත පෙරේරා ගයන 'හිච්චි නංගියේ පුංචි පැංචියේ', චරිතා ප්‍රියදර්ශනී ගයන 'කැදැල්ල අහසේ නෑ දැන් සොඳුුරු' මේ ගීත සියල්ලක්ම පාහේ ජනප්‍රියත්වයට පත් වූ ගීතයි.

ඒ වගේම සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2006 දී 'සුළඟ වගේ අපි' ගීත එකතුව නිකුත් කළා. ළමා ගීත රචනයට මා යොමු වුණේ ආනන්ද හේවාරංහිද මහතාගේ ආරාධනාවක් අනුවයි. මේ වෙද්දී මවිසින් රචනා කළ ගීත 50 ක් පටිගත කරලා තියෙනවා. නමුත් 10 ක් 12 ක් වගේ ප්‍රමාණයක් තමයි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවලින් ප්‍රචාරය වෙලා තියෙන්නේ.

අද වෙද්දී ගී පද රචනය ඇතැමුන්ගේ විනෝදාංශයක් බවට පත් වෙලා. අර්ථයක් නැහැ, රසයක් නැහැ. කොටින්ම කිව්වොත් මේ පද රචනා සහිත ගීත ගයන්නවත් බැහැ. වචන හතර පහක් ගලපලා පද කිහිපයක් එක්තැන් කරන එක නෙවෙයි ගී පද රචනය කියන්නේ. සමහර විට දිර්ඝ කාලයක් ගතවෙන්න පුළුවන් අර්ථ රසැති ගීයක් බිහිවෙන්න. එදත් අදත් මතුවටත් සුභාවිත ගීතයක රඳා පැවැත්ම ගැන අපට තියෙන්නේ ලොකු විශ්වාසයක්. නමුත් කනගාටුවට කාරණය මේ වගේ සුභාවිත ගීත සමාජගත වෙන්නේ හරිම අල්ප වශයෙන්. මේ නිසා මම මේ ක්ෂේත්‍රයේ ගත කරන්නේ බොහොම හීන්සීරු ගමනක්.

මේ ගමනේදී ගායන ශිල්පී සමන්ත පෙරේරා, චරිතා ප්‍රියදර්ශනී, විශාරද ආනන්ද රාජපක්ෂ සහ මගේ බිරිය සහ පවුලේ ඥාතීන්ගේ සහාය මට නොඅඩුව ලැබෙනවා. ඉදිරියට සුභාවිත ගීපද රචනයෙන් ඔබ වෙත එන්නයි මගේ බලාපොරොත්තුව.

ඔහුගේ දු. ක. - 0729673186.

තරු අතරින් පෙරට එන රුවැත්තිය

මේරි නිර්මලා

රංගන ක්ෂේත්‍රයේ දිදුළන තරුවක් වෙන්නට පෙරුම් පුරන තරුණ තරුණියන් බොහොමයි. ඒ හීනය සැබෑ කර ගන්නට උනන්දුව, කැපවීම වගේම වාසනා ගුණයත් නිතැතින්ම පිහිටා තිබිය යුතුයි. එම්. මේරි නිර්මලා නවක රංගන ශිල්පිනිය ද සිය හැකියාවන් හඳුනා ගනිමින් රංගන කෂේත්‍රයේ දිගු ගමනක් යන්නට පෙරුම් පුරයි. පසුගියදා 'සරසවිය'ට ගොඩවැදුණු ඈ මෙලෙස සිය අදහස් අප සමඟ බෙදා හදා ගත්තා.

මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ බොහොම සුළු චරිතයකින්. 'පබා' ටෙලි නාට්‍යයට නවක නළු නිළියන් ගන්නවා කියලා පත්තරේ ඇඩ් එකක් දාලා තිබුණා. මමත් එයට අයදුම් කළා. කැමරාවක් ඉදිරියේ මුලින්ම රංගනයක යෙදුණේ පබා නාට්‍යයේ. ඉන් පස්සේ ගැහැනු ළමයි, තරු පිරි අහස, අකඩවාරිය, ඉස්සරහට යන්න, පබසරා, කලු අරලිය වැනි ටෙලි නාට්‍ය කිහිපයකටම විවිධ චරිත ඔස්සේ රංගනයෙන් දායක වුණා. මට ලැබුණු සුළු චරිතයට පවා බොහොම උනන්දුවෙන් දායක වුණා.

මීට අමතරව සිනමාවට ද යොමු වෙන්න අවකාශය ලැබුණා. කුසුම් චන්ද්‍ර ගමගේ මහතාගේ 'මායා දේශය', රන්ජන් රාමනායකගේ 'නවරියන්', උදයකාන්ත වර්ණසූරියගේ 'බහුබූතයෝ 3' සඳහාත් රංගනයට එක් වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.

ඩී. වී. ඩී. චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් එකතු වුණා. ඒ තිස්ස ඩයස් මතාගේ ජූලි හත, පාට වළලු සහ වැල්ලෙ සිංහයා කියන නිර්මාණවලටයි.

මගේ ගම පූගොඩ, පැපිලියවල. පාසල් ගියේ උස්වැටකෙයියාව ශාන්ත මරියා විද්‍යාලයට. මම වේදිකාවේ ඉගෙන ගත්තේ උපාලි කීර්තිසේන රංගන ශිල්පියා යටතේයි. ඒ වගේම මගේ රංගන දිවියේ වැඩ කටයුතුවලට මගේ අම්මා ලොකු සහයෝගයක් ලබා දුන්නා. මේ ක්ෂේත්‍රයේ රැඳී හිඳිමින් සාර්ථක රංගන ශිල්පිනියක වීම මගේ අරමුණයි.

ඇගේ දු. අ. - 0774580248

ලිපිනය - එම්. මේරි නිර්මලා, නො. 172/ඒ, සියඹලාගහවත්ත, පැපිලියවල.