|
මා දුටු ගෝව
ජීවිතයේ එක් වරක් හෝ විඳ ගත යුතු සිනමා අත්දැකීම
කල්‍යාණ චන්ද්‍රසේකර පන්ජිම් නගරයේ සිට
සිනමා රසිකයකුට හෝ සිනමාකරුවකුට හෝ කලාතුරකින් ලබාගත හැකි වන අපූර්වතම අත්දැකීමක් ලබා ගැනීමට මා හට හැකි විය. ඒ ගෝවේ අගනුවර වූ පාන්ජිම් හි පැවැත් වූ 46 වැනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල සහභාගිවීමේ භාග්‍යයයි. ඒ භාග්‍යයෙන් උදම්ව මෙය ලියන මොහොතේදී ද මා හට සිහිපත් වනුයේ එහි ඇති චමත්කාරයයි. ජාත්‍යන්තර සිනමා උලෙළවල් හා සසඳද්දී ලොව ඉහළ පෙළේ සිනමා උලෙළක් වන ගෝව සිනමා උලෙළ ඇත්තෙන්ම සැනකෙළියකි. රසිකයන්, සිනමාකරුවන්, මාධ්‍යවේදීන් පිරිවරාගෙන මනා සංවිධානාත්මකව පවත්වන ගෝව සිනමා උලෙළේ අපගේ සිනමාකරුවන්ට ලෝක සිනමාව පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමට හැකි මහඟු අවස්ථාවකි. ගෝව සිනමා උළෙලේදී මා ලැබූ සිනමා රස වින්දනය මෙලෙස සරසවිය පාඨකයන්ට ද ලබාදීමට හැකි වීම පිළිබඳව මා සිත ඇත්තේ බලවත් සතුටකි. සාමාන්‍යයෙන් අප වාර්තා චිත්‍රපට නැරැඹීමට එතරම් ඇල්මක් දක්වන්නේ නැත. එහෙත් මෙවර එම සිනමා උළෙලේදී නැරැඹූ ඩෝටර්ස් ඔෆ් මදර් ඉන්දියා (DAUGHTERS of MOTHER INDIA) වාර්තා චිත්‍රපටය වාර්තා චිත්‍රපටකරණයෙන් ඔබ්බට ගිය සිනමාකරණයකි. විභා බාක්ෂි විසින් අධ්‍යක්ෂණය කර ඇති ඩෝටර්ස් ඔෆ් මදර් ඉන්දියා චිත්‍රපටය තුළින් කියවෙන්නේ 2012 වර්ෂයේදී වෛද්‍ය සිසුවියක් සමූහ දූෂණයක් සමඟ ඝාතනයට ලක්වීමේ කතා පුවතයි. මේ තුළින් විභා බාක්ෂි ඉන්දීය ජන සමාජය දූෂණයට එරෙහිව නැඟී සිටීමේ අවශ්‍යතාවය සහ ඒ තුළින් ඉන්දීය යුවතියන්ගේ ආරක්ෂාව පිළිබඳව කතා කරනුයේ පේ්රක්ෂකයාගේ හැඟීම් ඉස්මතු කරමින් මනා සංයමයකින්ය. උළෙලේ මා දුටු තවත් හැඟීමබර චිත්‍රපටයකි සෝරා බ්‍රිජ් (SOHRA BRIGE) චිත්‍රපටය. මෙය බෙංගාලි චිත්‍රපටයකි. කාව්‍යයක් බඳු මනා රූප රාමුවලින් ද අවස්ථානුකූල සංගීිතයෙන් ද ඔපවත් වූ සොහාරා බ්‍රිජ් නිහාරිතා සිංගේ රංගනයෙන් වඩ වඩා ඔපවත් විය. දුරකතර ගෙවා තම පියා සොයා එන යුවතියක් ලෙස නිහාරිතා සිං කරන රංගනය සිනමා රසිකයනට කාලයකට අමතක නොවනු ඇත. කදම්බරි මා දුටු තවත් බෙංගාලි සිනමාපටයකි. කදම්බරි දේවිගේ සියදිවි නසා ගැනීම ඇසුරෙන් තනා ඇති මෙය බෙංගාලි ජන සමාජයේ පවතින අඳුරු පැතිකඩක් මනාව ඉස්මතු කරවයි. ළාබාල යුවතියක් වැඩිමහල් පුද්ගලයකු හා දීග දීම බෙංගාලි ජන සමාජයේ පැවත ආ සිරිතකි. එහෙත් මේ කාදම්බරි ඇයගේ වයසේ පසුවන සැමියාගේ සොහොයුරා සමඟ ඇති වන ආත්මීය බැඳීම මනාව පාලනය කර ගනිමින් ආදරයේ විරහා වේදනාව විඳ දරා ගැනීමට ගන්නා ප්රයත්නය සිනමාකරු සුමන් ගෝෂ් විසින් රූපයට නඟනුයේ රසික නෙතට කඳුළක් එක් කරමිනි. මෙහි කොන්කොනා සෙන් ශර්මා පාරම්බාරාටා, ඩට්ටෝපදියා, කෞශික් සෙන්, සන්ජෝයි රංගනයෙන් දායක වී ඇත. ෆ්ලොකින් (FLOCKING) ඉන්දීය සිනමා උළෙලේදී තිරගත වූයේ සිනමා ලෝක සිනමා වර්ගීකරණය යටතේය. ස්ටිඩ්න් චිත්‍රපටයක් වන මෙය බීටා ගාර්ඩ්ලර් විසින් අධ්‍යක්ෂණය කර ඇත. ෆැටිමේ මුගේමි, ජෝන් රිස්ටෝ, ඊවා බෙලන්ඩර් රංගනයෙන් දායක වී තිබිණ. 14 හැවිරිදි ජෙනිෆර් නම් යුවතිය සිය පන්ති සගයකු විසින් දූෂණය කිරීමත් ඒ නිසා ජෙනිෆර් පත් වන මානසික පීඩාවන් මේ තුළින් විග්රහ කර තිබිණ. ඉන්දීය චිත්‍රපට උලෙළේදී තිරගත වූ තවත් ජෝර්ජියා චිිත්රපටයකි ද සමර් ඔෆ් ෆ්රෝසන් ෆවුන්ටන්ස් (THE SUMMER OF FROZEN FOUNTAINS) චිත්‍රපටය. ඇන්ඩ්‍රියස් පෝල් විකියුස්, නුට්යා කුස්හියාන්ඩ්ස්, ලා සුක්හිරට්සවිලි, නටෝ මුර්වන්ඩ්ස් රඟන මෙය වෑන් බ්රර්ඩ්රලිගේ අධ්‍යක්ෂණයකි. හිම කඳු දියවෙන වසන්ත සමයක ඔවුන් ජීවිතයේ නව අරුත් සොයා යයි. හිම කඳු දිය වෙන්නාක් මෙන් ඔවුන්ගේ ජීවිත ද වෙනස් වෙයි. මේ ද සමර් ඔෆ් ෆ්රෝසන් ෆවුන්ටන්ස් කතා තේමාවයි. 1943 වර්ෂයේදී බල්ගේරියාවේ යුදෙව් පවුලක් මුහුණපාන අඳුරු අත්දැකීමක කතා පුවතක් රැගත් බල්ගේරියන් රුප්සෝඩි (BULGARIAN RHAPSODY) චිත්‍රපටය බල්ගේරියා, ඊශ්‍රායෙල් සහ ජර්මනිය එක්ව කළ හවුල් නිර්මාණයකි. යුදෙව් පවුල් 11343 ක් දුම්රියක සිර කර පිටුවහල් කිරීම අළලා තනා ඇති මෙම චිත්‍රපටය ද උලෙළේදී තිරගත වූ සංවේදී චිත්‍රපටයකි. මෙය අයිවන් නිට්චේව් ගේ අධ්‍යක්ෂණයකි. ලයිබ්රින්ස් ඔෆ් ලව් (LABYRINTH OF LOVE) තිරගත වූ තවත් ජර්මන් චිත්‍රපටයකි. මාධ්‍යවේදියකු තම ගුරුවරයා පැරැණි නාසි සොල්දාදුවකු බවට හඳුනා ගැනීමත් ඒ තුළින් ඇතිවන විපර්යාසයත් ලයිබ්රින්ස් ඔෆ් ලව් චිත්‍රපටය තුළින් කියවේ. ඇලෙක්සැන්ඩර් ෆෙච්ලිත්, ඇන්ඩ්‍රේ සියමනස්ති, ගර්ට් ටෝස්, ජෙහාන් වොන් බුලෝ සමඟ ෆෙඩ්රික් බීචට් රංගනයෙන් දායක වී ඇත. මෙය ජාත්‍යන්තර සිනමාව වර්ගීකරණය යටතේ තිරගත වූ චිත්‍රපටයකි. ගෝව චිත්‍රපට උලෙළේදී මා දුටු මිහිරිම අත්දැකීම ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ නිල භාෂාව වන කොන්කර්නි භාෂාවෙන් නිර්මාණය කර තිබූ හන්ච් ට්‍රම් ට්‍රම් හන්ව් (HANV TUM TUM HANV) චිත්‍රපටයයි. හාස්‍ය සමඟ මානුෂිකත්වය එක් කර මියුරු සංගීතයෙන් ඔපවත්ව නිර්මාණය කර තිබූ මෙම කොන්කර්නි චිත්‍රපටය මා එම භාෂාවෙන් දුටු ප්‍රථම චිත්‍රපටය වන අතර මෙවන් විවිධ භාෂාවන්ගේ චිත්‍රපට මෙරට රසිකයනට රස විඳීමට සැලැස්වීමට අදාළ බලධාරින් උත්සාහ කළ යුතුය. උලෙළේ තිරගත වූ ලංකාව නියෝජනය කළ ප්‍රේමය නම් චිත්‍රපටය නැරැඹීමට මා හට නොහැකි වූයේ මා විසින් අධ්‍යක්ෂණය කළ නටන් නැතිව දින්නා චිත්‍රපටයේ මුල් පිටපත රැගෙන ඒමට මුම්බායි නගරයට යෑමට සිදු වූ නිසාය. මෙය මා හට මහත් වේදනාවක් විය. මෙබඳු ජාත්‍යන්තර සිනමා අත්දැකීමක් ලබන වසරේදීත් නැරැඹීමට කැමති රසිකයනට හෝ සිනමාකරුවන් සිය ක්ෂේත්‍ර සුදුසුකම් (IFFIGOA) වෙබ් අඩවියට ගොස් එහි ඇති අයැදුම්පත පිරවීමෙන් ඔබටත් 47 වන ගෝව ඉන්දීය ජාත්‍යන්තර සිනමා උලෙළට සහභාගිවීමේ අවස්්ථාව උදා කරගත හැකිය. මෙය සෑම වසරකම නොවැම්බර් විසි වැනිදා සිට 30 දා දක්වා පැවැත්වේ. මේ චමත්කාරය විඳගන්න අපගේ සිනමාකරුවන් ද වගබලා ගන්නේ නම් එය ඔහුට හෝ ඇයට සිනමා පාසලක් නැති අඩුව තරමකට හෝ මඟහරවා ගත හැකි වනු ඇත. |