|
හාස්‍යයෙන් අප පිනවාලූ සුනිල් සඳ බැස ගියේය
ඉර අවරට යමින් සිටියේය. පොළව සිප ගැනීමට සූදානම් වන ගොම්මන් කළුවර තවත් මොහොතකින් හාත්පසම අන්ධකාරයට පත් කරනු ඇත. ඒ ගෙවෙමින් තිබුණේ තවත් ඉරිදා දිනයකි. හරියටම කිවහොත් මෙම මස 06 වැනිදාය. බොහෝ පිරිසක් ඔහු වෙනුවෙන් බොරැල්ල සුසාන භූමියට ඇදෙමින් සිටියෝය. වෙනදා නම් ඒ අසහාය කලාකරුවාගේ නම ඇසුවත් අපට සිනහ පහල වන්නේය. එමෙන්ම ඔහු රඟපෑ නිර්මාණයක ජවනිකාවක් මැවෙන්නේය. එහෙත් අද . . . සුනිල් හෙට්ටිආරච්චි නම් ඔහුව ස්මරණය කරමින් අප ශෝක වන්නේය. අනේ පව් කියන්නේය. තවත් කොයි කලෙකින් මෙවන් වූ කලාකරුවකු පහළ වන්නේද කියා විස්සෝප වන්නේය. මොන දේ සිතුවත් දැන් පළක් නොමැත. සියල්ල අතහැර සුනිල් අවසන් ගමන් ගොසිනි. 1937 අප්‍රේල් 08 වැනිදා උපන් සුනිල් ඉගෙනුම ලැබුවේ කෝට්ටේ ක්‍රිස්තියානි පාසලෙන්ය. අද එය ජයවර්ධන පිරිමි විදුහල ලෙස හඳුන් වන්නේය. රංගන ශිල්පියෙකු වීමේ බලාපොරොත්තුවක් කිසිදු දිනක ඔහු තුළ නොවීය. අඩුම තරමේ කලා ලොව තුළ කිසිදු මිත්‍රයකු ඔහුට සිටියේ නැත. සුනිල් දීර්ඝ කාලයක් ජීවත්ව සිටියේ නාවලය. අහම්බෙන් ගමේ වෙසක් නාට්‍යවලට එකතු වන ඔහු පසුකාලීනව වෙසක් නාට්‍ය ලියන්නට ද පටන් ගත්තේය. සුනිල්ගේ වෙසක් නාට්‍ය බෙහෙවින් රසවත් විය. එහෙයින් ගමේ උන්දැලාට ඒවා අල්ලලා ගියේය. කාලාන්තරයක් තිස්සේ ඔහු වෙසක් නාට්‍යවල නිත්‍ය සාමාජිකයකු බවට පත් විය. සුනිල්ව සිනමාවට එකතු කර ගත්තේ රෝයි ද සිල්වාය. ඒ ඔහුගේ කඩවුණු පෙරොන්දුව නව නිෂ්පාදනයෙනි. සුනිල් තමන් සතු නිසඟ කුසලතාවය තම කුලුඳුල් චිත්‍රපටයෙන්ම විදහාලීය. ඒ වන විටත් සුනිල්ගේ වයස අවුරුදු හතළිහක ද ඉක්මවා තිබිණි. එනමුදු වසර ගණනාවක් සිනමා රංගන අත්දැකීම් බහුල ශිල්පියකු වශයෙන් සුනිල් කඩවුණු පොරොන්දුවේ චරිත මවනු ලැබුවේය. සිනමාවට පැමිණි මේ නවකයා දෙස ඇතැම් අය බැලුවේ වපර ඇසිනි. සිය පළමු නිිර්මාණයෙන්ම මෙතරම් සාර්ථකව රඟපෑවේ කෙසේ ද යන්න ඔවුනට මහත් වූ ගැටලුවක් විය. මේ කිසිවක් සුනිල් තඹ සතේකට ගණන් ගත්තේ නැත. ක්‍රම ක්‍රමයෙන් රංගනයට ඇති ඇරැයුම් වැඩිවෙද්දී ජනප්‍රියත්වය ද ඔහු කෙරෙහි ළඟා වූයේ නිරායාසයෙනි. ජාතික රූපවාහිනියේ දිනපතා සවස ළමා නාට්‍ය විකාශය වන කාලයක් තිබිණ. ඒවා විවිධ නිෂ්පාදකවරු නිෂ්පාදනය කළත් සුනිල් රඟපෑ ළමා නාට්‍ය නිෂ්පාදනය කළේ ශ්‍රීමතී ලියනගේ විසින්ය. ඒ ඔහු ටෙලිවිෂනය ආගමනය වූ අන්දමය. සුනිල් රඟපෑ බහුතරයක් ළමා නාට්‍ය ඉතා රසවත් විය. අද වැඩිහිටියන්ව කල් ගෙවන බොහෝ දෙනෙකු එම නාට්‍යයන් හි රසික රසිකාවන්ය. සුනිල් ද ළමා නාට්‍යයන්ට සම්බන්ධ වූයේ ළමුන් වෙනුවෙන් තමන් විසින් කළ යුතු යැයි සැලකෙන මෙහෙවරක් කියා සිතූ බැවින්ය. බෝඩිම, පළඟු මැණිකේ, ළහිරු දහසක්, කීටයා, නිවටයා, හොටෙල් ඩි කලබල, ගිරය, ගිජු ආදී ටෙලි නිර්මාණ රැසකට දායකත්වය ලබා දෙන සුනිල් ඉතාම කෙටි කලකින් පුංචි තිරයේ විකට රජ්ජුරුවෝ බවට පත් විය. බෝඩිම ටෙලි සිතුවමේ ඔහු රඟපෑ හෙට්ටිආරච්චි මහත්තයාගේ චරිතය අමතකව ඇත්තන් සොයා ගැනීට උගහටය. බෝඩිම නැරැඹූ අප සුනිල් හෙට්ටිආරච්චි එනතුරු නොඉවසිල්ලෙන් සිටියේය. බාච්චු කලිසම හැඳ විශාල ටී ෂර්ටයක් ඇඟලා ඔහු අපව කුල්මත් කළේය. මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසය ගැන පිරික්සා බලද්දී ප්‍රේක්ෂකයන් වැඩිම දෙනෙකුගේ ලේ පිරිසුදු කළ ටෙලි සිතුවම බෝඩිම බව අවිවාදිතය. එහි රඟපෑ දයා අල්විස්, සිරිල් ධර්මවර්ධන වැන්නවුන් අද ජීවතුන් අතර නැත.ඒ දෙදෙනා අතරට සුනිල් ද එකතු වූයේය. වර්තමානයේදී බෝඩිම නැවත ප්‍රතිනිර්මාණය කළහොත් අන් චරිත කොයි කවුරු නිරූපණය කළත් හෙට්ටිආරච්චි මහත්තයාගේ චරිතයට පණ පෙවීමට කිසිවකු හෝ සොයා ගත නොහැකි වනු ඇත. සිය කෙසඟ සිරුර ආභරණයක් කර ගනිමින් තමන්ටම ආවේණික වූ රංග ශෛලිය නිර්මාණයන් තුළදී වඩාත් ප්‍රකට කළ සුනිල් හැරුණත් අපට ඇති තරම් සිනහවීමට පුළුවන. ඒ තරම්ම ඔහුගේ රංගනය තාත්ත්වික විය. සුනිල්ට පුංචි කාලයේ එක්තරා සිහිනයක් තිබිණි. ඒ කවදා හෝ වැඩිහිටියෙකු බවට පත් වූ විට රැකියාව වශයෙන් චිත්‍රපට ශාලාවක කළමනාකරණ ධුරය තෝරා ගැනීමය. එයට හේතුව වූයේ එම රැකියාවේ නියැලුණහොත් නොමිලයේ චිත්‍රපට නැරැඹීමේ හැකියාව ඇති බැවින්ය. කෙසේ වෙතත් පසුකාලීනව සුනිල් චිත්‍රපට නළුවකු බවට පත් වන්නේ දෛවෝපගත ලෙසය. කළමනාකරුවකු වූවා නම් ඔහුට සිටින්නට වන්නේ එක් චිත්‍රපට ශාලාවකය. නමුත් ඔහු නළුවකු වූවායින් අනතුරුව මෙරට සෑම සිනමා ශාලාවකම සිටියේය. එහෙත් පසුකාලින තමන් රඟපෑ චිත්‍රපටවත් නරඹන්නට නොහැකි වූ බව සුනිල් පුවත්පතකට පවසා සිටියේ කනගාටුවෙන්ය. අදින් වසර දෙකකට පමණ පෙරාතුව සරසවිය කර්තෘතුමා සුනිල් හෙට්ටිආරච්චිගේ නිවසට යන්නට යැයි මට පැවසීය. කලක් සුනිල් රඟ නොපෑම සහ ඔහුගේ නිහඬතාව ගැන එම ලිපියට හේතු පාඨක කරගන්නට යැයි ඔහු කීවේය. 'අනේ ඔව්මයි, සුනිල් මහත්තයාව කාලෙකින් දැක්කේ නැහැ තමයි' කියා මට කියවිණි. මමත්, අප ඡායාරූප ශිල්පී අමිත් එස්. සේනාරත්නත් මාලිගාවත්තේ රම්‍ය පෙදෙසෙහි තිබූ සුනිල් හෙට්ටිආරච්චිගේ නිවස සොයා ගියේය. අප එන වග දැනගත් සුනිල්ගේ දූ දරුවෝ, බෑණනුවෝ සියල්ලම එදා නිවසෙහි සිටියහ. ඉන් එක් අයකු අපට ටිකක් ඉන්නට යැයි පවසා නිවස තුළට ගියේය. ඇය යළිත් පැමිණියේ සුනිල් හෙට්ටිආරච්චිව වත්තම් කරගෙනය. ඔහුව අප අසල වූ පුටුවක වාඩි කෙරුවේය. ඔහු බලාගත් අතම බලා සිටියේය. හත් දෙවියනේ, මොකද මේ සුනිල් මහත්තයාට වුණේ . . . දැන් අවුරුදු දෙක තුනක ඉඳලා ඔහොම්මමයි. පාකින්සන් කියන දුර්ලභ ලෙඩේ හැදිලා තියෙනවා කියලා තමයි ඩොක්ටර්ස්ලා කියන්නේ. ටිකක් වෙලා යනවා පියවි සිහියට එන්න. හොඳට කතා කරනවා. ආයෙත් මතක නැහැ. දියණි ආශා කියාගෙන ගියේය. අප සුනිල් සමඟ අදහස් හුවමාරුවට උත්සාහ ගත්තේය. මිනිත්තු කිහිපයක් ගත විය. ඔහු කතා නැත. හදිසියේම ඔහු කතා කොට වතුර එකක් ඉල්ලීය. ඒ ඇසිල්ලෙන් නැවතත් අප කතා කළේය. එවර නම් ඔහු අපේ ඇමතීමට සංවේදී විය. හෝරාවක් පමණ වරින් වර ඔහු මතක සැමරුම් ආවර්ජනය කළේය. අප එදා සුනිල් මහත්මයාගේ නිවසේ සිට ආපසු පැමිණියේ ජීවිතයේ ප්‍රථම වතාවට සුනිල් හෙට්ටිආරච්චිව දැක දුකබර වීමෙන්ය. සුනිල් හෙට්ටිආරච්චි අසනීපව සිටින වග බොහෝ දෙනෙකු දැනගත්තේ ද සරසවියේ පළ වූ එම ලිපියෙන්ය. ඔහුට ද එය පෙන් වූ බව සුනිල්ගේ පවුලේ උදවිය අපට කීය. නිරෝගීව සිටියදී හැකි සෑම සතියකම සරසවිය පුවත්පත ගත් බව ඔවුන් අපට පැවසුවේ එවලෙහිය. මෙරට රංග ශිල්පියකු ලද ඉතා විරල අවස්ථාවකට හිමිකම් කීමට සුනිල්ට හැකි විය. ඒ ලෝ පූජිත රංගනවේදියකු වූ චාලි චැප්ලින්ගේ දියණිය සමඟ රංගනයේ යෙදීමට හැකි වීමය. ජෙරල්ඩීන් චැප්ලින් නම් වූ ඇය සුනිල්ට හමු වූයේ මදර් තෙරේසා සිනමා සිතුවමේ දර්ශන තලයේදීය. දෙදෙනා මඳ වේලාවක් අදහස් හුවමාරු කරගෙන ඇත. එහිදී ජෙරල්ඩීන් වගේ කෙනෙකු හා එකට රඟපෑම සතුටක් බව සුනිල් ප්‍රකාශ කරනු ලැබුවේය. ජෙරල්ඩීන් ද පෙරලා පැවසුවේ සුනිල් වගේ කෙනෙකු සමඟ රඟපෑමට අවස්ථාවක් ලැබීම ගැන සතුටු වන බවය. ඇය එසේ පැවසීමට එක්තරා හේතු කාරණාවක් ඇත්තේය. ඒ සුනිල් රංගනයේදී තමා සමඟ රඟපාන අනෙක් කෙනාට ලබාදෙන පහසුවය. ජෙරල්ඩීන්ට ද එසේ වන්නට ඇත. එහෙත් ඇතැම් රංගන ශිල්පීන් ඕනෑවට එපාවට රඟපාද්දී සුනිල්ට නහුතෙටම තද විය. මා දන්නා රංගන ශිල්පීන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ ආධුනික කාලයේදී සුනිල්ගේ උදහසට ලක් වී ඇත්තේය. 'මට දෙබස් කියාගන්න බැරි වෙලා ටේක් එක හතර පස් වතාවක් ගන්න වුණා. සුනිල් අයියා බැන්නේ නැතෑ ළඟට ඇවිල්ලා. නිෂ්පාදකවරුන්ගේ සල්ලි නාස්ති කරන්න එපා කිය කිය කෑගැහැව්වේ. ඊළඟ සැරයේ මං හරියට කළා. අද තමයි දැණෙන්නේ සුනිල් අයියා කෑගැහැව්වේ ඇයි කියලා. හොඳ පාඩමක් එදා සුනිල් අයියා කියා දුන්නේ. ඒ ඉන් එක් අයකුගේ අදහස්ය. නිර්මාණයක සාර්ථකත්වය එයට දායක වන සියලු දෙනාගේ සහයෝගය මත තිබෙනවා යැයි සුනිල් විශ්වාස කළ කරුණක් විය. ඔහු නිෂ්පාදකවරු අමාරුවේ වැටෙනවාට නොකැමැත්ත පළ කෙරුවේය. ඒතරම්ම ඔහු ක්ෂේත්‍රයට ආදරය කළේය. කාලයක් ගත වෙද්දී සුනිල්ගේ බිරිය ලෙඩ ඇඳට වැටිණ. ඇයට වැළඳී තිබුණේ පිළිකාවකි. මේ බව දැනගත් සුනිල් මහත් වූ කම්පාවට පත් විය. රංගන කටයුතුවලට වඩා බිිරියගේ කටයුතුවලට මුල් තැන ඔහු ලබා දුන්නේය. අභාග්‍යට ඇය මෙලොව හැර ගියේ සුනිල්ව දරුණු ශෝකයට පත් කරවමිනි. කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පැසුවේ සැහැල්ලුවෙන් සිටි ඔහු වාවාගත නොහැකි ශෝකයෙන් පෙළුණු එකම දවස් ටික එය බව කියාය. එතැන් පටන් රෝගාතුර වන තෙක්ම සුනිල් තම දූ දරුවන් සිවු දෙනාගේ දුක සැප බැලුවේය. පියකු ලෙස කරන්නට අවැසි යුතුකම් සියල්ල ඉටු කළේය. දරවන් විවාහ කොට ඔවුන් දූ දරුවන් ලබද්දී ආදරණීය සීයා කෙනෙකු බවට ද සුනිල් පත් වුණේය. ඒ සොඳුරුතමයා මේ වන විට ජීවිත ගමන හමාර කොට ඇත්තේය. රංගන ජීවිත කාලය දීම සම්මාන අතළොස්සක් ලැබුණත් ජනතා සම්මානයෙන් ඔහු නිරන්තරයෙන් පිදුම් ලැබුවේය. හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා චිත්‍රපටය වෙනුවෙන් ර්‍ණඛ්ධ්ඛ් සහ සරසවිය සම්මානයෙන් ඔහුගේ රංගන කාර්යය ඇගැයීය. එතැන් පසුව වගකිවයුතු සම්මාන උලෙළකින් සුනිල්ව අගය කළාදැයි සැක සහිතය. එනමුත් ඔහු රංග කාර්යයේ යෙදුණේය. සුනිල් මහත්තයාම පැවසූ එක්තරා කතාවක් නිසා ඔහු වාසනාවන්ත නළුවකු යැයි මට සිතිණ. ඒ වරෙක ඉන්දියාවේ ගිය මොහොතක එහි ගුවන් තොටුපළින් එළියට එද්දී ඉන්දියානුවන් කිහිප දෙනෙකු ඔහු හා සිනාසී ඇත. ඉන් අයකු හෙලෝ ටී. වී මෑන් හව් ආර් යූ යනුවෙන් අතට අත දී කතා කොට තිබේ. සුනිල් උඩ බිම බැලුවේය. ඔහුට එම තනැත්තා පැවසූ දෙය කුමක්දැයි වටහා ගැනීමට මඳ වේලාවක් ගත විය. ක්ෂණයකින් සුනිල්ට තත්ත්වය තේරුම් ගියේය. ඔවුන් ඉන්දියානුවන් වුව ද තමන් රංගන ශිල්පියකු බව හඳුනා ගෙන ඇති බව ඔහුට වැටහිණ. එම අවස්ථාවේදී සුනිල් සමග මෙරට ජනප්‍රියතම නළු නිළියන් කැළක්ම සිටියෝය. එනමුදු තමන්ව පමණක් හඳුනා ගැනීම පිළිබඳ ඔහුගේ සිතෙහි ඇති වූයේ පුංචි ආඩම්බරයකි. ඇත්තෙන්ම කිව්හොත් සුනිල් ඉන්දියාවේ පවා ජනප්‍රිය නළුවෙකි. රටක් හිනැස්සූ ඔහු රටක් හඬවා ඉකුත් ඉරිදාවේ සවස සදහටම අපගෙන් සමුගෙන ගියේ කලා ලොව තුළ දැඩි හිදැසක් තබමිනි. එය කවදාවත් පිරවෙන හිදැසක් නොවන බව නම් සුපැහැදිලිව කිව හැකි වන්නේය. |