වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




උඹත් නඩලං නටන්න පටන් ගත්තද?’
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

උඹත් නඩලං නටන්න පටන් ගත්තද?’

අත්තම්මා මේතරම් කෝප වනු ඇතැයි ඇය කිසි කලක නොසිතුවාය. කොහොමටත් මතක ඇති කාලයක අම්මාගේ සෙනෙහස නැතිවාට අත්තම්මා ඇයට නිය පිටින් පාරක් ගසා තිබුණේ නැත.

මානවී එන පෙර මඟ බලා සිටි අත්තම්මා ඇයගේ ගමන වැළැක්වූවාය. අනතුරුව එතෙක් පසුපසට ගෙන සඟවා තිබූ මල් කෝටුව අතට ගත් ඇය එයින් මානවීට පහර දුන්නාය. එය ඇය බලාපොරොත්තු වූවක් නෙවීය.

'උඹත් හැදෙන්න ගත්තද? ඒ පාර නඩලං නටන්ඩ'

මුලින් මානවී එය විහිළුවක් සේ සිතුවාය. එහෙත් දෙවෙනි පාර වදිද්දී එය තවදුරටත් විහිළුවක් නොවන වග ඇයට වැටහිණි. ඇය අත්තම්මාගේ කෝටුව අල්ලා ගන්නට තැත් කළාය. එහෙත් එයින් පලක් නොවීය.

'මේ මොකද මේ?'

'මොකද මේ?'

අත්තම්මා යළිත් එය පෙරළා ඇසුවාය.

'උඹට නටන්ඩ ඇරලා ඇස් කන් පියාගෙන ඉන්නවා කියලා හිතුවාද? ඕන නාඩගමක් නටන්ඩ දීලා'

ඇය යළිත් පහර දුන්නාය. අත්තම්මාගේ කෝටු පාරෙන් ගැලවෙන්නට ඇයට නොහැකි වූවාය. මානවීගේ පිටටත් පාර වැදිණි. අල්ලන්නට ගිය විට වැදුණේ අතටය. අත්තා ඉදිරියට ආවේය.

'ගේ ඇතුලට ගිහිල්ලා ඕන නාඩගමක්'

ඔහු අත්තම්මාට කෑගෑවේය. එහෙත් අත්තම්මා නම් මෙල්ල වූයේ නැත. අල්ලපු වත්තේ සිටි සුදු අක්කා දුවගෙන ඇවිත් අත්තම්මා මෙල්ල කළාය.

'මොකෝ අප්පේ මේ'

මානවීට අවට සියල්ල බොඳ වෙමින් තිබිණි. ඈ ගෙට පැන්නාය.

'දැන් පොඩි ළමයෙක්ද? මම නේද ඔව්වා ඔක්කොටම දුක් උහුලන්න ඕන. අර ගෑනියෙක් උඹ හින්දා නේද නොරටට ගිහිල්ලා දුක් විඳින්නේ'

අත්තම්මා කියවනු මැනවීට ඇසිණ. ඇය ඇඳ මත මුනින් තලා පෙරලුණාය. හිතේ වේදනාවත්, ගතේ වේදනාවත් දෙකම එක වාගේය. ඈ කොට්ටයෙන් හිස වසාගෙන හඬන්නට ගත්තාය.

කව්දෝ ඈ සිටි කාමරයට එන වග ඇයට මතකය. එහෙත් එම සෙවණැල්ල ආපසු ගියේය. දන්නා තරමින් ඈ වැරැද්දක් කළේ නැත. පෙනී සිටින්නට යැයි පැවසූ කළ එයට බැහැයි නොකීවේ වැරැද්දක්ද? ඈ මුලින්ම බෑ යයි පැවසුවාය. එක වචනයකින් සිටියා නම් මේ අවනඩුව එතැනම කෙළවරය. ඕනෑ තරම් ගැහැනුන් මිනිසුන් රඟපාන්නට පොර කන වග ඇය අසා තිබිණ. ඇය එසේ ඉල්ලා ගෙන ගියේ ද නැත. ඇරත් සුමිත් හා සුනීතා ද එතැන උන්නාය. අද මහ අපල දවසකි. උදෑසනින් ටවුමට ගියේ තෑගි ගෙනෙන්ටය. අනතුරකින් බේරුණේ නූලෙනි. එයට ගොදුරු වූවා නම් මෙයට වඩා හොඳය. මෙතුවක් අම්මාට වඩා ඇයට ළං වූයේ අත්තම්මාටය. එහෙව් අත්තම්මා ඇයට අද හොඳටම තැලුවාය. ඇයට දුක ඒකටය. කවුරුන් හෝ ඒ ටික වේලාවට මේ සියල්ල කනේ තබා ඇත්තේය. කලකට ඉහත දවසක රණවීර මහත්තයා ඇයට තෑග්ගක් දුන්නාය. රණවීර මහත්තයා පැමිණියේ වැව හදන කට්ටියගේ ඕවර්සියර් හැටියටය. වැඩි වයසක් නැත. කිහිප දිනක්ම මහ මගදී දුටු රණවීර සිනා පෑවේය.

'මේ නංගිගේ නම මොකක්ද?'

ඔහු මුලින්ම ඇසුවේය. මානවී කිසිවක් පැවසුවේ නැත. ඇය උත්තර දුන්නේ නැත. ඔහු උත්සාහය අත් හළේ නැත. නම ගම දැන ගත්තා පමණක් නොව තෑග්ගක් ද දුන්නේය. මානවී තෑග්ග අත්තම්මාට දුන්නේ ඇත්තම කියමිනි. මානවීට දුක ඒකය. ටෙලි නාට්‍යයක පෙනී සිටි වග ඇය අත්තම්මාට හංගන්නේ නැත. ඇය දුවගෙන ආවේ ද එය කියන්නටය. ගෙදරින් යද්දී ඇය එලෙස පෙනී සිටින්නට සිතා සිටියේ නැත. එලෙස කැමරාවකට මුහුණදීම පහසු යැයි සිතුණේ ද නැත. දැන් සිද්ධව ඇත්තේ වෙනත් වැරැද්දකි.

'දුවේ බත් ටික කාපං මගේ අම්මා'

අත්තා ඈ ළඟට ඇවිත් පැවසුවාය. ඇය තවත් කොට්ටය තද කර ගත්තයා. අත්තා ආපසු යනු ඇයට දැනිණ. තවත් පියවර හඬත් යළිත් ඇසෙනු ඇයට දැනිණ. ඒ සීතල එහෙත් ආදරයේ උණුසුම සහිත හස්තය මානවීගේ හිස පිරිමැදිණ.

'මගේ අම්මා, උඹ මට ඇස් දෙක වගේ. උඹේ අම්මා හිතුවක්කාරකම් කළා. අපිට තාමත් ඒ ගැන බයයි මගේ පුතේ'

අත්තම්මා පැවසුවේ මානවී උරහිසෙන් උසුලන ගමන්ය. ඈ නැඟිට අත්තම්මාගේ උරහිසට හේත්තූ වූවාය. දන් ඉතින් දුක් කඳුළු සියල්ල සොරොව්වක් ඇරියාක් මෙන් දිය කර හරින්නට මානවීට හැකියාව ඇත්තීය. ඉඳින් ඒ සියළු දුක්ඛ දෝමනස්සයන් උර මත විසිරෙන්නට හැරියාය. එයට කඳුළු යැයි නම් කළ හැක.

'මගෙ පුතා, මට බය හිතුණා'

අත්තම්මා යළිත් පැවසුවාය. ඇගේ හඬ සැලෙන අයුරු මානවීට දැනිණ. ඈ තවත් තදින් අත්තම්මා තද කර ගත්තාය. අත්තම්මා මිනිබිරියගේ හිස පිරිමැද්දාය.

'හා! දැන් ඉතින් සේරම ඉවරයිනේ. යමල්ලා කෑම කන්ඩ'

අත්තා පැවසුවේය. අත්තම්මා කිසි විටෙකත් අත්තාට මුල් බත් පත නොබෙදා බත් බෙදන්නේ නැත. අත්තාත් බඩගින්නේ ඇති බව මානවීට සිතිණ. පැය කිහිපයකට පෙර මේ නිවස ඈ නිසා සතුටෙන් පිරිණ. ඊළඟට දුකෙන් වෙලී ගියේය.

මානවීගේ පැහැපත් දෙපා හරහා කෝටු පාරේ ඉරි වැටුණු තිබූ අයුරු දැක අත්තම්මාට දුක සිතිණ.

'මලක් වගේ හදපු කෙල්ල'

ඇයට සිතිණ. ඇයගේ අම්මාත් මේ වාගේමය. මිණිබිරිය පවසා සිටිනුයේ දශක තුනකට පමණ පෙරාතුව මේ නිවසේ පැවැති සුන්දර යටගියාවය. අත්තම්මාට වාරු වී මානවී ද ගෙට ගියාය. කුස්සියට ගිය අත්තම්මා අත්තාට බත් බෙදුවාය.

'මට එපා අත්තම්මෙ බඩගිනි නෑ'

'බොලේ මාත් එක්ක තරහ උණාට, බතුත් එක්ක තරහ වෙලා හරි යනවද?'

අත්තම්මා සියල්ල අමතක කරන්නට තැත් කරන්නීය.

'ඉඳහං මං උඹට බත් ටිකක් කවන්නං'

ඈ පැවසුවාය.

එදා රෑ අත්තම්මා බත් අනා මිනිබිරියට පැවසුවාය.

අත්තා තනියම කෑම කෑවේය.

මානවී නිදාගන්නට ගියාය. හැඬීමෙන් ඇගේ දෑස් විඩාපත්ව ඇත්තීය. ඇය නිදන්නට පෙර බුදු පිළිමයට වන්දනා කළාය. අනතුරුව ඇය ඇඳට ගියාය.

'ඇයි තවම ඇඳේ, සාප්පුවට යන්නේ නැද්ද?'

අත්තම්මා අසනු ඇයට යාන්තමින් ඇසිණ. හතර වටින් බිම් කළුවර ගලාගෙන ඇවිත්ය. රෑ නින්දේදී කවුදෝ ඇවිත් ඇයට තරවටු කළාය. මානවී අම්මේ යැයි කෑගෑවාය. අත්තම්මා අවදිව බැලුවාය. මානවී හීනෙන් ඉකි ගසන්නීය. දැන් ඇය දැරියක නොවේ. යුවතියකි. අත්තම්මා සිය මිනිබිරියගේ ඇඟෙහි ඇති කෝටු පාරවල් දෙස බැලුවාය. තෙල් ටිකක් ගාන්නට තියෙනවා නම් කදිම යැයි ඇයට සිතුණ ද මානවීගේ නින්දට බාධා වෙතැයි ඈ බිය වූවාය. අනතුරුව ඇය යළි මිනිබිරිය ළඟින්ම වැතිරුණාය. ඇයට රෑ ගෙවුණේ නින්දත් නොනින්දත් අතරය. ඒ වරින්වර මානවී සුසුම්ලන හඩ ඇයට ඇසුණ බැවිනි.

'මයෙ කිරි සප්පයාට රත්නත්තරයේ සරණයි'

අත්තම්මා මිමිණුවාය.

මානවී හිස ඔසවා බැලුවාය.

'මම යන්නේ නෑ අත්තම්මේ. මං තව ටිකක් නිදාගන්නවා'

අත්තම්මා කිසිත් පැවසුවේ නැත. මානවී යළිත් පොරවන රෙද්ද හිසේ සිට දමා ගත්තයා. ඈ අවදි වෙන විට හොදටම එළිය වැටී තිබිණ. අත්තම්මා කුස්සියේ උයන හඬ ඇයට ඇසිණ. ඇය නැඟිට ඒ දෙසට ගියාය. අත්තාගෙන් බෙහෙතක් අසාගෙන යන්නට ආ කිසිවකු ගෙයි ඉදිිරිපිට කතාබහකය.

'උන්දැට වෙලට යන්ඩත් පරක්කු උණා'

අත්තම්මා පැවසුවාය.

මොහොතින් මොහොත කාලය ඉඟිළ ගියේය. දහවල් නැගුණ හිරු පහළට යන්නට පටන් ගත්තේය.

'මානවී මොකෝ කෙල්ලේ සාප්පුවට ආවේ නැත්තෙ'

මානවී හැරී බැලුවාය. සුනීතා පැමිණ සිටියේ දරු දෙදෙනාත් සමඟය.