වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




 'කෙල්ලේ උඹ දැක්කම දෙයියෝ දැක්කා වගේ'

 'කෙල්ලේ උඹ දැක්කම දෙයියෝ දැක්කා වගේ'

ජීවිතයට බොහෝ දේ අමතක කරන්නට දවස් දෙකක් ප්‍රමාණවත්ය. අත්තම්මාගෙන් ගුටි කෑ සිද්ධිය මානවීගේ හිතේ තිබුණාට අහල පහල කාටත් එය අමතක වී ගිය හැටිය. කොහොමටත් මිනිසුන්ට ඕනෑවටත් වඩා තමන්ගේ රාජකාරි වැඩි වන විට අනුන්ගේ කටයුතු සොයා බලන්නට කල් වේලා මදි වනු ඇත. එහෙත් පළමු දවසේ මානවී ගෙයින් එළියට බැස්සේ නැත. සුනීතා පැමිණ කතා කළ ද ඈ පිළිතුරක් දුන්නේ නැත.

අත්තම්මා සමඟ සුනීතා ටික වෙලාවක් කතා කරමින් උන්නාය. අනතුරුව ඔවුහු මිදුලට බැස්සාහ. ඒ මුණු මුණුව ටික වේලාවක් පැවතිණ. වැඩිපුර කතා කළේ අත්තම්මාය. අන්තිමට අත්තම්මා ඇඳ සිටි චීත්තයෙන් මුහුණේ වූ කඳුළු පිසලනු මානවී බලා උන්නාය. සුනීතා ආපසු ගියේ එයින් පසුවය. අත්තම්මා සුනීතා සමඟ කතා කළේ මොනවාදැයි විමසන්නට මානවී නොගියාය. දෙවැනි දවස ද ගෙවී ගියාය. මානවී ගෙයි ති'බූ වැඩක් පලක් කළාය.

තුන්වැනි දවසේ උදෑසන අත්තම්මා කුස්සියේ සිටියදී දුටුවේ ළිඳ ළඟට වී මුහුණ සෝදන මානවීය. අනතුරුව කතා නොකොට කාමරයට ගිය මානවී ගෙනා ගවුමක් ඇඳ ගෙන අත්තම්මා ළඟට ආවාය.

'මං සුමිත් අයියලෑ සාප්පුවට යනවා'

අත්තම්මා කිසිත් පැවසුවේ නැත. අනතුරුව මානවී ඇයට දණ ගසා වැන්දාය.

'ඉඳපං කෙල්ලෙ, උයපු ඒවායින් බත් ටිකක් බෙදනකං'

අත්තම්මා පැවසුවාය. ඈ එයට අවනත වූවාය.

මානවී පාරට බැස්සේ තවත් පැයකට පමණ පසුවය. ගුවන් විදුලියේ ධර්ම දේශනාව ආරම්භ වූයේ ඒ වෙලාවටය. කවර වැඩ තිබුණ ද අත්තම්මා ඒ වෙලාවට කරන්නේ බණ ඇසීමය.

සුනීතා උන්නේ කැෂියර් කුඩුව ළඟය. උදෑසන සිට ඇය හොඳ ගානට හෙම්බත් වී සිටියාය. මානවී එකවරම කඩයට ගොඩ වැදුණාය. අනතුරුව ඒ වන විට කවුන්ටරයේ උඩ අපිළිවෙළට තිබූ පොත් පෙළක් ගෙන නිසි තැන තැබුවාය. සුනීතා අත උන් දැරිය මානවී දැක සුරතලයට සිනාසුණාය. මානවී අතපෑවෙන් ඇය අම්මා අතහැර මානවීගේ අතට පැන්නාය.

'අම්මේ කෙල්ලේ උඹ දැක්කම දෙයියෝ

දැක්කා වගේ'

මානවී කිසිත් නොකියා දැරිය සුරතල් කරන්නට පටන් ගත්තාය. ඔවුන්ගේ කතාවට බාධාවක් වූයේ ගනුදෙනුකරුවකු පැමිණීමෙනි.

'අනේ කෙල්ලේ, අරක ඔච්චර දුර දිග යයි කියලා අපි හිතුවේ නෑ'

සුනීතා බැගෑපත් ස්වරූපයෙන් පැවසුවාය.

'කොහොමටත් අපි දෙන්නා අද හවස එන්න හිතාන හිටියේ'

සුනීතා කතා කළේ වරදක් වසාලන්නට තැත් කරලන්නාක් මෙනි. මානවී ඒ ගැන තැකීමක් කළේ නැත.

'අත්තම්මා උඹට ගැහුවා යැයි කියන්නේ'

සුනීතා යළිත් කතා කළාය. මානවී එයට කළේ සිනාසීම පමණි.

'උඹට රිදුනද නංගියේ?'

'ඕවා ගණං අරං බෑ'

මානවී එවර උත්තර දුන්නේ නීරස මාතෘකාවක් කෙළවර කළ යුතු යැයි හැඟෙන ස්වරයකිනි. සුනීතාගේ ගෑනු මොළයට මානවීගේ ඉරියව් වැටහිණ. එබැවින් ඈ ඒ ගැන කතා නොකළාය.

දැන් පොත් සාප්පුවට නිතර යන එන ගනුදෙනුකරුවන් ගණන ඉහළය. අසල තැනක පොත් සාපපුවක් තිබුණේ නැත. පොත් සාප්පුව කීවාට එහි තිබුණේ පොත් පත් පමණක් නෙවේ. දුරකතන සිම්පත් ද, බීම බෝතල් ද එහි තිබිණි. උදේට හදිසියේ පොතක්, පැන්සලක්, මකන කෑල්ලක් ගන්නා දරුවෝ හවසට එන්නේ පැණි බීම බෝතලයක් ගන්නටය. ප්‍රසිද්ධ බීම සමාගමක දැන්වීම සහිත ශීතකරණයක් ද සුමිත්ට ලැබිණ.

අපි ඩී වී ඩී ටිකකුත් ගෙනත් දාන්න ඕනෑ'

එදා හවස සුමිත් පැවසුවේය. සුමිත් මුදල් උපයන්නට හපනෙකි යැයි මානවීට සිතිණි. මේ ටික දවසට ඔහු තම සාප්පුව වර්ධනය කළේය. සුනීතා එයට අත්වැල වූවාය.

'මානවීට අත්තම්මා බැන්නලු නේද?'

සුමිත් මානවීගේ වගතුග විමසන්නට තැත් කළේය.

හා! හා ඒක දැන් ඉවරයි'

සුනීතා එකවරම කතාවේ මැදට පැන්නාය. සුමිත්ට යමක් තේරුම් ගිය හැටියකි. ඒ කතාවත් දුර නොගියේය. ඔවුහු සාප්පුවේ වැඩ කටයුතු සඳහා යුහුදුළු වූහ. බස් රියකින් බැස ගත් දෙදෙනෙකු සාප්පුවට ආහ.

සුමිත්ගේ ජංගම දුරකතනය නාද විය. එහි තිබුණේ මියුරු ගීතයකි. ඔහු ගනුදෙනුව කරන අතරතුරම දුරකතනය කනේ තබා ගත්තේය. මානවී වහා ගනුදෙනුකරුගේ අවශ්‍යතාව ඉෂ්ට කළාය. ඒ අතරවාරයේ තවත් කෙනෙකි. එන විට කෙළවරක් නැත. නැති වෙලාවට කිසිවකු නැත. මානවීට සිතිණ.

'මේ ලබන සතියේ අපි හිටපු කෑල්ල ටී. වී. එකේ යනවලු' දුරකතන කතාව නතර කළ සුමිත් ගේ මුවඟින් නැඟුණ සිනහව වළකා ගත නොහැකි තරම්ය.

'කවුද කතා කළේ'

සුනීතා ඇසුවාය.

සුජිත්, සුජිත් මල්ලී'

සුමිත් දැනට සුජිත්ට නෑකම් හදාගෙනය. මානවීගේ මුහුණේ ලේ සිඳී ගියේය. එය කිසිවකු හෝ දැක්කේ නැත. දෙදවසකට කලින් රූ ගත කළ දර්ශනයක් ලබන සතියේ විකාශය වෙයි. එය කතාවට ගැලපෙන්නේ කොහොමදැයි මානවීට නොවැදගත්ය. වැදගත් වනුයේ එයින් පසු මුහුණ දෙන ආකාරයයි.

'මානවීගේ සීන් එක හොඳට තියෙනවා කියන්නේ'

සුමිත් පැවසුවේ ඉඟිමරමිනි.

'මන් දන්නෑ කෙල්ල ලොකු නිළියක් වුණාම අපටත් . . . . . . බැරියයි'

'අනේ අයියේ, මට ගමේවත් ඉන්න පුළුවන් වෙයි ද මං දන්නේ නෑ'

මානවීගේ මුහුණට හැඬුමක් ආයේය. බිය වූ විට මුවැත්තියකගේ වන් මානවීගේ ඇස්වල ලස්සනට සුමිත් හිත යටින් ඇලුම් කළේය.

'ඔව්ව ඔය තරම් ගණං ගන්න එපා නංගියේ. කෙනෙකුට හරි ගියොත් ඒක වළක්කන්න බෑ. අනිත් අතට කාටවත් බයේ මොකටද?'

සුනීතා පැවසුවාය.

මානවී ඒ ගැන කතා කළේ නැත. එයට ඇයට පිළිතුරු දෙන්නට පහසු නැත. මානවී හවස ගෙදර ගියාය. ඇගේ ජංගම දුරකතනය ගෙදර තිබිණ. ඇය එය පිරික්සා බැලුවාය. දුරකතන ඇමතුම් කිහිපයක්ම එහි සඳහන්ව තිබිණ.

'ඕකට කෝල් ගාණක් ආවා. ඉතින් මං ගන්න දන්න එකක්යැ. අම්මාද දන්නේ නෑ'

අත්තම්මා පැවසුවාය. මේ දුරකතනයේ අංකය දන්නේ අම්මා පමණි. ඇය මොහොතක් කල්පනා කොට දුරකතන අංකයට ඇමතුවාය.

'හලෝ'

එය එවර ඇමතුවේ නැත. ඈ දුරකතනය ආපසු තැබුවාය. එහෙත් මිනිත්තු ගණනකින් එය යළි නාද කළේය.

'ඔය මානවී නංගි නේද?'

එයින් ප්‍රශ්න කෙරිණ. මානවී ඔව් යැයි පැවසුවාය.

'මම සුජිත් අයියා මතකද?'

'සුජිත් අයියා?'

ඇය යළි ඇසුවාය.