වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ඉතිහාසය හදන්න ඉන්දියානු රුපියල් කෝටි 150ක්

ඉතිහාසය හදන්න ඉන්දියානු රුපියල් කෝටි 150ක්

‘සංජේ ලීලා බන්සාලි‘ යනු හින්දි චිත්‍රපට ප්‍රේක්ෂකයින්ට හුරු පුරුදු නමකි. බන්සාලි ගේ අධ්‍යක්ෂණයන් වූ දේවදාස්, සාවරියා, ගොලියොන් කී රාස්-ලීලා; රාම්-ලීලා, වැනි චිත්‍රපට ඉන්දියාවේ පමණක් නොව, ?ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රේක්ෂකයින් පවා ආදරයෙන් වැලඳගත් හින්දි චිත්‍රපට බව නොරහසකි. ඔහුගේ නිර්මාණ බොහොමයක් ෆිල්ම්-ෆෙයා සම්මාන දිනා ගෙන ඇති අතර විචාරකයින්ගේද පැසසුමට ලක්වූ නිර්මාණ වේ. බන්සාලිගේ අලුත්ම නිර්මාණ කාර්යය වන ‘බජිරාඕ මස්තානි’, හෙට (18 වනදා) සිට තිරගත වීම ඇරඹේ.

18 වන සියවසේ භාරතයේ ‘මරාති’ අධිරාජ්යියේ විසූ ජනරාල්වරයෙක් වන බජිරාඕ - ධ් කිසි දිනෙක සටනක් පැරදී නැති ඇති දක්ෂ යුද සෙනෙවියකු බව මාරත ඉතිහාසයේ කියැවෙන්නකි. ඔහු සටන් වැදී ප්‍රධාන සටන් ගණන 40 කට වැඩි ය. බජිරාඕ සහ ඔහුගේ දෙවන බිරිඳ වන මස්තානිගේ ආදර කතාව මෙම චිත්රසපටයේ දිග හැරේ. කුලත්තියක් වන මස්තානි ද ඥානවන්ත සහ රූමත් කාන්තාවක් බව ප්‍රකටය.

බජිරාඕ මස්තානි සිනමාවට නැගීම අධ්‍යක්ෂක බන්සාලි විසින් 2003 වැනි ඈත කාලයක පළමු වරට නිවේදනය කර තිබූ අතර නොයෙකුත් හේතු නිසා එය වසර 10 කට වැඩි කාලයක් ප්‍රමාද විය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පළමුවෙන්ම අදහස් කොට ඇත්තේ සල්මන් ඛාන් සහ ඓශ්වර්යා රායි යුවල වන අතර, ඔවුන්ගේ ප්‍රසිද්ධ වෙන් වීමත් සමඟ අධ්‍යක්ෂක එම අදහස අත්හැර දැමීය. පසුව මෙම චරිත සඳහා කරීනා කපූර් සහ සල්මන් ඛාන් තෝරා ගෙන ඇති නමුත් එම යුවල බන්සාලිගේ චිත්‍රපටයකට පෙර ආදරවන්තයින් ලෙස රඟපා ඇති බැවින් එම අදහසද අත්හැර දැමුණු බව පසුව හෙළි විය. බන්සාලි, බජිරාඕ මස්තානි පසෙකට දමා බ්ලැක්, සාවරියා, ගුසාරිෂ් සහ රාම්-ලීලා නිර්මාණය කල අතර, රාම්-ලීලා හි සාර්ථකත්වය, සැබෑ ජීවිතයේද පෙම්වතුන් චිත්‍රපටයට ගැලපෙනම යුවල අධ්‍යක්ෂකට සොයා දීමට සමත් වූ බව පෙනේ. මේ අනුව, බජිරාඕ ගේ චරිතය රන්වීර් සිං විසිනුත් මස්තානිගේ චරිතය දීපිකා පදුකෝන් විසිනුත් රඟ දැක්වීමට තීරණය වුනු අතර බජිරාඕ ගේ

පළමු බිරිඳ වන කශිබායි ගේ චරිතය පි‍්‍රයංකා චොප්රා විසින් රඟ දැක්වෙයි.

ඉන්දියානු රුපියල් කෝටි 150 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 320) ක පිරිවැයකින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය විනාඩි 156 ක ධාවන කාලයකින් සමන්විත වේ. මෙය SLB Films  නිෂ්පාදනයක් වන අතර, ඊරෝස් ඉන්ටර්නැෂනල් බෙදා හැරීමකි. ගීත 10 කින් සමන්විත සංගීතමය චිත්‍රපටයක් වන බජිරාඕ මස්තානි හි ගීත බොහොමයක සංගීතය අධ්‍යක්ෂක විසින් ශ්‍රේයාස් පුරනික් හා එක්ව නිර්මාණය කර ඇත. මෙම ගීත ශ්‍රේයාස් ගෝශාල් (PK, Happy NewYear, රබ් නේ බනාදී ජෝඩී, පරිනීතා), අර්ජිත් සිං (තුම් හි තෝ, ආශිකී 2), පණ්ඩිත් බිර්ජු මහාරාජ්, සුක්වින්දර් සිං (තමාෂා, Happy New Year) ආදී ප්‍රවීන ගායකයින් ගායනා කරති.

චිත්‍රපටයට පූර්ව ප්‍රචාරයක් ලෙස නිකුත් වූ ‘පිංගා’ නම් ගීතයට චිත්‍රපටයේ එන ඓතිහාසික චරිතයන්ගෙන් පැවත එන්නන්ගෙන් ප්‍රතිවිරෝධතා මතුවූ අතර, එම ගීතයේ එන නැටුම් සහ ඇඳුම් සම්ප්‍රදායට නොගැළපෙන බව ඔවුන් මතුකර තිබුණි.

චිත්‍රපටයේ බොහෝ රූපරාමු මුම්බායි හි ‘ෆිල්ම් සිටි ස්ටුඩිඕස්’ හි රූගත වී ඇති අතර, එළිමහන් රූපරාමු ‘මාධ්‍ය ප්‍රදේශ්’, රාජස්ථානය, ගුජරාටය සහ මහාරාස්ඨයේ රූපගත කෙරිණි.

බජිරාඕ මස්තානි චිත්‍රපටය නිකුත් වන දිනයේම නිකුත් වන දිල්වාලේ චිත්‍රපටය නිසා මෙම චිත්‍රපටයට ප්‍රේක්ෂක ආකර්ෂණය සඳහා තීරණාත්මක සටනක් දීමට සිදුවන බව සමහර චිත්‍රපට විචාරකයින්ගේ මතය වේ. කෙසේ නමුත් තවත් පිරිසක් පවසන්නේ මෙම චිත්‍රපටයන්හි අන්තර්ගතය එකිනෙකට බොහෝසෙයින් වෙනස් වන බැවින් එවැනි ගැටුමක් ඇති නොවන බවය.