|
|
අනුජ් රණසිංහට ලෝක සම්මානයක්
අනුජ් මොකක්ද මේ තරඟාවලිය? ඒක පළමුව විස්තර කරමු? මේක මිස්ටර් වර්ල්ඩ් වගේ ඉවෙන්ට් එකක්. කඩවසම් බව දැනුම සහ පෞරුෂත්වය යනාදී අංශ යටතේ හොඳම කෙනා තෝරනු ලබනවා. රටවල් විසි අටකින් මේ සඳහා තරුණයෝ සහභාගී වුණා. ඒ ඒ රටවල සංස්කෘතික අංගත් මෙහිදී ඉදිරිපත් කළ යුතුයි. මමත් එහෙම කළා. මට මෙහි සෙකන්ඩ් රනර් අප් වෙන්න ලැබුණේ මං ලංකාවේ විවිධ සමාජ කටයුතුවලට දායක වෙලා තිබුණු හින්දා. ඒ පැත්තෙන් වැඩි ලකුණු මට. කවුද ඔබව මෙම තරඟය සඳහා යොමු කළේ? ප්‍රසන්න පද්මනාදන් මහත්මයා. ඔහු මාව මීට ප්‍රථම මෙවන් වූ තරඟවලට ඉදිරිපත් කළා. ඒවාහි මා ලද ජයග්‍රහණ මතයි ඔහු මාව මේ සඳහා යොමු කළේ. කොහොමද පිලිපීනයේ ඔබ ගත කළ ජීවිතය? බොහොම අපූරුයි. දවස් හතකට අධික කාලයක් එහෙ හිටියා. පිලිපීනයේ සංස්කෘතික අංග, ජන ජීවිතය ගැන බොහොමත්ම දේ ඉගෙන ගන්නට ලැබුණා. හරිම සුන්දර අත්දැකිමක් කියලා කියන්නට පුළුවන්. පිලිපීනයේ කෑම බීම දිරෙව්වද ඔබට? ඒ ගැන නම් කියන්නම ඕනෑ. එහෙ කෑමවලට අනවශ්‍ය විදිහට පැනි දානවා. මස් මාංශවලට පවා පැනි දානවා. මිරිස් කඳුලක් නැහැ. බත් එහෙ තිබුණා. නමුත් අපේ රටේ වගේ නෙවෙයි. බත් ගුලි කරලා කැට විදිහට තිබුණේ. ඒ වෙලාවේ ලංකාව මතක් වෙන්නට ඇති? අම්මේ ඔව්. ඒ හින්ද ද ගෙදරින් පිටත්වෙන්න කලින් බැඳපු හාල්මැස්සෝ පාර්සලයක් ගෙනිච්චේ? ඔය රහස ගැන වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඒත් ඔයාලා කොහොම හරි හොයා ගත්තනෙ. මං පිලිපීනෙට යන්නට කලින් එහෙ ආහාර රටාව ගැන හොයලා බැලුවා. ඊට පසුව කල් තබා ගත හැකි අයුරින් මං අම්මට කියලා සැරට බැඳපු හාල්මැස්සෝ පාර්සලයක් හදාගත්තා. ඒකෙන් තමයි යන්තම් ෂේප් වුණේ. පිලිපීනයේ ඇවිදින්න ගියේ එහෙම නැතිද? ඇවිදින්නට ගියා. ඇත්තටම ඒකත් අමතක නොවන අත්දැකීමක්. මේ ඉවෙන්ට් එකේ සංවිධායක මණ්ඩලය අපව ගමකට යැව්වා. ඒ ගම ඉතාමත් දුෂ්කරයි. අපට හරි හැටි මූලික පහසුකම්වත් ලැබුණේ නැහැ. බොහෝ දෙනෙක් ඒ ගැන පැමිණිලි කළා. නමුත් මං එහෙම මොකවත් කළේ නැහැ. ලැබුණු පහසුකම් ඇති කියලා හිතාගෙන හැම දෙයක්ම දරාගෙන හිටියා. ශ්‍රී ලාංකික අපට ඕනෑම පරිසරයක ඉන්න පුළුවන් කියලා අනෙක් තරඟකරුවන් දැනගත්තේ එදා. ඒ කියන්නෙ අපේ රට ගැන ඒ අය, ඒ කිව්වේ ඔබත් එක්ක තරඟ වැදි තරඟකරුවෝ වැඩිපුර දැනගෙන හිටියේ නැතිද? නැහැ. මං ඔවුන්ට අපේ රට ගැන නොයෙක් දේ කියමින් හඳුන්වා දෙන්න හැදුවා. නමුත් ඔවුන් වඩාත් ලංකාව ගැන දැනගත්තේ ක්‍රිකට් ටීම් එක පිළිබඳ කිව්වාමයි. සංගක්කාර ගැන හොඳටම දන්නවා. මං ගෙනිච්චා කීටැග් වගයක් ලංකාවෙ හැඩ තියෙන. ඒවා හදලා තියෙන්නේ පොල්කටුවලින්. ඒ කීටැග් හරහායි මං ඔවන්ට ලංකවේ හැඩය පෙන්නුවේ. පුංචි රටකින් පැමිණි කෙනෙකු හින්දා ඔබට විවිධාකාරයේ කෙනෙහිලිකම්වලට ලක්වන්නට සිදු වෙන්නට ඇති? ලොකුම දේවල් වණේ නැහැ. ඒ වුණාට මෙහි පළමුවෙනියා වුණු කෙනා පොඩ්ඩක් ලොකු සීන් දැම්මා. එත් මං ඒවා ගණන් ගත්තේ නැහැ. රට රටවලට ආවේණික අංග ඉදිරිපත් කිරීමේදී ඔබ මොනවද ඔවුන් ඉදිරියේ ගෙනහැර පෑවේ? මං තේමාව කර ගත්තේ අපේ රාවණ රජතුමාව. එතුමාගේ රජ ඇඳුම මං ඉදිරිපත් කළා. මට එය සාදා නිම කොට දුන්නේ ඇඳුම් නිර්මාණවේදී වෙනුක වික්‍රමආරච්චි. මගේ ඒ ඉදිරිපත් කිරීමට ඉහළ ප්‍රතිචාර ලැබුණා. මං ඒ වෙනුවෙන් හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය ද ගත්තා. ඒ වගේම මං තවත් අංගයක් ඉදිරිපත් කළා. ඒ සාම්ප්‍රදායික සටන් කලාව ආශ්‍රයෙන්. එය සඳහාත් බෙස්ට් ටැලන්ට් ලෙස අභිසෙස් ලැබුවා. මට ඒක පුහුණු කළේ සඳුන් ප්‍රනාන්දු. ඔවුන් ඔබ නළුවකු කියලා දැනගෙන හිටියද? මට මෙ තරඟාවලියට සහභාගී වන්නට පෙර මෙහි තරඟකරුවන් කිහිප දෙනෙකු ෆේස්බුක් මාර්ගයෙන් හඳුනාගෙන හිටියා. ඔවුන් මං නිතර අප්ඩේට් කරන මගේ තොරතුරු සහ ෆොටෝස් දැකලා තිබුණා. ඒ හින්දා මං නළුවකු කියලා කිහිප දෙනෙක් දැනගෙන හිටියා. මං නළුවකු වීම මේ තරඟාවලියට වාසියක් හෝ අවාසියක් වුණේ නැහැ. මෙරට ජනප්‍රිය පළතුරක් වන දූරියන් එහෙදිත් ඔබට ලැබුණා කියලා ආරංචියි? ඒ රටේ දූරියන් මෙහෙ ඒවට වඩා කහ පැහැතියි. මං විතරයි තරඟකරුවන් අතර දූරියන් කන කෙනෙකුට හිටියේ. මට දූරියන් ලැබුණු වෙලාවේ මං ඒක කද්දී එක් කෙනෙකුවත් ළඟ හිටියේ නැහැ දූරියන් සුවඳට. මෙම තරගාවලියට අමතරව ඔබ ඒ රටේදී තව මොනවටද සහභාගී වුණේ? අපිව ටී. වී. ප්‍රෝගෑම්වලට එක්කගෙන ගියා. ඒකත් හොඳ අත්දැකීමක්. එහිදී අපට ගේම් ෂෝවලට සහභාගී වන්නට අවස්ථාව ලැබුණා. වෙනත් රටක ටී. වී. චැනල් එකක ඉන්නට අවස්ථාව හිමිවෙනවා කියන්නේ ඉතාම විරළ අවස්ථාවක්නෙ. ඒ රටේදිවත් ඔබගේ හිතට හරියන කෙනෙක් මුණ ගැසුණේ නැද්ද? ඒ රටේ ගැහැනු ළමයින්ගේ මුහුණේ සොභාවයට මං කැමති නැහැ. අනික මං කවදා හරි බඳින්නේ අපේ රටේ කෙනෙක්. ඒ වුණාට එහිදී ඔබ තමයිලු කාන්තා ආකර්ෂණයට වැඩියෙන්ම ලක් වුණේ? වැඩියෙන්ද අඩුවෙන්ද මන්දා. කාන්තා ආකර්ෂණයට නම් ලක් වුණා. විශේෂයෙන් මං ජාතික ඇඳුම ඇඳගෙන ඉන්න කොට. වැඩිපුරම ගැහැනු ළමයි කිව්වා ඒ ඇඳුමට මං හරි හැඩයි කියලා. මේ තරඟාවලිය නියෝජනය අවසන් කරමින් යළි මව රට බලා එන කොට මොනවද ඔබට හිතුණේ? මම මගේ රටට යම් ගෞරවයක් ගෙනාවා. එදා බොහෝ දෙනෙකුගේ මුවෙහි ශ්‍රී ලංකා කියන නම තිබුණා. මට ඒ ඇති. අපේ පුංචි රටට ගෙනා කීර්තියට මට හරිම සතුටුයි. ඒ වගේම ලංකාව තව තවත් ගෞරවයට පත් කිරීමට මං කැමැත්තෙන් ඉන්නවා. මේ වගේ ආදරයක් චිත්‍රපටයෙන් පසුව ඔබව අප සැලකිය යුතු නිර්මාණයකින් දුටුවේ නැහැ. තව ටික දවසකින් අලුත් නිර්මාණයකට එකතුවෙන්න ඉන්නවා. ඒ විස්තර ඉදිරියේදී කියන්නම්. නිතර පෙනී නොඉඳ හොඳ නිර්මාණයකින් ඉඳහිට ප්‍රේක්ෂකයන් හමුවන්නයි මගේ අදහස.
|



චන්ද්‍රන් රත්නම් නිර්මාණය කළ මේ වගේ ආදරයක් චිත්‍රපටය සමඟ තිරයට හඳුන්වා දුන්
අනුජ් රණසිංහ පසුගියදා මෙරට ජගත් කීර්තියට පත් කෙරුවේය. ඒ පිලිපීනයේ පැවති මිස්ටර්
පෑන්කොන්ටිනෙන්ටල් තරඟයේ සෙකන්ඩ් රනර් අප් බවට පත් වෙමිනි. සතියක පමණ කාලයක් එහි ගත
කරමින් ලංකාවට පැමිණි අනුජ් අප හා එම ඉසව්වේ අත්දැකීම් බෙදා ගත්තේ මේ අයුරිනි.