වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




පුතා නැළෙව්වේ හින්දි ගී ගයලා

පිය පුතු රස කතා
 

පුතා නැළෙව්වේ හින්දි ගී ගයලා

- නුවන්
 

තාත්තාගේ අවවාදය ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක් බඳින්නයි

- ගයාන්

'කිරි මුහුදු වෙරළේ නැළැවී තරංගා
කාගේද පිළිරූ මැවේ
ඒ රූප ඡායා . . . ඔබගේ නොවේදෝ
ඒ රූප ඡායා . . . ඔබගේ නොවේදෝ'

නුවන් ගුණවර්ධනයන් ගයන ගීයක් කවුදෝ සජීවීව ගයනු මට ඇසෙයි. ඒ ගයන්නේ නුවන් යැයි විටෙක සිතෙයි.

න්හැ . . . ඒ නුවන් නෙවෙයි.

තවත් විටෙක සිතයි. යළිත් නුවන්ගේ හඬ ඇසෙයි. කුතුහලය ද වැඩි වෙයි.

අවසානයේ ඒ කවුදැයි මා විසින් සොයා ගන්නා ලදී. නුවන්ගේ ගීයක් නුවන්ගේ හඬට සමානව ගයා ඇත්තේ ඔහුය. නුවන්ගේ කටහඬ උරුමව ඇත්තේ ඔහුට හැර වෙන කාටද? මෙතෙක් වෙලා මම ඇසූ ගීය ගයා ඇත්තේ නුවන්ගේ ආදරණීය පුතු ගයාන් ගුණවර්ධන විසිනි.

තාත්තා වගේමයි නේද පුතා?

ගයාන් නුවන් දෙස බැලුවේය.

නැත්නම් . . . නැත්නම් . . .

නුවන් විසින් පිළිතුරු බඳින ලදී.

නුවන් අයියේ කොයි කාලෙ ඉඳලද ගයාන් මෙහෙම සින්දු කියන්නේ?

මෙයාව මං මුලින්ම දෝතට ගත්තු දවසේ මට විශේෂයක් දැනුණා. ක්‍රමයෙන් ලොකු වෙද්දී මං මෙයාව නැළෙව්වේ පැරැණි හින්දි සින්දු කියලා. මෙයා හරිම ආශාවෙන් ඒවා රස විඳිනවා. ඇඬීමත් නවතිනවා. ඒ ගීත අහලා මට තේරුණා සංගීතයට ළැදියි කියලා. කවදා හරි සංගීතය පැත්තෙන් ඉදිරියට යාවි කියලා මට දැඩි විශ්වායක් ඇති වුණා.

ගයාන්, ඔබට තාත්තා පුංචි කාලෙදිම අරන් දුන්න පුංචි පියානෝව මතකද?

මොකද අමතක. තාත්තා මාව සංගීතයට යොමු කරන්න හිතාගෙන පහ වසරෙදි පියානෝ පන්තියකට දැම්මා. ඒ ක්‍රිස්ටීන් විරසිංහ මැඩම්ගේ. මමත් බොහොම ආසවෙන් තමයි ඊට සහභාගි වුණේ. ඔය අතරතුරදී තාත්තට හිතිලා මට පුංචි කීබෝඩ් එකක් අරන් දෙන්න.

පොඩ්ඩක් ඉන්න, ඉතුරු ටික මං කියන්නම්. නුවන්ගෙන් ගයාන්ට බාධා කිරීමක්.

මං ගියා කැනඩා සංචාරයක් සනත් මල්කාන්ති යුවළ සමඟ. අප ආවේ ඩුබායි නගරය හරහා. ඩුබායිවල ඩියුටි ෆී‍්‍ර ෂොප් එකේ ඇවිද ඇවිද ඉන්න කොට මල්කාන්ති අක්කා තමයි පියානෝව අයිඩියාව ඔළුවට දැම්මේ. එයා කිව්වා පුතාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි ඒක කියලා. මම ඉතින් දෙවතාවක් නොසිතා අර ගත්තා.

තාත්තා අරගෙන දීපු ඒ තෑග්ග මං ආරක්ෂා කළේ පණ වගේ. නිතරම එය ප්ලේ කළා. ටිකක් කල් ගියාම මට හොඳටම පියානෝව ප්ලේ කරන්න පුළුවන් වුණා.

ඔය අතරෙදි මං පුතාගේ සංගීත ඥානය දියුණු කරන්න හිතාගෙන දිලුප් ගබඩාමුදලිගේ ගාවට යැව්වා. එතෙන්දි පුතා ශබ්ද ඉංජිනේරු තාක්ෂණය හැදෑරුවා.

තාත්තාගෙන් කී වතාවක් ගුටි කාලා තියෙනවාද?

අම්මෝ මං හොඳට ගුටි කාලා තියෙවනවා. ඇත්තම කිව්වොත් මං තාත්තට හරි බයයි. ඒක ඔහුට තියෙන ගෞරවයත් එක්ක ආව බයක්.

පුතා ඔහොම කියද්දී මට මතක් වෙනවා මගෙන් ගුටි පූජාවක් ගත්තු අවස්ථාවක්.

මොකක්ද තාත්තේ?

අර මතකද ත්‍රීවිල් එකක් පෙරලපු දවස?

ඔව්, ඔව්, මට හොඳට මතකයි. එදා තාත්තට හොඳටම කේන්ති ගියා නේද. සොරි හොඳේ.

හරි හරි, සොරි කියන්න ඕන නැහැනෙ. පුතා ඒ දවස්වල පුංචියි. දඟකාර කමට කරපු දේවල්නෙ. ඔය මගේ මතකෙ හැටියට පුතාට එතකොට අවුරුදු හයක් විතර ඇති. මම ෂෝ එකකට ගිහින් ඇවිත් හොඳටම නිදාගෙන හිටියේ. යන්තම් ඇහැපියවීගෙන එනකොට මට ඇහුණා කෙනෙක් කෑමොර දෙනවා. නිදිගැට කඩකඩ මාත් ගියා බලන්න. බැලින්නම් අපේ ගෙදර ගරාජ් එකේ නවත්වලා තිබුණු ත්‍රීවිල් එකක් පුතා පෙරළලා. ඒකෙ රෝදත් කැඩිලා පෙරළපු පාරට. ඒ මනුස්සයා කිව්වා මං හින්දා ඉවසනවා කියලා. ඒ ත්‍රීවිලර් එක පුතා පෙරළලා තියෙන්නේ අපේ ගේට්ටුව අවහිර වෙන්න නවත්වපු හින්දලු. මං ඒ මනුස්සයාගේ අලාභය ගෙවලා යවලා ගත්තා හොඳ කෝටුවක්. රිදෙන්න දුන්න දෙකක්. එදායින් පස්සේ කෝටුව අතට ගත්ත ගමන් මෙයා අඬන්න පටන් ගන්නවා.

ගයාන් ගොඩක් දඟ වැඩ කරන්නට ඇති?

අපොයි ඔව්. මෙයා අක්කා ඔන්චිල්ලාව පදින කොට ඉස්සරහට පැනලා ඔළුවත් පලාගෙන තියෙනවා.

තාත්තේ මං අවුරුදු දෙකේ ඉඳලා නේද ඔළුව පලා ගැනීම ආරම්භ කරන්නේ?

ගයාන් නුවන්ට ඌණපූර්ණයක් කළා. නුවන් අවුරුදු දෙකේදි ඔළුව පලාගත්තු හැටිත් රසවත්ව කිව්වේ ගයාන්ගේ ඔළුව අත ගාන ගමන්.

මෙයාව තොටිල්ලේ තිබ්බා නිදි කරවලා. අපි අපේ වැඩ. මෙන්න ටිකක් වෙලා ගියාට පසුව බෙරිහන් දෙන සද්දයක් ඇහෙනවා. මෙයා තොටිල්ලෙන් පැනලා ඔළුව බිම වැදිලා ලේ එනවා හොඳටෝම. මං හුඟක් බය වුණා. ඉස්පිරිතාලේ ගෙනිහින් මැහුන් පවා දැම්මා.

මෙන්න තවමත් ඒ මැහුන් පාරවල් තියෙනවා.

ගයාන් හිස පෙන්වයි.

තාත්තා කලාකරුවකු කියලා ඔබට දැනුණේ කොයි කාලේ විතරද?

අපොස උසස් පෙළ කරන කාලේ තමයි තාත්තට තියෙන තැන ගැන දැනගත්තේ. මගේ යාළුවෝ ගොඩක් අය තාත්තගේ ගීතවලට ආසයි.

යාළුවෝ කියද්දී මතක් වුණේ මං පුතාව වැඩිය අහල පහළ යාළුවෝ ආශ්‍රයට යැව්වේ නැහැ. මෙයා නරක් වේවි කියලා හිතුණා. පොඩි කලේ ඉඳලා මෙයාගේ හොඳම යාළුවා මම.

ඔව් තාත්තත් එක්ක තමයි මං ක්‍රිකට් ගහන්නේ. ඒ වගේම තාත්තත් එක්ක මං හැම දෙයක්ම කියනවා. අදටත් එහෙමයි. පොඩි කලේ ඉඳලා තාත්තව මට නැතුව බෑ.

මේ වෙලාවේ මට නියම කතාවක් මතක් වෙනවා පුතා ගැන. ගායකයකු විදිහට කාර්යබහුල වෙද්දී මට විදෙස් සංචාර වැඩි වුණා. මං ඒවාට රට යන සෑම වෙලාවකම මෙයාට උණ ගන්නවා. ඉතින් මං එහෙට ගිය ගමන් ආපහු යථා තත්ත්වයට පත් වෙනවා.

ගයාන් ඔබේ පියාගෙන් ඔබගේ ජීවිතයට ලබා දුන් හොඳම වදන් පෙළ ඔබට මතකද?

තාත්තා මට හැම තිස්සේම කියන්නේ හොඳ වදන්, හොඳ අවවාද. ඒත් මේ දිනවල නම් එක්තරා දෙයක් ගැන නිතරම කියවනවා. ඒක තමයි විවාහයට හොඳ ගැහැනු ළමයෙක් තෝර ගන්න කියන කාරණාව.

මෙයා සංගීත ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කලකින්ම ගැහැනු ළමයින්ගේ අවධානයට ලක් වුණා. ක්ෂේත්‍රයේ ගැහැනු ළමයි පවා මෙයාට ඇල්ම බැල්ම දාන්න පටන් ගත්තා. ඒක ඉතින් පොදු කාරණයක්නෙ. මම නම් කියන්නේ මෙච්චරයි, බඳිනවා නම් බඳින්න ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක්ව. එතකොට තමයි යුග දිවිය සාර්ථක වන්නේ.

මට ෆේස්බුක් එකේ ගොඩක් ගැහැනු යාළුවො තමයි ඉන්නේ. එයාලත් එක්ක චැට් කරනවා. ඒත් කාටවත් බලාපොරොත්තු නම් දෙන්නේ නැහැ. තාත්තාගේ ඔවදන් පිළිපැදලා ක්ෂේත්‍රයෙන් පිට කෙනෙකුව තමයි මං බඳින්නේ.

නුවන්, ඔබේ ගීත ගයාන් ගයද්දී මොකද හිතෙන්නේ?

මගේ පැරැණි ගීතයක් පුතා ලවා ගායනා කළා. ඒක තමයි 'පවනක් සේ ඔබ ඒ යැයි සිතුවා'. එම ගීතය සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහයන් පවා සතුටු වන පරිදි පුතා එම ගීයට හඬ මුසු කළා. මට දැනුණා කවදා හරි මගේ නම ඉදිරියට ගෙන යාවි කියලා. අනාගතයේදී මං මගේ ගීත සියල්ලම පුතාට පවරනවා.

නුවන්, පුතාව රැගෙන සුරතල් මසුන් විකුණන තැන්වලට යනවා කියලා ආරංචියි. ඒ රහස දැන් හෙළි කරන වෙලාව ඇවිත්. නුවන් පුතු දෙස බැලුවේ ඔහු එයට පිළිතුරු සපයාවි කියායි.

මගේ විනෝදාංශය තමයි සුරතල් මසුන් ඇති කිරීම. සොභාවික විල් දෙකක්ම තියෙනවා අපේ වත්තේ මාළුන්ගෙන් පිරුණු. තාත්තට තමයි මං කියන්නේ මාළු ගේන්න කියලා. එතකොට ඔහු ඔහුගේ ජනප්‍රියකම පැත්තක තියලා කඩවල් හොයාගෙන යනවා.

පුතාගේ සතුට තමයි මගේ සතුට. මෙයාට අවශ්‍ය සෑම පහසුකමක්ම දීලයි මං මෙයාව හැදුවේ. ඉදිරියේදී මං මෙයාව සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම යවනවා. මං එහෙම පවසද්දී කියන්නේ කොතරම් ජනප්‍රිය වුණත් කමක් නැහැ, නිහතමානීකම නම් අඩු කර ගන්න එපා කියලා.

තාත්තා තමයි මගේ වීරයා. මේ වගේ පියකු ලබන්න මං පින් කරලා තියෙනවා. සෑම භවයකම ඔහු මගේම තාත්තා වෙන්නට කියලා පතනවා.

ගයාන් අවසන් කොට පැවසූ හැඟුම්බර වදන් නුවන් අසා සිටියේ අප්‍රමාණ සෙනෙහසක් දෝත දරාගෙනයි.