වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




වයි - ෆයි යනෝ! ලයි - ෆයි එනෝ!

වයි - ෆයි යනෝ! ලයි - ෆයි එනෝ!

ඕක දීපං ළමයෙකුට

හයි ෆයි පොරවල් යනුවෙන් ඒ කාලේ අපි හැඳින්වූයේ අපට වඩා ඉහළින් සිටි ලොකු මිනිස්සුන්ටය. එහෙත් හයි ෆයි කියන්නේ හොඳම ශබ්ද රටාවන්ය. නැතහොත් ශබ්දයේ විශ්වාසය පිළිබඳවය. හයි ෆයි සෙටප් හරහා ගෙවල් දොරවල්වල සුපැහැදිලි සංගීතය දොරේ ගලාගෙන ගියේ්ය. දැනට වසර කිහිපයකට සිට හයි ෆයි කොයි හැටි වෙතත් වයි ෆයි වේගයෙන් බෝවිණ. ඒ කෙතරම් ද යත් රට පුරා වයි ෆයි කලාප බිහිවිය. රැහැන් රහිතව පරිගණක ක්‍රියා පද්ධතිය හරහා දත්ත සපයන වයි ෆයි රටාව මුලින්ම හඳුන්වා දෙන ලද්දේ 1972 වුවත් එය ලොව පුරා පැතිරෙන්නට ගත්තේ 2009 වසරෙන් පසුවය. දැන් වයි ෆයි පැත්තකට දමන යුගයක් තව නොබෝ දිනකින් එළඹෙනු ඇත. ඒ ලයි ෆයි මෙලොවට බිහිවීමත් සමඟය. ලයි ෆයි යනු වයි ෆයිවලට වඩා සිය ගුණයක වේගයෙන් යුතුව දත්ත සපයන නවතම රටාවයි. ඹ්ඪඨඩබ ජ්ඪඤඥතඪඤර නැමැති මෙම වචනයට ආචාර්ය එඩ්වින් ආරියදාසයන් පවසන්නේ ලඝු විශ්වාසය යනුවෙනි'. එය ලඝු වන්නේ වේගය අතින් ඉතා ඉහළ වූවත් ක්‍රමෝපාය අතින් එය සරල ක්‍රමවේදයක් නිසාය. මේ ලිපිය හයි ෆයි, වයි ෆයි හෝ ලයි ෆයි ගැන නොවේ.

එහෙත් මෙහි අරමුණ මේ අලුත් වෙනස්කමට මෙරට සිනමාව සූදානම් ද යන ගැටලුව විමසීමටයි. 2009 දී වයි ෆයි හඳුන්වාදීමත් සමඟ ලෝකයේ ජීවන රටාවන් සියල්ල එකවර වෙනස්ව ගියේය. චිත්‍රපට නැරඹීමේ සම්ප්‍රදායන් උඩු යටිකුරුව ගියේය. රැහැන් රහිත දත්ත හරහා චිත්‍රපට නිවසට ගලා ආයේය. ලෝකයේ නව පරපුරේ සිනමාකරුවන් සිය චිත්‍රපට බෙදා හැරීම වඩාත් ප්‍රබල අන්දමින් ගොඩ නංවන්නට මෙම නව තාක්ෂණය ඔවුහු උපයෝගී කොට ගත්හ. සම්ප්‍රදායික සිනමා ප්‍රදර්ශන ජාලයට එය විශාල අභියෝගයක් විය. එතුවක් වීඩියෝ හෝ ටෙලිවිෂන් ජාල ඔස්සේ පමණක් ගොඩ නැගුණු විකල්ප සිනමාව ලොව පුරා පැතිරුණේ එයින් පසුවය. වඩා වේගයෙන් දත්ත බා ගැනීම සඳහා අන්තර් ජාල සේවා සපයන්නන් අතර පැවැති තරගය ඔස්සේ ග්‍රාහකයන්ගේ ලෝකය වඩා පුළුල් වූයේය.

සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන් ඉතා සහයෝගයෙන් කටයුතු කරන්නන් හැටියට පතලය. කොහොමටත් ලෝකය වැඩියෙන්ම සිනාසෙන මිනිසුන්ගේ රටක් ලෙස අපට ඇත්තේ ඉහළ අගයකි. දුර ගමනක් යන නන්නාඳුනන මිනිසුන් එකිනෙකා කතාවට වැටී අන්තිමට දීග මඟුල් ගොඩ නගා ගෙන කෙළවර කර ගන්නා ස්වරූපය ඇත්තේ අපේ මිනිසුන්ගේ සුහද කතා බහ ඔස්සේය. එහෙත් පසුගිය වසර කිහිපය ඇතුළත අපේ රටේ පවා මිනිසුන් එකිනෙකා හුදකලා වන්නට පටන් ගත් වග නොරහසකි. ඉයර්ෆෝන් කණේ රඳවාගෙන බස් රියට, දුම්රියට ගොඩ වදින ඔවුහු යාබද අසුනේ සිටියවුන් ගැන තැකීමකින් තොරව ගමන් කරති. වයි ෆයි පොදු වාහනවලදී පමණක් නොව නිවාස අභ්‍යන්තරයේ පවා එකිනෙකා හුදකලා කිරීමට සමත් විය. බෙදා ගෙන කිය වූ පත්තරය වෙනුවට ටැබ් එකට රිංගූ පත්තරය පවුලේ සාමාජිකයන් පවා දුරස්ත කරන්නට පටන් ගත්තේය. යුරෝපයේ හුදකලා මිනිසුන්ගේ පාළුව සඳහා ප්‍රයෝජනවත් වූ එකී ජීවන ශෛලිය සහයෝගයෙන් කටයුතු කළ අපේ මිනිසුන්ගේ ජීවන රටාව හුදකලා කර වූයේය. එය හොඳ ද නරක ද යනුවෙන් තර්ක කිරීම මගේ අරමුණ නොවේ.

ඒ සමඟ සිදු වූ සිනමාවේ විපර්යාසයන්ට ද එය බලපෑ අන්දම විග්‍රහ කිරිමය. එකල ටෙලිවිෂනය හා සිනමාව අතර ඇති බරපතල වෙනස්කම විග්‍රහ කරන ලද්දේ එකක් එහි තාක්ෂණය අනුවය. දෙවැන්න රස වින්දනයේදී එය පොදු හා පෞද්ගලික යනුවෙනි. සිනමාව පොදු රස වින්දනය සඳහාය යන්න එකල පිළිගැනීම විය. එහෙත් නූතනයේදී සිනමා ශාලාවලට ගොඩ වදිනවාට වඩා විශාල ප්‍රේක්ෂක සමූහයක් එය පෞද්ගලිකව රස විඳින්නට සමත් වෙති. ලෝකයේ බොහෝ රටවල සිනමාව මෙම සමාජ පරිණාමය අල්ලා ගත්ත ද එය මෙරට සිනමා බලධාරින්ගේ අවධානයට යොමු නොවීය. සාමාන්‍ය ගෘහස්ථ ප්‍රේක්ෂකයා වී. එච්. එස්. කැසට් පටයේ සිට ඩී. වී. ඩී. හෝ එයටත් එහා ගිය බ්ලූ-රේ තාක්ෂණයට පුරුදු වෙද්දී, අපේ සිනමාව තවමත් කඹ අදිමින් පවතින්නේ වඩා හොඳ ප්‍රේක්ෂක රසාස්වාදය සැපයිය හැක්කේ කවර රූපීය චාරිකාවන් ගැන ද යන්න විමසමිනි. එහිදී වඩා හොඳ දෙය රසිකයනට දෙනවාට වඩා බලාපොරොත්තුවනුයේ ලාභ දේ දීම යන්න සිනා උපදවන කරුණකි.

මෙම සන්නිවේදන තාක්ෂණයේ ඇති දියුණුව නැතහොත් තරුණ පරම්පරාව සිනමාව ග්‍රහණය කර ගන්නා රටාව පිළිබඳ විධිමත් අධ්‍යයනයක යෙදෙන්නකුට ලාංකික සිනමාව පිළිබඳ තව වසර දෙකකදී ලියන්ට ඉඩ ලැබෙතොත් ලියන්නට වනුයේ වෙනම කතාවකි. ඉතාම සරලව කිවහොත් අප පසුගිය දශක දෙක තුනකට පෙර විහිළු කතා සොයා ගත්තේ ගුවන් විදුලි නාටක ඔස්සේය. මුවන්පැලැස්සේ කෝරළේ මහත්තයාගේ මෙන්ම පිනාගේ කියුම් එකල ජනවහරට ගියේය.

ජනප්‍රිය චිත්‍රපටවල ඇති හාෂා දෙබස් ද එලෙසමය. දොන් සිරිසේනගේ ඇති සීදේවි අහක වෙලා, බන්දු සමරසිංහ හා විමල් කුමාර් ද කොස්තාගේ උඹේ ගඳ බං වැනි වදන් ඒ ඒ වකාවානුවල ජනී ජනයාගේ බස් වහරට එකතු වූයේ චිත්‍රපට හරහාය. ඊළඟට එම තැන ගත්තේ ටෙලිවිෂණයයි. ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ පට් පට් සම්තිං අපට ගෙනාවේ ටෙලි නාට්‍යයි. එහෙත් වර්තමානයේදී එබඳු වදන් ගෙන එන්නේ අන්තර්ජාලයයි. ඉතා මෑතකදී ජනී ජනයාට ළං වූ 'ඕක දීපං ළමයෙකුට' යන වදන් පෙළ පැතිර ගියේ අන්තර් ජාලය හරහාය. බොහෝ හාස්‍යෝත්පාදක කථා අභිබවා 'ගප්පියා' ගේ විකට වැඩසටහන් පෙළ ගැසුණේ අන්තර් ජාලය හරහාය. එපමණක් නොව රූප තම ආත්ම ප්‍රකාශනයෙහිලා සලකන අලුත් පරම්පරාව ඉතා හොඳින් තම ප්‍රකාශන ලෝකයට ගෙන යනුයේ අන්තර් ජාලය හරහාය. ඉතා මෑතක මා දුටු ගූගල් දැන්වීමක තිබුණේ තවදුරටත් බ්ලූරේ ගෙදර එකතු කිරිම පදනම් විරහිත බවය. ගූගල් විසින් රැස් කරන ලද බ්ලූ-රේ චිත්‍රපට අන්තර්ජාලය හරහා ලබා ගත හැකි වගය. ලයි - ෆයි තාක්ෂණය එම මනදොල ඉතා හොඳින් වපුරනු ඇත.

එය චිත්‍රපට නිෂ්පාදනයට පමණක් නොව බෙදා හැරීමට ද බලපානු බව නියතය. තුන්වන ලෝකයේ දිළිඳු සිනමාවක් ඇති ලංකාව වැනි රටවල ජනප්‍රිය සිනමාව අභිබවා කිසිදු නිර්බාධ වෙළඳ ගිවිසුමකින් තොරව ලෝකයේ තැනෙන දැවැන්ත චිත්‍රපට අපේ සිනමා වෙළඳපොළ අත් කර ගනු ඇත. සිනමා ශාලා ග්‍රහණය කර ගත යුත්තේ එම සිනමාව අතික්‍රමණය කරන චිත්‍රපට පමණි. එය දේශීය ජනප්‍රිය සිනමාවේ පැවැත්ම සඳහා විශාල බලපෑමක් ඇති කරනුයේ එය සතුව සිටින වෙළෙඳපොළ ද හෙමිහිට පටුවන හෙයිනි. එය මේ වන විට ද අප අත් විඳින සත්‍යයකි. 2014 හෝ 15 වසර ඇතුළත මෙරට තිරගත වූ චිත්‍රපට නිෂ්පාදකයන්ගේ හෘද සාක්ෂිය එයට සාක්කි සපයන්නේය. එහෙත් මේ නිෂ්පාදකවරුන්ට අනුක්‍රමයෙන් පටුවන පොදු වෙළඳපොළ ග්‍රහණය කර ගැනීමේ ක්‍රමවේදයක් තවමත් අප සතුව නැත.

ඕක දීපං ළමයෙකුට යන කියමන හරහා ඉස්මතු වන ප්‍රධානම මතවාදය වනුයේ මේ නව ක්‍රමවේද පරණ හණමිටි අදහස් සමඟ ගලපා ගත නොහැකි වීමය. එය වඩා හොඳින් අවබෝධ කරගෙන සිටිනුයේ තරුණයෝය. ඔවුනට එය මැජික් එකක් නොවේ. තවමත් අපට අමුතු තොරතුරු තාක්ෂණයේ බල මහිමය වටහා ගෙන එයට අනුව හැඩ ගැසෙන්නට අලුත් පරම්පරාවේ ගැටවරයෝ දනිති. ඔවුන්ගේ ජීවිතය හුදකලා වුව ද එම ලක්ෂණ හරහා ලෝකයේ සිනමාව ආමන්ත්‍රණය කළ හැකි වග මේ බහුතරය වටහා ගෙන සිටිති. එයට මාර්ගය සකසා ගත යුත්තේ පොදු බලධාරීන්ය. 1972 ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීමේදී පවා ඒ වන විට ලෝක සිනමාවේ පැවැති යථාර්ථය අප වටහා ගෙන තිබුණේ නැත. එසේ තිබිණි නම් 1979 වසරේදී ටෙලිවිෂණය සඳහා අප මුහුණ දෙන ක්‍රමවේද එයට වඩා වෙනස් වන්නට තිබිණි. එබඳු තීරණයක් මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගන්නට සැරසීමක් වැනි යැයි එදා ලෝකය පැවැති ආකාරය අනුව කෙනෙකුට හැඟුණොත් එක් ආකාරයකට සාධාරණය. එහෙත් අද ලෝකය පවතිනුයේ එබඳු යුගයක නොවේ. මුහුදට හත් ගව්වක් ළං වන්නට කලින් සුනාමිය හත් ගව්ව තරණය කරන යුගයකය.

එබැවින් අපේ සිනමාව අනාගතයට සැරසෙද්දී තවදුරටත් සිතා බැලිය යුතුය. ඒ සිනමාවට පෙරාතුව ප්‍රේක්ෂකයන් ඉදිරියට යන යුගයක් මතු වන හෙයිනි. නැත්නම් එදාට ඕක දීපං ළමයෙකුට යැයි අපට කියන්ට බැරිකමක් නැත.