|
||||
අද බොහෝ දෙනකුට තාත්තා අමතක වෙලා
ධර්ම ශ්‍රී කල්දේරාගේ පුත් මධුරංග කල්දේරා
පුවත්පත් කලාවේදියකු, ගීත රචකයකු, ගුවන් විදුලි ශිල්පියෙකු, නළුවකු, වේදිකා නාට්‍ය ශිල්පියෙකු, තිරකතා හා දෙබස් රචකයකු, චිත්‍රපට අධ්යක්ෂවරයකු, චිත්‍ර කතා රචකයකු වශයෙන් කලා ක්ෂේත්රයේ වැජඹුණු ධර්ම ශ්‍රී කල්දේරා දේශීය සිනමාව දීප්තිමත් කිරීමේලා සුවිශේෂ කාර්යභාරයක් සිදු කළ කලා ශිල්පියෙකු විය. සීතල වතුර, රෑන ගිරව්, රන් ඔන්චිල්ලා, මීමැස්සෝ, දීපාංජලී, රත්තරන් අම්මා, කල්‍යාණි ගංගා, රෝස මල් තුනක්, මුවන් පැලැස්ස 01, මුතු මැණිකේ, ගිම්හානේ ගී නාදේ ආදී චිත්‍රපට රැසකින් ධර්ම ශ්‍රී එදා සිංහල සිනමාව අතික්‍රමණය කරනු ලැබීය. සහජ කලා හැකියාවන් බොහොමයකින් පොහොසත් වී සිටි ඔහු අප අතරින් වියෝ වී ගොස් දැනට වසර විසි එකක් ඉක්ම ගොසිනි. 1951 දී පිළිගත් වරද නාට්‍ය නිර්මාණය කරමින් නාට්‍ය කලාවට පිවිසි කල්දේරා දීපා, සාජන්ට් වීරසිංහ, පංච කල්‍යාණි, ධවල කේශි, ලොකු මිනිස්සු ආදී වේදිකා නාට්‍ය රැසක නිර්මාණකරුවා විය. නව ආරක චිත්‍ර කතා රැසක් නිර්මාණය කරමින් චිත්‍ර කතා ලෝකයේ පෙරළිකාර නමක් දිනා ගැනීමට සමත් වූ ධර්ම ශ්‍රීගේ බිලි පූජාව, මායාකාරි, සෙවණැල්ල, විසකටුව, රාජ උදහස, ලන්දේසි හටන, දිෂ්ටිය, සාගරි, හෙල්ගා චිත්‍ර කතා නිර්මාණ වඩාත් ජනප්‍රිය තලයේ රැඳී තිබිණි. මේ කලාකරුවා අද අප අතර නැත ද ඔහු අප වෙත ඉතිරි කර ඇති කලා නිර්මාණයන් අද ද අප රස විඳිනුයේ මහත් වූ සොම්නසකිනි. වසර විසි එකක එපිට අප අතරින් වියෝ වූ ධර්ම ශ්‍රී කල්දේරාගේ පවුලේ වත්මන් තොරතුරු කෙසේ ද කියා අප කළ විමසුමකදී ඒ පිළිබඳ කතාබහ කරන්නට අපත් සමඟ එකතු වූයේ ධර්ම ශ්‍රී ගේ බාල පුත් මධුරංග කල්දේරාය. ඉතිං මධුරංග, ධර්ම ශ්‍රී පවුලේ බාලයා විදියට තාත්තා වෙනුවෙන් මොන වගේ සිහිපත් කිරීම් ද ඔබලා අතින් අද වෙන කොට සිද්ධ වෙන්නේ? තාත්තා වෙනුවෙන් ලොකු ගුණ සැමරුම් උත්සව තියන්න නම් අපි කවුරුවත් උත්සාහ කළේ නැහැ. මොකද මම මගේ තාත්තා වෙනුවෙන් උපහාර උත්සව තියන්න උත්සාහ කරන එක හරි නෑ කියන මතයේ තමයි මම ඉන්නේ. ඒ සඳහා සුදුසු අය තමයි තාත්තාගෙන් උදව් උපකාරයන් ගත් අද මේ කෂේත්රයේ වැජඹෙන උදවිය. මම නම් අදටත් තාත්තා වෙනුවෙන් අපේ ආගමට අනුව පින් දහම් කටයුතු සිද්ධ කරනවා. මේ වසරේත් පෙබරවරි හත් වෙනිදා මම මරණයට කැප වූ ගවයෙක් තාත්තා වෙනුවෙන් සිහිපත් කරලා නිදහස් කළා. අපේ පවුල් අතර තාත්තා වෙනුවෙන් පින් දහම් කටයුතු සිද්ධ කිරීම අපි සිද්ධ කළත් අද වෙන තුරු තාත්තා මිය ගොස් අවුරුදු විස්සක් ඉක්මවලා තිබුණත් කවුරුවත් තාත්තා ගැන කතාවත් කළේ නැහැ. චිත්‍රපටවල රඟපාන්න චරිත හොයන් ආපු අය වගේම එදා සිංහල සිනමාව බැබල වූ ජ්‍යෙෂ්ඨ නළු නිළියන්ට එදා ඔබේ නිවහනට ගොඩ වැදුණොත් බත් කටත් වරදින් නැහැලු නේද? ඒ කාලේ මට මතක හැටියට අපේ ගෙදර මුට්ටියක ඇතිලියක බතක් මාළු පිණියක් ඉදුණේ කලාතුරකින්. ඉහුම් පිහුම් කටයුතු අම්මා අතින් හැමවිටම සිදු වුණේ කල්දේරම්වල. ඒ් තරමට නිතර ගෙදර ආපු කාටත් කෑම වේලක් දීම අපේ ගෙදර සිරිත වුණා. ඒ වකවානුවේ අපේ ගෙදරින් බත් කටක් නොකාපු කෙනෙක් චිත්‍රපට ක්ෂේත්රයේ නැතුව ඇති. ගීත රචකයකු වූ ඔබේ පියා නිර්මාණය කළ එක්තරා ගීතයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරිම පවා තහනම් කළා කියන කතාව මොකක්ද? මගේ තාත්තාගේ ගීත රචනයක් එවක ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන්න සිදු වුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ඒ ගීතය අසන ප්‍රේමයෙන් පරාජිත වුණු ගැහැනු පිරිමි දෙපක්ෂයම දිවි නසා ගන්න පෙළඹීම. ආලය නිසා එක්ටැම් ගෙයක... මේ ගීත එදා ගුවන් විදුලිය ප්‍රචාරය කිරීම පවා තහනම් කළේ තරුණ තරුණියන් සුයිසයිඩ් කරගන්න නිසා. ප්‍රේමසිරි කේමදාසයන් හා ඔබේ පියා අතර ගිවිසුම්ගත ගීතයක් තිබුණලු නේද සුවිශේෂී මොහොතක ගායනා කරන්න? ඒ කතාව මේකයි. අපේ තාත්තත් කේමදාස අංකලුත් හරිම යාළුවෝ. අපේ තාත්තා ලියපු කේමදාස අංකල් සංගීතවත් කරපු ගීතයක් තමයි 'උතුම් කලාකරුවාණනි ආවෙත් හිස් අතින් යන්නෙත් හිස් අතින්' කියන ගීතය. ඔය ගීතය දෙන්නාගේම කැමැත්තට ගිවිසගෙන තිබුණා, දෙන්නගෙන් කවුරු හරි ඉස්සෙල්ලා මිය ගියොත් ඒ කෙනාගේ අවමඟුල් ගෙදර මේ ගීතය අවමඟුල් කටයුතු අවසන් වනතුරු ප්‍රචාරය කළ යුතුයි කියලා. කොහොම හරි මගේ තාත්තා කේමදාස අංකල්ට කලින් මිය ගියා. ඒ අනුව තාත්තාගේ සහ කේමදාස අංකල්ගේ ගිවිසුම්ගත ඒ ගීතය අපි තාත්තාගේ ඉල්ලීම පරිදි අවමඟුල ඉවර වනතුරු ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ප්‍රචාරය කළා. ධර්ම ශ්‍රී ගේ පවුලේ තොරතුරු කොහොමද? තාත්තාට හිටියේ දරුවෝ තුන් දෙනයි. ලොකු අයියා කුමාර ප්‍රභාත්, එයා දැන් ජීවතුන් අතර නැහැ. දෙවැනි පුතා නාමල් කල්දේරා. තුන්වැනියා දුව චන්දිමා කල්දේරා. මම හතරවෙනියා. මම තමයි පවුලේ බාලයා. අද වෙන කොට අපි හැමෝම විවාහ වෙලා. අම්මා අද ජීවතුන් අතර නැහැ. එයා 2003 අප්‍රේල් 4 වැනිදා නැති වුණා. පුවත්පත් කලාවේදියකු ලෙසත්, ගුවන් විදුලි ශිල්පියෙකු ලෙසත් ඔබේ පියා එක්තරා අවධියක කටයුතු කරනු ලබනවා නේද? ලංකාවේ දෙවැනි සිනමා පුවත්පත වූ 'චිත්‍රපට' පුවත්පතේ සංස්කාරකවරයා වුණේ මගේ පියා. ඒ වගේම විරිදු නාට්‍යයක් ප්‍රථමයෙන් වේදිකාවට රැගෙන ඒමේ ගෞරවය අදටත් හිමි වන්නේ මගේ තාත්තාට. මෙරට පෙරළිකාර චිත්‍ර කතා රචකයකු බවටත් ඔබේ පියා නම් දරනවා? ඩී. බී. ධනපාල මහතාගේ ආරාධනයට තාත්තා ලංකාදීප පුවත්පත් ආයතනයට සම්බන්ධ වී උප කර්තෘවරයෙක් ලෙස කටයුතු කළා. ඔය අවධියේදී ඉරිදා ලංකාදීපයට නව ආරක චිත්‍ර කතා රැසක් තාත්තා රචනා කළා. ඒ කතාවලට එදා චිත්‍ර ඇන්දේ සුසිල් ප්‍රේමරත්න මහතා. ජනප්‍රිය තලයේ වැජඹුණු තාත්තාගේ චිත්‍ර කතා නිර්මාණ සිනමාවට නැඟෙනවාට ඔබ කැමැතිද? මම උඩින්ම කැමැතියි. තාත්තාගේ බිලි පූජාව, මායාකාරි, ලන්දේසි සටන මේ කතාවල් කවුරු හරි සිනමා හෝ ටෙලි නාට්‍ය නිර්මාණයක් කරන්න කැමැති නම් මම උපරිම සහායක් ලබා දෙනවා. එහෙම කරන කෙනකුට මම මට පුළුවන් හැටියට මුදලින් වුණත් උපකාර කර ඒවා නැවත එළිදක්වන්න මම හදවතින්ම කැමැතියි. ඔබලා ඇති කරගත් ධර්ම ශ්‍රී කල්දේරා සංරක්ෂණ පදනම තවමත් පවතිනවාද? තාත්තා මිය ගොස් අවුරුදු දෙකකින් විතර තමයි අපි එය පිහිටුවා ගත්තේ. හැබැයි පදනම ඇති කර ගත්තට අද වෙනකම් කරපු දෙයක් නැහැ. මගේ පුංචි අම්මාගේ පුතෙක් ඉන්නවා ප්‍රියන්ත ශ්‍රීලාල් මුදුන්කොත්ගේ කියලා. එයා බොහොම ළැදියි අපේ තාත්තාගේ නිර්මාණවලට. මටත් වැඩිය තාත්තාගේ නිර්මාණ පිළිබඳ හොඳ මතකයක් එයාට තියෙනවා. එයා මට කීප විටක්ම යෝජනා කරලා තියෙනවා තාත්තාගේ නිර්මාණ සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළොත් හොඳයි කියලා. අපේ මේ පදනම හරහා හරි කවුරුන් හෝ නිර්මාණකරුවෙක් තාත්තාගේ කතා ඇසුරින් කලා නිර්මාණයක් කරන්න කැමැති නම් ඒත් මම උපරිම සහායක් ලබා දෙනවා. වේදිකාව තුළත් ජනප්‍රිය නිර්මාණකරුවෙක් ඔබේ පියා? පිළිගත් වරද නාට්‍ය නිර්මාණය කරමින් වේදිකාවේ පෙරළියක් කළා. තාත්තා දීපා, සාජන් වීරසිංහ, මධුමතී, පංච කල්‍යාණි, ධවලකේශි, ලොකු මිනිස්සු වගේ නාට්‍ය රැසක් වේදිකාවට රැගෙන ආවා. ඔබත් චිත්‍රපටවල රඟපෑවාද? මම තාත්තාගේ මුතු මැණිකේ, ගිම්හානේ ගී නාදේ චිත්‍රපටවල රඟපෑවා. තාත්තා අතින් තිර රචනා, ගීත රචනා ලියවුණේ බොහෝ විට කොයි වගේ පරිසරයක් තුළද? තාත්තයි මමයි ගෙදර නිදා ගත්තේ එකම කාමරයේ. තාත්තා පාන්දර දෙකට තුනට අවධි වෙන අවස්ථා තිබුණා. ඒ මොන යම් හෝ අදහසක් ලියන්න. නින්දෙන් අවධි වෙලා එකපාරට කාමරේ ලයිට් එක දාලා මේසෙ උඩ තියෙන පොත අරගෙන ලියාගෙන ලියාගෙන යනවා. ඒ ඉතිං බොහෝ විට ගීතයක්, එහෙමත් නැත්නම් චිත්‍රපට කතාවක්. ධර්ම ශ්‍රී කල්දේරා 107 වතාවක් සිරීපාදේ ගියා කියන කතාව සිනමාවට සම්බන්ධ දෙයක්ද? ඩබ්ලිව්. ඒ. සිල්වාගේ දෙයියන්ගෙ රටේ නවකතාව ඇසුරින් තාත්තා දෙබස් හා තිර කතාව රචනා කළ දෙයියන්ගෙ රටේ චිත්‍රපටයේ රූපගත කිරීම් සිද්ධ කරලා තියෙන්නේ සිරීපාදේ. ඒ චිත්‍රපටයේ වැඩවලට සිරීපාදේ නැගලා බැහැලා තියෙනවා තාත්තා. කොහොම හරි සිරීපාදේ ගිහින් තියෙන අවස්ථා මුළු ගණන එකතු කළාම තාත්තා ඝාණ්ඨාරය 107 වතාවක් ගහනකන් අනික් අය කට ඇරගෙන බලා ඉන්නවා. දෙයියන්ගෙ රටේ බබානිස් ගුරාට රඟපෑවෙත් තාත්තා නේද? ඔව්. එතකොට තාත්තාට අවුරුදු විසි හතයිලු. බබානිස් ගුරු කියන මහලු චරිතය කරපු තාත්තාට සිනමා විචාරක පැසසුම් පවා ලැබුණලු. ධර්ම ශ්‍රී අධ්යක්ෂවරයකු ලෙස සිනමා ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සීතල වතුර චිත්‍රපටය රැගෙන? තාත්තාගේ ඒ චිත්‍රපටය තිරගත වෙන අවධියේ ප්‍රවීණ සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ ඒ චිත්‍රපටයට විචාරයක් ලියමින් කියා තිබුණා මට මතකයි 'සිංහල සිනමාවේ කුණු රොඩු සෝදාගෙන සීතල වතුර ගලා බසී' කියලා. ඒ තරමට ඒ චිත්‍රපටයට පැසසුම් කාගෙනුත් ලැබුණා. නිතර නළු නිළියන්ගෙන් පිරුණු ඔබේ නිවසේ ඈත අතීතය අද සිහිපත් කළොත්? මට මතකයි රංජන් රාමනායක අපේ ගෙදර එනකොට ඉස්සර රඹුටන් වලු අහුරක් අරගෙන එනවා. විජය කුමාරතුංග ඒ දවස්වල තාත්තා හමුවන්න අපේ ගෙදර එනවා. මම බොහොම පුංචියි. විජය අංකල් මාව දැක්ක ගමන් උස්සල උඩට ගන්නවා. විජය අංකල් හරිම උසයි. ඒ වෙලාවට මම කෑගහලා හුරතල් වෙවී විජය අංකල්ගේ බෙල්ලේ එල්ලෙනවා. සමහරදාට විජය අංකල් මාව උඩ දාලා අල්ලපු දවසුත් තිබුණා. හයිලෙවල් පාරේ සැලුන් කතාව මොකක්ද? මගේ ලොකු අයියා හයිලෙවල් පාරේ කොණ්ඩෙ කපන සැලුන් එකක් දැම්මා. එදා සැලුන් එකේ ඔපනිං එකට නළු නිළියෝ ගොඩක් ආවා. අද කාලේ වගේ නෙමෙයි එදා. නළු නිළියන්ට හරිම පිළිගැනීමක් තිබුණේ. සෙනඟ පොරකනවා නළු නිළියෝ බලන්න. මට මතකයි විජය අංකල් අයියට කිව්වා මලයෝ මගේ කොන්ඩෙට කතුර තියපන්, හැබැයි කෙස් ගහක්වත් කපන්න නම් එපා කියලා. එදා විජය කොණ්ඩෙ කපන්න වාඩි වෙලා හිටිය ඒ අවස්ථාව මට අදත් මැවිලා පේනවා වගේ. මධුරංග ඔබේ තොරතුරු කොහොමද? මම දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යතුරු පැදි තරඟ අංශයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරනවා. 97 ඉඳලා මම දේශීය වගේම විදේශීය රටවලත් මෝටර් රේස් පදිනවා. ටී. වී. විෂුවල්, වෙළෙඳ දැන්වීම් සඳහා මම ස්ටන්ට් ශිල්පියෙක් වශයෙන් පෙනී සිටිනවා. මේ මෑතකදී ත්රිරූඩා ගීතයේ විෂුවල් සඳහාත් පෙනී සිටියා. ඔබට චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා යතුරුපැදි අංශයෙන් වික්‍රමයන් පාන්න ආරාධනා කළොත්? මම එක සිතින් භාර ගන්නවා. කොහොමද ඔබේ පවුලේ තොරතුරු? මගේ බිරිය සුවිනි, පුතා චෙනුක. ලිපිනය වගේම දුරකථන අංකයත් මතක් කළොත්? 473 ඩී, හයිලෙවල් පාර, විජේරාම, නුගේගොඩ. 0777893200 අංකයට කතා කළොත් මාව ඕනෑම කෙනෙකුට සම්බන්ධ කර ගන්නත් පුළුවන්.
|
||||