වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

දේවින්දගේ භවතරණ දිල්ලියේ දී හොඳම චිත්‍රපටය වෙයි

දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ඔහුගේ කුලුඳුල් සිනමාපටය වන භවතරණ 2015 දිල්ලි අන්තර් ජාතික සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස අභිසෙස් ලැබුවේය. චිත්‍රපට 219 ක් මේ සඳහා ඉදිරිපත් කොට තිබූ අතර ඉන් 100 ක් තරඟකාරී අංශයට තේරී පත් විය. ඒවා අතරින් මෙරට නියෝජනය කළ එකම චිත්‍රපටය වූයේ භවතරණ වේ. ඓතිහාසික කතාවක් සම්බන්ධ කොට පුද්ගල පුනරුත්පත්තියක් ඇසුරෙන් කතාව, දෙබස්. තිර රචනය දේවින්ද විසින් සකසන ලද භවතරණ හි නිළි රැජන මාලිනී ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, චන්දික නානායක්කාර, රොෂාන් රවීන්ද්‍ර, රොෂාන් පිලපිටිය, උදයන්ති කුලතුංග, දර්ශන් ධර්මරාජ්, කංචන කොඩිතුවක්කු, සංකේත් වික්‍රමගේ, කුමුදු නිශාන්ත, බුද්ධික ලොකුකැටිය, ශ්‍රීමාල් වෙඩිසිංහ, තිදස් වික්‍රමසිංහ, ගනේන්ද්‍ර කෝන්ගහගේ, ජගත් වික්‍රමසිංහ ඇතළු නළු නිළියෝ රැසක් චරිත මවති. සජීව් රාජපුත්‍ර සිනමාවට හඳුන්වා දෙන්නේ භවතරණ සමඟිනි.

නවරත්න ගමගේ සහ ජගත් වික්‍රමසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රවීණ් ජයරත්න සංස්කරණයෙන් ද, කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද පරිපාලනයෙන් ද මෙයට එක්විය. නිශාන්ත ප්‍රදීප්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය. කලා අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන සැලසුම්කරණයෙන් මනෝජ් වික්‍රමසිංහ, සමන් ශ්‍රී නාරායන, චින්තක විජේරත්න සහ රොෂාන් වර්ණකුලසූරිය එක්විය. සමීර හසුන්, නාරද රත්නායක, ෂර්ලි සමරසිංහ, අසංක, අසංග සහ සම්පත් සහාය අධ්‍යක්ෂවරුන්ය. නිෂ්පාදන කළමනාකරණයෙන් ගුණතිලක රණවක. ශෂික අබේවික්‍රම, බුද්ධික ලොකුකැටිය සහ සුලෝචන අකලංක දායක විය. නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි. තාක්ෂණික කටයුතු රුවන් කරුණාරත්න, චමින්ද පතිරත්න සහ බුද්ධික සේරසිංහ ගෙනි. නයනි කෝන්ගහගේ ගේ නිෂ්පාදන සම්බන්ධීකරණයකි.

භවතරණ රාජපුත්‍ර වීරසිංහ සහ ශිරාණි කැප්පෙටිපොලගේ නිෂ්පාදනයකි.

කවීශා සිනමාවට හඳුන්වා දෙන සිංග මචං චාලි 30 දා තිරයට

ලාල් වීරසිංහගේ කුලුඳුල් අධ්‍යක්ෂණය

ලාල් වීරසිංහ මුල් වරට අධ්‍යක්ෂණය කළ සිංග මචං චාලි සිනමාපටය මෙම මස 30 වැනිදා සිට එල් එෆ් ඩී සහ එම් පී අයි යන සිනමා මණ්ඩලයන්හි සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරැඹේ. වසර හතරක විරාමයකින් පසුව සිනමාවට එක් වූ ලාල්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය සිංග මචං චාලිය. මෙහි ප්‍රධාන චරිතය මවන කවීශා කාවින්දි සිනමාවට හඳුන්වා දෙන්නේ සිංග මචං චාලි සමඟිනි. කවීශා කලක් මෙරට ඉමහත් ජනාදරයට පත් වූ නිළියක වන ඩිලානි අබේවර්ධනගේ දියණිය වේ.

ලාල් - කවීශා සමඟ ටෙනිසන් කුරේ, සුරාජ් මාපා, අනූෂා දමයන්ති, සැන්ඩෝ හැරිස්, උදයන්ති කුලතුංග, මාක් සැම්සන්, විශාකා සිරිවර්ධන ඇතුළු පිරිස සිංග මචං චාලි රංගන දායකත්වය සපයති.

නාලන්දා සුනිල සර ඉරිදා

කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන සුනිල් එදිරිසිංහ ගීතාවලෝකනය නාලන්දා සුනිල සර ගී සමාධිය. මෙම 20 වැනි ඉරු දින සවස 06.30ට කොළඹ ආනන්ද විද්‍යාලයයීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

කලකට පසුව ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ සුභාවිත ගීත දැහැනකට සමවැදීමට ප්‍රේක්ෂකයන්ට මෙම ප්‍රසංගය හරහා අවස්ථාව ලැබී තිබේ. ප්‍රවීණ සංගීතවේදී සුසිල් අමරසිංහයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන සුනිල සර වසන්ත රෝහණගේ කථනයෙන් ඔපවත් වෙයි.

නාලන්දා විද්‍යාලයීය මලලසේකර රංග ශාලාව ප්‍රතිසංස්කරණ අරමුදලට මුදල් ඒකරැස් කිරීම මෙම ප්‍රසංගයේ අරමුණයි.

ලංකාවෙහි දසදෙස විසිරී සිටින නාලන්දා ආදි ශිෂ්‍යයන්ට සහ සංගීතප්‍රේමී සහෘදයන්ට මෙම ප්‍රසංගය විඳගැනීමට පැමිණෙන ලෙස නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ආරාධනා කර සිටියි.

චිත්‍රපට නිෂ්පාදක ධම්මික සිරිවර්ධන මියයයි

අතිශය ජනප්‍රිය චිත්‍රපට රාශියකින් මෙන්ම ටෙලි නාට්‍ය රාශියක් නිපදවමින් කීර්තියට පත් ආලංකුලම ෆිල්ම්ස් අධිපති ධම්මික සිරිවර්ධන පෙරේදා එනම් 15 වැනිදා අභාවප්‍රාප්ත විය. උදයකාන්ත වර්ණසූරියගේ ආසයි මං පියාඹන්න, පායා එන්න හිරු සේ, සංජය නිර්මාල්ගේ රෝම කැලේ, වී. සිවගුරුනාදන්ගේ කිං හන්තර් චිත්‍රපට නිපද වූ ධම්මික කුස පබා චිත්‍රපටයේ ද සම නිෂ්පාදකවරයකු විය. සුවඳ දැනුණා ජීවිතේ ධම්මික අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය විය.

මුලින්ම ටෙලි නාට්‍ය නිපදවමින් ක්ෂේත්‍රයට පිවිසි ධම්මික, සනත් අබේසේකර නිර්මාණය කළ සඳවතක සේයා, මීදුම වගේ ඇවිදින්, දඹුලුගල සක්මන, ආදරයට වෙස් බැන්දා, අනුහස් විජිතය ඇතුළු ටෙලි නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේය. සිදංගනා ධම්මික අධ්‍යක්ෂණය කළ එකම ටෙලි වෘතාන්තයයි.

ධම්මික සිය නවතම නිෂ්පාදනය ලබන මාර්තුවේ ඇරඹීම සඳහා අධ්‍යක්ෂ උදය කාන්ත සමඟ සැලසුම් කරමින් උන්නේය.

අනුරාධපුර ප්‍රදේ්ශයේ ප්‍රබල ව්‍යාපාරිකයකු ලෙස සිනමාවට පිවිසි ධම්මිකගේ දේහය මේ වන විට අනුරාධපුර ඔහුගේ නිිවසේ තැන්පත් කොට ඇති අතර 18 වැනිදා එනම් හෙට කොළඹ ගල්කිස්ස නිවසට ගෙන ඒමට නියමිතය.

අවසන් කටයුතු 20 දා සිදු කරනු ඇත.

තරුණ සේවාව සිනමා අස්වැන්න නෙළති

දිවයින පුරා විසිරී සිටින තරුණ සිනමාකරුවන්ගේ නිර්මාණ ජාතික තලයට රැගෙන එනු පිණිස ජාතික තරුණ සේවා සභාව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ සිනමා අස්වැන්න, කෙටි හා වාර්තා චිත්‍රපට උලෙළ මේ මස 17 වැනිදා (අද) ආරම්භ වේ. මේ සඳහා කෙටි චිත්‍රපට 15 ක් සහ වාර්තා චිත්‍රපට 12 ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ඇත.

උලෙළෙහි සමාරම්භය අද සවස 3 ට ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරංග වැලි අංගෙ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ. සම්මාන ප්‍රධාමෝත්සවය 20 වැනිදා සවස 6 ට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙනු ඇත.

ලේක්හවුස් කැරොල් හෙට

ලේක්හවුස් ආයතනයේ කතෝලික සහයෝගිතාව විසින් මෙහෙය වන නත්තල් කැරොල් වැඩසටහන දෙසැම්බර් මස 18 වැනිදා සවස 5.30 ට ලේක්හවුස් පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙම ප්‍රසංගයේදී ලේක්හවුස් කතෝලික සංගමයේ සාමාජිකයන් 16 දෙනෙකු විසින් නත්තල් බැති ගී ගායනා ඉදිරිපත් කිරීමට නියමිතය. තවද මෙම වැඩසටහනට කලාශූරී ලතා වල්පොල, ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී සහ නව පරපුරේ ගායන ශිල්පී මාරියෝ ආනන්ද විසින් නත්තල් කැරොල් ගීත ගායනා කෙරෙනු ඇත.