වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මේ කොණ්ඩෙට ගෑනු ළමයි ගොඩක් ආසයි

මේ කොණ්ඩෙට ගෑනු ළමයි ගොඩක් ආසයි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනූ

ජනිත් ඉද්දමල්ගොඩ

ජනිත් ඉද්දමල්ගොඩ දෙරණ සිහින තරු සොයා යෑමේ සයවැනි අදියරේ සිහින තරුව ලෙස අභිසෙස් ලැබුවේ ඔහුයි.

ඉතින් ජනිත් කොහොමද? මේ දින කිහිපයේ බොහොමත්ම කාර්යබහුල වෙන්නට ඇති?

ඔව් අයියේ, මට කෝල්ස් එනවා එනවා ඉවරයක් නැහැ. මං කොහොම හරි ඒවට පිළිතුරු දෙනවා. ඒ වගේම වැඩ සටහන්වලට යනවා. ෂෝස්වලටත් එකතු වෙනවා. ඔය වගේ තමයි කාලය ගෙවිලා යන්නේ.

ා කවුද ඔබව ඩ්‍රීම්ස්ටාර් සඳහා යොමු කළේ?

සමන් කියලා මගේ අයියා කෙනෙක් තමයි ඇප්ලිකේෂන් දැම්මේ.

ා පළමු තරග වටයට ආව හැටි මතකද?

මොකද අමතක. මොරටුව රන්දිය හෝටලයෙයි එය පැවැත්වුණේ. මං එදා ගැයුවේ රූකාන්ත මහත්මයාගේ සඳපාන වගේ දිලෙන්නේ ගීතය. පේළි දෙකක් ගයද්දී විනිශ්චය මණ්ඩලය කිව්වා දැන් ඇති කියලා.

ඔබ අප්සට් වන්නට ඇති?

ඔව්නෙ. මං හිතුවා පළමු වටෙන්ම ගෝ හෝම් කියලා. නමුත් රිසල්ට් කියද්දී මාව දෙවැනි වටයට තේරිලා කියලා දැනගන්නට ලැබුණා.

එතැන් පසුව කොහොමද ඔබ ඉදිරි වටවලට සූදානම් වුණේ?

මහා ලොකු බලාපොරොත්තු තියා ගත්තේ නැහැ. ඊළඟ වටය ගැන පමණයි මං හිතුවේ. වටයෙන් වටය ඉදිරියට යද්දී ඒවාට අවස්ථානුකුලව මුහුණ දුන්නා.

කවුද ඔබට ගීත තෝරා දුන්නේ?

පළමු වට දෙක තුන ම'විසින්ම ගීත තෝරා ගත්තා. පසුව ගෙදරින් තෝරලා දුන්නා. ඉදිරිවලටවලදී දෙරණ දුන්නු ගීත ගැයුවා.

ඔබ ඩ්‍රීම්ස්ටාර් පෙර අදියරයන් නරඹලා තියෙනවාද?

ඔව්. උදේශ් අයියා දිනපු තරගයේ ඉඳලා ඒ කියන්නේ ඩ්‍රීම්ස්ටාර් පළමු අදියරේ පටන්ම මං එහි රසිකයෙක්. උදේශ් අයියගේ ෆොටෝ පවා මං ගාව තිබුණා. ඒ වගේම එම්. ජී. අයියා කිරුළ අරගෙන ඉන්න ෆොටෝස් පත්තරවල යනවා දැක්කා. ඒවා ළඟ තියාගෙන හීන මැව්වා ඩ්‍රීම්ස්ටාර් කෙනෙක් වෙන්න.

ඔබේ ඒ සිහිනය අද මල්ඵල ගැන්විලා?

පුදුමයි, ඒත් ඇත්තයි.

මේ තරඟාවලිය අතරතුරදී වැඩියෙන්ම දුක හිතුණේ කවදාද?

සඳුන් සහ ධනුෂ්ක අයියලා තරඟයෙන් ඉවත් වෙද්දි හරියට දුක හිතුණා. මොකද අපි ටික හිටියේ සහෝදරයෝ වගේ. ඒත් හැමෝටම ඉදිරියට යන්න බැහැනෙ. එහෙම හිතලා හිත හදාගත්තා.

තරගාවලිය වෙනුවෙන් කොපමණ කලක් කැප වුණාද?

අවුරුද්දක් විතර.

ඔබ ලබන වසරේ උසස් පෙළ හදාරන්න ඉන්න ශිෂ්‍යයෙක්. අධ්‍යාපන වැඩ කටයුතු බොහොමත්ම අතපසු වුණා මේ හින්දා?

ඔව්. ඒත් තව මාස හයක් විතර තියෙනවානේ. මේ කාලය අතරතුර හොඳින් පාඩම් වැඩ කරගෙන යනවා.

මොන අංශයෙන් ද ඔබ උසස් පෙළ හදාරන්න හිතාගෙන ඉන්නේ?

කලා අංශයෙන්.

ා රියැලිටි තරඟවලින් ජයග්‍රහණය කළ ඔබ වගේ බහුතරයක් දෙනා අද වන විට ක්ෂේත්‍රයේවත් නැහැ?

මට එහෙම වෙන එකක් නැහැ. මං හිතාගෙන ඉන්නවා පූර්ණකාලීනව සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කරන්න.

ඔබ සාමාන්‍ය පවුලක කෙනෙක්. මෙවන් වූ තරඟයකට එකතු වුණාම තමා විසින් තමාව ප්‍රමෝට් කරගන්න හොඳට වියදම් කරන්න ඕනෑ?

ඇත්ත. කියන්න කනගාටු නැහැ. මගේ තාත්තා අපව ජීවත් කළේ ගඩොල් හදලා. දැඩි ආර්ථික ප්‍රශ්න අපිට තිබුණා. මුල් කාලේ මට අලුත් ඇඳුමක් ගන්නවත් සල්ලි නැහැ. ඒත් පස්සේ පස්සෙ මට නොයෙක් දෙනා උදවු කළා. ඒ අයට මං බෙහෙවින් තුති පුදනවා.

ඔබට ලැබුණු ත්‍යාග ප්‍රයෝජනයට ගන්නේ මොන වගේ කාරණාවලටද?

වාහනය මගේ පාවිච්චියට තියාගන්නවා. ඉඩමේ ගෙයක් හදනවා. සල්ලි මගේ පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් වියදම් කරනවා.

ඔබේ පියාව නැවතත් වැඩට යවන්නේ නැති වෙවිද?

ඔව්. ඔහු වැඩ කළා දැන් ඇති. මං මට ලැබුණු දේවල්වලින් ඔහුව බලා ගන්නවා.

ඔබ අපූරු කොණ්ඩා මෝස්තරයක් භාවිත කරනවා. කවුද ඔය විදිහට කොණ්ඩය ඩිසයින් කරමු කිව්වේ?

මමම තමයි. මට හිතෙනවා මේ කොණ්ඩෙ මට ලස්සනයි කියලා.

ඔබ හිතනවද ඔබේ කොණ්ඩෙට මිනිස්සු කැමැතියි කියලා.

ඔව්. විශේෂයෙන්ම ගැහැනු ළමයි හරිම ආසයි මේ කොණ්ඩා මෝස්තරයට.

ගැහැනු ළමයින්ගේ සිහින කුමරා වන්නට ද ඔබේ කල්පනාව?

වෙන්න දෙයක් නෑ, ඒක වෙලා ඉවරයි.

දවසට ගැහැනු ළමයි කී දෙනෙක් ජනිත්ට වහ වැටිලා දුරකතනයට කතා කරනවාද?

ගොඩක් අය කතා කරනවා. ගණන් වශයෙන් කියන්න අපහසුයි.

ඒ අතරේ ආදරය ප්‍රකාශ කරන අයත් ඇති?

අම්මෝ ඉන්නවා. සමහර අය කෙළින්ම කියනවා. සමහර අය වක්‍රාකාරව කියනවා. අනේ මම නම් තවම එහෙම දෙයක් හිතලා නැහැ. මං තවම පොඩි කොල්ලනෙ.

එදාට වඩා අද ඔබේ ජීවිතය හාත්පසින්ම වෙනස්. ඒ වෙනස කොහොමද දැණෙන්නේ?

එදා ජීවිතය කටුකයි, දුෂ්කරයි. ඒත් අද එහෙම නැහැ. මහා ලොකුවට නැති වුණත් මාත් දැන් සල්ලි ටිකක් තියෙන කෙනෙක්. එහෙම වෙනසක් දැණෙනවා. මොන දේ වුණත් මගේ සිත තුළ තිබුණු ගතිගුණ එදා වගේමයි. අදටත් වෙනසක් වෙලා නැහැ.

කවදා විතරද ඔබ නව නිර්මාණයක් ඔබේ රසික රසිකාවන්ට තිළිණ කරන්නට සූදානම් වන්නේ?

මේ ජනවාරියට කලින් සිංදුවක් කරනවා.

මොන වගේ එකක්ද?

විරහ ගීතයක් වේවි. හැබැයි සාම්ප්‍රදායික එකක් නොවේවි.

කාටද තුති පුදන්න තියෙන්නේ?

මගේ පියා තිලක් ඉද්දමල්ගොඩ, අම්මා මාලා ජයන්ති තිසේරා, අයියලා දෙන්නයි, අක්කටයි. නෑදෑයෝ සියලු දෙනාට, මං ඉගෙන ගත්ත නාලන්දා විදුහලේ විදුහල්පති ඇතුළු සියලු ගුරු භවතුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, නිකවැරටිය මගේ ජනතාවට, දෙරණ පවුලේ සියලු දෙනාට.