වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘අපිව හඳුනන්නෙත් නැතිව අපිට උදව් කළා’

‘අපිව හඳුනන්නෙත් නැතිව අපිට උදව් කළා’

මගේ 'පත්තර පිස්සුව ආනනදයේදී තවත් මෝදු විය. සමකාලීන සගයන් වූ කුලරත්න ආරියවංශ, ලක්ෂ්මන් මල්ලවාරච්චි (අකාලයේ මිය ගියා) රන්ජන් එම්. බෝධිනායක හා සරත් වීරසේකර සමඟ මා සංස්කරණය කළ මසකට වරක් ප්‍රකාශයට පත් කළ 'සෙවන' පුවත්පත වෙනත් පාසල් අතර ද ජනප්‍රිය විය. විශාඛා, රාජකීය, නාලන්දා, ගෝතමී, ආනන්ද බාලිකා, දේවි බාලිකා පාසල්වල සිසු සිසුවියෝ 'සෙවන' ට ලියූහ. ඔවුහු ඒවා ශත 10 කට අලෙවි කර දුන්හ. මේ නිසා අපට මේ අය සමීපව ඇසුරු කිරීමට ලැබුණි.

අපට පුවත්පතට අවශ්‍ය බ්ලොක්ස් (සේයා තහඩු) ලංකාදීපයෙන් ලබා දුන්නේ එහි විශේෂාංග කර්තෘ ධර්මසිරි ජයකොඩි මහතාය. සම සංස්කාරක සරත් වීරසේකරගේ අක්කා වූ දයා විවාහ වී සිටිියේ ඔහු සමඟය. ලංකාදීපයට යන අපට එහිදී දයා අක්කා කැන්ටිමට එක්කර ගෙන ගොස් තේ ද, විටෙක දිවා ආහාර ද සපයා දුන් අයුරු අමතක කළ නොහැකිය.

මගේ ප්‍රියතම පුවත්පතක් වූ 'සරසවිය' පුවත්පතේ කර්තෘතුමා හමුවීමට මාත් කුලරත්නත් එහි ගියේ ද අලුත නිකුත් වූ පුවත්පතේ පිටපතක් දීමටය. කර්තෘ විමලසිරි මහතා හමුවීමට ගිය ගමන අමතක නොවන අවස්ථාවකි.

විමලසිරි පෙරේරා මහතා වීදුරු කුටියක් තුළ විරාජමානව සිටී. කාර්යාල කාර්ය සහායක කාමරයට ගොස් අප ආ වග දැන් වීය. ඔහු අප එහි කැඳ විය.

'අපි ආනන්දෙන් . . .'

'ඔව්, මගෙන් ඕන උදව්ව මොකක්ද?'

'අපි පත්තරයක් කරනවා. මේ අලුත්ම කලාපයට ඊළඟ කලාපයට බ්ලොක්ස් ටිකක් ඉල්ලගන්න ආවේ' කුලරත්න කතාව පටන් ගත්තේය.

'අපි සම්ප්‍රදායක් හැටියට බ්ලොක්ස් එළියට ගෙනි යන්න දෙන්නේ නැහැ'

'අපි පරෙස්සම් ඇතිව ගෙනත් දෙන්නම්' මම කීවෙමි.

අපට අවශ්‍ය බ්ලොක්ස් කීවේය.

මේ ළමයින්ගේ ඉල්ලීම අහක දාන්නත් බැහැ කී කතුවරයා කාටදෝ ටෙලිෆෝනයෙන් කතා කළේය.

ඔහු විනෝදකාමී පුද්ගලයෙකි. සිනාමුසුව ටෙලිෆෝනයෙන් කතා කරයි. විටෙක කවියක් කියා සිනාසෙයි.

'මම බ්ලොක් ටික දෙන්නම්. හැබැයි රජෝ මේවායේ අඟලක් හරි අඩු වුණොත් තාත්තලගේ ඉඩම් උගස් කරන්න වෙයි'. ඔහු සිනාසෙමින් කීවේ අපට වගකීම පවරමිනි.

'සෙවන' පත්‍රයට බර පැණ ඉසුලුවේ කුලරත්නය. කුලේ බේකරි ගණනාවකට හිමිකම් කී ඔහුගේ පියාගෙන් අවශ්‍ය මුදල් ලබා දුන්නා පමණක් නොව මරදානේ සෝමා ටී රූම් එකට අපව කැඳවාගෙන ගොස් කජු මාළු සමඟ ඉඳිප්පන් සංග්‍රහ පැවැත්වීමට ඔහු සංග්‍රහශීලී විය.

කෙසේ හෝ පුවත්පත්වලට දිගටම ලිවීමට මටත් කුලේටත් අවශ්‍ය විය. එහෙත් පත්‍ර කතුවරුන් අප හඳුනන්නේ නැත. මාත්, කුලේත් ලුම්බිණි රඟහලේ දුටු 'හිරු අවරට ගියාදෝ' නාට්‍යය බලා එහි රඟපෑ සමන් බොකලවෙලගේ විශිෂ්ට රඟපෑම ගැන ආසක්ත වී සිටියෙමු. නාට්‍යය අවසන් වූ පසු අපි වේදිකාවේ පිටුපසට ගොස් සමන් සමඟ කතා කොට ඔහු ගැන විශේෂාංගයක් ලිවීමට කරුණු රැස් කළෙමි.

'රංජිත් අපි ඕක ලස්සනට ලියලා 'විසිතුර' කර්තෘගේ නමට තැපැල් කරමු' කුලේ කීවේය.

'ඔව් කුලේ ඒක හොඳ අදහසක්. විසිතුර අලුත් ලේඛකයන්ට අත හිත දෙනවා'

ඊළඟ සතියේ 'විසිතුර' පත්‍රයේ 'කරළියක චරිතයක්' මැයෙන් සමන් බොකලවෙලගේ ලොකු පින්තූරයක් සමඟ මගේ ලිපිය පළ වී තිබුණි. මගේ නම මුල්වරට සිනමා පුවත්පතක පළ වී තිබීම නිසා මටත් වඩා ප්‍රීති වූයේ කුලේය. පසුදා දවල් උදා විය.

'අපි යමු, සෝමා ටී රූම් එකට' කුලේ සුපුරුදු සංග්‍රහයෙන් සතුට පළ කළේය.

'කුලේ අපි යමුද? විසිතුර පැත්තේ. විසිතුර කර්තෘ මහත්තයට ස්තුති කරමු'

'හොඳ අදහස'

අපි මරදානේ ටෙක්නිකල් හන්දියෙන් බැස 'දවස නිවසට' ගියෙමු.

'අපි ආනන්දේ. මම ලියපු ලිපියක් මේ පාරේ පත්තරේ පළ වෙලා . . . සමන් බොකලවෙල ගැන' අපි ගැන තොරතුරු ද නම පාසල ගැන කීවෙමු.

විසිතුර කර්තෘ ආතර් යූ. අමරසේන මහතා රතු පාට ලොකු පාට පැන්සලයකින් ඩමියේ ඉරි අඳිමින් අප කියන දේ අසා හිස ඔසවා බැලීය.

'අපිව හඳුනන්නෙත් නැතිව අපිට උදව් කළා' කුලේ කීවේය.

'වේදිකා නළු නිළියන් ගැන දිගටම ලියන්න. මගේ නම කියන්න. මම කිව්වේ කියන්න. එතකොට උදව් කරාවි'

අමරසේන මහතා වැඩිය කතාබහ කරන කෙනෙකු නොවේ යයි අපි සිතුවෙමු. මට කළ උදව්වට ඔහුට මගේ කෘතඥතාව සැමදා හිමි වෙයි.

'අපි ගිහිල්ලා එන්නම් මහත්තයා' අපි ඔහුගෙන් සමු ගැනීමට කීවෙමු.

'යාළුවෝ දෙන්නම ලියන්න' කියු ඔහු ලාච්චුව ඇර අලුත් වේදිකා නාට්‍යයක ප්‍රවේශ පත්‍ර දෙකක් අප වෙත ප්‍රදාන කළේය.

'සෙවණ' පුවපත්පත නිසා අපට සහෝදර පාසල වූ නාලන්දාව හා සමීප සබඳතා ගොඩ නැඟීමට අවස්ථාව සැලසුණි. එවර (1966) ආනන්ද නාලන්ද ක්‍රිකට් තරඟයේ සමරු කලාපයේ පිට කවරය නිර්මාණය කිරීමට අවස්ථාව මට ලැබිණ. මේ සමරුව සංස්කරණය කළේ ආනන්දයේ මෛත්‍රී පනාගොඩ හා නාලන්දයේ හේමසිරි ප්‍රනාන්දුය. ක්‍රිකට් තරඟය දා හේමසිරි ප්‍රනාන්දු (අද මහජන බැංකුවේ හා ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති) මට කතා කොට මෙසේ කීය.

'රන්ජිත් මේ පාර 'නාලන්දේ' සඟරාව සංස්කරණය කරන්නේ මම. ඔයා කවරය ඇඳලා දෙන්න'

'ඒක හොඳ ද හේමසිරි, නාලන්දේ කොච්චර චිත්‍රවලට දක්ෂ කොල්ලො ඇද්ද?'

'ඒ වුණාට ආනන්ද - නාලන්ද කියන්නේ සහෝදර ඉස්කෝල දෙකක්. ඔයාම අඳින්න'

'මේක එක්තරා අන්දමක වාර්තාවක්. ආනන්ද - නාලන්ද සඟරාවල කවර දෙකම අඳින්නේ මම' මම කීවෙමි.

හේමසිරි ඉලක්කයට වෙඩි තැබීමේ සූරයකු බව නාලන්දාවේ සිටියදී ප්‍රකට කළේය. ඔහු වෙඩි තබනු බැලීමට මිතුරන් සමඟ මා ගිය දිනය අමතක නොවේ.

නාලන්දේ ඉගෙන ගත් ගාමිණී ජයකොඩි හා සරත් රත්නායක ටික කලකින් ආනන්දේ අපේ පන්තියට ආවෝය. මේ දෙදෙනා මගේ ගජයන් වීමට වැඩි කල්ගත නොවීය. සිනමාව ගැන මගේ ඇල්ම තේරුම් ගත් මේ දෙමිතුරෝ විවේක කාලයේදී මට මෙසේ කීහ.

'රන්ජිත් නාලන්දේ අපේ සර් කෙනෙක් ඉන්නවා රෙජී රණසිංහ කියලා. ඔයා රෙජී සර්ව අඳුනගන්නම ඕනෑ කෙනෙක්. එයා සිනමාව ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක්'.

ගාමිණී හා සරත් පාසල නිමා වීමෙන් පසු නාලන්දයට මා කැඳවාගෙන ගියහ.

රෙජී රණසිංහ නම් අග්‍රගණ්‍ය චිත්‍රපට විචාරකයා මා හඳුනා ගත්තේ එලෙසය. ඔහු එකල 'සංස්කෘති' සඟරාවට ලියූ සිනමා විචාර නිසා මම ඔහු දැන සිටියෙමි.

'රන්ජිත්, තිස්ස අබේසේකර හඳුනනවද? ඔයාත් ආනන්දේ 'වෙර' හදපු කට්ටියම අනිවාර්යෙන්ම තිස්සව හඳුනා ගත යුතුයි. හෙට බෞද්ධාලෝක මාවතේ බෞද්ධ කාන්තා සම්මේලන ශාලාවේ චිත්‍රපට සම්මන්ත්‍රණයක් තියෙනවා. යාළුවොත් එක්ක එන්න. මම තිස්ස, රෙජී සිරිවර්ධන, ජයවිලාල්, හෙන්රි ජයසේන එහෙම හඳුන්වලා දෙන්නම්' රෙජී සර් කීවේය.

මම 'වෙර' චිත්‍රපටයේ අධ්‍යක්ෂ රංජිත් ලාල්ට මේ ආරංචිය දුනිමි.

'අපි නොවරදවාම යමු'

මට අවශ්‍ය වූයේ ජයවිලාල් විලේගොඩ දැක ගැනීමටය. හැම බදාදාම මම ඔහුගේ සිනමා පිටුව හා සිනමා විචාර බැලීමට සැදී පැහැදී සිටියා පමණක් නොව ඒ හැම පිටුවක්ම එකතු කළෙමි. සතියේ බදාදා දිනය එන තෙක් පුල පුලා බලා සිටියේ ලංකාදීපයේ 'චිත්‍රපට චක්‍රය' කියන්නටය. එය ද සතිපතා එකතු කළෙමි. එය සකස් කළේ කරුණාසේන ජයලත්ය.

චිත්‍රපට සම්මන්ත්‍රණයට ගිය අපට රෙජී සර් තිස්ස, විලේගොඩ, හෙන්රි ජයසේන හඳුන්වා දුන්නේය.

විලේගොඩ 'වෙර' චිත්‍රපටය බලා අපව දිරිමත් කළ අතර ඒ ගැන අගනා විචාරයක් දිනමිණ ට ලියා තිබුණි.

'විසිතුර' පත්‍රයට ලියන අතර 'කලා' සඟරාවට විශේෂාංග ලිවීමට මට දොල දුකක් උපන්නේය. සිනමාස් සමාගමෙන් ප්‍රකාශයට පත් කළ මෙම සඟරාවේ සංස්කාරකවරයා ආරියරත්න කහවිටය. ඔහු විවාහ වී සිටියේ ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායිකාවක වූ මල්ලිකා කහවිට (එකල ද සිල්වා) සමඟය. මල්ලිකා අක්කා මගේ දෙමාපියන් කුඩා කළ සිටම දැන හැඳින සිටියේ ඇයත් කොස්ගස් හන්දියේ ප්‍රේම් ජයන්ත්ගේ නිවස අසලම පදිංචිව සිටි නිසාය. ඇය එවකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රැකියාව කළාය.

දිනක් රැකියාවට යන වේලාව බලා සිට ඇය පිටුපස දිව ගිය මම 'මල්ලිකා අක්කේ මම 'කලා' සඟරාවට ලියන්න ආසයි' කීවෙමි. ඇය සිනසුණා මිස කිසිවක් නොකිව්වාය. පසු දින ඇය එනතුරු මම රැක සිටියෙමි.

'මල්ලී මම කහවිට අයියාට ඔයා ගැන කිව්වා. හෙට දවල්ට සිනමාස් එකට එන්න කිව්වා'.

පසුවදා මම කොස්ගස් හන්දියේ සිට ආමර් වීදියටත් එතැනින් කිංස්ලි සිනමාහල පසු කොට අලුත් හෙට්ටි වීදියේ අංක 117 ස්ථානයේ පිහිටි සිනමාස් සමාගමේ ප්‍රධාන කාර්යාලයට පයින්ම ගියෙමි.

මට 'කලා සඟරාවට ලිවීමට දොර විවෘත විය. ඒ වන විට 'කලා'වට ලියමින් සිටි අර්නස්ට් වඩුගේ, සිරි කහවල, සුනිල් සමරකොන්, විමල් තිලකරත්න, රේමන්ඩ් සිල්වා හඳුනාගන්ට ලැබුණේ 'කලා' කාර්යාලයේදීය. 'කලා' සඟරාවේ සහාය සංස්කාරක ගුණරත්න පනාගොඩ (මෑතදී මිය ගියා) මට බෙහෙවින්ම අත හිත දුන්නේය. මම හාපුරා කියා 'කලා'වට ලිව්වේ මෑතදී හඳුනා ගත් තිස්ස අබේසේකර හා කළ සංවාදය ඇතුළත් ලිපියයි.

'කලා සඟරාව නිසා එහි නිතර ආ කලාකරුවන් රැසක් මට කහවිට මඟින් හඳුනා ගන්නට ලැබිණ. නීල් රූපසිංහ, සරත් රූපසිංහ, ඇන්ටන් ග්‍රෙගරි, වාමදේවන්, ලෙනින් මොරායස්, රොක්සාමි, සුදාස් මාසකෝරාල, මොරිස් දහනායක, ක්‍රිස්ටි ලෙනාඩ් මට මතක නම්ය. ඔවුන් සමීප මිතුරන් වූ අතර පුවත්පත් කලාවේදීන් සඳහා වූ බොහෝ චිත්‍රපට දර්ශන සඳහා මුල්වරට මට ද ආරාධනා ද ලැබිණ. මේ අතර කහවිට සිනමාස් සමාගමේ සිනමාහල්වල තිරගතවන සෑම චිත්‍රපටයක්ම නොමිලයේ නැරඹීමෙ නිදහස් ප්‍රවේශ පත්‍රයක් ද මට දුන්නේය. එකල මට මේ අවස්ථාව ලබා දුන් අභාවප්‍රාප්ත ආරියරත්න කහවිට කෘතඥ පූර්වකව මම මතක් කරමි.