|
N E W Sජනපති, අමරදේව ගායන සුසංයෝගය
පණ්ඩිත් අමරදේවයාණන් සමඟ ගීයක් ගැයීම කෙනෙකුට හිමිවන අතිශය දුර්ලභ අවස්ථාවක්. ඒ වගේම එවැනි වූ දෙයකට වාසනාව ද අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එවන් වූ වාසනාවන්ත මොහොතකට අපගේ ජනාධිපතිතුමන් වන මෛත්‍රිපාල සිරිසේන මහතාට අවස්ථාව උදා වුණා. ඒ අමරදේවයාණන්ගේ අසූ අට වැනි ජන්ම දිනය නිමිති කර ගනිමින් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැති සසර වසනතුරු ප්රසංගයේදී. එහි ප්‍රධාන ආරාධිතයා වුණෙත් අපේ ජනාධිපතිතුමා. එතුමා අමරදේවයාණන් සමඟ ගැයුවේ පිලේ පැදුර හේනට අරගෙන යනවා කියන ගීතයයි. අමරදේවයන්ගේ දියණි සුභානි අමරදේව සහ සමන් ආතවුදහෙට්ටි යන අය ඊට අත්වැල් ගායනය සැපයුවා. අනතුරුව නැවතත් ජනාධිපතිතුමා අමරදේවයාණන් හා ගැයුවා. ඒ ශාන්ත මේ රෑ යාමේ ගීතය. මේ එම අවස්ථාව සේයාරූගත වූ අයුරුයි.
ආචාර්ය නුවන් නයනජිත්ගේ ‘අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ’ අද ජනගත වේ
ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් රචිත අභිනව ශාස්ත්‍රීය ග්‍රන්ථය 'අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ' මෙම මස 10 වැනිදා එනම් අද සවස 3 ට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය (කොළඹ 07 ඇල්බට් චන්ද්‍රවංකය) පණීභාරත රංග ශාලාවේදී ජනගත වේ. හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන පද්ම ශ්‍රී ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගේ අපදානය සහ ශාස්ත්‍රීය අධ්‍යයන මෙම ග්රන්ථයට ඇතුළත්ය. පිටු 1000 කට ආසන්න මෙහි අමරදේවයන්ගේ විරළ සේයාරූ විශාල ගණනක් මෙයට අන්තර්ගත වීම විශේෂත්වයකි. උලෙළේ ප්‍රධාන දෙසුම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙනි. පිළිගැනීමේ දෙසුම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි විසින් පවත්වනු ලබයි. මහාචාර්ය කෝලිත භානු දිසානායකගේ නිර්මාණශීලී දායකත්වයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වන සංගීත සහ නර්තනාංග රාශියකින් ද උලෙළ සමන්විතය. පූරක දායකත්වය වජිර ජයවර්ධන සහ පාරමී රණසිංහගෙනි. උලෙළේ පිටපත උපුල් ගුරුගේගෙනි. 'අමරදේව: මහා ගාන්ධර්ව විබුධයාණෝ' ග්‍රන්ථය ෆාස්ට් පබ්ලිෂින් (සුරස) ප්රකාශනයකි. මෙය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම ආචාර්ය (P.h.D.) උපාධිලාභී නුවන් නයනජිත් කුමාරගෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති අමරදේවයන් හට පිරිනැමෙන ශාස්ත්‍රීය ග්රන්ථයකි. ආචාර්ය නුවන් නයනජිත් සරසවිය නියෝජ්‍ය කර්තෘවරයෙකි.
පේ‍්‍රමකීර්ති නමින් වෙබ් අඩවියක්
නැසීගිය ප්‍රවීණ ගී පද රචකයකු මෙන්ම නිවේදකයකු ද වන පේ‍්‍රමකීර්ති ද අල්විස් සිහිපත් කරමින් පේ‍්‍රමකීර්ති ද අල්විස් නිල වෙබ් අඩවිය www.premakeerthidealwis.org විවෘත කිරීම සහ හද ගී පොතේ පද රස වින්දන වර්ණ ප්‍රසංගය අද දින (10 වැනි) දා ප.ව 6.00 ට මහරගම යොවුන් රඟහලේ දී පැවැත්වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන මේ කටයුත්තේ දී නිල වෙබ් අඩවිය විවෘත කරන්නේ ද ජනාධිපතිතුමාගේ සුරතිනි. + එදිනට පේ‍්‍රමකීර්ති ලියූ ගී පද 200 ක් ඇතුළත් “නොසැලෙන් ඉන්ද්‍රකීලයක් සේ සහ තවත් කවි” නම් කෘතිය එළි දැක්වීම ද සිදුවෙයි. මේ හද ගී පොතෙන් පදරස වින්දන වර්ණ ප්‍රසංගය සංගීතවේදී ලාල් ආනන්ද අබේධීර ඉදිරිපත් කරන අතර ප්‍රවීණ ගායික ගායිකාවන් මෙයට සහභාගි වෙයි. මෙහි සංගීතය ගුවන් විදුලි වාදක වෘන්දයෙනි.
එමිනන්ට්ස් සංගීතයට ‘ත්රීතාල යාත්‍රා’ 11 වැනිදා
සුමිත් ප්‍රියංකරගේ එමිනන්ට්ස් සංගීත කණ්ඩායමේ මියුරු සංගීතයෙන් හැඩ ගැන්වෙන ත්රීතාල යාත්‍රා ප්‍රසංගය මෙම මස 11 වැනිදා සවස කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත් වෙයි. කරුණාරත්න දිවුල්ගනේ, සේනානායක සහ ශෂිකා නිසංසලා මෙහිදී ගීතවත් වේ. ඉන්ද්‍රසිරි සුරවීර ත්රීතාල යාත්‍රා කථනය මෙහෙයවයි.
සුහද කොකා අද පාර්ලිමේන්තුවට
ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු වෙනුවෙන් හෙළ සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට චිත්‍රපටි දර්ශනයක් සංවිධානය කොට ඇත. ඒ ගිරිරාජ් කෞශල්‍යගේ සුහද කොකා චිත්‍රපටයයි. එහි විශේෂ දර්ශනයක් අද සවස 7 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. මෙය සංවිධානය කොට ඇත්තේ සුහද කොකා සිනමාපටයෙහි සාර්ථක පනස් වැනි දිනය සිපිරීම නිමිති කර ගනිමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟිනි. මේ සඳහා සියලුම මැති ඇමැතිවරුන්ට ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් විවෘත ආරාධනාවක් කරනු ලබයි.
‘ඇඩ්ඩ්‍රස් නෑ’ දින 50යි
ජැක්සන් ඇන්තනීගේ 'ඇඩ්ඩ්‍රස් නෑ' සිනමාපටය ජයග්‍රාහී පනස් වැනි දින පසු කරයි. එය මේ වන විට බහුතර ප්‍රේක්ෂකයන්ගේ විවිධාකාර වූ ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වන බව නිෂ්පාදක ජනිත මාරසිංහ සරසවියට දන්වා සිටියේය. මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි, සබීතා පෙරේරා, රොෂාන් රවීන්ද්‍ර, දර්ශන් ධර්මරාජ්, ශේෂද්රි, අකිල ධනුද්ධර, දිනූෂා රාජපතිරණ, මාධවී වත්සලා, හේමාල් රණසිංහ, අරුණි රාජපක්ෂ, කුමාරි මුණසිංහ, අංජලී ලියනගේ, රාජා ගනේෂන්, චින්තක වාස්, සේනක ටයිටස් සමඟ ජැක්සන් ඇන්තනී මෙහි චරිත නිරූපණය කරති.
විවියන් ද සිල්වාගේ උපන්දින සැමරුම දා
අපට සිටින ජ්‍යෙෂ්ඨතම ගායිකාවක වන විවියන් ද සිල්වා බොරලැස්සගේ අසූ පස් වැනි ජන්ම දින සැමරුම ඇයගේ නිවසේදී සිදු විය. එහිදී ඇය දුවා දරුවන්, මුණුපුරු මිනිබිරියන් පිරිවරා උපන් දිනය සැමරූ අයුරුයි මේ. පැරැණි ගීත රසික හමුවක් සුදර්ශියේ
‘සස්රීන්’ නම් පැරැණි ගීතවලට ප්‍රිය කරන රසික - රසිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන පැරැණි ගීත රසික හමුවක් මේ මස 13 වැනිදා පසුවරු 2.30ට සුදර්ශි ශාලාවේදී පැවැත්වෙයි. මේ කටයුත්ත පැවැත්වෙන්නේ පැරැණි ටවර්හෝල් ශිල්පිනියක වන අයිරින් ලියනගේ හා අශෝක මුදලිගේ අනුශාසකත්වයෙනි.
ආර්ය පදනමට යුද හමුදාවෙන් ගෞරව සම්මානයක්
රණවිරු සුභසාධනය සහ යුද සාහිත්‍ය ගොඩ නැඟීම උදෙසා ආර්ය පදනම කරනා ලද කාර්ය වෙනුවෙන් එකී පදනමට ගෞරව සම්මානයක් පිරිනැමීම යුද හමුදා සංඥා බලකා මූලස්ථානයේදී සිදු විය. එහිදී යුද හමුදා සංඥා බලකා ආඥාපති මේජර් ජනරාල් රේණුක රොවෙල් මහතාගේ අතින් ආර්ය පදනමේ ජ්‍යෙෂ්ඨ සභාපති ඩග්ලස් රණසිංහ සහ සභාපති චරිත් කිරිඇල්ල එම සම්මානය ලබාගත් අයුරුයි මේ.
|