වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කෞශල්‍යා ප්‍රනාන්දු දුටු තැන අල්ලනු

කෞශල්‍යා ප්‍රනාන්දු දුටු තැන අල්ලනු

කෞශල්‍යා ප්‍රනාන්දුගේ නවතම නිෂ්පාදනය ‘දුටුතැන අල්ලනු !’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය මේ මස 12 හා 13 වැනි දිනවල ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගතවෙයි. වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන මාධ්‍යය ත්‍රිත්වයේම සැරිසන දක්ෂ රංගන ශිල්පිනියක වන ඇය දක්ෂ නාට්‍ය නිෂ්පාදිකාවකි. මේ ලිපිය සැකසෙන්නේ කෞශල්‍යාගේ නවතම වේදිකා නාට්‍යය හා වේදිකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඇය සමඟ කළ කතාබහකිනි.

‘දුටුතැන අල්ලනු’ වගේ නමක් සාමාන්‍යයෙන් භාවිත කරන්නේ පොලිසියයි. ඒ වගේ නමක් මේ නාට්‍යයට යොදා ගැනීමෙන් ඔබ අදහස් කළේ කුමක් ද?

මේ නාට්‍යයෙන් අපි කතා කරන්නේ වර්තමානයේ අපේ රටේ තිබෙන සමාජ, දේශපාලන තත්ත්වය පිළිබඳයි. ඒ දේ ගැන කතා කළත් මේක අනුවර්තන නාට්‍යයක්. නයිජීරියානු ජාතික නොබෙල් ත්‍යාගලාභී වොලී සොයින්කා කියන රචකයාගේ ‘ඔපෙරා වෙන්යෝසි’ නම් විශිෂ්ට නාට්‍යය පිටපත ඇසුරින් තමයි මේ අනුවර්තනය සිදු වෙන්නේ. ඔහු මේ ‘ඔපෙරා වෙන්යෝසි’ නාට්‍යය පිටපත නිර්මාණය කරන්නේ බර්ට්‍රෝල්ට් බෙෂ්ට්ගේ ‘ත්‍රී පෙනි ඔපෙරා’ නාට්‍යයත්, බ්‍රෙෂ්ට්ගේ ඒ නාට්‍යය පිටපත ලිවීමේදී ඇසුරු කරගත් 18 වැනි සියවසේ දී ජෝන්ගේ විසින් නිර්මාණය කරන ලද ‘ද බෙගර්ස් ඔපෙරා’ නම් සංගීතමය නාට්‍යයත් යන පිටපත් දෙකම ඇසුරින් කෙරෙන අනුවාදයක් ලෙසින්. එහිදි ඔහු කතා කරන විශ්ව මාතෘකාව ඔස්සේ විමසලා බැලුවොත් අපට පෙනෙන්නේ මා මේ නාට්‍යයට යෙදූ නම වඩාත්ම උචිත බවයි. කෙනෙක් කෙනෙකුව අත්අඩංගුවට ගන්න සොයනවා. මේ විදියට ඒ නාට්‍යයේම කියැවෙන අදහසයි මා ‘දුටුතැන අල්ලනු’ කියන නම යොදා ගන්නට හේතුවුණේ.

වොලී සොයින්කාව ඔබ හඳුන්වන්නේ කොහොමද?

ඔහු මේ ලියලා තියෙන්නේ නයිජීරියාවේ හැත්තෑ ගණන්වල තිබුණු සමාජ වටපිටාවයි. ඒ කාලයේ තිබිලා තියෙන්නේ ඒකාධිපති පාලනයක්. බොකාසා කියන මේ අධිරාජයාගේ කාලයේ ඒ රටේ තිබුණු ආණ්ඩු ක්‍රමය හා දේශපාලනය පිළිබඳ සංකීර්ණ තත්ත්වයක් තමයි වොලී මේ නාට්‍යයෙන් කතා කරන්නේ. හැබැයි ඔහු එය කතා කරන්නේ ප්‍රහසනාත්මකවයි. ඔහු ඔහුගේ සමාජ දේශපාලන වාතාවරණය පිළිබඳ ලියන්නේ දැනුවත්ව හා සංවේදීවයි. ඒ නිසා බොහෝදෙනා වොලිව හඳුන්වන්නේ ලෝකයේ ඉන්න බහුශ්‍රැතයෙක් විදියටයි. ඒ වගේම අප්‍රිකාවේ ඉන්න දක්ෂතම රචකයෙක්. වොලී ලෝකය වටේ තියෙන විශ්වවිද්‍යාලවල දේශන පවත්වමින් යනවා. මේ ළඟදී ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙත් දේශනයක් පවත්වලා තියෙනවා.

ඔහු නයිජීරියාවට ලියලා තියෙන පිටපත අපේ රටට ගැළපෙනවද?

ඇත්තටම මේ පිටපත පරිශීලනය කළ කෙනෙකුට ඒ අදාළ වන කාරණය ගැන පුදුම හිතෙන්නත් පුළුවන්. මොකද ඒ තරමටම තුන්වැනි ලෝකයේ රටවල්වල තිබෙන මේ ජුගුප්සාජනක සමාජ, දේශපාලන තත්ත්වය සෑම රටකටම පොදු කාරණයක් බවට පත්වෙන බව අපට පෙනෙන නිසයි. යම්කිසි කෙනෙක් බලයට පත්වුණාට පස්සේ ඔහු බලයට ආවේ ඇයි කියලා සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. ඔහු බලයට ආවේ කොහොමද කියලා සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. ඔහු ඒක පුද්ගලික ගමනක් බවට පත් කර ගන්නවා. ඊට පස්සේ සිය පෞද්ගලික තත්ත්වය ආරක්ෂා කර ගන්න ඔහු වටේ ඉන්න අයට දෙනවා නිදහස් වරමක්. ඒ ඔවුන්ටත් ඕනෑ නම් ඕන විදියට කටයුතු කරන්නයි. මේ ක්‍රමය ඉහළ ඉඳන් පහළ දක්වාම ගමන් කරනවා. මේ ගමන් කිරීමේදී පහළ නිලධාරියාගේ සිට ඉහළ නිලධාරියා දක්වාම එකිනෙකාගෙන් යැපෙන ආකාරයට අන්‍යෝන්‍ය වශයෙන් බලය ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ තත්ත්වයයි ප්‍රහසනාත්මකව වොලීගේ පිටපතෙන් ඉදිරිපත් වන්නේ. හැබැයි ඔහු මේ කියන සමාජ, දේශපාලන තත්ත්වය ගැඹුරු, නීරස නිර්මාණයක් ලෙස නොවෙයි මා ඉදිරිපත් කරන්නේ. හැමෝටම රස විඳීය හැකි විනෝදාත්මක ශෛලියකටයි. එහිදි එන්ටර්ට්‍රේට්මන්ට් කියන කාරණයච මූලික වෙනවා.

මේ පිටපත මුලින්ම පරිවර්තනය කරන්නේ ඔබගේ මවයි. එය වේදිකා නාට්‍යයක් ලෙසත් රඟ දැක්වෙනවා?

මේ පිටපත 1991 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය සංගමයේ නළු - නිළියන් යොදාගෙන තෛ‍්‍රභාෂික නාට්‍යයක් ලෙස නිෂ්පාදනය වෙනවා. ඒ නළුවෙක් හා නිළියක් භාෂා තුනෙන්ම කතා කරනවා. කලාව ගැන උනන්දු වූ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය සිසු සිසුවයන් සහභාගි කරගෙන අම්මා කළ මේ නාට්‍යය පර්යේෂණාත්මක නාට්‍යයක්. ඒ ගැන විශ්වවිද්‍යාල ප්‍රජාව අතර බොහෝ කතාබහට ලක්වුණා. වොලී සොයින්කා කියන නාට්‍යකරුවාගේ පිටපත හා ඔහුව අම්මට හඳුන්වලා දුන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි නාට්‍ය අංශයේ සිටිය නෙලූ පර්ද මෙල් මහාචාර්යවරයා. එහිදි මේ නිර්මාණයේ අම්මා පරිවර්තනය කළේ ඇයට අවශ්‍ය කොටස් ටික පමණයි. ඒ තරමට ඒක දිගු නිර්මාණයක්.

නමුත් ඊට පස්සේ මම අම්මට කිව්වා මට ඒ පිටපත පරිවර්තය කරලා දෙන්න කියලා. එහෙම කළත් ඒ කාලයේම මට මේ පිටපත නිෂ්පාදනය කර ගන්නට නොහැකි වුණා. නමුත් මේ වසරේ මුල අසනීප තත්ත්වයේ සිටිය අම්මාවත් සහභාගි කරගෙන මේ කාර්ය ආරම්භ කරන්න මම මුල පිරුවා. අනෙක් කාරණය මේ නිර්මාණය කරන්නත් මගේ සිතේ බොහොම ඕනෑකමක් තිබුණා. මේ කරුණු කාරණාත් එක්ක එහි ආරම්භය සිදුවුණා. මෙහිදි අපි කළේ අම්මා කළ පරිවර්තනයේ මූලික පදනම තියාගෙන ඒක අපේ කටවහරට හැරෙව්වා. ඒ කියන්නේ එක්තරා දුරට අනුවර්තනයක්. එහි තිබුණු ගීත අපි ඒ විදියටම ගත්තේ නැහැ. ඒවායේ තිබෙන සමස්ත අර්ථය අරගෙන නිවංක දහනායක ගීත ටික අපට හරියන විදියට ලිව්වා. අවසන් දර්ශනයත් කියන දේ අතින් සමස්ත නාට්‍යයේ අර්ථය අරගෙන අපි පොඩි ගොනු කිරීමක් කළා.

ඔබ මේ විදියට විකාරරූපී වුණු සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික පසුබිම ප්‍රේක්ෂකයන්ට රැගෙන එන්නේ ප්‍රහසනාත්මක හැඩයක් ඔස්සේ. එහෙම කරන්න හේතුවුණු විශේෂත්වය කුමක් ද?

අද රටේ නාට්‍ය බලන ප්‍රේක්ෂාගාරයක් වගේම දුවන නාට්‍ය වර්ගයක් තියෙනවා. ඒක සැහැල්ලු, හාස්‍ය මුසු, විනෝදාත්මක නාට්‍යයි. මට උවමනා වුණේ මේ කතා කරන මාතෘකාව බොහෝ ගැඹුරු විදියට ඉදිරිපත් කරලා ප්‍රේක්ෂකයන්ට එපා කරන්නේ නැතිව ඔවුන්ව වේදිකාවට ගෙන්නලා විනෝදයත් එක්කම මේ කතා කරන දේ ඒ අයගේ ඔළුවට දෙන්නයි. ඒ මෙන්න මේ වගේ දේවල් අපේ රටේ දේශපාලනයෙත් සිද්ධ වෙනවා කියලයි. ඒ වගේම මේ පිටපතත් ප්‍රහසන පිටපතක්. ඒ නිසයි මේ නිර්මාණය ප්‍රහසනයක් වෙන්නේ.

මේ නාට්‍යයේ දාහත් දෙනෙක් රඟපානවා.

අපේ නාට්‍ය ආයතනයේ ඉගෙන ගත්ත දක්ෂ නළු නිළි පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ හැකියා පිළිබඳ මා දන්නවා. ඒ අය අමතක කරලා නිර්මාණයක් කරන්න මට බැහැ. ඒ නිසා ලොකු පිරිවැයක් ගියත් ඔවුන්ට අවස්ථාවක් දෙන්න මා මේ නිර්මාණය අවස්ථාවක් කර ගත්තා. ඔවුන්ම තමයි මෙහි වේදිකා පරිපාලනය, සහය අධ්‍යක්ෂණය ඇතුළු බොහෝ කටයුතුවලට සහය වන්නේ. රංගනයෙන් ධනුෂ්ක ඩයස්, ශානක ප්‍රනාන්දු, තිලක්ෂිණී රත්නායක, තිලින පෙරේරා, නිලංක දහනායක, සේවියර් කනිෂ්ක, රුචී අබේවර්ධන, මයුර කාන්චන පෙරේරා, දිලුම් බුද්ධික, පූජන දන්දෙණිය, කුමුදු වික්‍රමතන්ත්‍රි, ගයාත්‍රි ඒකනායක, සමීර ලක්මාල්, තිවංක දොන් රණසිංහ, සුමින්ද සඳරුවන්, හසරින්ද කේසර යන ශිල්පීන් සහභාගි වෙනවා. සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තන ජයකොඩිත්, ආලෝකකරණය, නැටුම් නිර්මාණය සහ රංග වින්‍යාසයෙන් චන්දන අලුත්ගේත්, ඇඳුම් සහ වේදිකා අලංකරණයෙන් තිසර ඉඹුලානත් මේ නාට්‍යයට සහය වෙනවා. අවසන් වශයෙන් පවසන්නට තියෙන්නේ ඒ දිනවලට ඇවිත් නාට්‍ය නරඹන්න කියලා ආරාධනය කිරීමයි.

ප්ලේ හවුස් ළමා හා යොවුන් රංග පීඨය මගින් ඉදිරියේදිත් මෙතෙක් පැමිණි ගමන්මග ඒ ආකාරයෙන්ම සිදු වෙනවාද?

ඒ විදියට වගේම ඊටත් වඩා වැඩකටයුතු රැසක් සමඟ ඉදිරියට කරගෙන යන්නයි බලාපොරොත්තු වන්නේ. මගේ අම්මාගේ සිතේ තිබුණු එකම සිහිනය වුණේ මේ පීඨය කොළඹට පමණක් සීමා කරන්නට නොවෙයි. එය ගම්දනව් කරා රැගෙන යෑමයි. ඒ සිහිනය සැබෑ කිරීමයි අපි ඇයට දක්වන එකම උපහාරය වන්නේ. ඇය ළමයින් වෙනුවෙන් කළ සේවය ඒ අයුරෙන්ම හැකිතාක් ඉදිරියට ගෙන යෑම සඳහා සැලසුම් සකස් කරමින් තමයි මේ දවස්වල අප ඉන්නේ.

වර්තමානයේ තිබෙන මේ සමාජ, ආර්ථික ප්‍රශ්න නිසා අපේ සමාජය ජරාජීර්ණ තත්ත්වයට පත්වෙලා. මේ නිසා සමාජයේ රජයන්නේ හොරකම, දූෂණය වගේ කාරණායි. මේ සඳහා කුමක් කළ යුතුයැයි ද ඔබ පවසන්නේ ?

අද මිනිස්සුන්ට තිබෙන අවශ්‍යතා සපුරන්න ඔවුන් අතේ මුදල් නැහැ. ඒ නිසා ඔවුන්ට අන්තිමට කරන්න වෙන්නේ හොරකම් කරන එකයි. මේ නිසා අද ඉන්න බොහෝදෙනා ඒ වගේ තත්ත්වයකට පෙලඹිලා. දැන් දැන් අහන දේවල්වලින් අපට පෙනෙන්නේ එයයි. ඒ තරමටම සමාජය දූෂණය වෙලා. මේ තත්ත්වය වෙනස් කරන්න නම් කුඩා කාලයේ පටන් අපේ ළමයින්ට සමාජ, සංස්කෘතික වශයෙන් දැනුමක් ලබාදෙන්න ඕනෑ. සරල ජීවිතයකට හුරු කරන්න, ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන විදිය ඔවුන්ට කියලා දිය යුතු වෙනවා. අපේ මේ නාට්‍ය කටයුත්තත් සමඟ ඉන්න තරුණ තරුණියන් බලන්න. ඔවුන්ටත් විවිධ ප්‍රශ්න තිබෙනවා. ඒත් මොන ප්‍රශ්න තිබුණත් ඔවුන් මාස නවයක් මේ නාට්‍යයත් සමඟ සිටියා. ටෙලි විෂන් එකේ රඟපාන්න ගියේ නැහැ. අද ඔය ටෙලි විෂන් එකේ රඟපාන අයට වඩා ඒ අය දක්ෂයි. ඒත් ඒ අය යමක් ඉගෙන ගන්න තිබුණ උවමනාව නිසා මෙතැන නැවතුණා. ඒත් අද එහෙම නොවෙයි නේ. ටෙලි නාට්‍යයකට ගත්ත ගමන් එයා තරුවක් වෙනවා. ඊට පස්සේ බලන්න එයා යන ගමන. ඒ ඒ දේවල්වලට වියදම් කරන විදිය.

මේ විදියටයි පහළ පන්තියේ අයත් වියදම් කරන්න උත්සාහ කරන්නේ. ඔවුන්ට ඒවා කරන්න බැරි වනවිට කරන්නේ හොරකම් කරන එකයි. සරල ජීවිතයක් කියන්නේ මොකක්ද කියලා ඒ අය දන්නේ නැහැ. අපි හැදුණේ වැඩුණේ තිබෙන පරිසරයක තමයි. එහෙම වුණත් ජීවිතේ ගැන අපේ මව්පියන් අපට කියලා දුන්නා. පොතපත කියවලා ඒ ගැන අපි අවබෝධ කර ගත්තා. ඒ නිසයි මේ නාට්‍ය පාසලේ ළමයින් වෙනුවෙන් අපේ ජීවිත කැප වෙන්නේ. අප හම්බ කරන දෙයක් තියෙනවා නම් ඒ සියල්ල කැප කළේ මේ අය වෙනුවෙන්. මට නම් අද සමාජය දෙස බලන විට පෙනෙන්නේ එකිනෙකා අතර දකින්නට තිබෙන්නේ ප්‍රදර්ශන කාමයක් බවයි. අපි හැමදාම එතැනින් එහාට ගිහින් හිතන්න ඕනෑ. අද ඉන්දියානු නළු නිළියන් ගත්තොත් ඒ අය ක්‍රියාත්මක කරන සමාජ සුබසාධන කටයුතු බලන්න. ඒ අයගෙන් අපට ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා.