වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාව වගේ රටක නිළියක් වීම ගැන මට හරිම ආඩම්බරයි

ලංකාව වගේ රටක නිළියක් වීම ගැන මට හරිම ආඩම්බරයි

ඔබේ නම කියන්න?

සඳමිණි එදිරිවීර.

වෘත්තීය?

වර්තමානයේදී රංගනය, අතීතයේ නම් නිවේදනය. අනාගතයේදී ජනමාධ්‍යකරණය වේවි.

මා නිවැරැදි නම් ඔබ පැවසූ ආකාරයට ඔබ කලාවට එන්නේ නිවේදිකාවක් විදිහට?

ඔව්.

ඒ අතීතය මතක් කළොත්?

මහින්ද ගුණතිලක මහත්මයාගේ ආරාධනාවෙන් ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙමිනුයි මම කලාවට එන්නෙ. එතකොට මට වයස අවුරුදු දොළහයි. එදා ඉඳලා වසර හතරක් විතර ජාතික නාලිකාවේ ළමා පුවත් ඉදිරිපත් කළා. ඒලෙවල් කරද්දී මම එයින් ඉවත් වුණා.

උසස් පෙළෙන් අනතුරුව ඔබ ආයේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රංගන ශිල්පිණියක් බවට පත් වෙමින්?

ඔව්. ඒක අහඹු අවස්ථාවක්. රූපවාහිනී කෝස් එකකට මම යද්දී ශාන්ත සොයිසා මහත්මයා මාව දැකලා ඔහුගේ මේඝා නාට්‍යයට කතා කළා.

එක පාරටම රංගනයට ආරාධනා ලැබුණාම මොකද හිතුණේ?

ලොකු හැඟීමක් දැනුණෙ නැහැ. හැබැයි හිත කොනේ ඇල්මක් තිබුණා රංගනයට. මං ඔහුට හා කිව්වා.

මේඝා හි රඟපාපු පළමු දවස මතකද?

ඔව්. මට රංගනය හුරු නැහැනෙ. ලොකු චකිතයක් තිබුණා. පුළුවන් විදිහට මට දුන්නු චරිතය නිරූපණය කළා. ඒත් එක දවසක් මම හොඳටම ඇඬුවා.

ඒ මොකද?

මට දෙබස් කියාගන්න බැරි වුණා. ඇතැම් දෙබස් මතක හිටියෙත් නැහැ. මගේ ඇස්වලට කඳුළු ආවා. ඇඩුවේ වැරදුනු හින්දා නෙවෙයි. ශාන්ත සර් බනීවි කියලා. වෙලාවට ඔහු බැන්නේ නම් නැහැ.

මේඝා නාට්‍යයේ ඔබේ චරිතය මොකක්ද?

යමුනා. පෞද්ගලික ලේකම්වරියක්.

මේඝා නාට්‍යයෙන් පසුව ඔබට තවත් නාට්‍ය සඳහා ඇරැයුම් ලැබුණාද?

ඔව්. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ආදරේ සුවඳ අරන් එක නාට්‍යයක්. එහි රූපගත කිරීම් ළඟදීම ඇරැඹේවි. මම ඒකෙ ආන්‍යා. තව නාට්‍ය දෙකක් භාර ගත්තා. එහි විස්තර ළඟදීම කියන්නම්.

ඔබ තුළ සිටි නිවේදිකාව දැන් ඔබටම අමතක වෙලා වගෙයි?

අනේ නැහැ. නිවේදනයට මම එනවා ලබන වසරේ මුල සිට.

ඔබ අනාගතයේදී ජනමාධ්‍යකරණයට එනවා කිව්වා. මොකක්ද ඒ කතාව?

මම දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන උපාධිය හදාරනවා. එය නිම වූ පසු මාධ්‍යවේදිනියක් වෙන්න හිතාගෙන ඉන්නවා.

ඊට පසුව රඟපෑම හෝ නිවේදන කටයතු කරන්නේ නැතිද?

අපෝ නැහැ. කරනවා කරනවා. ඉඩ ඇති පරිදි ක්ෂේත්‍ර දෙකේම කටයුතු කරනවා.

ඔබට ලැබෙන සෑම චරිතයක්ම ඔබ බාර ගන්නවාද?

නැහැ. පිටපත බලලා මට පුළුවන් සහ මට ගැළපෙන චරිත විතරයි මෙතෙක් බර ගත්තේ.

ඔබට ජනප්‍රිය වෙන්න වුවමනාව නැතිද?

මම හිතන්නේ ජනප්‍රියවන්නට තව කල් තියෙනවා.අනික ජනප්‍රියත්වය බලෙන් ලබා ගන්නවාට වඩා ඒක ඉබේ ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා.

ඔබ කැමැති හිමින් ගමනක් යන්න වගෙයි?

අනිවාර්යයෙන්ම.

ගෙදරින් කැමැතිද ඔබ කලා කටයුතුවල නියැලෙනවට?

තාත්තා කැමැති නැහැ මම රඟපානවට. හැබැයි ඔහු ආසයි මම නිවේදිකාවක විදිහට කටයුතු කරනවට. නමුත් අම්මා තමයි මගේ පැත්තට කතා කරන්නේ.

ඇයි ඔබේ පියා ඔබ රඟපානවට අකැමැති?

ඔහුට බයයි මම මගේ අධ්‍යාපන වැඩ කටයුතු කඩාකප්පල් කර ගනීවි කියලා. ඒත් මං එහෙම කර ගන්නේ නැහැ. රඟපාන ගමන් මම මගේ ඉලක්කයට යනවා.

සඳමිණිගේ පාසල මතක් කළොත්?

මහනුවර රිසි කලා විද්‍යාලය.

එතකොට ඔබේ ගම?

පදියතලාව, වර්තමාන පදිංචිය කිරුළපන.

සඳමිණිගේ උපන් දිනයත් කියමු?

1994. 09. 13

ඔබේ ජීවිතයේ ආපස්සට හැරිලා යන්නට අවස්ථාව ලැබුණොත් හදාගන්න තැන් මොනවාද?

මම දෙවතාවක් අපොස උසස් පෙළ කරලයි කැම්පස් ගියේ. එහෙම නැතුව එක පාරින් ගොඩ යනවා ආයෙ එහෙම හැරිලා යන්න අවස්ථාව දුන්නොත්.

ලංකාව වගේ රටක නිළියක් වීම ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. හරිම ආඩම්බර වෙනවා මෙවන් වූ රටක ඉපදුන එකට.

සඳමිණි අනුගමනය කරන නිළියක් එහෙම ඉන්නවද?

මම ආසයි චාන්දනී සෙනෙවිරත්නට. ඇයගේ රංගනය ඉතාම ප්‍රබලයි. ඇය රඟපාන අන්දමට මම බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ වගේම ඇයගේ රංගනයෙන් ඉගෙන ගත යුතු දේ බොහොමයි.

ඇය වගේ නිළියක් වෙන්න ආස නැතිද?

ආසයි. ඒත් අපිට ලැබෙන නිර්මාණත් එක්ක අපේ දස්කම් පෙන්වන්නට අපහසුයි. ඇයගේ කාලයේ ඇයට විවිධාකාර නිර්මාණ ලැබුණා. ඇය විශිෂ්ටත්වයට පත් වුණේ ඒ හින්දා.

රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීමක් ගැනයි මං ඊළඟට අහන්නේ?

මට ප්‍රියන්ත සෙනෙවිරත්නත් එක්ක රඟපාන්න ලැබුණා සීන් එකක්. පිටපතට අනුව දුරකතනයක් රිංග් වෙනවා. ඔහු එයට පිළිතුරු සපයන්න දුවගෙන එනවා. ඒත් මමයි ඊට පිළිතුරු දෙන්නේ. ඔහු දුවගෙන එද්දී ඩෝං ගාලා බිම වැටුණා. මට හොඳටම හිනා. ඔහු වැටිලා තියෙන්නේ නාට්‍ය වෙනුවෙන්. මම ඒක දන්නේ නැහැනෙ. හොඳ වෙලාවට එය වෙනම රූගත කොට තිබෙනවා. නැත්නම් ප්‍රියන්ත අයියට ආයෙත් වැටෙන්න වෙනවා.

දැන් වෙලාව සඳමිනිගේ පෙම්වතා ගැන කියන්න?

එහෙම කෙනෙක් නැහැනෙ අයියේ.

නවක නිළියන් බොහොමයක් කියන්නේ තමන්ට පෙම්වතෙක් නෑ කියලා?

මට නම් ඇත්තටම නැහැ. ඇත්තටම කිව්වොත් පෙම්වතා කර ගන්න තරම් සුදුසු කෙනෙක් මට ලැබුණේ නැහැ.

මොන වගේ කෙනෙක් ද ඔබ සොයන්නේ?

මාව හුඟක් තේරුම් ගත්තු ඒ වගේම මගේ වැඩ කටයුතුවලට උදව් කරන කෙනෙක්ව. එයා මට ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න කියන්න බැහැ. එහෙම කිව්වත් මං අයින් වෙන්නෙත් නැහැ.

ඒ කියන්නේ බැන්දට පස්සෙවත් ඔබ කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙන්නේ නැද්ද?

නැහැ.

ඔබ ටිකක් මුරණ්ඩු පාටයි?

අනේ නැහැ. ඉතින් මං ඇත්තනෙ කිව්වේ. බොරු කියන්නේ මොකටද.

සඳමිණිගේ පවුලේ විස්තර සඳහන් කරමු?

මමයි අම්මයි තාත්තයි නංගිලා තුන් දෙනයි.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

නිහතමානී කෙනෙක්.